යෙහෝවා බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය
ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අප්‍රියෙල් 16වන දා පැවැත්වේ
1 අප 2003 අප්‍රියෙල් 16වන දාට ළඟා වෙනවාත් සමඟම අපගේ බලාපොරොත්තු ඉහළ යයි. එම රාත්රියේදී අපි යේසුස්ගේ මරණය සිහි කරන අතර, ලොව වටා අපගේ සෙසු නමස්කාරකයන් මිලියන ගණනක් යෙහෝවාගේ නාමය මහිමවත් කිරීමෙහි අප හා හවුල් වනු ඇත. යෙහෝවා විසින් අප සඳහා ඇති කර තිබෙන පුදුමාකාර සැපයුම වන මිදීමේ මිලය සම්බන්ධයෙන් අපගේ මුළු ප්‍රශංසාව ලැබීමට ඔහු වටින්නේය. ඒ මගින් ඔහු කීකරු මුළු මිනිස් සංහතිය උදෙසා පුදුමාකාර ආශීර්වාද වගුරුවනවා ඇත. එසේනම්, “යෙහෝවා උතුම්ය. බොහෝ සෙයින් ප්‍රශංසා ලැබිය යුතුය” යන ගීතිකාකරුගේ නාදයට මුළු හදින්ම අපිද එක් වෙමු.—ගීතා. 145:3.
2 යෙහෝවාගේ යහපත්කම ගැනත්, යෙහෝවා සිය ‘ඒකජාතක පුත්‍රයා මාර්ගයෙන් ජීවනය ලබන පිණිස, . . . ඔහුව ලෝකයට එවීම’ නිසා යෙහෝවාට අප විසින් පිදිය යුතු කෘතඥතාව ගැනත් මෙනෙහි කිරීමට කාලය මෙයයි. (1 යොහ. 4:9, 10, NW) ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය කීකරු ලෙස පැවැත්වීමෙන් ‘යෙහෝවා දයාවන්ත, අනුකම්පාවෙන් පූර්ණ, . . . මහත් කරුණාවෙන්යුක්ත’ බව අපේ හදවත්වලට තව තවත් කාවද්දවයි. (ගීතා. 145:8) ඇත්ත වශයෙන්ම, මුළු මිනිස් සංහතියම කෙරෙහි යෙහෝවා ශ්‍රේෂ්ඨතම අන්දමින් ප්‍රේමය පළ කළේ මිදීමේ මිලය සැපයීමෙනුයි. (යොහ. 3:16) අප දෙවිගේ ප්‍රේමය ගැන මෙනෙහි කර, අඛණ්ඩතාව පිළිබඳ යේසුස්ගේ විශ්වාසවන්ත ක්‍රියාමාර්ගය ගැන කල්පනා කරන විට, යෙහෝවාට ප්‍රශංසා කිරීමට අපව පෙලඹේ. අපට සදාකාල ජීවනය ලබාගැනීමට හැකි කරවමින් ඔහු දැක්වූ ඒ අසීමිත ප්‍රේමය නිසා සදාකාලයටම අපි ඔහුට ප්‍රශංසා කරන්නෙමු.—ගීතා. 145:1, 2.
3 යෙහෝවාට ප්‍රශංසා කිරීමට අන්‍යයන්ට උපකාර කරන්න: මිදීමේ මිලය නමැති දෙවිගේ අතිඋසස් දීමනාව නිසා අපට දැනෙන කෘතඥතාව අපව පොලඹවන්නේ යෙහෝවාට ප්‍රශංසා කිරීමෙහිලා අප හා එක්වීමට අන්‍යයන්ට ආරාධනා කිරීමටයි. ගීතිකාකරු මෙසේ ලිවීමට ආනුභාවය ලැබීය. “ඔබගේ යහපත්කමේ බහුලත්වය ගැන සඳහන් කරමින්, ඔවුහු උද්දාමයෙන් උතුරා යන්නෝය. තවද ඔබගේ ධර්මිෂ්ඨකම නිසා ඔවුහු ප්‍රීතියෙන් මොරගසන්නෝය.” (ගීතා. 145:7, NW) පසුගිය අවුරුද්දේදී පමණක්, ලොව වටා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දේශනා වැඩය සඳහා පැය බිලියනයකට වඩා වැඩි ගණනක් කැප කළහ. ඔවුන්ගේ ප්‍රයත්නවලින් ලැබුණු ප්‍රතිඵල මොනවාද? සෑම සතියකම, බව්තීස්මයෙන් යෙහෝවාට වූ තම කැපවීම සංකේතවත් කළ පුද්ගලයන්ගේ සාමාන්‍ය ගණන 5,100ට වඩා වැඩිය. සිහි කිරීමට පැමිණි මුළු සංඛ්‍යාව 1,55,97,746ක් වූ අතර, මීට ඇතුළත් වූ ශුභාරංචියේ ප්‍රචාරකයන් වශයෙන් යෙහෝවාට ප්‍රශංසා කිරීමට තවමත් ආරම්භ කර නැති මිලියන 9කට වඩා වැඩි සංඛ්‍යාවෙන් පෙනී යන්නේ, තවදුරටත් වර්ධනයක් ඇතිවීමට මහත් හැකියාවක් තිබෙන බවයි! රාජ්‍ය ප්‍රකාශකයන් වශයෙන්, ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි සහ යෙහෝවා, ඔහුගේ පුත්‍රයා සහ රාජ්‍යය වෙතට අනුන්ගේ හදවත් හැරවීමේ අපගේ වරප්‍රසාදය අපි මහත් භක්ත්‍යාදරයෙන් රැකගනිමු.
4 යෙහෝවාට ගෞරව කිරීමට අන්‍යයන්ව දිරිගැන්වීම සඳහා තිබෙන කදිම ක්‍රමයක් නම්, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පැවැත්වීමෙහිලා අප හා එක් වන ලෙස ඔවුන්ට ආරාධනා කිරීමයි. ඔබ විසින් ආරාධනා කරන්නට යන අයගේ නම් සහ දවස හා පැය මතක් කිරීමට අවශ්‍ය කරන වෙනත් අයගේ නම් පිළිබඳ ලැයිස්තුවක් ඔබ සාදා තිබෙනවාද? ඔබගේ ලැයිස්තුවේ සිටින සියල්ලන්ට ඔබ ආරාධනා පත්‍රයක් දී තිබෙනවාද? එසේ නැත්නම්, ඉතිරි වී තිබෙන කාලය තුළ හොඳ උත්සාහයක් දරමින් ඔවුන්ට ආරාධනා කරන්න. මෙම සිහි කිරීමේ අරමුණ වටහාගැනීමට ඔවුන්ට උදව් කරන්න. සිහි කිරීමේ උත්සවයට ගිය විට, අමුත්තන්ට ආචාර කිරීමට සාවධානව සිටින්න. ඔවුන්ව සාදරයෙන් පිළිගන්න. ඔවුන්ව වෙනත් අයට හඳුන්වා දෙන්න. පැමිණ සිටීම ගැන ඔවුන්ට ප්‍රශංසා කරන්න.
5 සිහි කිරීමට පැමිණීම, ආත්මික ප්‍රගතිය ලැබීමට නවකයන්හට හොඳ දිරිගැන්වීමක් විය හැකියි. කම්පිත අද්දැකීමකින් පසුව ඇති වූ මානසික පීඩනයකින් පෙළුණු බයිබල් ශිෂ්‍යයෙකුට ජනයා ගැවසෙන ස්ථානයකට යෑමට මහත් අපහසුතාවක් තිබූ නමුත් ඔහු සිහි කිරීමට පැමිණියේය. රැස්වීම ගැන ඔහු හිතන්නේ මොනවාද කියා ඇසූ විට, ඔහු පැවසුවේ මෙසේයි. “ඒක අතිශුද්ධ රාත්‍රියක්. මමත් එතැන සිටියානේ.” එතැන් පටන්, ඔහු රැස්වීම්වලට පැමිණීමට පටන්ගත්තේය.
6 සිහි කිරීමට පසුව: යෙහෝවාට ප්‍රශංසා කරන්නන් බවට පත්වීමට උනන්දුවක් ඇති අයට උපකාර කිරීමට කුමක් කළ හැකිද? සිහි කිරීමට පැමිණෙන නවකයන් ගැන වැඩිමහල්ලන් අවධානයක් යොමු කරන අතර, තමන් ඉගෙනගත් සහ දුටු නැවුම් දේවල් ගැන යළිත් කතා කරන්නට හැකි ඉක්මනින්ම ඔවුන් වෙත ගොස් බැහැදැකීම සඳහා සුදුසුකම් ලත් ප්‍රචාරකයන්ව සූදානම් කරනවා ඇත. ඇතැම් අය නිවාස බයිබල් පාඩමක් කරන්නට කැමති වෙන්නට පුළුවනි. එමෙන්ම සතිපතා පැවැත්වෙන සභා රැස්වීම් සියල්ලටම පැමිණීමට ඔවුන්ට ආරාධනා කළ හැකියි. මන්ද නිතිපතා පැමිණීමෙන් ඔවුන්ගේ බයිබල් දැනුම පුළුල් කළ හැකි නිසායි.
7 කඩින් කඩ සහභාගි වන සහ අක්‍රියාශීලී සියල්ලන්ටම නිතිපතා රැස්වීම්වලට පැමිණීම සඳහා දිරිගැන්වීමට සැලසුම් යොදමින් තිබේ. ක්ෂේත්‍ර සේවයේ නැවත සහභාගි වීමට අක්‍රියාශීලී කෙනෙකුට උපකාර කරන ලෙස වැඩිමහල්ලන් ඔබෙන් සහයෝගය ඉල්ලා සිටියහොත්, ඊට ප්‍රතිචාරය දැක්වීමට උත්සුක වන්න. අපගේ සහෝදරයන් සඳහා එවන් ප්‍රේමණීය සැලකිල්ලක් දැක්වීම ප්‍රේරිත පාවුල්ගේ අවවාදය සමඟ එකඟ වේ. “එසේ නම්, අපට ප්‍රස්තාව තිබෙන තාක් කල් සියල්ලන්ටම, විශේෂයෙන්ම ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම් කරමු.”—ගලා. 6:10, NW.
8 අප්‍රියෙල් 16වන දා සිහි කිරීමට සහභාගි වීමට අපි සියලුදෙනාම විශේෂ ප්රයත්නයක් දරමු. යෙහෝවාට ප්‍රශංසා කිරීමට තිබෙන වඩාත් පරිශුද්ධම අවස්ථාව අහිමි කරගැනීමට අපට වුවමනා නැත. ඔව්, අපි දැනුත් සදහටමත් යෙහෝවාගේ මහත් ක්‍රියාවන් සඳහා ඔහුට ප්‍රශංසා කරමු!—ගීතා. 145:21.