කණ්ඩායමක් ලෙස සාක්ෂි දැරීම ප්‍රීතිය ගෙන දෙයි
1 යේසුස් ගෝලයන් 70දෙනාව දේශනා කිරීම සඳහා පිටත් කළ අවස්ථාවේදී ඔවුන් පැවසිය යුත්තේ කුමක්ද කියා ඔවුන්ට කියා දුන්නේය. ඔහු දෙදෙනා බැගින් ඔවුන්ව සංවිධානය කළ අතර ඔවුන් ආවරණය කළ යුතු බලප්‍රදේශයද ඔවුන්ට දැන්නුවේය. ඔවුන් සේවයෙන් ප්‍රීතිය ලැබීමටද ඒ දේවල් හේතු විය. (ලූක් 10:1-17) ඒ හා සමානව අද දිනත් දේශනා කිරීමේ කාර්යය සඳහා දෙවිගේ සෙනඟව සූදානම් කිරීමට, සංවිධානය කිරීමට හා දිරිගැන්වීමට කණ්ඩායමක් ලෙස සාක්ෂි දැරීම උපකාරවත් වේ.
2 වැඩිමහල්ලෝ පෙරමුණ ගනිති: දේශනා සේවයේ නිතිපතා හවුල් වීම සඳහා සියලුදෙනාටම උපකාර කිරීමේදී වැඩිමහල්ලෝ වැදගත් කාර්යභාරයක් ඉටු කරති. සතියේ දිනවල සේවය සඳහා කටයුතු සැලසුම් කිරීමේදී සේවා අවේක්ෂක මූලිකත්වය ගනියි. විශේෂයෙන්ම සති අන්තයේදී තම කණ්ඩායම සඳහා සේවය සංවිධානය කිරීම පොත් පාඩම් අවේක්ෂකගේ වගකීම වේ. මුරටැඹ පාඩමෙන් පසු හා වෙනත් අවස්ථාවලදී මුළු සභාවම ක්ෂේත්‍ර සේවය සඳහා රැස් වන විට සෑම පොත් පාඩම් අවේක්ෂකයෙකුම තම කණ්ඩායමේ අවශ්‍යතා බලාගත යුතුයි.
3 ‘විනීතව හා පිළිවෙළකට’: ක්ෂේත්‍ර සේවය සඳහා පවත්වනු ලබන රැස්වීම මෙහෙයවීමට පවරා තිබෙන තැනැත්තා එය වේලාවට පටන්ගෙන විනාඩි 10කට හෝ 15කට එය සීමා කළ යුතුයි. සේවය කිරීමට පැමිණ සිටින අයව අවසාන යාච්ඤාවට කලින් කණ්ඩායම් වශයෙන් සැලසුම් කර ඔවුන්ට බලප්‍රදේශ පැවරීම හොඳම දෙයයි. (ඔහු මෙය කරන්නේ කලින් සඳහන් කළ පරිදි පොත් පාඩම් අවේක්ෂකයන් මෙය කරන්නේ නැති අවස්ථාවලදීය.) මෙසේ කිරීමෙන් පිටස්තර අයගේ අනිසි අවධානයට ලක් වන සේ බලප්‍රදේශය තුළ එක් රොක් වී සිටීම අඩු කරගත හැකියි. අප කරන සේවයේ ගෞරවනීයභාවය කෙරෙහි එම අනවශ්‍ය අවධානය හානිකර ලෙස බලපෑමට ඉඩ ඇත. මෙය පාවුල් දුන් මෙම උපදේශයටද එකඟයි. “සියල්ල විනීතවද පිළිවෙළකටද සිදු වේවා!” (1 කොරි. 14:40, NW) ක්ෂේත්‍ර සේවය සඳහා පවත්වනු ලබන රැස්වීම්වලට නියමිත වේලාවට පැමිණීමෙන්ද සේවයේ මූලිකත්වය ගන්න තැනැත්තා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන්ද කණ්ඩායම පිටත් කර හැරිය පසු හැකි විගස සේවය කරන ප්‍රදේශය වෙත යෑමෙන්ද සියලුදෙනාම මෙම විධිවිධාන සාර්ථක කරගැනීම සඳහා සහයෝගය දැක්විය යුතුයි.
4 එක්සත්කමින් එකඟව බැඳී: කණ්ඩායමක් ලෙස සාක්ෂි දැරීමේ සැලැස්ම නිසා සභාවේ සිටින අයව හොඳින් හඳුනාගැනීම සඳහා කදිම ප්‍රස්තාවක් උදා වෙයි. තමන් කැමති කෙනෙකු සමඟ සේවයේ යෑමට කලින් සැලසුම කිරීම් සම්බන්ධයෙන් කිසිම විරුද්ධත්වයක් දක්වනු නොලැබුවද එසේ කලින් සැලසුම් නොකර ක්ෂේත්‍ර සේවය සඳහා පැවැත්වෙන රැස්වීම්වලට පැමිණීමෙන් ප්‍රීතිය ගෙන දෙන අද්දැකීම් ලබාගත හැකියි. අප හොඳින් හඳුනන්නේ නැති කෙනෙකු සමඟ සේවය කරන ලෙස අපෙන් ඉල්ලා සිටීමට ඉඩ තිබේ. මෙමගින් ප්‍රේමය පෙන්වීමේදී “සිත් විශාල කරගන්න” අපට හැකියි.—2 කොරි. 6:11-13, NW.
5 කණ්ඩායමක් ලෙස සාක්ෂි දැරීමෙන් අපට දිරිගැන්වීමක් ලැබිය හැකි අතර ‘සත්‍යය තුළ සිටින හවුල් සේවකයන්’ වශයෙන් එකිනෙකාට තව තවත් ළංවීමටද එමගින් හැකි වේ. (3 යොහන් 8, NW) මෙසේ මෙම කාර්යයෙහි අපි පූර්ණ ලෙස හවුල් වෙමු!