යෙහෝවාගේ යහපත්කම අනුකරණය කරන්න
1 හිරු බැස යෑමේ චමත්කාරය දැකීමෙන් පසු හෝ ප්‍රණීත ආහාරයක් භුක්ති විඳීමෙන් පසු හෝ සෑම යහපත් දෙයකම උල්පත වන යෙහෝවාට ස්තුති කිරීමට අප පෙලඹෙන්නේ නැද්ද? ඔහුගේ යහපත්කම, ඔහුව අනුකරණය කිරීමට පෙලඹීමක් අප තුළ ඇති කරවයි. (ගීතා. 119:66, 68; එපී. 5:1) යහපත්කම නමැති ගුණාංගය අපට විදහාපෙන්විය හැක්කේ කෙසේද?
2 නොඇදහිලිවන්තයන්ට: අපට යෙහෝවාගේ යහපත්කම අනුකරණය කළ හැකි එක් ආකාරයක් වන්නේ අපගේ ඇදහිල්ලට අයිති නැති අය කෙරෙහි අවංක සැලකිල්ලක් පෙන්වීමයි. (ගලා. 6:10) ප්‍රායෝගික ආකාරවලින් යහපත්කම පෙන්වීම මගින් ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් හා අපගේ පණිවිඩය කෙරෙහි දරන ආකල්පය කෙරෙහි හිතකර බලපෑමක් ඇති කළ හැකියි.
3 උදාහරණයක් හැටියට රෝහලක ප්‍රතිකාර ගැනීමට බලා සිටින අතරතුර, තරුණ පුරෝගාමි සහෝදරයෙක් අසුන් ගෙන සිටියේ වයසක කාන්තාවක් ළඟය. අනිත් රෝගීන්ට වඩා ඇය රෝගාතුර තත්වයක පසු වූ බවක් පෙනෙන්න තිබිණ. වෛද්‍යවරයාව හමුවීමට ඔහුගේ වාරය පැමිණි අවස්ථාවේදී, ඔහු එම කාන්තාවට ඇතුළට යන්න ඉඩ දුන්නේය. පසුව වෙනත් අවස්ථාවක වෙළඳ සැලේදී ඇයව හමු වූ අවස්ථාවේදී, ඔහුව දකින්න ලැබීම ගැන ඇය මහත් සේ සතුටු වුණාය. ඇය කලින් ශුභාරංචිය පිළිගෙන නොතිබුණද, යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේ අසල්වැසියන්ට ඇත්තටම ප්‍රේමය පෙන්වන බව ඇය ඒ අවස්ථාවේදී දැනගත්තා කියා පැවසුවාය. ඇය සමඟ නිතිපතා බයිබල් පාඩමක් පටන්ගන්නා ලදි.
4 අපේ සහෝදරයන්ට: සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කිරීමට ඉදිරිපත් වන විට අප අනුකරණය කරන්නේ යෙහෝවාගේ යහපත්කමයි. ස්වාභාවික විපත් සිදු වන අවස්ථාවලදී අපේ සහෝදරයන්ට උපකාර කිරීමට මුලින්ම පැමිණෙන අය අතර සිටින්නේ අපයි. රැස්වීම්වලට යෑමට ප්‍රවාහන පහසුකම් අවශ්‍ය අයට හා දුර්වල සෞඛ්‍යකින් පසු වන අයට උපකාර කරන විටත් අප සභාවේ හොඳින් හඳුනන්නේ නැති අයට සහෝදර සෙනෙහස පෙන්වන විටත් අපි එම ස්වභාවයම පෙන්වන්නෙමු.—2 කොරි. 6:11-13; හෙබ්‍රෙ. 13:16.
5 යෙහෝවා යහපත්කම පෙන්වන තවත් ආකාරයක් වන්නේ ‘සමාව දෙන්න සූදානම්ව’ සිටීමෙනි. (ගීතා. 86:5) ඔහුව අනුකරණය කරමින් අන් අයට සමාව දීමෙන් අප යහපතට ප්‍රේම කරන අය බව පෙන්විය හැකියි. (එපී. 4:32) සෙසු ඇදහිලිවන්තයන් සමඟ අප කරන ඇසුර ‘යහපත් මෙන්ම ප්‍රසන්න’ එකක් කිරීමට එය උපකාරවත් වේ.—ගීතා. 133:1-3.
6 යෙහෝවාව ප්‍රශංසාවට පත් කිරීමෙහිලා ක්‍රියාශීලී ලෙස හවුල් වීමටත් ප්‍රීතියෙන් ඉපිල යෑමටත් ඔහුගේ යහපත්කමේ බහුලත්වය මගින් අප තුළ පෙලඹීමක් ඇති වේවා! එමෙන්ම අපි කරන සෑම දෙයකදීම ඔහුගේ යහපත්කම අනුකරණය කිරීමට මහත් වෑයමක් දැරීමට එයින් අපි පෙලඹෙමු.—ගීතා. 145:7; යෙරෙ. 31:12.