ඔබේ ඇස සරලව තබාගන්න
1. සරල ඇසක් ඇතුව සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සරල ඇසක් ඇතුව සිටීම වැදගත් දෙයක් වන්නේ ඇයි?
1 යේසුස් කන්ද උඩ දේශනාවේදී සංකේතමය ඇස අපේ ජීවිතය කෙරෙහි ඇති කරන දැඩි බලපෑම ගැන කතා කළා. මේ ගැන ඔහු පැවසුවේ මෙසේයි. “එබැවින් ඔබේ ඇස සරල නම්, ඔබේ මුළු ශරීරය දීප්තිමත් වන්නේය. නමුත් ඔබේ ඇස දුෂ්ට නම්, ඔබේ මුළු ශරීරය අඳුරු වන්නේය.” (මතෙ. 6:22, 23) මෙහිදී සරල ඇසක් කීමෙන් අදහස් කරන්නේ එක අරමුණක් කෙරෙහි, එනම්, දෙවිගේ කැමැත්ත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. මෙවන් ඇසක් තිබෙන පුද්ගලයෙක් ධන සම්පත් ආදි දේවල් ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වෙමින් අවධානය වෙනත් දේවලට දෙන්නේ නැහැ. (මතෙ. 6:19-21, 24-33) සරල ඇසක් ඇතුව සිටීමට අපට උපකාරවත් වන දේවල් මොනවාද?
2. දේවවචනය අපව දිරිමත් කරන්නේ ධන සම්පත් ආදි දේවල් සම්බන්ධයෙන් කිනම් ආකල්පයක් තබාගන්න කියාද?
2 සෑහීමට පත්ව සිටීමට ඉගෙනගන්න: තම පවුලේ අයගේ අවශ්‍යතා සපුරාලීම ශුද්ධ ලියවිල්ල මගින් අපට පවරා තිබෙන වගකීමක්. (1 තිමෝ. 5:8) මේ වගකීම ඉටු කිරීමේදී හොඳම දේවල් හා අලුත්ම බඩු භාණ්ඩ නිමක් නැතිව රැස් කිරීමට උත්සාහ කිරීම අවශ්‍ය නැහැ. (හිතෝ. 27:20; 30:8, 9) ශුද්ධ ලියවිල්ල අපව දිරිගන්වන්නේ “කන්න අඳින්න සහ ඉන්න හිටින්න තැනක් ඇත්නම්” ඒවායින් සෑහීමට පත් වෙන්න කියායි. (1 තිමෝ. 6:8; හෙබ්‍රෙ. 13:5, 6) මේ උපදේශය පිළිපදිනවා නම් අපට හැකියි, අපේ ඇස වඩා වැදගත් දේට යොමු කර තබාගන්න.
3. අප විහින්ම බර කර තියාගැනීමෙන් වැළකී සිටීමට අපට හැක්කේ කෙසේද?
3 අනවශ්‍ය ලෙස ණයවීම ලොකු බරක්. එමෙන්ම නඩත්තු කිරීම සඳහා වැඩි කාලයක් හා ශ්‍රමයක් වැය වන දේවල් ළඟ තබාගැනීම හා ඒවා ලබාගන්න උත්සාහ කිරීමත් ලොකු බරකට කර ගැසීමක් වෙයි. මේ බර කරට නොගෙන සිටීම නැණවත් දෙයක්. (1 තිමෝ. 6:9, 10) අපට මෙය කළ හැක්කේ කෙසේද? යම් දෙයක් කරන්න සිතද්දී ඒ ගැන යාච්ඤා කරමින් හොඳින් කල්පනා කරන්න. ආත්මික කාරණාවලට එය බාධාවක් වෙයිද කියා අවංකව සොයා බලන්න. ඔබේ ජීවිතයේ මුල් තැන ආත්මික කාරණාවලට දීමට අදිටන් කරගන්න.—ෆිලි. 1:10; 4:6, 7.
4. අපේ ජීවිතය සරල කරගත හැකි මාර්ග අප සෙවිය යුත්තේ මන්ද?
4 ඔබේ ජීවිතය සරල කරගන්න: සැප සම්පත් සොයා යෑමේ පරීක්ෂාවට අසු නොවීම සඳහා උපකාරවත් වන තවත් දෙයක් වන්නේ ඔබේ ජීවිතය සරල කරගත හැකි ආකාර සොයා බැලීමයි. එක් සහෝදරයෙක් ඔහුගේ නිවසේ තිබූ වැඩිපුර බඩු භාණ්ඩ ඉවත් කර දැමුවා. මෙසේ කළත් පවුලේ අයට ඔවුන්ගේ නිවසේ කටයුතු හොඳින් කරන්න පුළුවන් වූ බව මේ සහෝදරයා තේරුම්ගත්තා. මේ ගැන ඔහු මෙසේ පැවසුවා. “දැන් මට සභාවේ වැඩවලට වැඩි කාලයක් යොදවන්න පුළුවන් වෙලා තියෙනවා. එනිසා සහෝදර සහෝදරියන්ට වැඩි සේවයක් කරන්නත් දැන් මට පුළුවන්. පෞද්ගලික කාරණාවලට වඩා සැබෑ නමස්කාරයට මුල් තැන දෙද්දී යෙහෝවා ඔහුගේ සියලුම සේවකයන්ට ආශීර්වාද කරන බව මට ස්ථිරයි.” ඔබේ ජීවිතය සරල කරගැනීමෙන් මහත් ප්‍රයෝජන අද්දකින්න ඔබටත් හැකිද?
5. අපේ ඇස සරලව තබාගැනීමට අත් නෑර වෑයම් කළ යුත්තේ මන්ද?
5 සාතන්ගෙන් හා සැප සම්පත්වලට ලොල් වූ ඔහුගේ ලෝකයෙන් මෙන්ම අපේ අසම්පූර්ණකම්වලින් එල්ල වන බලපෑම්වලට එරෙහිව සිටීම සඳහා අත් නෑර වෑයම් කළ යුතුයි. අපේ ඇස් දකින දකින දේවල් කෙරෙහි යොමු කරනවා වෙනුවට දෙවිගේ කැමැත්ත කිරීම කෙරෙහිත් සදාකාල ජීවනය නමැති අපේ අනගි බලාපොරොත්තුව කෙරෙහිත් යොමා සිටිමු.—හිතෝ. 4:25; 2 කොරි. 4:18.