ඉදිරිපත් කිරීම් සඳහා දෙන යෝජනා යොදාගත හැකි අයුරු
1. ඉදිරිපත් කිරීම සඳහා දී ඇති යෝජනා ගැන අප දැරිය යුත්තේ කුමන අදහසක්ද?
1 අපගේ රාජ්‍ය සේවාවේ සඟරා සහ වෙනත් ප්‍රකාශන ඉදිරිපත් කිරීම සඳහා නිතර යෝජනා දෙනවා. දේවසේවයේ යෙදෙන විට ඒ යෝජනා ලියා තිබෙන ලෙසම ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ. ඒවා දී තිබෙන්නේ අප පවසන්නේ කුමක්ද කියා යම් අදහසක් ලබාගැනීම සඳහායි. එම යෝජනා අපගේම වචනවලින් ඉදිරිපත් කරනවා නම් එය වඩාත් බලපෑමෙන් යුක්ත වෙනවා. අප ස්වාභාවික ලෙස කතා කරන විට නිවැසියාට අපහසුවක් දැනෙන්නේ නැහැ. අපේ අවංකකම සහ අප කියන දේ ගැන අපට ස්ථිරත්වයක් තියෙන බව ඉන් පිළිබිඹු වෙනවා.—2 කොරි. 2:17; 1 තෙස. 1:5.
2. ඉදිරිපත් කිරීම් සූදානම් කිරීමේදී ප්‍රදේශයේ සිරිත් විරිත් ගැන සැලකිලිමත් විය යුත්තේ මන්ද?
2 ඔබගේ ඉදිරිපත් කිරීම සකසාගන්න: අප ශුභාරංචිය ඉදිරිපත් කරන ආකාරය ප්‍රාදේශීය සිරිත් විරිත්වලට බොහෝ සෙයින් බලපෑමක් ඇති කරයි. ඔබට පුළුවන්ද නිවැසියාට ආචාර කර සංවාදයක් අරඹන්න? නැතහොත් ඔබගේ බල ප්‍රදේශයේ සිටින නිවැසියන් පැමිණි කාරණය ගැන කෙළින්ම කතා කිරීම අපේක්ෂා කරනවාද? එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට සමහරවිට පුද්ගලයාගෙන් පුද්ගලයාටද වෙනස් වෙයි. ප්‍රශ්න ඇසීමේදී කල්පනාකාරි විය යුතුයි. සමහර ස්ථානවලදී සුදුසු වන ප්‍රශ්න තවත් අයට නුසුදුසු විය හැකියි. එම නිසා ප්‍රදේශයේ තත්වයන්ට අනුව ගැළපෙන්නේ කුමක්දැයි කලින් සිතා බලා අපේ ඉදිරිපත් කිරීම ඒ අනුව සකස් කරගත යුතුයි.
3. අපට සවන් දෙන අයගේ පසුබිම සහ සිතුවිලි ගැන සැලකිලිමත් විය යුත්තේ මන්ද?
3 ක්ෂේත්‍ර සේවයට සූදානම් වන විට අපේ ප්‍රදේශයේ සිටින අයගේ පසුබිම සහ ඔවුන් සිතන ආකාරය ගැන අපි සැලකිලිමත් විය යුතුයි. උදාහරණයක් හැටියට මතෙව් 6:9, 10හි තිබෙන “ස්වාමීන්ගේ යාච්ඤාව” ගැන භක්තිමත් කතෝලිකයෙකුට පවසන විදියට වඩා වෙනස් විදියකට එය නොදන්නා කෙනෙකු සමඟ කතා කරන්න ඔබ පෙලඹෙනු ඇත. කලින් සිතා බැලීමෙන්, දේවසේවයේදී අපට හමුවන්නන්ගේ සිත් පොලඹවන ආකාරයෙන් අපේ ඉදිරිපත් කිරීම සකසාගන්න අපට හැකි වෙනවා.—1 කොරි. 9:20-23.
4. හොඳින් සූදානම් වීම අත්‍යවශ්‍ය වන්නේ මන්ද?
4 අප දී තිබෙන යෝජනා ඇති සැටියෙන්ම ඉදිරිපත් කිරීමට සිතුවත් නැතත් හොඳින් සූදානම් වීම අත්‍යවශ්‍යයයි. අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන ප්රකාශනයේ පරිච්ඡේදය හෝ ලිපිය පරෙස්සමින් කියවා උනන්දුව ඇති කළ හැකි කරුණු මොනවාදැයි බැලිය යුතුයි. ඉන්පසු ඒවා අපේ ඉදිරිපත් කිරීමට ඇතුළත් කළ හැකියි. අපේ ප්රකාශනවල තිබෙන කදිම තොරතුරු දැනගෙන සිටීමෙන් පමණයි ඒවා උද්යෝගයෙන් ඉදිරිපත් කිරීමට අපට පුළුවන් වෙන්නේ.
5. අපි වෙනස් ආකාරයේ ඉදිරිපත් කිරීමක් සූදානම් කරගන්නේ මන්ද? එය කළ හැක්කේ කෙසේද?
5 වෙනත් එළඹීම්: අපට දී තිබෙන යෝජනා පමණක්මද අපි ඉදිරිපත් කළ යුත්තේ? නැහැ. ඔබට හුරු වෙන ශුද්ධ ලියවිලි පදයක් හෝ වෙනත් එළඹීමක් තිබේ නම් එය භාවිත කරන්න. විශේෂයෙන් සඟරා බෙදාහැරීමේදී, ඔබගේ බල ප්‍රදේශයට ගැළපෙන්නේ සඟරාවේ ඇතුළත ලිපි නම් ඒවා ගෙනහැර දක්වන්න. සේවා රැස්වීමේදී ක්ෂේත්‍ර සේවය හා සම්බන්ධ නිරූපණ ඉදිරිපත් කරන විට ඒවා බල ප්‍රදේශයට ගැළපෙන අයුරින් ඉදිරිපත් කිරීමට විධිවිධාන යොදන්න. මේ විදියට සෑම කෙනෙකුටම හැකි වේවි අන් අයගේ සිතට කාවදින ලෙස ශුභාරංචිය ඉදිරිපත් කිරීමට.