ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 11වන කොටස:
නැවත බැලීම් කිරීමට ශිෂ්‍යයන්ට උපකාර කිරීම
1 බයිබල් ශිෂ්‍යයෙක් ශුභාරංචිය දේශනා කිරීම ආරම්භ කරන විට, ශුභාරංචිය කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයන්ව ඔහුට මුණ ගැසෙනවා. ඵලදායී ලෙස නැවත බැලීම් කිරීමටත් තමාට මුණගැසුණු පුද්ගලයන්ගේ උනන්දුව වර්ධනය කිරීමටත් අප එම නවක ප්‍රචාරකයාට උපකාර කරන්නේ කොහොමද?
2 නැවත බැලීමකට සූදානම ඇරඹෙන්නේ පුද්ගලයන්ව පළමු වතාවට හමුවන අවස්ථාවේ දීමයි. තමන් කතා කරන පුද්ගලයන් කෙරෙහි අවංක සැලකිල්ලක් දැක්වීමට ශිෂ්‍යයාව දිරිගන්වන්න. (ෆිලි. 2:4) ගෙහිමියාගේ අදහස් පිටතට ඇදගැනීමටත්, ඔවුන්ගේ අදහස්වලට කන් දීමටත්, ඔවුන් පවසන දේ ගැන සැලකිලිමත් වීමටත් ශිෂ්‍යයාව පුහුණු කරන්න. යම් කෙනෙක් උනන්දුවක් පෙන්වන විට ඊට අදාළ තොරතුරු ලියා ගන්න කියා නව ප්‍රචාරකයාට පවසන්න. එම තොරතුරු යොදා ගෙන නැවත බැලීම සැලසුම් කිරීමට ඔහුට උපකාර කරන්න.
3 නැවත බැලීමට සූදානම් වීම: මුල් හමුවීම නැවත සලකා බලන්න. ඉන්පසු ගෙහිමියාගේ සිතට කාවදින්නා වූ රාජ්‍ය පණිවුඩය හා සම්බන්ධ යම් කරුණක් තෝරාගන්නේ කෙසේද කියා ශිෂ්‍යයාට පෙන්වන්න. (1 කොරි. 9:19-23) බයිබල් පදයක් සහ පාඩම් කරන ප්රකාශනයකින් ඡේදයක් යොදාගෙන කෙටියෙන් යමක් ඉදිරිපත් කරන ආකාරය ගැන සූදානම් වෙන්න. තවත් නැවත බැලීමක් සඳහා අවස්ථාවක් විවෘත කරගැනීමට සාකච්ඡාව අවසානයේ ඇසිය හැකි ප්‍රශ්නයක් සූදානම් කරන්න. ප්‍රචාරකයා ගෙවැසියාව හමුවීමට යන හැම අවස්ථාවකදීම ගෙවැසියා තුළ බයිබලය ගැන තිබෙන දැනුම වර්ධනය කරන අන්දම ගැන ප්‍රචාරකයාට පෙන්වා දෙන්න.
4 නැවත බැලීමකදී යොදා ගත හැකි සරල හැඳින්වීමක් ශිෂ්‍යයාට කියා දීමද ප්‍රයෝජනදායකයි. ගෙවැසියාට ආචාර කිරීමෙන් අනතුරුව ඔහුට හෝ ඇයට මෙසේ පැවසිය හැකියි. “ගිය වතාවේ අපි කරපු සාකච්ඡාව ගැන මම හුඟාක් සන්තෝෂ වෙනවා. මම අදත් ආවේ [මාතෘකාව සඳහන් කරන්න] ගැන බයිබලයේ තිබෙන තොරතුරු ඔයත් එකක් කතා කරන්නයි.” ඒ වගේම නැවත බැලීමට ගිය විට කලින් හමු වූ තැනැත්තා වෙනුවට වෙනත් කෙනෙක් කතා කිරීමට පැමිණියොත් ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද කියාත් නවක ප්‍රචාරකයාට කියා දිය යුතුයි.
5 අත්නෑර නැවත නැවත යන්න: උනන්දුවක් පෙන්වන අයව ඉක්මනින්ම නැවත ගොස් බැලීමට ශිෂ්‍යයාව දිරිගන්වන්න. නිවෙස්වල පුද්ගලයන් හමුවීම සඳහා නැවත නැවත යෑමට සිදු විය හැකියි. ගෙවැසියා සමඟ කතා කර නැවත බැලීමට වේලාව යොදාගන්නේ කෙසේද කියාත් පොරොන්දු වූ ලෙස නැවත ගොස් බැලීමේ ඇති අවශ්‍යතාවත් ශිෂ්‍යයාට තේරුම් කර දෙන්න. (මතෙ. 5:37) බැටළු ගුණැති අයව සෙවීමේදීත් ඔවුන් තුළ උනන්දු වර්ධනය කිරීමේදීත් ඔවුන් කෙරෙහි කාරුණික වීමට සැලකිලිමත් වීමට හා ගෞරවනීය වීමට නව ප්රචාරකයාව පුහුණු කිරීමත් ඔබ සතු වගකීමක්.—තීත. 3:2.