මහත් ප්‍රයෝජන ගෙන දෙන පාසැලක්
1 වර්ෂ 2006 දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහනින් අපට ලැබෙන ප්‍රයෝජන අතිමහත්. අපේ දේවසේවයටත් එදිනෙදා ජීවිතයටත් බයිබල් ඉගැන්වීම් අදාළ වන අන්දම මෙම පාසැලෙන් අප ඉගෙනගන්නවා. ඒ නිසා ඉගෙනගන්නා දේවල් අදාළ කරගැනීමට අපි දැඩි උත්සාහයක් දරමු.—යොහ. 13:17; ෆිලි. 4:9.
2 අදහස් දැක්වීම: මේ වසරේ පාසැල් වැඩසටහනේ බයිබල් විශේෂාංග කොටසේදී සබයට සහභාගි විය හැකි කාලය විනාඩියකින් වැඩි කර තිබෙනවා. මේ අනුව, මෙම කොටස මෙහෙයවන සහෝදරයා විනාඩි හයකින් නොව විනාඩි පහක කාලයක් ඇතුළත තමාගේ කොටස අවසන් කළ යුතුයි. ඒ වගේම සබයේ සිට අදහස් දක්වන අයත් තමන් ඒ සඳහා ගන්නා කාලය ගැන සැලකිලිමත් විය යුතුයි. මේ නිසා, කියන දේ කලින් සූදානම් කරගෙන තත්පර 30ක් හෝ ඊට අඩු කාලයකින් ඔබේ අදහස ඉදිරිපත් කරන්න. මේ අනුව අඩු තරමින් සබයේ සිටින පුද්ගලයන් 10දෙනෙකුට අදහස් දැක්වීමට කාලය තිබිය යුතුයි.
3 අපට යමක් උගන්වන කතා: බයිබල් විශේෂාංග සහ උපදෙස් කතාව දෙන අය, තමන් ඉදිරිපත් කරන තොරතුරු දේවසේවයට සහ එදිනෙදා ජීවිතයේ විවිධ පැතිවලට අදාළ වන ආකාරය පෙන්වා දිය යුතුයි. සබයේ සිටින්නන්ව ක්‍රියාවට පොලඹවනවාට වඩා වැඩි දෙයක් කථිකයා කළ යුතුයි. එනම්, පෙලඹිය යුත්තේ කිනම් ක්‍රියාවටද, එය කරන්නේ කෙසේද සහ එවන් දෙයක් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කවරේද කියා පෙන්වා දිය යුතුයි. “මේ පදයෙන් අපට කියන්නේ මෙහෙම කරන්න කියලයි” හෝ “අප මේ පදය සේවයේදී අදාළ කළ යුත්තේ මෙහෙමයි” කියා සබයට පෙන්වා දිය හැකියි. වැඩිමහල්ලන් සහ සභා සේවකයන් තම සභාවන්හි තත්වයන් දන්නා බැවින් හැකි තරම් දුරට මෙම තොරතුරු සභාවට අදාළ කිරීමට උත්සාහ කළ යුතුයි.
4 අදාළ වන සැටි කියා දීමේදී බයිබල් උදාහරණ සඳහන් කිරීම ඉතා හොඳයි. බයිබලයේ සඳහන් උදාහරණයක් ගැන කතා කළායින් පසුව, “ඔබත් සමහරවිට මෙවැනි තත්වයක සිටිනවා වෙන්න පුළුවන්” කියා කථිකයාට පැවසිය හැකියි. බයිබලයේ සඳහන් උදාහරණය අදාළ කිරීමේදී, එය පදයට අදාළ පසුබිම සමඟත් මුළු බයිබලය සමඟත් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ප්‍රකාශ කර ඇති දේ සමඟත් එකඟ වන බවට සහතික විය යුතුයි.—මතෙ. 24:45.
5 ප්‍රඥාව තිබෙන පුද්ගලයෙක් දැනුම සහ අවබෝධය තමාගේ සහ අනුන්ගේ යහපතට යොදාගනී. එසේනම් අප ලබාගත යුතු ප්‍රධාන දේ ප්රඥාවයි. (හිතෝ. 4:7) දිව්‍යාණ්ඩු සේවා පාසැලේ අප කරන අධ්‍යයනයන් මගින් අපට ලැබෙන ප්‍රඥාව අනුන් සමඟත් බෙදාගැනීමට අදිටන් කරගනිමු.