දුරකථනයෙන් හෝ කෙටියෙන් කරන බයිබල් පාඩම් වැඩි දියුණු කරන්න
1. බයිබල් පාඩම් පැවැත්වීමේදී අපේ අරමුණ කුමක්ද?
1 බයිබල් පාඩමක් පටන්ගැනීම කොතරම් සතුටක්ද! එහෙත්, උනන්දුව දක්වන කෙනෙකුව සොයාගෙන බයිබල් පාඩමක් පටන්ගැනීම ආරම්භයක් පමණයි. මෙහි අරමුණ නම් ඒ තැනැත්තාට ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වීමට උපකාර කිරීමයි. (මතෙ. 28:19, 20) අප ඒ ඉලක්කය අත් කරගන්නේ කෙසේද?
2. දුරකථනයෙන් කෙරෙන හෝ කෙටියෙන් කෙරෙන බයිබල් පාඩම් යනු මොනවාද? ඒවා බලපෑමෙන් යුක්ත වන්නේ ඇයි?
2 කාර්ය බහුල ජනයා: අද දින ජනයා ගත කරන්නේ කාර්යය බහුල ජීවිතයක්. සමහරවිට මුළු පැයක් පුරා බයිබල් පාඩමක් කරන්න ඔවුන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ අයට උපකාර කිරීම සඳහා පුද්ගලයාගේ නිවසට ගොස් හෝ දුරකථනය මාර්ගයෙන් කෙටි බයිබල් පාඩම් පටන්ගැනීමට අපට දිරිගන්වා තිබෙනවා. සමහරවිට බයිබලයේ ඉගැන්වීම් පොත වැනි පොතකින් ඡේද දෙක තුනක සඳහන් බයිබල් පද කිහිපයක් සාකච්ඡා කිරීම මෙම පාඩමට ඇතුළත් විය හැකියි. බොහෝ ප්‍රචාරකයන් දුරකථනයෙන් හෝ කෙටියෙන් කරන පාඩම් පැවැත්වීම කොතරම් හොඳ දෙයක්ද!
3. කෙටියෙන් කරන බයිබල් පාඩමක කාලය ක්‍රම ක්‍රමයෙන් වැඩි කිරීමට අප උත්සාහ කළ යුත්තේ ඇයි?
3 නමුත් දිගටම කෙටි බයිබල් පාඩමක් කිරීම ප්‍රමාණවත්ද? නැහැ. පාඩමක් පටන්ගත් පසු අපි ඕනෑවට වඩා කාලයක් පාඩමක ගත කිරීම ඥානවන්ත දෙයක් නොවුණත්, 1990 ජූනි අපගේ රාජ්‍ය සේවාවේ 8වන පිටුවේ මෙසේ සඳහන් වුණා. “පාඩම ආරම්භ වී, ගෙවැසියාගේ උනන්දුව ගොඩනැඟීමෙන් පසුව, පාඩම සඳහා වඩා දීර්ඝ කාල වේලාවක් ගත කළ හැකියි.” මෙය ඉතා වැදගත්. අපි මෙය මෙසේ නිදර්ශනය කරමු. පොඩි දරුවෙකුට බත් කවද්දී කෑම සඳහා රුචියක් ඇති වන තුරු කවන්නේ ටිකෙන් ටිකයි. නමුත් මාස ගණනාවක් යන තුරු ඔහුට දිනකට බත් කටක් හෝ දෙකක් කැව්වොත් දරුවා වැඩෙයි කියා අපට කොහෙත්ම හිතන්නට බැහැ. ඒ හා සමානව, බයිබල් ශිෂ්‍යයෙක් මේරූ වී දේව සේවකයෙකු වීමට නම්, මීට වඩා විධිමත් ක්‍රමයකට බයිබල් පාඩමක් කිරීම අවශ්‍යයි.—හෙබ්‍රෙ. 5:13, 14.
4. හොඳ වාතාවරණයක් ඇති සුදුසු ස්ථානයක වැඩි කාලයක් මිඩංගු කරමින් පාඩම පැවැත්වීමේ ඇති ප්‍රයෝජන මොනවාද?
4 නිවසක් තුළ වැඩි වේලාවක් මිඩංගු කරමින් කරන බයිබල් පාඩම්: වඩාත් හොඳම දේ නම්, නිවසක හෝ වෙනත් සුදුසු ස්ථානයක බයිබල් පාඩමක් පැවැත්වීමයි. මෙවැනි තැනක ඉගෙනගන්න හොඳ වාතාවරණයක් තිබෙනවා වගේම දේවවචනයේ නියම අරුත වටහාගැනීමටත් එය ශිෂ්‍යයෙකුට උදව් කරනවා. (මතෙ. 13:23) ඒ වගේම ශිෂ්‍යයාට සරිලන ලෙසට පාඩම සකස් කරගැනීමටත් මේ මගින් හැකි වෙනවා. වැඩි වේලාවක් මිඩංගු කරමින් පාඩමක් කරද්දී දේවවචනය ඉතා පුළුල්ව ඇදහිල්ල ශක්තිමත් කරවන අන්දමින් පාඩම් කරන්නටත් පුළුවන්.—රෝම 10:17.
5. කෙටි පාඩමක සිට නිවසක් තුළ වැඩි වේලාවක් ගෙන කරන පාඩමකට හරවාගත හැක්කේ කොහොමද?
5 කෙටි බයිබල් පාඩමක් දිගු වේලාවකට කරන පාඩමක් දක්වා පෙරළන්නේ කෙසේද? යම් කාලයක් තිස්සේ කෙටි පාඩමක් කළායින් පසුව, වැඩි වේලාවක් මිඩංගු කරමින් පාඩමක් කිරීමට කැමතිද කියා අසන්න. නැත්නම් ඔබට මේ ආකාරයට අසන්නටත් පුළුවන්. “ඔබ කැමතිද වැඩි වේලාවක් මේ ගැන සාකච්ඡා කරන්න?” නැත්නම් “මේ කාරණය ගැන සාකච්ඡා කරන්න ඔබට කොච්චර වේලාවක් ගන්න පුළුවන්ද?” ඔහු හෝ ඇය වැඩි වේලාවක් සාකච්ඡා කරන්න අකමැති වුණොත්, කෙටියෙන් හෝ සාකච්ඡාව කරගෙන යන්න. සුදුසු අවස්ථාවක් නැවත උදාවුණාම, වැඩි වේලාවක් පාඩම කරන්න කැමතිද කියා අසන්න.
6. අපි දේවසේවය කළ යුත්තේ කිනම් අරමුණින්ද? මේ ලිපියේ සඳහන් යෝජනා ඒ අරමුණ ඉෂ්ට කරගැනීමට උපකාර වෙන්නේ කෙසේද?
6 අප සුදුස්සන්ව දිගටම සොයන අතරම අප එසේ කරන්නේ බයිබල් පාඩම් පටන්ගැනීමට බව කිසිදා අමතක නොකරමු. අපේ අරමුණ නම් යෙහෝවාට කැපවී බව්තීස්ම වී සේවය කිරීමට අවංක හදවත් ඇති අයට උපකාර කිරීමයි. මේ අරමුණ මනසේ තබාගෙන අප අපේ සේවය දිගටම කරගෙන යද්දී යෙහෝවා දෙවි අපට ආශීර්වාද කරනවා නිසැකයි.—2 තිමෝ. 4:5.