“දැනුම මිනුම”
1. අපෙන් හුඟදෙනෙක් මුහුණ දෙන අභියෝගය කුමක්ද?
1 ඔබ දේවවචනයට ඇලුම් කරන බව නම් නිසැකයි. නමුත් බයිබලයේ ඇති සිද්ධීන් පිළිබඳ විස්තර සහ බයිබලයේ පද මතක තබාගැනීම ඔබට අමාරු දෙයක් වී තිබෙනවාද? මූලික බයිබල් සිද්ධීන් සහ ඉගැන්වීම් ගැන ඔබේ දරුවන් හරි අවබෝධයක් ලබාගන්නවාට ඔබ කැමතිද? ඒ සඳහා සෑම මසකම පළ වන පිබිදෙව්! සඟරාවේ 31වන පිටුවේ ඇති “දැනුම මිනුම” නම් විශේෂ ලිපිය බාල මහලු කොයි කාටත් දේවවචනය සමඟ හොඳින් හුරුවීමට උපකාර කරයි.—ක්‍රියා 17:11.
2. “දැනුම මිනුම” නම් ලිපියේ ඇති විවිධ තොරතුරු භාවිත කරන්න පුළුවන් කොහොමද?
2 මෙම ලිපියෙන් ඔබට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? වර්ෂ 2006 ජනවාරි පිබිදෙව්! කලාපයේ මේ යෝජනා ඉදිරිපත් කර තිබුණා. “තිස්එක්වන පිටුවට මොහොතකට අවධානය දෙන්න. මෙහි යම් කොටස් යොවුන් පාඨකයන්ගේ සිත් ගනියි. අනෙක් ඒවා බයිබලය පිළිබඳ හොඳ දැනීමක් තිබෙන අයගේ මතකය උරගා බලයි. නිදසුනකට “ඉතිහාසයේ කවදාද?” යන කොටස, බයිබලයේ සඳහන් පුද්ගලයන් ජීවත් වූ කාලය ගැනත් සුවිශේෂී සිද්ධීන් ගැනත් කාල රේඛාවක් තනාගැනීමට හැකි වෙයි. ප්‍රශ්න බොහොමයකට පිළිතුරු මෙම සඟරාවේම වෙනත් පිටුවක යටිකුරු අතට මුද්‍රණය කර තිබෙනවා. ඒ වගේම “මෙම කලාපයෙන්” යන කොටසෙහි ප්‍රශ්න සඳහා සඟරාව සම්පූර්ණයෙන්ම කියවා පිළිතුරු සොයාගත හැකියි. ඔබ සඟරාවේ පිළිතුරු බලන්න පෙර යම් පර්යේෂණයන් කර ඒ ගැන වෙනත් අය සමඟ බෙදා නොගන්නේ මන්ද? ‘දැනුම මිනුම’ නම් මෙම නව අංගය පවුලේ හෝ වෙනත් අය සමඟ බයිබලය ගැන සාකච්ඡා පැවැත්වීමට යොදාගත හැකියි.”
3. මේ ලිපියෙන් සමහර පවුල් ප්‍රයෝජන ලබා ඇත්තේ කෙසේද? එමෙන්ම ඔබ වඩාත්ම කැමති කුමන කොටසටද?
3 හුඟක් පවුල් මෙම ලිපිය පවුලේ පාඩම සඳහා යොදාගන්නවා. එක මවක් මෙහෙම ලියනවා. “අපිට අවුරුදු තුනක් වයසැති පුංචි දුවක් ඉන්නවා. ඉතින් මමයි මගේ මහත්තයයි හිතුවා අපේ පවුලේ පාඩම දුවටත් රසවත් අද්දැකීමක් කරන්න. ඒ නිසා අපි ‘පින්තූර හඳුනාගන්න පුළුවන්ද?’ කියන කොටස පවුලේ පාඩමට ඇතුල් කළා. අපේ දුව එයාගේම පිබිදෙව්! සඟරාව අරගෙන එයාට ඕන පින්තූරය හොයාගන්න, පිටුවක් පිටුවක් ගානේ පෙරළන හැටි බලන් ඉන්නකොට අපි ලබන්නේ පුදුම සතුටක්!” බ්‍රසීලයේ ජීවත් වන එක් පියෙක් මෙහෙම කියනවා. “මගේ අවුරුදු හතක් වයසැති පුතා මොයිසෙස්, වගේම මමත් පිබිදෙව්! සඟරාවේ තියෙන මේ ලිපියට හරිම කැමතියි. අවධානය දෙන්නත්, බයිබල් පද හොයන්නත්, පින්තූරවල තේරුම දැනගන්න වගේම කාල වකවානු ගැන අවබෝධයක් ලබාගන්නත් ඒ ලිපිය පුතාට ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.” අවුරුදු අටක් වයසැති ඈෂ්ලි මෙහෙම ලියනවා. “පිබිදෙව්! සඟරාවේ තියෙන ‘දැනුම මිනුම’ නම් ලිපියට ගොඩක් ස්තුතියි! බයිබලය ගැන මම එයින් හුඟක් දේවල් ඉගෙනගන්නවා.”
4. පවුලේ පාඩම සඳහා එම ලිපිය යොදාගැනීමට හැක්කේ කෙසේද?
4 ඔබේ පවුලේ පාඩමේදී විටින් විට “දැනුම මිනුම” යන ලිපිය සාකච්ඡා කිරීමට කාලය වෙන් කර නොගන්නේ ඇයි? අමාරු ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට වෙනත් ප්‍රකාශනවලින් තොරතුරු සොයා බැලීමට ඔබට හැකියි. එසේ කිරීමෙන් වෙනත් ප්‍රකාශනවලින් තොරතුරු සොයන හැටි ඔබේ දරුවන්ටත් උගන්වන්න පුළුවන්. ඔබට යෞවන දරුවන් සිටිනවා නම් පවුලේ පාඩමට පෙර “මම කවුද?” නැත්නම් “ඉතිහාසයේ කවදාද?” යන කොටස්වලට තොරතුරු සොයාගැනීමට උනන්දු නොකරන්නේ ඇයි? එසේ කිරීමෙන් ඔවුන්ට පාඩම අතරතුර සොයාගත් කරුණු එකිනෙකා සමඟ බෙදාගන්න පුළුවන්. ළදරු වියේ පටන් “ශුද්ධ ලියවිල්ල” ගැන හොඳ අවබෝධයක් ඇතිව සිටීම සඳහා දරුවන්ට උපකාර කිරීමට, මේ ලිපිය දෙමාපියන්ට යොදාගත හැකි එක ක්‍රමයක් වෙනවා.—2 තිමෝ. 3:15; ද්වි. 6:7.