පවුලක් හැටියට දෙවිට නමස්කාර කරමු
1 බයිබල් කාලවලදී පවුලේ සාමාජිකයන් එකට එකතු වී බොහෝ දේවල් කළා. ගෙදර දොරේ වැඩකටයුතු ඔවුන් කළේ එකටයි. විශේෂයෙන්ම දෙවිට නමස්කාර කළේ පවුලක් හැටියටයි. (ලෙවී. 10:12-14; ද්වි. 31:12) අද හුඟාක් පවුල්වල යම් දේවල් එකට කරනවා දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ වුණත්, එසේ කිරීමේ තිබෙන වටිනාකම ක්‍රිස්තියානීන් වටහාගෙන සිටිනවා. විශේෂයෙන්ම නමස්කාරය හා බැඳි ක්‍රියාකාරකම් එක්වකිරීමේ වටිනාකම ඔවුන් දන්නවා. එසේ එකට එකතු වී තමන්ට නමස්කාර කරනවා දකින විට පවුල් කවය ආරම්භ කළ තැනැත්තා කොතරම් සතුටු වෙනවාද!
2 පවුලක් හැටියට සේවයේ හවුල් වන්න: පවුලේ අය එකතු වී ශුභාරංචිය දේශනා කරන විට පවුලේ බැඳීම ශක්තිමත් වෙනවා. මේ නිසා වැඩිමහල්ලන් අන් අය සමඟ සේවයේ හවුල් වනවාට අමතරව තම භාර්යාවන් හා දරුවන් සමඟත් නිතිපතා සේවයේ හවුල් වීම වැදගත්. (1 තිමෝ. 3:4, 5) සේවයේ වැඩ කොතරම් බහුල වුණත් සංචාරක අවේක්ෂකයන් පවා තම භාර්යාවන් සමඟ සේවයේ හවුල් වීමට කාලය වෙන් කරගන්නවා.
3 දරුවන්ව සේවයේ රැගෙන යන දෙමාපියන්ට බලපෑමෙන් යුක්තව දේශනා කිරීමට තම දරුවන්ට උපකාර කරන්න හැකි වී තිබෙනවා. දෙමාපියන් සේවයේ හවුල් වීමෙන් ලබන ප්‍රීතිය පමණක් නොවෙයි, යෙහෝවා සහ ජනයා කෙරෙහි ඔවුන් තුළ තිබෙන ප්‍රේමයත් දරුවන් දකිනවා. (ද්වි. 6:5-7) දරුවන් උස් මහත් වෙද්දීත් දෙමාපියන් ඔවුන් සමඟ සේවයේ හවුල් වීම වැදගත්. වයස අවුරුදු 15ත් 21ත් අතර පසු වූ පුතුන් තුන්දෙනෙක් සිටි යුවළක් නිතිපතා ඔවුන් සමඟ සේවයේ හවුල් වුණා. මේ ගැන පියා මෙසේ පවසනවා. “අපි සේවයේ යන හැම වෙලේම ඔවුන්ට යම් දේවල් උගන්වනවා. සේවයේ හවුල් වීමෙන් ප්‍රීතියක් වගේම දිරිගැන්වීමක්ද ලබන්න පුළුවන් කියලා ඔවුන්ට ඒත්තුගන්වන්න අපි උත්සාහ කරනවා.”
4 පවුලක් හැටියට සූදානම් වන්න: දේවසේවය සඳහා පවුලක් හැටියට සූදානම් වීමෙන් හොඳ ප්‍රතිඵල අත් කරගත හැකි බව බොහෝ පවුල් අද්දැක තිබෙනවා. දේශනා කරන සාක්ෂිකරුවා හා ගෙවැසියා හැටියට රඟ පාමින් සේවය කරන ආකාරය පුහුණු වෙන්න දරුවන් ආසයි. සමහර පවුල්වල අය පවුලේ පාඩම අවසානයේදී විනාඩි කිහිපයක් ඒ සඳහා වැය කරනවා.
5 අපි ආදරය කරන අය සමඟ එකතු වී වැදගත් මෙන්ම තෘප්තිය ගෙන දෙන කාර්යයන්වල නිරත වන විට මහත් ප්‍රීතියක් ලැබෙනවා. එසේනම් පවුලක් හැටියට ගෙයින් ගෙට සේවය හා නැවත බැලීම් කිරීමෙනුත් බයිබල් පාඩම් පැවැත්වීමෙනුත් ලැබෙන ප්‍රීතිය මොන තරම්ද කියා සිතා බලන්න. මෙසේ ඔබ පවුලේ අය සමඟ එකතු වී දෙවිට නමස්කාර කරන විට ඔබටත් මෙසේ ප්‍රීතියෙන් පැවසිය හැකියි. “මමත් මගේ පවුලේ අයත් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිටයි.”—යෝෂු. 24:15, NW.