බයිබල් පාඩම් පටන්ගැනීමට සූදානමින් සිටින්න
1. මතෙව් 28:19, 20ට අනුව යේසුස්ගේ අණ ඉටු කිරීමට අයත් වන්නේ කුමක්ද?
1 යේසුස් අපිට අණ කළේ ‘ගෝලයන් වෙන්න ඔවුන්ට උගන්වන්න’ කියායි. (මතෙ. 28:19, 20) එමනිසා බයිබල් පාඩම් සඳහා වෙන් කළ දවසේදී පමණක් නොව සෑම අවස්ථාවකම බයිබල් පාඩමක් පටන්ගන්න අපි උනන්දු විය යුතුයි. පහත දැක්වෙන යෝජනා ඒ සඳහා උපකාරවත් වෙයි.
2. බයිබල් පාඩමකට කැමතිද කියා ඇසිය හැක්කේ කාගෙන්ද?
2 කෙළින්ම අසන්න: බයිබල් පාඩම් පටන්ගැනීමේ අවස්ථා වැඩි වන්නේ අපි එසේ අසන තරමටමයි. (දේශ. 11:6) පාඩමකට කැමතිද කියා ඔබ කෙළින්ම අසා තිබෙනවාද? එක්සත් ජනපදයේ එක් සභාවක් තීරණය කළා මාසය පුරාම එසේ කරන්න. ඔවුන්ට පුළුවන් වුණා අලුත් බයිබල් පාඩම් 42ක් පටන්ගන්න! ඔබ බයිබල් පාඩමක් කරන්න කැමති බව උනන්දුව දක්වන කෙනා දන්නවා කියා හිතන්න එපා. ඒ නිසා ඊළඟ වතාවේ ගිය විට බයිබල් පාඩමක් කරන්න කැමතිද කියා කෙළින්ම අසන්න. ප්රතික්ෂේප කළාට කමක් නැහැ. ඊළඟ වතාවෙත් උත්සාහ කරන්න. ඔවුන් තුළ උනන්දුවක් ඇති කිරීමට දිගටම වෑයම් කරන්න. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියා ඔබේ අසල්වාසීන්, නෑදෑයන්, රැකියාවේ සහ පාසැලේ මිතුරන්ගෙන් ඔබ අසා තිබෙනවාද? පාඩමක් කරන්න කැමති මිතුරන් හෝ නෑදෑයන් ඉන්නවාද කියා ඔබේ බයිබල් ශිෂ්යයන්ගෙන්ද ඇසිය හැකියි.
3. පාඩම් පටන්ගැනීම සඳහා වටිනා ආධාරකය කුමක්ද? එය දෙන්න පුළුවන් කොයි අවස්ථාවලදීද?
3 වටිනා පත්රිකාවක්: ඔබත් මේ ප්රශ්න ගැන කල්පනා කර තිබෙනවාද’ යන පත්රිකාව බයිබල් පාඩම් පටන්ගැනීමට වටිනා ආධාරකයක්. නිවැසියන් පොත් පත් ලබාගත්තත් නැතත් එම පත්රිකාව දෙන්න ඔබට පුළුවන්. ව්යාපාරික ස්ථානවල හා වීථි සේවයේ යෙදෙද්දිත් ලිපි මාර්ගයෙන් සාක්ෂි දරද්දී හා නැවත බැලීම් කරද්දිත් එය දිය හැකියි. නිවැසියන් නැති අවස්ථාවලදී එම පත්රිකාව නිවසේ තබා එන්න. බස්රියේ හා දුම්රියේ ගමන් කරද්දී, සාප්පු යද්දී හා රැකියා ස්ථානයේදීත් එම පත්රිකාව දෙන්න පුළුවන්. එම පත්රිකාවේ අන්තිම පිටුවේ, බයිබල් පාඩම් සැලැස්ම ගැන කෙටි පැහැදිලි කිරීමක් කර බයිබලයේ ඉගැන්වීම් පොත හඳුන්වා දී තිබෙනවා.
4. පාඩමක් පටන්ගැනීමට එම පත්රිකාව යොදාගත හැක්කේ කෙසේද?
4 කෙනෙක් අතට පත්රිකාව දී එහි මුල් පිටුවේ ඇති ප්රශ්න පෙන්වා “ඔබ වැඩියෙන්ම කැමති මේ ප්රශ්නවලින් කොයි එක ගැන දැනගන්නද” කියා අසන්න. ඉන්පසු පත්රිකාවේ ඊට අදාළ කොටස සාකච්ඡා කර අන්තිම පිටුවේ තිබෙන බයිබල් පාඩම් සැලැස්ම ගැන තිබෙන කොටස පැහැදිලි කරන්න. සාකච්ඡා කළ ප්රශ්නයට අදාළ වැඩි විස්තර බයිබලයේ ඉගැන්වීම් පොතේ තිබෙන්නේ කොතැනද කියා පෙන්වා පොත ඉදිරිපත් කරන්න. ඉන්පසු නැවත පැමිණීමට සැලසුම් යොදන්න.
5. බයිබල් පාඩම් පටන්ගැනීමට නිතරම සූදානමින් සිටිය යුත්තේ ඇයි?
5 බයිබලයේ ඇති දේ නිවැරදිව දැනගන්න කැමති අය අපේ සභාවට අයත් ප්රදේශයේ තවමත් සිටිනවා. බයිබල් පාඩම් පටන්ගැනීමට අප නිතරම සූදානමින් සිටිනවා නම් ජීවනයට යන පාරට ඇතුල් වෙන්න බොහෝදෙනෙකුට උපකාර කිරීමේ ප්රීතිය අද්දකින්න පුළුවන්.—මතෙ. 7:13, 14.