පාඩම් පටන්ගැනීමට අපට අලුත් මෙවලමක්!
1 ශ්‍රී ලංකාවේ ස්ථාවර පුරෝගාමියෙකු ලෙස සේවය කරන යෞවනයෙක් බයිබලය පාඩම් කිරීමට කැමති අය සමඟ පාඩම් පැවැත්වීමේ වරප්‍රසාදය මහත් සන්තෝෂයෙන් භුක්ති විඳිමින් සිටී. බයිබල් පාඩම් පැවැත්වීම එතරම්ම වැදගත් යමක් ලෙස ඔහු දකින්නේ මන්ද? මන්දයත්, ඉතා මෑත කාලයක ඔහුද එම ශ්‍රේෂ්ඨ සැපයුමෙන් ප්‍රයෝජන ලබා තිබූ නිසයි. ඔහුගේ මිතුරෙක් ඔහුට බයිබලයක් දී තිබූ අතර, වැඩිකල් යෑමට මත්තෙන් අපගේ සහෝදරයෙක් මෙම යෞවනයන් දෙදෙනා සමඟ බයිබල් පාඩමක් පැවැත්වීය. මෙය ඔහුගේ ජීවිතයේ මහත් වෙනස්කම් කිරීමට තුඩු දුණි. ඔහු සටන් ක්‍රම පුහුණු වීම නතර කළේය. දැන් ඔහු කැප වූ බව්තීස්ම ලත් සේවකයෙකු ලෙස යෙහෝවාට සේවය කරයි. මෙම අද්දැකීම අපට උගන්වන්නේ කුමක්ද? නොමිලයේ සපයන බයිබල් පාඩමකට කවරෙකු කැමති වෙයිදැයි අප දන්නේ නැත.—දේශ. 11:6.
2 බයිබලය පාඩම් කිරීමට කැමති ඕනෑම කෙනෙකු සමඟ අප එසේ කිරීමට කැමැත්තෙන් සිටිනවායයි ජනයාට පැවසීමට ඔබ කවදා හෝ අදි මදි කර සිටියෙහිද? අප මෙම සේවය නොමිලයේ ඉදිරිපත් කරන බව ඔබේ ප්‍රජාවේ සිටින සෑම කෙනෙක්ම දන්නවාද? ඔවුන් එසේ දන්නා බවට සහතික වීමට අපට හැක්කේ කෙසේද? මෙම අලුත් මෙවලම භාවිතයට ගැනීමෙනි! එය නම්, පිටු හයකින් සමන්විත බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන ආකර්ෂණීය පත්‍රිකාව වේ. මේ පත්‍රිකාවේ උපමාතෘකාවෙන් උපමාතෘකාවට යමින් අපි එහි අඩංගු කාරණා සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගනිමු.
3 “බයිබලය කියවිය යුත්තේ ඇයි?” බයිබලය මේ සඳහා දෙන හේතු ඉතා සිත්ගන්නාසුලුයි. බයිබලය තුළ “දෙවිගේ ප්‍රේමනීය උපදෙස්” අඩංගු වන බව පැහැදිලි කරන එය, උපකාරය පතා යාච්ඤාවෙන් ඔහු වෙත ළඟා වන අන්දමත්, සදාකාල ජීවනය නමැති ඔහුගේ ත්‍යාගය ලබාගන්නා අන්දමත් පෙන්වා දෙයි. (1 තෙස. 2:13) ‘ඥානාලෝකය සපයන [විවිධ බයිබල්] සත්‍යතාවලට’ මෙම පත්‍රිකාව යොමු දක්වයි. අප මිය ගිය පසු සිදු වන්නේ කුමක්ද සහ පොළොව මත මේ තරම් ගැටලු කරදර තිබෙන්නේ මන්ද යන්න එවැනි සත්යයන්ය. “බයිබලයේ ඇති දිව්‍ය ප්‍රතිපත්ති” ගැන එය විස්තර කරන අතර එම ප්‍රතිපත්ති අදාළ කරගන්නා විට කායික ප්‍රයෝජන අත් කරගැනීමටද සන්තෝෂය, බලාපොරොත්තුව සහ වෙනත් ප්‍රියමනාප ගුණාංග වගා කිරීමටද හැකි වෙයි. මෙම පත්‍රිකාව බයිබලය කියවිය යුතු තවත් එක් හේතුවකට යොමු දක්වයි. එනම් අප ඉදිරියේ නොපමාව සිදුවීමට තිබෙන්නේ කුමක්ද කියා පෙන්වන අනාවැකියි.—එළිදරව් 21:3, 4.
4 “බයිබලය තේරුම්ගැනීමට උදව්”: මෙම පත්‍රිකාවේ මෙසේ සඳහන් වෙයි. “දෙවිගේ වචනය තේරුම්ගැනීමට අප සියලුදෙනාටම උදව් අවශ්‍යය.” අනතුරුව බයිබලය පාඩම් කිරීමේ අපේ ක්‍රමය එහි මෙසේ විස්තර කරයි. “බයිබලය අධ්‍යයනය කිරීමේදී සාමාන්‍යයෙන් හොඳම ක්‍රමය වන්නේ ක්‍රමානුකූලව නැතහොත් මූලික ඉගැන්වීම්වලින් ආරම්භ කර අධ්‍යයනය කිරීමයි.” “අධිකාරය වන්නේ බයිබලයයි” යනුවෙන් පැහැදිලිව සඳහන් කරන අතරේදී, ඕනෑ කරන්නේ විවරණිකාව ශිෂ්‍යයා හට “විවිධ විෂයන් පිළිබඳව බයිබල් යොමු දැක්වීම් සොයාගැනීමට” උදව් වන්නේයයි විශේෂයෙන් සඳහන් කරයි. ඊළඟ උපමාතෘකාව පොලඹවනසුලු ප්‍රශ්නයක් මතු කරයි.
5 “බයිබලය තේරුම්ගැනීමට සෑම සතියකම යම් වේලාවක් මිඩංගු කරන්න ඔබ කැමතිද?” මෙම බයිබල් පාඩම ශිෂ්‍යයාට කැමති වේලාවක කැමති තැනක සැලසුම් කළ හැකි බවත් එය ඔහුගේම නිවසේදී හෝ දුරකථනය ඔස්සේ පවා කළ හැකි බවත් පත්‍රිකාව පැහැදිලි කරයි. මෙම සාකච්ඡාවට හවුල් විය හැක්කේ කාටද? පත්‍රිකාව මෙසේ පිළිතුරු දෙයි. “ඔබේ මුළු පවුලටම! ඔබේ මිතුරෙකුට හෝ හිතවතෙකුට ආරාධනා කරන්ට කැමති නම් ඔබට එසේද කළ හැකිය. ඔබට විතරක්ම නම්, එහිද ගැටලුවක් නැත.” කෙනෙක් කොතරම් කාලයක් පාඩම් කළ යුතුද? එය මෙසේ පැහැදිලි කරයි. “බොහෝදෙනෙක් බයිබලය අධ්‍යයනය කිරීමට සෑම සතියකම පැයක් වෙන් කරති. සමහරවිට පැයකට වැඩියෙන් හෝ අඩුවෙන්ද කාලය වෙන් කරගැනීමට ඔබට හැකිය. මෙසේ ඔබට ඇති කාලය අනුව උපකාර කිරීමට සාක්ෂිකරුවෝ ඔවුන්ගේ කාලය ඔබ වෙනුවෙන් වෙන් කරති.” වැදගත්ම දෙය එයයි! එක් එක් ශිෂ්‍යයාගේ තත්වයන්ට අනුව සකස් වීමට අපි කැමැත්තෙන් සිටිමු.
6 “ඉගෙනීමට ආරාධනා!” පත්‍රිකාව යමෙකුගේ අතට පත් වූ විට, එහි ඇති කූපනය පුරවා ඕනෑ කරන්නේ විවරණිකාව ඉල්ලා සිටීමට ඔහුට හැකියි. නැතහොත් නොමිලයේ බයිබල් පාඩමක් පැවැත්වෙන ආකාරය පැහැදිලි කිරීමට යමෙකුව තමාගේ නිවසට එවන මෙන් ඉල්ලා සිටිය හැකියි. ඕනෑ කරන්නේ විවරණිකාවේ කවරයේ වර්ණවත් පිංතූරයක් එහි දක්වා ඇත. අවංක හදවත් ඇති බොහෝදෙනෙකුට අපගේ උපකාර පිළිගැනීමට මෙම පත්‍රිකාව දිරිගන්වන හේතුව දැන් ඔබට පෙනෙන්නේ නැද්ද? දැන් මෙම අලුත් මෙවලමින් උපරිම ප්‍රයෝජන නෙළාගැනීමට අපට හැක්කේ කෙසේද?
7 ඔබට මෙම පත්‍රිකාව ඉදිරිපත් කළ හැක්කේ කාටද? මෙම පත්‍රිකාව ජනයාගේ අතටම දිය හැකියි. නැත්නම් කිසිවෙකු නොසිටින නිවෙස්වල තබා ආ හැකියි. එය ගෙයින් ගෙටද, වීදිවලද, ව්‍යාපාරික ප්රදේශවලද බෙදා දිය හැකියි. අපගේ පොත් පත් ලබාගත්තත්, ඒවා ප්‍රතික්ෂේප කළත් ජනයාට මෙම පත්‍රිකාව බෙදා දෙන්න. බෙදාහරිනු ලබන සඟරා සහ ප්‍රකාශන ඇතුළට එය දමන්න. ඔබ ලිපි ලියන විට ඔබේ ලියුම් අතරට එහි පිටපතක් දමන්න. ඔබ දුරකථනයෙන් කතා කළ අයට එය තැපෑලෙන් යවන්න. ඔබ කඩ සාප්පු යන විට, බස් රියේ හෝ දුම්රියේ ගමන් කරන විට, අවිධිමත් ලෙස සාක්ෂි දරන විට එය භාවිතා කරන්න. ඔබගේ නිවසට පැමිණෙන ඕනෑම අයෙකුට එය දෙන්න. ඔබගේ නෑදෑයන්ට, අසල්වාසීන්ට, රැකියා ස්ථානයේ එකට සේවය කරන අයට, පාසැලේ ළමුන්ට සහ වෙනත් දන්නා කියන අයට එය ඉදිරිපත් කරන්න. ඔබට හමු වන සෑම කෙනෙකුගේම අතට මෙය පත් කිරීමට හැකි සෑම ප්රයත්නයක්ම දරන්න! ඊළඟට කුමක් කරමුද?
8 ක්ෂණිකව ප්‍රතිචාරය ලැබේ නම්: තමන් බයිබල් පාඩමක් ලබාගන්නට කැමතියි කියා පවසමින් ඇතැම් පුද්ගලයන් සැණෙකින් ප්‍රතිචාරය දක්වන්නට පුළුවන. එමනිසා, ඕනෑම වේලාවක ක්ෂේත්‍ර සේවයේ යෙදෙන විට, ඔබ ළඟ ඕනෑ කරන්නේ විවරණිකාවේ පිටපත් දෙකක් [එකක් ශිෂ්‍යයාට අනෙක ඔබට] සෑම විටම තිබෙන බවට සහතික වන්න. පුද්ගලයා කැමැත්තක් දක්වයි නම්, එවෙලේම බයිබල් පාඩමක් ආරම්භ කරන්න. එහි කවරයේ ඇතුල් පැත්ත විවෘත කර, “මෙම විවරණිකාව පාවිච්චි කළ යුතු අන්දම” යන කොටස කියවන්න. අනතුරුව කෙළින්ම 1වැනි පාඩමට ගොස් පාඩම කරන අන්දම නිරූපණය කර පෙන්වන්න. මේ ක්‍රමය ඉතා පහසු ක්‍රමයක් නොවේද?
9 පාඩමක් කිරීම ගැන සිතා බැලීමට සවන්දෙන්නාට කාලය අවශ්‍ය නම්: වැඩි කලක් ගතවීමට මත්තෙන්, ඔහුව යළිත් හමුවීමට හැකි සෑම වෑයමක්ම දරන්න. ඔබ එසේ යන විට, ඔබ ගාව ඕනෑ කරන්නේ විවරණිකාව තිබිය යුතුයි. ඇතුල් කවරයේ පටුන ඔහුට පෙන්වන්න. ඔහු වඩාත් කැමති විෂය තෝරාගැනීමට ඔහුටම ඉඩහරින්න. ඉන්පසු එම පිටුවට හරවන්න. අනතුරුව ඔහු තෝරාගත් පාඩම සාකච්ඡා කිරීමට පටන්ගන්න.
10 සඟරා ලබාගත් අයව ගොස් හමුවීම: ඔබ සඟරා කිහිපයක් සමඟ පත්‍රිකාවක් දී ඇත්නම්, මෙවැනි එළඹීමක් යොදාගැනීමට ඔබට හැකියි. “මම එදා ඔයාව හමු වූ වෙලාවේ, මුරටැඹ සඟරාවේ පිටපතක් ඔයාට දීලා ගියා. ඒ සඟරාවේ තේමාව ඔයා සමහරවිට දකින්න ඇති. ඒ, යෙහෝවාගේ රාජ්‍යය ප්‍රකාශ කරයි යන්නයි. අද මම කැමතියි මේ රාජ්‍යය කියන්නේ මොකද්ද කියාත් ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ඉන් අදහස් කරන්නේ මොකක්ද කියාත් පැහැදිලි කර දෙන්න.” ඊළඟට, ඕනෑ කරන්නේ විවරණිකාවේ 6වැනි පාඩමට පෙරළන්න. පළමු ඡේදයෙන් පටන්ගෙන, ගෙවැසියාට කාලය තිබෙන පරිදි හැකි තරම් ඡේද කියවා සාකච්ඡා කරන්න. ඉන්පසු පාඩමේ ඉතුරු කොටස සාකච්ඡා කිරීමට තවත් දවසක් සැලසුම් කරගන්න.
11 පත්‍රිකා නැතුව ඉන්න එපා! සේවා අවේක්ෂක සහ පොත් පත් තොග හසුරුවන සහෝදරයා තම සභාවේ සෑම විටකම බයිබලය දැනගන්න පත්‍රිකාවේ ඇති තරම් පිටපත් තොගයක් තිබෙන බවට සහතික විය යුතුයි. ඔබගේ සාක්කුවේ, මුදල් පසුම්බියේ, ඔබගේ වාහනයේ, ඔබගේ රැකියා ස්ථානයේ, පාසැලේ, ඔබගේ නිවසට ඇතුල් වන තැන වැනි පහසුවෙන් ගත හැකි ඕනෑම තැනක පත්‍රිකා කිහිපයක් තබාගන්න. එමෙන්ම, ඔබගේ දේශනා බෑගයේද පත්‍රිකා කිහිපයක් තබාගන්න. එවිට බයිබලය ගැන කතා බහ කිරීමට කැමති කෙනෙකුව ඔබට මුණගැසුණොත් ඔහුටද ඉන් පිටපතක් දීමට ඔබට හැකි වනවා ඇත.
12 යෙහෝවා ඔබගේ ප්රයත්නයට ආශීර්වාද කරත්වා! ක්‍රිස්තියානීන් සියල්ලන්ටම තබාගත හැකි ඉතා හොඳ ඉලක්කයක් නම්, තවත් කෙනෙකුට සත්‍යය ඉගැන්වීමයි. (මතෙ. 28:19, 20) ඔබ දැනටමත් නිවාස බයිබල් පාඩමක් පවත්වමින් සිටිනවාද? ඔබ එසේ කරනවා නම්, ඔබගේ කාර්ය බහුල වැඩසටහනේ තවත් පාඩමක් පටන්ගැනීමට කාලය වෙන් කළ හැකිද? දැනට ඔබ පාඩමක් කරන්නේ නැත්නම්, ඔබට පාඩමක් පටන්ගැනීමට වුවමනා බවට කිසි සැකයක් නැත. ඔබ සමඟ බයිබල් පාඩමක් කළ හැකි කෙනෙකුව සොයාගැනීමට ඔබ දරන වෑයමට ආශීර්වාද කරන්නැයි ඉල්ලා යෙහෝවාට යාච්ඤා කරන්න. ඉන්පසු ඔබගේ යාච්ඤාවලට එකඟව වැඩ කරන්න.—1 යොහ. 5:14, 15.
13 බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා දැන් අපට අලුත් මෙවලමක් තිබේ! එයට හොඳින් හුරුපුරුදු වන්න. එය නොමසුරුව බෙදා දෙන්න. “යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගිවන්ත [වෙන්ටත්]” ඔබ දේවවචනයෙන් ඉගෙනගෙන ඇති දේ “බෙදා දීමට ලැදිව සිටින්ටත්” උපරිම වෑයමක් දරන්න.—1 තිමෝ. 6:18.
[Box on page 4]
පත්‍රිකාව බෙදා දීමට හැකි අවස්ථා
◼ එදිනෙදා කතා බහේදී
◼ යමෙක් අපගේ පොත් පත් ලබාගන්නා විට
◼ කිසිවෙකු නිවසේ නොසිටින විට
◼ අප නැවත බැලීම් කරන විට
◼ වීදි සාක්ෂි දරන විට අපට හමු වන කෙනෙකුට
◼ ව්‍යාපාරික ප්‍රදේශයක සාක්ෂි දරන විට
◼ අවිධිමත් සාක්ෂි දරන විට
◼ ලිපි ලියන විට
◼ බස් රියෙන් හෝ දුම්රියෙන් ගමන් කරන විට
◼ යමෙක් අපගේ නිවසට පැමිණි විට
◼ නෑදෑයන්, අසල්වාසීන්, රැකියා ස්ථානයේ වැඩ කරන අය, පාසැලේ ළමුන් සහ වෙනත් දන්නා කියන අය සමඟ කතා කරන විට