‘සේවය කිරීමට විශාල ප්‍රස්තාවක්’
1. සේවය කිරීම සඳහා ප්‍රචාරකයන්ට ලැබිලා තියෙන විශාල ප්‍රස්තාව මොකක්ද?
1 පාවුල්ට ‘සේවය කිරීම සඳහා විශාල ප්‍රස්තාවක් විවෘත’ වූ විට ගොඩක් අය ඒකට විරුද්ධ වුණත් එයා ඒ ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගත්තා. (1 කොරි. 16:9) අද ලෝකේ පුරාම හුඟක් ප්‍රචාරකයන් ස්ථාවර පුරෝගාමීන් ලෙස සේවය කිරීමෙන් තමන්ට ලැබිලා තියෙන විශාල ප්‍රස්තාව ප්‍රයෝජනයට ගන්නවා.
2. සේවය වැඩි කරන්න පුළුවන්ද කියලා කලින් කලට කල්පනා කර බලන එක සුදුසු ඇයි?
2 අපේ තත්වයන් වෙනස් වෙනවා: සමහර විට වැඩියෙන් සේවය කරන්න දැන් අපිට අමාරු වෙන්න පුළුවන්. හැබැයි අපේ තත්වයන් වෙනස් වෙනවා. ඒ නිසා සේවය කරන්න අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්න එපා. ඒ වෙනුවට සේවය වැඩි කරන්න පුළුවන්ද කියලා කලින් කලට කල්පනා කරලා බලන්න. (දේශ. 11:4) ඔබ යෞවනයෙක් නම් ඔබේ පාසැල් යන කාලය අවසන් වෙන්න ළඟයිද? ඔබ පුංචි දරුවන් ඉන්න මවක් හෝ පියෙක් නම් ඔවුන් ළඟදී පාසැල් යන්න පටන්ගනීවිද? එහෙමත් නැත්නම් ඔබ ළඟදී විශ්‍රාම යන්න ඉන්නවාද? ඒ වගේ ජීවිතයේ වෙනස් වීම් වෙද්දී ස්ථාවර පුරෝගාමී සේවය කරන්න කාලය හොයාගන්න ඔයාලට අවස්ථාව ලැබෙන්න පුළුවන්. කලින් සෞඛ්‍ය ගැටලු තිබුණ වයස අවුරුදු 89ක සහෝදරියක් පුරෝගාමී සේවය පටන්ගන්න තීරණය කළා. ඇය ඒ වගේ තීරණයක් ගත්තේ අවුරුද්දක් පුරා රෝහල්ගත නොවූ නිසයි.
3. ස්ථාවර පුරෝගාමී සේවය කරන්න සමහර අය මොන වගේ වෙනස්කම් කරලා තියෙනවාද?
3 පාවුල් මුලින්ම හිතාගෙන හිටියේ කොරින්ති සභාවේ ඉන්න සහෝදරයන්ව බලන්න යන්නයි. ඒ වුණත් ශුභාරංචිය දේශනා කිරීම වෙනුවෙන් එයාගේ සැලසුම් එයා වෙනස් කළා. අද ඉන්න ගොඩක් අය ස්ථාවර පුරෝගාමීන් වෙන්න, ජීවිතේ හුඟක් වෙනස්කම් කරලා තියෙනවා. සමහර අය එයාලගේ ජීවිතය සරල කරගැනීමෙන් වියදම් අඩු කරගෙන තියෙනවා. ඒ නිසා අර්ධ කාලීන රැකියාවක් පමණක් කරමින් පුරෝගාමී සේවය කරලා ඒකෙන් ලොකු ප්‍රීතියක් ලබන්න එයාලට පුළුවන් වෙලා තියෙනවා. (1 තිමෝ. 6:6-8) ස්වාමිපුරුෂයයි බිරිඳයි දෙන්නම රැකියා කරන සමහර පවුල් ජීවිතය සරල කරගත්ත නිසා ස්වාමිපුරුෂයා විතරක් රැකියාව කරන අතරතුර බිරිඳට පුරෝගාමී සේවය කරන්න පුළුවන් වෙලා තියෙනවා.
4. පැය 70ක් කරන්න බැරි වෙයි කියලා හිතුණොත් කරන්න පුළුවන් මොකක්ද?
4 ස්ථාවර පුරෝගාමියෙක් හැටියට පැය 70ක් කරන්න බැරි වෙයි කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. ඒ සඳහා දවසට අවශ්‍ය වෙන්නේ පැය 2යි විනාඩි කිහිපයක් විතරයි. මුලින්ම මාසයක් දෙකක් සහයක පුරෝගාමී සේවය කරලා බලන්න. එහෙම කරද්දී පැය 70ක් වාර්තා කරන්න උත්සාහ කරන්න. පුරෝගාමී සේවයේ රස බලන්න ඒකෙන් පුළුවන් වෙයි. (ගීතා. 34:8) ඒ වගේම දැනට පුරෝගාමී සේවය කරන අයත් එක්ක කතා කිරීමෙන් ඔයාලා මුහුණ දෙන අභියෝග හා සමාන අභියෝගවලට එයාලත් මුහුණ දීලා ජය ගත්ත හැටි දැනගන්න පුළුවන් වෙයි. (හිතෝ. 15:22) වැඩියෙන් සේවය කරන්න ඔයාලා දරන උත්සාහයට යෙහෝවා දෙවිගෙන් ආශීර්වාද ඉල්ලන්න අමතක කරන්න එපා.—1 යොහ. 5:14.