සාමකාමීව කටයුතු කරන්න
1. අපිත් එක්ක තරහෙන් ඉන්න කෙනෙක්ව හම්බුණාම අදාළ කරගන්න ඕන බයිබල් ප්‍රතිපත්තිය මොකක්ද?
1 අපි සාමයට ප්‍රිය සෙනඟක්. අපේ පණිවිඩයත් සාමය පතුරවන එකක්. (යෙසා. 52:7) ඒත් අපි නිතරම ගෙවල්වලට යන නිසා සමහරු ඉන්නේ අපිත් එක්ක තරහෙන්. ඒ වගේ අයත් එක්ක සාමකාමීව කටයුතු කරන්නේ කොහොමද?—රෝම 12:18.
2. මිනිසුන්ව තේරුම්ගන්න එක වැදගත් ඇයි?
2 තේරුම්ගන්න: කෙනෙක් අපේ පණිවිඩය නිසා අපිත් එක්ක තරහෙන් හිටියත් එයාට තරහ යන්න වෙන හේතු තියෙන්න පුළුවන්. උදාහරණෙකට අපි යද්දි එයා ගොඩක් කාර්යබහුල ඇති. නැත්නම් පෞද්ගලික ප්‍රශ්නයක් ඇති. ඒත් හුඟක් වෙලාවට එයා තරහෙන් ඉන්නේ අපි ගැන තියෙන වැරදි වැටහීමක් නිසා කියන එක මතක තියාගන්න. (2 කොරි. 4:4) එයාගෙ තත්වය තේරුම්ගැනීම, සන්සුන්ව ඉන්නත් අපිත් එක්ක එයාට පෞද්ගලික තරහක් නැහැ කියලා තේරුම්ගන්නත් අපිට උදව්වක්.—හිතෝ. 19:11.
3. නිවැසියාට ගෞරවය පෙන්වන්න පුළුවන් කොහොමද?
3 ගරු කරන්න: අපිට හමුවෙන හුඟක් අයට තියෙන්නේ ගැඹුරට මුල් බැසගත් විශ්වාසයන්. (2 කොරි. 10:4) අපි කියන දේ අහන්නැතුව ඉන්න කෙනෙක්ට අයිතියක් තියෙනවා. එයාගෙ විශ්වාසයන් පහත් කරන්නවත් අපි එයාට වඩා දන්නවා කියලා පෙන්වන්නවත් අපිට උවමනාවක් නැහැ. අපිට යන්න කියලා කිව්වොත් ඔහුගේ අදහසට ගරු කර එතනින් පිට වෙලා යන්න.
4. කාරුණිකව කතා කිරීමට ඇතුළත් වෙන්නේ මොනවද?
4 කාරුණිකව කතා කරන්න: කෙනෙක් අපිට නරක විදිහට බැන්නත් අපි එයාට කාරුණිකව කතා කරන්න ඕනේ. (කොලො. 4:6; 1 පේතෘ. 2:23) ඒ වෙලාවට වාදයකට පැටලෙන දෙයක් ගැන කතා කරනවා වෙනුවට දෙන්නම එකඟ වෙන දෙයක් ගැන කතා කරන්න. සමහරවිට එයාගෙ විරුද්ධත්වයට හේතුව කාරුණිකව අහන්නත් පුළුවන්. ඒත් සමහර අවස්ථාවලදී හොඳම දේ එයාව තවත් කේන්ති ගස්සන්නැතුව එතනින් අහක්ව යන එකයි.—හිතෝ. 9:7; 17:14.
5. සේවයේදී සාමකාමී වීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද?
5 නිවැසියා එක්ක සාමකාමීව කටයුතු කිරීමෙන් එයාට අපි ගැන පැහැදීමක් ඇති වෙලා ඊළඟ වතාවේ සාක්ෂිකරුවෙක්ට ඇහුම්කන් දෙන්නත් ඉඩ තියෙනවා. (රෝම 12:20, 21) පස්සෙ කාලෙක එයා අපේ සහෝදරයෙක් වෙන්නත් පුළුවන්. (ගලා. 1:13, 14) නිවැසියාගේ ප්‍රතිචාරය මොකක් වුණත් අපි අපිවම පාලනය කරගෙන සාමකාමීව කටයුතු කරමු. ඒකෙන් යෙහෝවා දෙවිට ගෞරවයක් ලැබෙනවා වගේම අපේ ඉගැන්වීම්වල වටිනාකමත් පෙන්වන්න පුළුවන්.—2 කොරි. 6:3.