බයිබල් පාඩම්වලට මඟ පාදන සඟරා මාර්ග
1. සඟරා මාර්ග පටන්ගන්න කියලා සංවිධානයෙන් අපිට හුඟ කාලයක ඉඳලා උනන්දු කරලා තියෙන්නේ ඇයි?
1 බොහෝ අය අපි එක්ක බයිබල් පාඩමක් කරන්න අකමැති වුණත් අපේ සඟරා කියවන්න කැමතියි. ඒ නිසා හුඟ කාලයක ඉඳලා සංවිධානය මගින් සඟරා මාර්ග පටන්ගන්න කියලා අපිට උනන්දු කරලා තියෙනවා. නිතිපතා අපේ සඟරා කියවද්දී මිනිසුන් තුළ දෙවිගේ වචනයට ආශාවක් ඇති වෙනවා. (1 පේතෘ. 2:2) කියවන දෙයක් ඔවුන්ගේ හිතට කවදා හරි කාවැදුණොත් බයිබල් පාඩමක් කරන්න ඔවුන් කැමති වෙයි.
2. සඟරා ලබාගන්න අයගේ උනන්දුව වැඩි කරන්න මොනවාද කරන්න පුළුවන්?
2 සත්‍යයේ බීජවලට “වතුර” වත් කරන්න: සඟරාව දීපු ගමන්ම යන්නේ නැතුව නිවැසියා එක්ක ටිකක් කතා කරලා මිත්‍රත්වයක් ගොඩනඟාගන්න. එහෙම කරනවා නම් එයා මුහුණ දෙන තත්වයන්, එයා කැමති දේවල්, එයාගේ විශ්වාසයන් ගැන දැනගන්න පුළුවන්. එතකොට එයාව වටහාගෙන ඒ අනුව කතා කරන්න ඔබට පුළුවන් වෙනවා. (හිතෝ. 16:23) යන හැම අවස්ථාවකම සූදානම් වෙලා යන්න. ගෙනියන සඟරාවක තියෙන කරුණක් කෙටියෙන් සඳහන් කරලා ඊට අදාළ බයිබල් පදයක් පෙන්වන්න. ඒක හරියට හදවතේ පැළ කරලා තියෙන බීජයකට වතුර වත් කරනවා වගෙයි. (1 කොරි. 3:6) යන හැම අවස්ථාවකම දිනය, දුන්න සඟරාව, කතා කළ කරුණ හා බයිබල් පදය සටහන් කරගන්න.
3. සඟරා ලබා දෙන අයව බලන්න යන්න ඕන කොච්චර කාලෙකට සැරයක්ද?
3 කොච්චර කාලෙකට සැරයක්ද? අලුත් සඟරා දෙන්න මාසෙකට වතාවක් යන්න ඕනේ. ඒත් කෙනෙක් උනන්දුවක් දක්වනවා නම් ඔබටත් හැකියාවක් තියෙනවා නම් කීප වතාවක්ම යන්න පුළුවන්. උදාහරණයකට සඟරාවක් දීලා සතියකින් හෝ දෙකකින් ගිහින් “මං ඔයාට දීපු සඟරාවේ තියෙන පුංචි දෙයක් පෙන්නන්නයි ආවේ” කියලා කියන්න පුළුවන්. එහෙම පෙන්නුවාම ඒ ලිපිය කියවන්න ඒ තැනැත්තාට ආශාවක් ඇති වෙයි. එයා ඒ ලිපිය කියවලා තියෙනවා නම් ඒ ගැන එයාට හිතෙන්නේ මොනවාද කියලා අහලා කෙටියෙන් සාකච්ඡා කරන්න. එයා අපේ පොත් පත් කියවන්න කැමති කෙනෙක් නම් ඒ මාසයේ බෙදා දෙන පත්‍රිකාව, මාසික නොවන සඟරාව හෝ පොත ගෙනිහින් දෙන්න.
4. සඟරා ලබාගන්න අය බයිබල් පාඩමකට කැමතිද කියලා දැනගන්න අපිට විටින් විට කරන්න පුළුවන් මොනවාද?
4 නිවැසියා බයිබල් පාඩමක් කරන්න කැමතියි කියන තුරු බලා නොසිට බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා නිවැසියාගෙන් අහන්න. කලින් පාඩමක් කරන්න අකමැත්ත පළ කරලා තිබුණත් ‘මුරටැඹ’ සඟරාවේ “පැනයට පිළිතුර බයිබලයෙන්” යන ලිපිය පෙන්නලා ඒක සාකච්ඡා කරන්න කැමතිද කියලා විටින් විට බලන්න. සමහරවිට දොර ළඟ ඉඳලම බයිබල් පාඩමක් පටන්ගන්න ඔබට පුළුවන්. එහෙම කරන්න බැරි වුණොත් දිගටම සඟරා දීලා උනන්දුව වර්ධනය කරන්න.