ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 මාර්තු 20-25 පි.
  • දිගටම විශ්වාසෙන් ගමන් කරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිගටම විශ්වාසෙන් ගමන් කරමු
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • රස්සාවක් තෝරගද්දී
  • බඳින්න කෙනෙක් හොයද්දී
  • සංවිධානයෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
  • ඔයාව වට්ටන සිතුවිලි පරද්දන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 මාර්තු 20-25 පි.

පාඩම් ලිපිය 12

ගීතිකාව 119 සැබෑ විශ්වාසයක් ඇතුව සිටිමු

දිගටම විශ්වාසෙන් ගමන් කරමු

“ඇත්තටම අපි ගමන් කරන්නේ දකින දේවල් දිහා බලාගෙන නෙමෙයි විශ්වාසයෙන්.”—2 කොරි. 5:7.

ලිපියේ අරමුණ

ජීවිතේ වැදගත් තීරණ ගන්න වෙද්දී දෙවියන්ගේ මඟ පෙන්වීම් ගැන විශ්වාසේ තියන්න පුළුවන් කොහොමද?

1. තමන් ගත කරපු ජීවිතේ ගැන පාවුල්ට සතුටු වෙන්න පුළුවන් වුණේ ඇයි?

පාවුල් දැනන් හිටියා එයාට ජීවත් වෙන්න තව වැඩි දවසක් නැහැ කියලා. හැබැයි එයා ගත කරපු ජීවිතේ දිහා ආපස්ස හැරිලා බලද්දී එයාට ලොකු සතුටක් දැනුණා. ඒකයි එයා මෙහෙම කිව්වේ. “මගේ ධාවන තරඟය මං අවසන් කළා. මගේ විශ්වාසය මං නැති කරගත්තේ නැහැ.” (2 තිමෝ. 4:6-8) යෙහෝවාට සේවේ කරන්න තිබ්බ ආසාව නිසා පාවුල් ගොඩක් හොඳ තීරණ ගත්තා. ඒ ගැන යෙහෝවා සතුටු වෙනවා කියලා පාවුල් දැනන් හිටියා. අපිටත් ඕනෙ හොඳ තීරණ අරන් යෙහෝවාව සතුටු කරන්න. ඒත් ඒක කරන්න පුළුවන් කොහොමද?

2. විශ්වාසෙන් ගමන් කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

2 පාවුල් තමන් ගැනත් අනිත් විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් ගැනත් මෙහෙම කිව්වා. “අපි ගමන් කරන්නේ දකින දේවල් දිහා බලාගෙන නෙමෙයි විශ්වාසයෙන්.” (2 කොරි. 5:7) මොකක්ද පාවුල් ඒ කියන්න හැදුවේ? බයිබලේ “ගමන් කරනවා” කියද්දී සමහර තැන්වල ඒකෙන් අදහස් වෙන්නේ කෙනෙක් තමන්ගේ ජීවිතේ ගත කරන විදිහයි. කෙනෙක් තමන් දකින දේවල් දිහා බලාගෙන ගමන් කරද්දී එයා තීරණ ගන්නේ එයාට පේන, ඇහෙන, දැනෙන දේවල් මතයි. හැබැයි විශ්වාසෙන් ගමන් කරන කෙනෙක් තීරණ ගන්නේ යෙහෝවා දෙවියන් ගැන විශ්වාසේ තියලයි. එයා වැඩ කරන විදිහෙන් පේනවා බයිබලේ තියෙන දේවල් පිළිපැද්දොත් එයාට දැනුත් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වගේම අනාගතේදී මීට වඩා ආශීර්වාද ලැබෙයි කියලා එයාට විශ්වාසයි කියලා.—ගීතා. 119:66; හෙබ්‍රෙ. 11:6.

3. විශ්වාසෙන් ගමන් කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද? (2 කොරින්ති 4:18)

3 ඇත්ත, සමහර වෙලාවට අපි අපිට පේන, දැනෙන, ඇහෙන දේවල් මත තීරණ ගන්නවා. හැබැයි වැදගත් තීරණ ගද්දී අපි ඒ දේවල් දිහා විතරක් බැලුවොත් අපිට වරදින්න පුළුවන්. ඒ ඇයි? මොකද අපිට පේන, ඇහෙන දේවල් අපිවම රවට්ටන්න පුළුවන්. ඒක එහෙම නොවුණත් කල් යද්දී යෙහෝවා අකමැති දෙයක් වුණත් අපේ අතින් වෙන්න පුළුවන්. (දේශ. 11:9; මතෙ. 24:37-39) අපි විශ්වාසෙන් ගමන් කරද්දී අපි ගන්න තීරණවලින් “ස්වාමීන් සතුටු වෙනවා.” (එෆී. 5:10) දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිපදිද්දී අපිටත් හිතේ ලොකු සමාදානයක් වගේම ඇත්තම සතුටක් අද්දකින්නත් පුළුවන්. (ගීතා. 16:8, 9; යෙසා. 48:17, 18) ඒ වගේම අපි දිගටම විශ්වාසෙන් ගමන් කරනවා නම් සදාකාල ජීවිතයත් අපිට ලැබෙනවා.—2 කොරින්ති 4:18 කියවන්න.

4. තීරණයක් ගද්දී ගමන් කරන්නේ විශ්වාසෙන්ද නැද්ද කියලා තමන්ටම තේරුම්ගන්න පුළුවන් කොහොමද?

4 අපි හැමෝම මෙහෙම අහගන්න ඕනේ. ‘මං තීරණ ගන්නේ මොනවා මත විශ්වාසේ තියලාද? මට පේන දේවල් මත විශ්වාසේ තියලාද, යෙහෝවාගේ මඟ පෙන්වීම් මත විශ්වාසේ තියලාද?’ අපි විශ්වාසෙන් ගමන් කරනවා කියලා පෙන්නන්න පුළුවන් පැති තුනක් ගැන මේ ලිපියෙන් බලනවා. (1) රස්සාවක් තෝරගද්දී. (2) බඳින්න කෙනෙක් හොයද්දී. (3) සංවිධානයෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී. මේ දේවල් තුන ගැන සාකච්ඡා කරද්දී හොඳ තීරණ ගන්න නම් අපි හිතන්න ඕනෙ පැති ගැන අපි බලමු.

රස්සාවක් තෝරගද්දී

5. රස්සාවක් තෝරගද්දී අපි හිතන්න ඕනෙ මොන පැති ගැනද?

5 අපිට ඕනෙ දේවල් ගන්න, පවුලේ අයව බලාගන්න අපි හැමෝම කැමතියි. (දේශ. 7:12; 1 තිමෝ. 5:8) සමහර රස්සාවල හොඳට ගෙවනවා. ඒ හම්බ වෙන ගාණෙන් එදිනෙදා වියදම් බලා කියා ගන්න, අනාගතේට ගාණක් ඉතුරු කරන්න පුළුවන්. හැබැයි තවත් රස්සා තියෙනවා ලැබෙන ගාණෙන් පවුලේ අත්‍යවශ්‍ය දේවල් විතරයි පිරිමහගන්න පුළුවන්. ඇත්ත, රස්සාවක් තෝරගද්දී අතට ලැබෙන ගාණ ගැන හිතන එක සාධාරණයි. හැබැයි හම්බ වෙන ගාණ ගැන විතරක් හිතලා අපි රස්සාවක් තෝරගන්නවා නම් අපි වැඩ කරන්නේ දකින දේවල් දිහා විතරක් බලාගෙන ගමන් කරන කෙනෙක් වගේ.

6. රස්සාවක් තෝරගද්දී අපි විශ්වාසෙන් ගමන් කරනවා කියලා පේන්නේ කොහොමද? (හෙබ්‍රෙව් 13:5)

6 අපි විශ්වාසෙන් ගමන් කරන අය නම් රස්සාවක් තෝරගද්දී අපි හිතනවා යෙහෝවාගෙයි, මගෙයි තියෙන බැඳීමට ඒක කොහොමද බලපාන්නේ කියලා. ඒ නිසා අපි අපෙන්ම මෙහෙම අහගමු. ‘ජොබ් එක නිසා යෙහෝවා අකමැති දෙයක් කරන්න මට සිද්ධ වෙයිද?’ (හිතෝ. 6:16-19) ‘මේ ජොබ් එකට ගියොත් නමස්කාරේ දේවල්වලට බාධාවක් වෙයිද? පවුලේ අය එක්ක කාලේ ගත කරන්න බැරි වෙයිද?’ (ෆිලි. 1:10) ඒ ප්‍රශ්නවලින් එකකට හරි උත්තරේ “ඔව්” නම් වෙන ජොබ් එකක් හොයාගන්න අමාරු වුණත් ඒ වගේ ජොබ් එකකට නොයා ඉන්න එක තමයි හොඳ. අපි විශ්වාසෙන් ගමන් කරන අය නම් ගන්න තීරණවලින් අපි පෙන්නනවා යෙහෝවාට අපිව බලාගන්න පුළුවන් කියන දේ ගැන අපිට විශ්වාසයි කියලා.—මතෙ. 6:33; හෙබ්‍රෙව් 13:5 කියවන්න.

7-8. සහෝදර හාව්යේ විශ්වාසෙන් ගමන් කළේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

7 විශ්වාසෙන් ගමන් කරන එක කොච්චර වැදගත්ද කියලා දකුණු ඇමරිකාවේ සහෝදර හාව්යේa අද්දැක්කා. එයා මෙහෙම කියනවා. “මං ජොබ් එක කරපු තැනම ඉහළ තනතුරකට ඇප්ලයි කළා. ඒ තනතුරට කලින්ට වඩා දෙගුණයක් පඩි ලැබෙනවා. අනිත් එක ඒ ජොබ් එකට මං ගොඩක් ආසයි.” හැබැයි පුරෝගාමි කරන්නත් හාව්යේගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. එයා මෙහෙම කියනවා. “මං දාපු ඇප්ලිකේෂන් එකට මට කතා කළා. ඉන්ටවිව් එකට යන්න කලින් මං යෙහෝවාට යාච්ඤා කරලා උදව් ඉල්ලුවා. මොකද මට හොඳම දේ දන්නේ ඔහුයි. රස්සාව පැත්තෙන් ඉහළට යන්න මට ආසාවක් තිබුණත් ඒකෙන් යෙහෝවාට වැඩිපුර සේවේ කරන මගේ ඉලක්කෙට බාධා වෙනවා නම් මට ඒ ජොබ් එක ඕනෙ නෑ.”

8 හාව්යේ මෙහෙමත් කියනවා. “ඉන්ටවිව් එකේදී බොස් කිව්වා මට හැමදාම වගේ වැඩිපුර වැඩ කරන්න වෙයි කියලා. මං එයාට කාරුණිකව කිව්වා මට නමස්කාරේ දේවල් කරන්න ඕනෙ නිසා ඒක නම් කරන්න බැරි වෙයි කියලා.” ඉතින් හාව්යේ ඒ තනතුර භාරගත්තේ නැහැ. ඊට සති දෙකකට පස්සේ එයා පුරෝගාමි කරන්න පටන්ගත්තා. මාස කීපයකට පස්සේ එයාට අර්ධකාලීන රැකියාවක් හම්බ වුණා. එයා මෙහෙම කියනවා. “යෙහෝවා මගේ යාච්ඤා අහලා පුරෝගාමි කරන්න පුළුවන් වෙන විදිහේ ජොබ් එකක් හොයාගන්න මට උදව් කළා. යෙහෝවායි, සහෝදරයනුයි වෙනුවෙන් තව වැඩිපුර සේවේ කරන්න පුළුවන් විදිහේ ජොබ් එකක් හම්බ වුණ එක ගැන මට හරි සතුටුයි.”

වැඩ කරන ඇඳුම් පිටින්, සේෆ්ටි හෙල්මට් එකකුත් අතේ තියාගෙන ඉන්න සහෝදරයෙක්ට එයාගේ බොස් හිස් ඔෆිස් එකක් පෙන්නනවා. බොස් එයාට උසස් වීමක් දෙන්නම් කියලා කියනවා.

ඔයාට උසස් වීමක් හම්බ වුණොත් ඔයා ගන්න තීරණේ මොකක්ද? ඔයාට හොඳම දේ දන්නේ යෙහෝවායි කියන දේ ගැන ඔයාට විශ්වාසයි කියලා ඒකෙන් පෙනෙයිද? (7-8 ඡේද බලන්න)


9. ට්‍රේසෝගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

9 ඔයා දැන් කරකර ඉන්න රස්සාව විශ්වාසෙන් ගමන් කරන්න බාධාවක් නම්? කොංගෝවල ඉන්න ට්‍රේසෝගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “මේ වගේ ජොබ් එකක් ලැබෙන්නේ ජීවිතේටම එක පාරයි. කලින් ජොබ් එකෙන් ලැබුණ පඩිය වගේ තුන් ගුණයක් මං මේකෙන් හෙව්වා. ඒ වගේම මට මාර පිළිගැනීමක් තිබුණේ.” ඒ වුණත් ට්‍රේසෝට වැඩ නිසා නිතරම වගේ රැස්වීම් යන්න බැරි වුණා. බොරු කියන්න, වංචා කරන්නත් එයාට ලොකු පීඩනයක් ආවා. ට්‍රේසෝට රස්සාව අත්හරින්න හිතුණත් ආයේ රස්සාවක් හොයාගන්න පුළුවන් වෙයිද කියන එක ගැන එයා ගොඩක් වධ වුණා. එයා මෙහෙම කියනවා. “හබක්කුක් 3:17-19 මට උදව් වුණා මගේ ආදායම නැති වුණත් යෙහෝවා මාව කොහොමහරි බලාගනියි කියලා විශ්වාස කරන්න. ඉතිං මං රස්සාවෙන් අස් වුණා. රස්සා දෙන හුඟක් අය හිතන්නේ ඒගොල්ලෝ හොඳට ගෙව්වොත් වැඩ කරන අය ඕනෙ දෙයක් කැප කරයි කියලා. පවුලේ අයව, නමස්කාරේ දේවල් වුණත් අත්හරියි කියලා. ඒත් ඒකට අහු වෙන්නේ නැතුව යෙහෝවාත් එක්කයි, පවුලේ අයත් එක්කයි තියෙන මගේ බැඳීම රැකගන්න පුළුවන් වුණ එක ගැන මං සතුටු වෙනවා. අවුරුද්දකට පස්සේ නමස්කාරේ දේවලට තව වැඩිපුර වෙලාවක් දෙන්න පුළුවන් විදිහේ පොඩි ජොබ් එකක් හොයාගන්න යෙහෝවා මට උදව් කළා. අපි යෙහෝවාව මුල් තැනට දාලා වැඩ කරද්දී සල්ලි ප්‍රශ්න ආවත් යෙහෝවා අපිව බලාගන්නවා.” අපි යෙහෝවාගේ මඟ පෙන්වීම්, පොරොන්දු ගැන විශ්වාසේ තියනවා නම් අපිට දිගටම විශ්වාසෙන් ගමන් කරන්න පුළුවන්. ඒ ගමනට යෙහෝවාත් ආශීර්වාද කරයි.

බඳින්න කෙනෙක් හොයද්දී

10. බඳින්න කෙනෙක්ව හොයද්දී පරෙස්සම් වෙන්න ඕනෙ මොකක් ගැනද?

10 විවාහය කියන්නේ යෙහෝවාගෙන් ලැබුණ තෑග්ගක්. බඳින්න කැමැත්තක් තියෙන එක සාමාන්‍යයි. බඳින්න කෙනෙක්ව හොයද්දී සහෝදරියක් සහෝදරයෙක්ගේ ගතිගුණ, පෙනුම, එයාට තියෙන නම, එයා සල්ලි පාවිච්චි කරන විදිහ, එයාට තියෙන පවුල් වගකීම්, එයා මාව සතුටින් තියයිද වගේ දේවල් ගැන බලනවා.b ඒවා බලන එක වැදගත් තමයි. හැබැයි ඒ දේවල් දිහා විතරක්ම බලලා තීරණ ගන්න එකෙන් පරෙස්සම් වෙන්න ඕනේ. මොකද එහෙම කරනවා නම් එයා ගමන් කරන්නේ දකින දේවල් දිහා බලාගෙන.

11. බඳින්න කෙනෙක්ව හොයද්දී විශ්වාසෙන් ගමන් කරන්න පුළුවන් කොහොමද? (1 කොරින්ති 7:39)

11 බඳින්න කෙනෙක්ව හොයද්දී යෙහෝවා දීලා තියෙන උපදෙස් පිළිපදින අපේ සහෝදර සහෝදරියන් ගැන යෙහෝවා කොච්චර සතුටු වෙනවා ඇද්ද! උදාහරණෙකට එයාලා කෙනෙක් එක්ක යාළු වෙන්න කලින් “යෞවන වයස පහු කරලා” ඉන්න ඕනෙ කියලා යෙහෝවා දීලා තියෙන මඟ පෙන්වීමට කීකරු වෙනවා. (1 කොරි. 7:36) ඒ වගේම හොඳ සැමියෙක්ගේ, බිරිඳකගේ තියෙන්න ඕනෙ කියලා යෙහෝවා කියන ගුණාංග තමයි එයාලා කෙනෙක්ව හොයද්දී බලන්නේ. (හිතෝ. 31:10-13, 26-28; එෆී. 5:33; 1 තිමෝ. 5:8) යෙහෝවාට සේවේ කරන්නේ නැති කෙනෙක් එයාලට කැමැත්තක් පෙන්නුවොත් එයාලා ඒ කෙනාත් එක්ක යාළු වෙන්නේ නැහැ. මොකද 1 කොරින්ති 7:39 “ස්වාමීන්ගේ අනුගාමිකයෙක් එක්ක විතරක්” විවාහ වෙන්න කියන මඟ පෙන්වීමට එයාලා කීකරු වෙනවා. (කියවන්න.) එයාලා දිගටම විශ්වාසෙන් ගමන් කරනවා. මොකද එයාලා දන්නවා කොයි කාටත් වැඩියෙන් යෙහෝවාට එයාලාගේ හැඟීම් තේරෙනවා කියලා.—ගීතා. 55:22.

12. රෝසාගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

12 කොලොම්බියාවේ පුරෝගාමි සේවේ කරන සහෝදරි රෝසාගේ අද්දැකීම බලන්න. එයා රස්සාව කරපු තැන පිරිමි කෙනෙක් එක්ක එයාට කිට්ටුවෙන් වැඩ කරන්න වුණා. ඒ කෙනාට රෝසා ගැන කැමැත්තක් ඇති වුණා. රෝසාගේ හිතත් එයාට ඇදිලා ගියා. රෝසා මෙහෙම කියනවා. “පෙනුණ විදිහට එයා හරිම හොඳ කෙනෙක්. එයාගේ පැත්තේ හිටපු අයටත් එයා ගොඩක් උදව් කළා. එයා අරක්කු, සිගරට් වගේ දේවල්වලට ඇබ්බැහි වුණ කෙනෙකුත් නෙවෙයි. එයා මට සලකපු විදිහටත් මං හරි ආසයි. සැමියෙක්ගෙන් මං බලාපොරොත්තු වෙන ගුණාංග හැම එකක්ම එයා ගාව තිබුණා. එකම දේ එයා සාක්ෂිකරුවෙක් නොවුණ එක විතරයි.” රෝසා මෙහෙමත් කියනවා. “එයාට කැමති නෑ කියලා කියන එක මට ලේසි වුණේ නෑ. මොකද ඒ කාලේ මට ලොකු තනිකමක් දැනුණා. මට බඳින්න ආසාවකුත් තිබුණා. හැබැයි සත්‍යයෙන් බඳින්න හොඳ කෙනෙක් මට හම්බ වුණේ නෑ.” ඒ මොනවාවුණත් රෝසා එයාට පේන දේවල් දිහා විතරක් බලලා තීරණ ගන්න ගියේ නැහැ. ඒ කෙනා එක්ක බැඳීමක් පටන්ගත්තොත් යෙහෝවාත් එක්ක තියෙන බැඳීමට මොනවා වෙයිද කියලා එයා හිතුවා. ඒ නිසා ඒ පිරිමි කෙනා එක්ක තිබුණ හැම ගනු දෙනුවක්ම එයා නැවැත්තුවා. ඊටපස්සේ එයා තව වැඩිපුර සේවේ හවුල් වුණා. ටික කාලෙකට පස්සේ රෝසා ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට ගියා. දැන් එයා විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවේ කරනවා. රෝසා කියනවා “යෙහෝවා මගේ හදවත සතුටින් පිරෙව්වා” කියලා. අපේ හදවතට ගොඩක් කිට්ටු දෙයක් ගැන තීරණයක් ගන්න වෙද්දී යෙහෝවා කැමති දේ කරන එක ලේසි නැහැ. හැබැයි එහෙම කළොත් ආශීර්වාදවලිනුත් අඩුවක් නැහැ.

සංවිධානයෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී

13. සංවිධානයෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී අපිට කොහොම දැනෙන්න පුළුවන්ද?

13 අපිට වැඩිමහල්ලන්ගෙන්, චාරිකා සේවකයන්ගෙන්, ශාඛා කාර්යාලයෙන්, පාලක මණ්ඩලයෙන් යෙහෝවාට සේවේ කරන්න ඕන විදිහ ගැන නිතරම වගේ මඟ පෙන්වීම් ලැබෙනවා. හැබැයි සමහර වෙලාවට ඒ දීපු මඟ පෙන්වීමක් ඇයි දුන්නේ කියලා අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වෙද්දී ‘මේ මඟ පෙන්වීමද හරිම මඟ පෙන්වීම’ කියලා අපේ හිතේ සැක ඇති වෙයි. ඒ වගේම ඒ මඟ පෙන්වීම දීපු සහෝදරයන්ගේ අඩුපාඩු දිහා අපි වැඩිපුර බලන්නත් පටන්ගනියි.

14. සංවිධානයෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී විශ්වාසෙන් ගමන් කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (හෙබ්‍රෙව් 13:17)

14 අපි විශ්වාසෙන් ගමන් කරනවා නම් සංවිධානයට මඟ පෙන්නන්නේ යෙහෝවායි කියලත් ඔහු අපේ තත්වයන් දන්නවා කියලත් අපිට විශ්වාසයි. ඒ නිසයි අපි ඒ මඟ පෙන්වීම් කැමැත්තෙන්ම පිළි අරන් ඉක්මනින්ම ඒවාට කීකරු වෙන්නේ. (හෙබ්‍රෙව් 13:17 කියවන්න.) අපි දන්නවා ඒ මඟ පෙන්වීම්වලට අපි කීකරු වෙද්දී ඒකෙන් සභාවේ එක්සත්කමත් රැකෙනවා කියලා. (එෆී. 4:2, 3) ඒ වගේම අපිට විශ්වාසයි ඒ මඟ පෙන්වීම් දෙන සහෝදරයන්ගේ අඩුපාඩු තිබුණත් අපි ඒවාට කීකරු වෙද්දී යෙහෝවා අපිට ආශීර්වාද කරනවා කියලා. (1 සාමු. 15:22) දීපු මඟ පෙන්වීමක වෙනස්කමක් කරන්න ඕනෙ නම් ඒක යෙහෝවා හරි වෙලාවේදී අනිවාර්යයෙන්ම කරයි කියලා අපිට විශ්වාසයි.—මීකා 7:7.

15-16. සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම් ගැන සැකයන් තිබුණත් දිගටම විශ්වාසෙන් ගමන් කරන්න සහෝදරයෙක්ට උදව් වුණේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

15 විශ්වාසෙන් ගමන් කරද්දී ලැබෙන ප්‍රයෝජන ගැන පෙන්නන අද්දැකීමක් දැන් අපි බලමු. පේරූවල සාමාන්‍යයෙන් ස්පාඤ්ඤ භාෂාව කතා කළත් සේවේදී හම්බ වෙන හුඟදෙනෙක් කතා කරන්නේ ඒ ඒ පැතිවල භාෂා. කෙචුවා කියන්නේ ඒ වගේ භාෂාවක්. අවුරුදු ගාණක් තිස්සේ කෙචුවා භාෂාව කතා කරන සහෝදරයන් සේවේ යද්දී ඒ භාෂාව කතා කරන අයව හෙව්වා. ඒත් ආණ්ඩුවෙන් දාපු නීතියක් නිසා මිනිස්සුන්ව හොයන්න පාවිච්චි කරපු ඒ ක්‍රමයේ වෙනසක් කරන්න සංවිධාන තීරණේ කළා. (රෝම 13:1) සමහරු හිතුවා ඒ තීරණේ නිසා කලින් වගේ හරියට එයාලාගේ සේවේ කරගන්න බැරි වෙයිද කියලා. හැබැයි සහෝදරයන් ලැබුණ මඟ පෙන්වීමට කීකරු වුණ නිසා කෙචුවා භාෂාව කතා කරන අයව හොයාගන්න එයාලා ගත්ත වෙහෙසට යෙහෝවා ආශීර්වාද කළා.

16 කෙවින් කියන්නේ කෙචුවා භාෂාව කතා කරන සභාවක ඉන්න වැඩිමහල්ලෙක්. එයාත් මේ අලුත් වෙනස්කම ගැන වධ වුණා. එයා මෙහෙම කියනවා. “මං හිතුවා දැන් කොහොමද කෙචුවා කතා කරන අයව හොයාගන්නේ” කියලා. ඉතින් එයා මොකද කළේ? එයා මෙහෙම කියනවා. “මං හිතෝපදේශ 3:5 ගැන හිතුවා. ඒ වගේම මෝසෙස් ගැනත් හිතුවා. යෙහෝවා මෝසෙස්ට කිව්වා ඊජිප්තුවරුන්ගෙන් ඊශ්‍රායෙල් සෙනඟව බේරගන්න එයාලව රතු මුහුද ගාවට ගෙනියන්න කියලා. හැබැයි එතනට ගියාම එයාලා කොටු වෙලා වගේ පේන්න තිබුණේ. බැලූ බැල්මට යෙහෝවා මෝසෙස්ට දුන්න මඟ පෙන්වීම හරිම මෝඩ එකක් වගේ. ඒත් මෝසෙස් යෙහෝවාට කීකරු වුණා. ඒ නිසා ආශ්චර්යයක් කරලා යෙහෝවා එයාලව බේරගත්තා.” (නික්. 14:1, 2, 9-11, 21, 22) ඉතින් කෙවින් මේ අලුත් වෙනස්කමට කැමැත්තෙන්ම හැඩගැහුණා. මොනවාද වුණේ? එයා මෙහෙම කියනවා. “යෙහෝවා අපිට ආශීර්වාද කරන විදිහ ගැන මට නම් හරි පුදුමයි. කලින් අපි කෙචුවා භාෂාව කතා කරන අයව හොයන්න ගව් ගණන් ඇවිද්දා. හැබැයි හම්බ වුණේ එක් කෙනායි, දෙන්නායි. ඒත් දැන් අපි ඒ භාෂාව කතා කරන වැඩිදෙනෙක් ඉන්න පැතිවලට තමයි සේවේ යන්නේ. ඒ නිසා එයාලා එක්ක වැඩිපුර කතාබහ කරන්න, නැවත බැලීම් කරන්න, බයිබල් පාඩම් පටන්ගන්න අපිට පුළුවන් වුණා. අපේ රැස්වීම්වලටත් දැන් සෑහෙන්න කට්ටිය එනවා.” අපි විශ්වාසෙන් ගමන් කරනවා නම් යෙහෝවා අපිට හැම තිස්සේම ආශීර්වාද කරනවා.

කෙචුවා භාෂාව කතා කරන කෙනෙක් සේවේ හවුල් වෙන යුවළක් එක්ක කතා කරනවා. එයා තව කෙනෙක්ගේ ගෙදරක් එයාලට පෙන්නනවා.

සේවේදී හම්බ වුණ හුඟදෙනෙක් කෙචුවා භාෂාව කතා කරන අය ඉන්නේ කොහෙද කියලා සහෝදරයන්ට කිව්වා (15-16 ඡේද බලන්න)


17. ඔයා මේ ලිපියෙන් ඉගෙනගත්තේ මොනවාද?

17 විශ්වාසෙන් ගමන් කරන්න ඕන පැති තුනක් ගැන අපි මේ ලිපියෙන් බැලුවා. ඒත් ඒ පැති තුනෙන් විතරක් නෙවෙයි අපේ ජීවිතේ හැම දේකදීම අපි දිගටම විශ්වාසෙන් ගමන් කරන්න ඕනේ. උදාහරණෙකට විනෝදයට දෙයක් තෝරගද්දී, අධ්‍යාපනය ගැනත් දරුවන් ඇතිදැඩි කරන විදිහ ගැනත් තීරණ ගද්දී අපි විශ්වාසෙන් ගමන් කරන්න ඕනේ. අපිට මොන තීරණේ ගන්න සිද්ධ වුණත් අපි ඒවා ගන්න ඕනෙ අපිට පේන දේවල් දිහා බලලා නෙවෙයි. ඒ වෙනුවට යෙහෝවාත් එක්ක තියෙන බැඳීම, ඔහුගේ මඟ පෙන්වීම් සහ අපිව බලාගන්නවා කියලා ඔහු දීලා තියෙන පොරොන්දුව ගැන විශ්වාසේ තියලයි. අපි එහෙම කරනවා නම් අපිටත් පුළුවන් ‘සදාකාලයෙන් සදාකාලයටම අපේ දෙවි යෙහෝවාගේ නමින් ගමන් කරන්න.’—මීකා 4:5, පාදසටහන.

මේ පැතිවලදී විශ්වාසෙන් ගමන් කරන්න අපිට පුළුවන් කොහොමද?

  • රස්සාවක් තෝරගද්දී

  • බඳින්න කෙනෙක්ව හොයද්දී

  • සංවිධානයෙන් මඟ පෙන්වීමක් ලැබෙද්දී

ගීතිකාව 156 විශ්වාසය, අනාගතය දකියි!

a සමහර නම් වෙනස් කරලා තියෙනවා.

b මේ ඡේදේ කතා කරන්නේ විවාහ වෙන්න කෙනෙක්ව හොයන සහෝදරියක් ගැන වුණත් ඒකේ තියෙන මඟ පෙන්වීම් සහෝදරයන්ටත් අදාළයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න