පසුගිය වසරෙන්
වේගයෙන් ඉදිරියට යන සංවිධානයක්
2013 ජූලි 5වෙනි සිකුරාදා ඇමරිකාවේ බෙතෙල් පවුලට පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ඇන්තනි මොරිස් මෙම සතුටුදායක නිවේදනය ඉදිරිපත් කළා. “බෘක්ලින්වල අංක 117, ඇඩම්ස් වීදියේත් අංක 90, සෑන්ඩ්ස් වීදියේත් තියෙන ගොඩනැඟිලි 6ක් විකුණන්න 2013 ජූලි 4වෙනිදා එකඟතාවකට ආවා. ඒ නිසා මේ අවුරුද්දේ අගෝස්තු මැද ඇඩම්ස් වීදියේ තියෙන ගොඩනැඟිලි පහෙන් අපි ඉවත් වෙන්න ඕනේ.”
තවදුරටත් ඔහු කිව්වේ එහි එක් ගොඩනැඟිල්ලක 6වෙනි සහ 7වෙනි මහල්වල තියෙන රෙදි සෝදන අංශය පමණක් 2014 මැදභාගය දක්වා පවත්වාගෙන යන බවයි. “අංක 90, සෑන්ඩ්ස් වීදියේ තියෙන ගොඩනැඟිල්ලෙන් බොහෝදුරට 2017දී අපිට ඉවත් වෙන්න වෙයි” කියාත් සහෝදර මොරිස් කිව්වා.
එම ගොඩනැඟිලි හය විකිණුවේ නිව් යෝර්ක් නගරයේ පිහිටි ලෝක මූලස්ථානය වෝර්වික්වලට ගෙන යෑමේ අරමුණින්. නමුත් අක්කර 253කින් යුත් එම ඉඩමේ, භූමිය සකස් කිරීම ඇතුළු මූලික වැඩකටයුතු සඳහා අනුමැතිය ලබාගන්න තුරු එහි වැඩ ආරම්භ කරන්න හැකියාවක් තිබුණේ නැහැ.
ජූලි 18වෙනිදා සහෝදර මාක් සැන්ඩසන් බෙතෙල් පවුලට තවත් ප්‍රීතිමත් නිවේදනයක් කරමින් මෙහෙම කිව්වා. “වෝර්වික්වල මූලික වැඩකටයුතු ආරම්භ කරන්න ජූලි 17වෙනිදා අනුමැතිය ලැබුණු බව අපි ඉතා සතුටින් දැනුම් දෙන්න කැමතියි. අපි වෝර්වික් ඉඩම අරගෙන ඊයෙට හරියටම අවුරුදු 4යි. දැන් අපිට ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා අනුමැතිය ලබාගන්න අවශ්‍ය වැඩකටයුතු සැලසුම් කරන්න පුළුවන්. පසුගිය දිනවල සිදු වුණ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ අපිට දෙවිගේ ආශීර්වාදය තියෙනවා කියලයි.” ඒ වෙනුවෙන් යාච්ඤා කළ, වෙහෙස මහන්සි නොබලා වැඩ කළ හැම කෙනෙක්ටම ස්තුති කළ සහෝදර සැන්ඩසන් තවදුරටත් කිව්වේ “ලෝක මූලස්ථානය වෝර්වික්වලට ගෙනයන්න ගත් තීරණයට ආශීර්වාද කිරීම ගැන හැම දෙයකටම වඩා අපි යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙන්න ඕනේ” කියලයි.
වෝර්වික් ව්‍යාපෘතියට උදව්වක් ලෙස තනා තිබෙන ටක්සීඩෝ ගොඩනැඟිල්ලේ, ජූලි 26වෙනිදා ස්වේච්ඡා සේවකයන් සහ බෙතෙල් සේවකයන් 1,000ක් පමණ රැස් වෙලා හිටියා. සහෝදර මොරිස් ඔවුන්ව මුණගැසී බයිබලයෙන් දිරිගන්වනසුලු අදහස් කිහිපයක් බෙදාගත් පසු මෙහෙම කිව්වා. “දැන් ටිකකට කලින් මට හම්බ වුණු විශේෂ ආරංචියක් මම ඔයාලත් එක්ක බෙදාගන්න කැමතියි. මගේ ළඟ තියෙන මේ ෆෝම් එකේ උඩින්ම ලියලා තියෙන්නේ ‘ගොඩනැඟිලි බලපත්‍රය’ කියලයි.” ඔහු ඉතුරු ටික කියවන්න කලින් එතැන හිටපු හැමෝම හයියෙන් අත්පොළොසන් දෙන්න පටන්ගත්තා. ඉන්පසු සහෝදර මොරිස් ඊට පැය තුනකට කලින් ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ලැබුණු ඒ බලපත්‍රයේ සඳහන් දේ ඔවුන්ට ඇහෙන්න කියවද්දී හැම කෙනෙකුටම දැනුණේ පුදුම සතුටක්!
වෝල්කිල්, වෝර්වික් සහ ටක්සීඩෝවල සිදු වන ව්‍යාපෘති
2009 අගෝස්තු මාසයේ සිට ආරම්භ කළ වෝල්කිල් ගොඩනැඟිලි සංකීර්ණය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්වේච්ඡා සේවකයන් 2,800ක් පමණ හවුල් වෙනවා. එයට අලුත් නේවාසික ගොඩනැඟිල්ලක්, රථ ගාලක් සහ කාර්යාල ගොඩනැඟිල්ලක් ඉදි කිරීම ඇතුළත්. ඒ වගේම දැනට තියෙන නේවාසික ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීමත් මුද්‍රණාලය, ලොන්ඩ්‍රිය, ශ්‍රවණාගාරය, බෙතෙල් පවුලේ අයට විවිධ සේවාවන් සැපයීම සඳහා ඇති ගොඩනැඟිල්ල සහ ප්‍රධාන ආලින්දය වැනි ස්ථානවල යම් වෙනස්කම් සිදු කිරීමත් එම ව්‍යාපෘතියට ඇතුළත් වෙනවා. වෝල්කිල්වල සිදු වෙන මෙම වැඩකටයුතු 2015 වසරේ අවසානය දක්වාම සිදු වෙයි කියා බලාපොරොත්තු වෙනවා.
මේ අතරතුර වෝර්වික්වල ගොඩනැඟිලි ඉදි කිරීමේ කටයුතු සඳහා පොළොව සකස් කිරීම, ජල නළ පද්ධති සකස් කිරීම වැනි මූලික වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම වාහන නඩත්තු ගොඩනැඟිල්ල, අමුත්තන්ගේ වාහන සඳහා රථ ගාල සහ නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිලිවල වැඩකටයුතුත් 2013 වසරේ අග වෙද්දී ආරම්භ කළා. ඒවා, ඉදි කිරීම් කටයුතු කරන අවස්ථාවේදීත් ඉන් පසුවත් යන්ත්‍රෝපකරණ නඩත්තුව සහ සහෝදරයන්ගේ අවශ්‍යතා සඳහා යොදාගැනීමට නියමිතයි. 2014දී නේවාසික ගොඩනැඟිලි, කාර්යාල සහ විවිධ සේවාවන් සපයන ගොඩනැඟිල්ල ඉදි කිරීමට බලාපොරොත්තු වෙනවා.
වෝර්වික්වල ඉඳන් කිලෝමීටර් 10ක් පමණ දුරින් තියෙන අක්කර 50කින් යුත් ටක්සීඩෝ ඉඩමේ තියෙන “ගොඩනැඟිලි සංකීර්ණය යොදාගන්නේ ලෝක මූලස්ථානය ඉදි කිරීමේ වැඩකටයුතුවල ප්‍රයෝජනය සඳහායි. සමහර ස්වේච්ඡා සේවකයන්ට නවාතැන් ගන්න, කෑම කන්න, උපකරණ සහ ගොඩනැඟිලි ද්‍රව්‍ය ගබඩා කරන්න ටක්සීඩෝවල තියෙන ගොඩනැඟිලි අපි ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙනවා” කියා එම ව්‍යාපෘතියේ කමිටු සාමාජිකයෙක් වන සහෝදර කෙනෙත් චර්නිෂ් පැවසුවා. ටක්සීඩෝවල ඉදි කිරීම් කටයුතු වේගවත් කරන්න ඇමරිකාවේ නැඟෙනහිර පළාතේ තියෙන ප්‍රාදේශීය ගොඩනැඟිලි කමිටු කිහිපයක සහාය ලැබෙනවා.
ඇමරිකාව පුරා තියෙන ප්‍රාදේශීය ගොඩනැඟිලි කමිටුවලට සම්බන්ධ වී සිටින ස්වේච්ඡා සේවකයන් බොහෝදෙනෙක් ලෝක මූලස්ථානය ඉදි කිරීමේ වැඩකටයුතුවලට හවුල් වීමට ආසාවෙන් බලා සිටිනවා. එම ව්‍යාපෘතිවලට දැනටමත් තම සහාය ලබා දෙන විවිධ දක්ෂතා තියෙන සහෝදර සහෝදරියන්ද සිටිනවා. ජල නළ සවි කිරීමේ වැඩකටයුතුවල හවුල් වන සහෝදරී ලෙස්ලි බ්ලොන්ඩො මෙහෙම කිව්වා. “මායි මගේ සැමියායි මේ ව්‍යාපෘතියට හවුල් වෙලා වැඩ කරද්දී අපි දෙන්නත් එකිනෙකාට ගොඩක් ළං වුණා. අපි දැන් ලබන අද්දැකීම් හැමදාටම අපේ මතකයේ තියෙයි.”
“මම ටක්සීඩෝවල විදුලි කාර්මික අංශයේ වැඩ කරනවා. මෙහේ ඉන්න ස්වේච්ඡා සේවකයන් එක්ක එකතු වෙලා වැඩ කරන එක ලොකු සතුටක්. හැම දවසකම අලුත් අද්දැකීම් ලැබෙනවා” කියා කිව්වේ මැලරි රෂ්මෝ.
ක්වින්සි ඩොට්සන් මෙහෙම කිව්වා. “මේක ලොකු වරප්‍රසාදයක්. මං හිතුවේ මගේ පැත්තෙන් මේ ව්‍යාපෘතියට ගොඩක් දේවල් දෙනවා කියලයි. ඒත් ඇත්තටම වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. මමයි වැඩියෙන්ම ප්‍රයෝජන ලබන්නේ.”
සහෝදර චර්නිෂ් මෙහෙම කියනවා. “මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු සතුටක්. සහෝදර සහෝදරියන් හරිම දක්ෂයි. ඉක්මනට වැඩ කරන්නත් එයාලට පුළුවන්. එයාලා වැඩ කරන්නේ ලොකු ආසාවකින්.”