කිහිපදෙනෙක් මගින් වැඩි පිරිසකට පෝෂණය
‘යේසුස් රොටි කඩා ගෝලයන්ට දුන්නේය. ගෝලයෝ ඒවා සමූහයන් අතරේ බෙදා දුන්නෝය.’—මතෙ. 14:19.
1-3. බෙත්සයිදා නුවර අසල රැස් වෙලා හිටපු දහස් ගණන්දෙනාට යේසුස් කෑම බෙදලා දුන්නේ කොහොමද? (ලිපියේ මුලින්ම තියෙන පින්තූරය බලන්න.)
අවුරුද්ද, ක්‍රිස්තු වර්ෂ 32. ස්ථානය, බෙත්සයිදා නුවරට කිට්ටුවෙන් තියෙන පාළු ප්‍රදේශයක්. එදා පුරුෂයන් 5,000ක් පමණ සිටින විශාල සෙනඟක් යේසුස් වටා රැස් වී සිටියා. දැන් අපි එතනට යමු.—මතෙව් 14:14-21 කියවන්න.
2 ඒ සෙනඟ දිහා අනුකම්පාවෙන් බලා සිටින යේසුස් ඔවුන් අතර ඉන්න රෝගීන්ව සුව කරනවා. දේවරාජ්‍යය ගැනත් ඔවුන්ට කියා දෙනවා. ඔය අතරේ ඉර බැස යන්නත් ළං වෙලා. යේසුස් ළඟට ආපු ගෝලයෝ, මේ සෙනඟව දැන් පිටත් කරන්න කියලත් එහෙම කළොත් ළඟ තියෙන ගම්වලට ගිහින් කෑම මිල දී ගන්න ඔවුන්ට පුළුවන් වෙයි කියලත් යේසුස්ට කියනවා. ඒත් “ඔබ ඔවුන්ට කන්න යමක් දෙන්න” කියලා යේසුස් ගෝලයන්ට කිව්වම ඔවුන් පුදුමයෙන් යේසුස් දිහා බලන්න ඇති. මොකද, සෙනඟට දෙන්න තරම් ඔවුන් ළඟ කෑම තිබුණේ නැහැ. තිබුණේ රොටි පහකුත් මාළු දෙන්නෙකුත් විතරයි.
3 ඒ අවස්ථාවේදී යේසුස් ආශ්චර්යයක් කළා. යේසුස් කරපු ආශ්චර්යයන් අතරින් මේක විතරයි මතෙව්, මාක්, ලූක්, යොහන් කියන පොත් හතරෙම සඳහන් වෙන්නේ. (මාක් 6:35-44; ලූක් 9:10-17; යොහ. 6:1-13) එතන හිටපු සෙනඟව 50ක් හා 100ක් වශයෙන් කණ්ඩායම්වලට වෙන් කරලා ඔවුන්ව වාඩි කරන්න කියලා යේසුස් කිව්වා. යාච්ඤා කළාට පස්සේ යේසුස් මිනිසුන් ළඟට ගිහින් කෑම බෙදලා දෙනවා වෙනුවට ඔහු ‘රොටි කඩලා ගෝලයන්ට දුන්නා. ගෝලයෝ ඒවා සමූහයන් අතරේ බෙදා දුන්නා.’ අන්තිමට බලද්දී අවශ්‍ය කරන ප්‍රමාණයටත් වඩා එතන කෑම තිබුණා. එදා යේසුස් දහස් ගණනක් පෝෂණය කළේ තමන්ගේ ගෝලයෝ ටිකදෙනාව යොදාගෙන කියලා ඔබ දැක්කද?a
4. (අ) කෑම බීම සපයනවට වඩා යේසුස් උනන්දු වුණේ මොනවා ගැනද? ඒ ඇයි? (ආ) අපි මේ ලිපියෙත් ඊළඟ ලිපියෙත් බලන්නේ මොනවා ගැනද?
4 තමන්ගේ අනුගාමිකයන්ව කෑම බීමවලින් පෝෂණය කරනවට වඩා යේසුස් උනන්දු වුණේ ඔවුන්ට දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරන්න අවශ්‍ය පෝෂණය ලබා දෙන්නයි. දේවවචනයෙන් ලැබෙන ඒ පෝෂණය නිසා ඔවුන්ට සදාකල් ජීවත් වෙන්න ලැබෙනවා කියලා ඔහු දැනගෙන හිටියා. (යොහ. 6:26, 27; 17:3) ඔවුන් ගැන අනුකම්පාවෙන් පෙලඹිලා පැය ගණන් වැය කරමින් ඔහු ඔවුන්ට ඉගැන්වුවෙත් ඒ නිසයි. (මාක් 6:34) ඒත් තමන්ට මේ පොළොවේ ඉන්න තියෙන කාලය ඉවර වේගෙන යනවා කියලත් ඉක්මනින්ම ස්වර්ගයට යන්න වෙනවා කියලත් යේසුස් දැනගෙන හිටියා. (මතෙ. 16:21; යොහ. 14:12) ස්වර්ගයට ගියාට පස්සේ තම අනුගාමිකයන්ට අවශ්‍ය පෝෂණය දිගටම ලබා දෙන්න යේසුස් මොනවා කරයිද? එදා 5,000කටත් වඩා වැඩිදෙනෙකුට කෑම දෙද්දී කළා වගේ ටිකදෙනෙකුව යොදාගෙන දහස් ගණනක් පෝෂණය කරන්න යේසුස් සැලසුම් කළා. ඒ ටිකදෙනා කවුද? පළවෙනි සියවසේදී යේසුස් ඔවුන්ව යොදාගෙන ඒක කළේ කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු. අද දින යේසුස් අපිව පෝෂණය කරන්න යොදාගන්න ඒ ටිකදෙනා කවුද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.
කිහිපදෙනෙක් යොදාගෙන විශාල පිරිසක් පෝෂණය කළා (4වෙනි ඡේදය බලන්න)
යේසුස් ටිකදෙනෙකුව තෝරගනියි
5, 6. (අ) තමන්ගේ මරණයෙන් පස්සේ තම අනුගාමිකයන්ට අවශ්‍ය පෝෂණය දිගටම ලබා දෙන්න යේසුස් සැලසුම් කළේ කොහොමද? (ආ) යේසුස් තමන්ගේ නියෝජිතයන්ව සූදානම් කළේ කොහොමද?
5 පවුලේ අය ගැන හිතන පියෙක් තමන් මිය ගියොත් පවුලේ අයගේ අනාගතය සුරක්ෂිත කරන්න අවශ්‍ය දේවල් කල්තියාම සැලසුම් කරනවා. සභාවේ හිස වෙන්න නියමිත වෙලා හිටපු යේසුස් කළෙත් ඒ වගේ දෙයක්. (එෆී. 1:22) තමන්ගේ මරණයෙන් පස්සේ තම අනුගාමිකයන්ට අවශ්‍ය පෝෂණය දිගටම ලබා දෙන්න ඔහු සැලසුම් කළා.
6 ඔහු ඒක කළේ තමන්ගේ මරණයට අවුරුදු දෙකකට කලිනුයි. මුළු රැයක් පුරා යාච්ඤා කළ යේසුස් තමන්ගේ අනුගාමිකයන් අතරින් නියෝජිතයන් විදිහට 12දෙනෙකුව තෝරගත්තා. (ලූක් 6:12-16) ඊළඟ අවුරුදු දෙක පුරාම ඒ 12දෙනා එක්ක කිට්ටුවෙන් ඇසුරු කරමින්, වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔවුන්ට හුඟක් දේවල් ඉගැන්වුවා. යේසුස් ඔවුන්ට පෞද්ගලිකවම උපදෙස්, මඟ පෙන්වීම් දුන්නා වගේම දේවසේවය සාර්ථකව කරන්න පුහුණුවකුත් ලබා දුන්නා. (මතෙ. 10:1-42; 20:20-23; ලූක් 8:1; 9:52-55) ඒ 12දෙනා නියෝජිතයන් වුණත් ඔවුන්ව දිගටම “ගෝලයන්” කියලත් හැඳින්වුවා. ඒකට හේතුව ඔවුන්ට තවත් හුඟක් දේවල් ඉගෙනගන්න තිබුණ නිසයි. (මතෙ. 11:1; 20:17) යේසුස් ඔවුන්ට ඒ වගේ පුහුණුවක් දුන්නේ තමන්ගේ මරණයෙන් පස්සේ විශේෂ කාර්යයක් සඳහා ඔවුන්ව සූදානම් කරන්නයි.
7. නියෝජිතයන්ට මූලිකවම පැවරිලා තියෙන කාර්යය මොකක්ද කියලා අපි දන්නේ කොහොමද?
7 නියෝජිතයන්ට කරන්න තිබුණ විශේෂ කාර්යය මොකක්ද? ඔවුන්ට පැවරිලා තිබුණේ “අන් අයව රැකබලා ගන්නා” අය විදිහට ක්‍රියා කරන්න කියලා ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවස ළං වෙද්දී පැහැදිලි වුණා. (ක්‍රියා 1:20) ඔවුන් මූලිකවම අවධානය දුන්නේ මොනවටද? ඒ ගැන අපිට යේසුස් නැවත නැඟිට්ටට පස්සේ පේතෘස්ට කියපු දෙයකින් දැනගන්න පුළුවන්. (යොහන් 21:1, 2, 15-17 කියවන්න.) යේසුස්, පේතෘස්ට කිව්වේ “මගේ කුඩා බැටළුවන්ව පෝෂණය කරන්න” කියලයි. එහෙම කියද්දී තවත් නියෝජිතයන් කිහිපදෙනෙකුත් එතන හිටියා. ඒකෙන් පැහැදිලි වෙන්නේ වැඩිදෙනෙකුව පෝෂණය කරන්න යේසුස් තෝරගත්ත ටිකදෙනා අතර ඔහුගේ නියෝජිතයොත් ඉන්නවා කියන එකයි. තමන්ගේ “කුඩා බැටළුවන්” ගැන යේසුස් මොන තරම් සැලකිලිමත්ද කියලා ඒකෙන් පැහැදිලියි.b
පෝෂණය කිරීම ආරම්භ වෙයි
8. අලුතින් ක්‍රිස්තියානීන් වුණ අය නියෝජිතයන්ව සැලකුවේ කොහොමද?
8 ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ ඉඳන්, ඒ කාලයේ හිටපු අභිෂේක ලත් අයව පෝෂණය කරන්න යේසුස් යොදාගත්තේ ඔහුගේ නියෝජිතයන්වයි. (ක්‍රියා 2:41, 42 කියවන්න.) ඒ කාරණය එදා හිටපු යුදෙව් හා යුදෙව් නොවන සියලුම අභිෂේක ලත් අය පිළිගත්තා. ඔවුන් හැමෝම කැමැත්තෙන්ම “යේසුස්ගේ නියෝජිතයන් ඉගැන්වූ දේවලට හොඳ අවධානයක්” දුන්නා. ඒ කාලයේ අලුතින් ක්‍රිස්තියානීන් වුණ හැමෝටම යේසුස්ගෙන් පෝෂණය ලබන්න ලොකු වුවමනාවක් තිබුණා. යේසුස් කියපු දේවල් ගැනත් ඔහු ක්‍රියා කරපු ආකාරය ගැනත් යේසුස් ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් අනාවැකි ගැනත් නිවැරදිව අවබෝධ කරලා දෙන්න පුළුවන් නියෝජිතයන්ට විතරයි කියලා ඔවුන් තුළ ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා නියෝජිතයන් කාරණා පැහැදිලි කරලා දෙද්දී ඔවුන් ඒවා යටහත්පහත්ව පිළිගත්තා.c—ක්‍රියා 2:22-36.
9. තමන්ට ලැබුණ වගකීමට නියෝජිතයන් සම්පූර්ණ අවධානය දුන්නා කියලා කියන්නේ කොහොමද?
9 යේසුස්ගේ බැටළුවන්ව පෝෂණය කරන්න තමන්ට ලැබුණ වගකීමට නියෝජිතයන් තමන්ගේ සම්පූර්ණ අවධානය දුන්නා. උදාහරණයකට කෑම බෙදා දීමේදී ග්‍රීක භාෂාව කතා කරපු වැන්දඹුවන්ව නොසලකාහැරිය නිසා යම් ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවේ ඔවුන් ක්‍රියා කරපු විදිහෙන් ඒක පැහැදිලි වෙනවා. ඒ ප්රශ්නය නිසා සභාවේ බෙදීමක් ඇති වෙන්නත් ඉඩ තිබුණා. ඒ නිසා කාගෙවත් හිත රිද්දන්නේ නැතුව ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය වුණා. මේ වෙලාවේදී නියෝජිතයෝ මොනවද කළේ? නියෝජිතයෝ “දොළොස්දෙනා” කෑම බෙදා දීමේ “අත්‍යවශ්‍ය කාර්යය” හරියට කරන්න, සුදුසුකම් ඇති සහෝදරයන් හත්දෙනෙකුව පත් කළා. මේ ලිපියේ මුලින් සඳහන් විදිහට යේසුස් විශාල සෙනඟකට කෑම සපයපු අවස්ථාවේදී කෑම බෙදා දුන්නේ නියෝජිතයන්. ඒත් මේ අවස්ථාවේදී තමන් වැඩි අවධානයක් දෙන්න ඕනෙ දේවවචනයෙන් දෙන පෝෂණයටයි කියලා ඔවුන් තේරුම්ගත්තා. ඒ නිසා “දෙවි පවසා ඇති දේවල් ඉගැන්වීමේ කාර්යය සඳහා” ඔවුන් මුල් තැන දුන්නා.—ක්‍රියා 6:1-6.
10. ‘යෙරුසලමේ සිටි නියෝජිතයන්ව සහ වැඩිමහල්ලන්ව’ යේසුස් යොදාගත්තේ කුමක් සඳහාද?
10 ක්‍රිස්තු වර්ෂ 49 වෙද්දී පෝෂණය ලබා දීමේ කාර්යය සඳහා ඒ වෙනකොට ජීවත් වෙලා හිටපු නියෝජිතයන්ට තවත් සුදුසුකම් ඇති වැඩිමහල්ලන් කිහිපදෙනෙකුත් එකතු වුණා. (ක්‍රියා 15:1, 2 කියවන්න.) ‘යෙරුසලමේ සිටි ඒ නියෝජිතයන් සහ වැඩිමහල්ලන්’ පාලක මණ්ඩලයක් විදිහට වැඩ කළා. ශුද්ධ ලියවිලිවල තිබුණ මූලික ඉගැන්වීම් ගැන ප්‍රශ්න ඇති වුණාම ඒවා විසඳන්නත් දේවසේවය සංවිධානය කරන්නත් ක්‍රිස්තියානි සභාවේ හිස වුණ යේසුස් යොදාගත්තේ ඒ කුඩා කණ්ඩායමයි.—ක්‍රියා 15:6-29; 21:17-19; කොලො. 1:18.
11, 12. (අ) එදා තිබුණ සභාවන් පෝෂණය කරන්න යේසුස් යොදාගත්ත සැලැස්මට යෙහෝවා දෙවි ආශීර්වාද කළා කියලා අපි දන්නේ කොහොමද? (ආ) සභාවන් පෝෂණය කරන්න පාවිච්චි කරන්නේ කාවද කියන එක පැහැදිලිව හඳුනාගන්න පුළුවන් වුණේ කොහොමද?
11 පළවෙනි සියවසේදී සභාවන් පෝෂණය කරන්න යේසුස් යොදාගත්ත සැලැස්මට යෙහෝවා දෙවි ආශීර්වාද කළාද? ඒකට උත්තර බයිබලයේ සඳහන් මේ දෙයින් අපිට හොයාගන්න පුළුවන්. පාවුල් සහ ඔහු සමඟ සංචාරය කළ අය “නුවරෙන් නුවරට ගොස් යෙරුසලමේ සිටි නියෝජිතයන් හා වැඩිමහල්ලන් තීරණය කළ දේ ගැන නුවරවල සිටි සහෝදරයන්ව දැනුවත් කළෝය. ප්‍රතිඵලයක් ලෙස සභාවල සිටි සියලුදෙනාගේ විශ්වාසය ශක්තිමත් වූ අතර එහි සිටි අයගේ ගණනද දිනෙන් දින වැඩි විය.” (ක්‍රියා 16:4, 5) ඒ වගේ දෙයක් වුණේ පාලක මණ්ඩලයෙන් දුන්න මඟ පෙන්වීම් ඔවුන් පිළිගත්ත නිසයි. සභාවන් පෝෂණය කරන්න යේසුස් යොදාගත්ත සැලැස්මට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබුණා කියන එකට ඒක හොඳ සාක්ෂියක්. අද දිනත් අපිට සත්‍යය තුළ දියුණුවක් අද්දකින්න පුළුවන් වෙන්නෙත් සභාව වර්ධනය වෙන්නෙත් යෙහෝවා දෙවිගේ ආශීර්වාදය තිබුණොත් විතරයි කියන එක අපි මතක තියාගමු.—හිතෝ. 10:22; 1 කොරි. 3:6, 7.
12 අපි මේ වෙනකල් බලපු දේවලින් පැහැදිලි වෙන කාරණය තමයි, යේසුස් ටිකදෙනෙක්ව යොදාගෙන වැඩි පිරිසක් පෝෂණය කළා කියන එක. යේසුස් යොදාගත්ත ඒ ටිකදෙනා නියෝජිතයන්ගෙන් සමන්විත පාලක මණ්ඩලය කියන එක ගැන එදා හිටපු ක්‍රිස්තියානීන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. ක්‍රියා 5:12හි ‘නියෝජිතයෝ ජනයා අතරේ බොහෝ ලකුණුද ආශ්චර්යයන්ද සිදු කළා’ කියලා සඳහන් වෙනවා.d දෙවිගේ අනුමැතිය ඔවුන්ට තියෙනවා කියන එකට ඒක ප්‍රබල සාක්ෂියක් වුණා. ඒ නිසා යේසුස් තමන්ගේ බැටළුවන්ව පෝෂණය කරන්න යොදාගන්නේ කාවද කියන එක ගැන අලුතින් ක්‍රිස්තියානීන් වුණ අයට හිතහිතා ඉන්න ඕනෙ වුණේ නැහැ. ඒත් පළවෙනි සියවස අවසන් වෙද්දී තත්වය වෙනස් වුණා.
මුල් සියවසේ හිටිය ක්‍රිස්තියානීන්ව පෝෂණය කරන්න යේසුස් යොදාගත්තේ කාවද කියන එකට පැහැදිලි සාක්ෂි තිබුණා (12වෙනි ඡේදය බලන්න)
තිරිඟු යටපත් කරගෙන කිරිඳි වැඩෙයි
13, 14. (අ) සතුරා ගැන යේසුස් කිව්වේ මොනවද? ඒ අනාවැකිය ඉටු වෙන්න පටන්ගත්තේ කවදද? (ආ) අසත්‍යය උගන්වන අයගේ බලපෑම සිදු වෙන ආකාර දෙක මොකක්ද? (අමතර සටහන් බලන්න.)
13 ඔබට මතකද, යේසුස්ගේ උපමාවේ ස්වාමියා තිරිඟු (අභිෂේක ලත් අය) වැපුරුවාට පස්සේ සතුරෙක් ඇවිත් කිරිඳිත් (ක්‍රිස්තියානි කියලා කියාගන්න අය) වපුරනවා කියලා සඳහන් වෙනවා. ඊටපස්සේ ‘පවතින මේ සමාජයේ අවසාන කාලයේදී’ සිදු වෙන අස්වැන්න කපන කාලය වෙනකල් ඒ දෙවර්ගයටම එකට වැඩෙන්න ඉඩහරිනවා කියලත් යේසුස් කිව්වා. (මතෙ. 13:24-30, 36-43) ඒ අනාවැකිය ඉටු වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ.e
14 පළවෙනි සියවසේදීම ක්‍රිස්තියානි සභාවේ හිටපු සමහර අය දෙවි ගැන බොරු දේවල් උගන්වන්න පටන්ගත්තා. ඒත් ඒ කාලයේ නියෝජිතයන් ජීවත්ව හිටිය නිසා අසත්‍ය ඉගැන්වීම් ‘මැඩපවත්වලා’ සභාව ආරක්ෂා කරන්න ඔවුන්ට පුළුවන් වුණා. (2 තෙස. 2:3, 6, 7) කොහොමවුණත් අන්තිම නියෝජිතයත් මිය ගියාට පස්සේ සමහරු ආයෙත් ඔවුන්ගේ අසත්‍ය ඉගැන්වීම් සභාවල පතුරවන්න පටන්ගත්තා. ඒ දෙය සියවස් ගණනාවක් පුරාම සිදු වුණා. යේසුස්ගේ අනාවැකියේ කියපු විදිහට තිරිඟු යටපත් කරගෙන කිරිඳි වර්ධනය වුණේ ඒ කාලයේදියි. ටිකදෙනෙක්ව යොදාගෙන තම සෙනඟව පෝෂණය කරන්න යේසුස් ඇති කරපු සැලැස්ම, ගත වුණ ඒ සියවස් ගණනාව පුරාම ක්‍රියාත්මක වුණේ නැහැ.
අස්වැන්න කපන කාලයේදී පෝෂණය ලබා දෙන්නේ කවුද?
15, 16. බයිබල් ශිෂ්‍යයන් උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කරපු නිසා ලැබුණ ප්‍රතිඵල මොනවද? මතු වෙන ප්රශ්නය මොකක්ද?
15 අස්වැන්න කපන කාලය ළං වෙද්දී, සමහර අය තුළ බයිබලයේ සඳහන් සත්‍ය ඉගැන්වීම් ගැන උනන්දුවක් ඇති වෙන්න පටන්ගත්තා. ඒ වගේ අයගෙන් හැදුණ කුඩා කණ්ඩායමක් 1870 ගණන්වලදී පල්ලිවලින් ඉවත් වෙලා බයිබලය ගැන අධ්‍යයනය කරන්න පටන්ගත්තා. බයිබල් ශිෂ්‍යයන් කියලා හඳුන්වපු ඒ කණ්ඩායම දෙවිගේ උපකාරය ඉල්ලමින් නිහතමානීව හා විවෘත මනසකින් බයිබලයේ සඳහන් සත්‍යය ගැන හොයලා බැලුවා.—මතෙ. 11:25.
16 සත්‍යය ගැන හොයන්න ඔවුන් දරපු වෙහෙසට හොඳ ප්‍රතිඵල ලැබුණා. අසත්‍ය ඉගැන්වීම් හෙළි කරන්නත් සත්‍යය ගැන මිනිසුන්ට කියා දෙන්නත් අවශ්‍ය නිසා ඒ සහෝදර සහෝදරියන් පොත් පත් මුද්‍රණය කරලා බෙදාහැරියා. ඒ නිසා බයිබලයේ සඳහන් සත්‍යය ගැන දැනගන්න ආශාවකින් හිටපු හුඟදෙනෙක් ඔවුන් එක්ක එකතු වුණා. එහෙමනම් යේසුස්ගේ බැටළුවන්ව පෝෂණය කරන්න යේසුස් යොදාගත්තේ 1914ට කලින් හිටපු ඒ බයිබල් ශිෂ්‍යයන් ටිකදෙනාවද? නැහැ. ඒකට හේතුව ඒ වෙනකොටත් ඔවුන් හිටියේ තිරිඟු සහ කිරිඳි වැඩෙන කාලයේයි. තිරිඟු හා සමාන ක්‍රිස්තියානීන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න නම් මුලින්ම තිරිඟුවලින් කිරිඳි වෙන් කරන්න අවශ්‍ය වුණා.
17. වර්ෂ 1914 ඉඳන් සිදු වුණ වැදගත් සිද්ධීන් මොනවද?
17 අපි කලින් ලිපියේ දැනගත්ත විදිහට අස්වැන්න කපන කාලය පටන්ගත්තේ 1914දියි. යේසුස්ව රජ හැටියට පත් කළෙත් අවසාන දවස් පටන්ගත්තෙත් ඒ අවුරුද්දේදියි. (එළි. 11:15) යේසුස් තමන්ගේ පියා එක්ක එකතු වෙලා පොළොවේ තිබුණ සැබෑ නමස්කාරය සෝදිසි කරලා බලලා ඒක පවිත්‍ර කළෙත් 1914 ඉඳන් 1919 මුල් කාලය අතරතුරේදියි.f (මලා. 3:1-4) ඊටපස්සේ 1919 ඉඳන් තිරිඟු රැස් කරන්න පටන්ගත්තා. ටිකදෙනෙක්ව යොදාගෙන තමන්ගේ බැටළුවන්ව පෝෂණය කරන්න යේසුස් ඇති කරපු සැලැස්ම ආයෙත් පටන්ගන්න හොඳම කාලය වුණේ එයයි.
18. අන්තිම කාලයේදී යේසුස් පියවර ගන්නවා කිව්වේ කුමක් කරන්නද? ඊළඟ ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන් බලන්නේ මොන ප්‍රශ්නයට පිළිතුරද?
18 අන්තිම කාලය ගැන යේසුස් කිව්ව අනාවැකියේ තම අනුගාමිකයන්ව පෝෂණය කිරීම සඳහා “නියම වේලාවට ආහාර” සැපයීමට අවශ්‍ය පියවර ගන්නවා කියලා යේසුස් කිව්වා. (මතෙ. 24:45-47) ඒ සඳහා යේසුස් ඇති කරපු සැලැස්ම මොකක්ද? පළවෙනි සියවසේදී කළා වගේ විශාල සෙනඟකට අවශ්‍ය පෝෂණය ටිකදෙනෙක් යොදාගෙන ලබා දෙන්න ඔහු සැලසුම් කළා. යේසුස් යොදාගන්න ඒ ටිකදෙනා කවුද? ඒ ප්‍රශ්නෙට උත්තරත් ඒකට සම්බන්ධ තවත් ප්‍රශ්නවලට උත්තරත් අපි ඊළඟ ලිපියෙන් බලමු.
a 3වෙනි ඡේදය: වෙනත් අවස්ථාවකදිත් යේසුස් පුරුෂයන් 4,000ක් පමණ සිටින විශාල සෙනඟකට ආහාර දුන්නා. යේසුස් ඒ අවස්ථාවේදිත් මුලින්ම ආහාර දුන්නේ ‘ගෝලයන්ට. ඔවුන් ඒවා සමූහයන් අතරේ බෙදා දුන්නා.’—මතෙ. 15:32-38.
b 7වෙනි ඡේදය: පේතෘස්ගේ කාලයේදී “කුඩා බැටළුවන්” වුණේ අභිෂේක ලත් අයයි.
c 8වෙනි ඡේදය: හැමෝම “නියෝජිතයන් ඉගැන්වූ දේවලට හොඳ අවධානයක් දෙමින් . . . සිටියෝය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා නියෝජිතයන් නිතිපතා ඔවුන්ට ඉගැන්වුවා කියලා අපිට හිතන්න පුළුවන්. සමහර නියෝජිතයන්ගේ ඉගැන්වීම් ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ වාර්තා කරලා තියෙනවා.
d 12වෙනි ඡේදය: තවත් අයටත් පුදුමාකාර දේවල් කරන්න බලය ලැබුණා. ඒත් වැඩිදෙනෙකුට ඒ බලය ලැබුණේ නියෝජිතයන්ගෙන් නැත්නම් නියෝජිතයෙක් ඉන්න අවස්ථාවකයි.—ක්‍රියා 8:14-18; 10:44, 45.
e 13වෙනි ඡේදය: අසත්‍යය උගන්වන අය ‘ඔබ අතරට එනවා’ කියලත් “ඔබ අතරම” ඉන්න අය ඉගැන්වීම් ‘විකෘති කරනවා’ කියලත් ක්‍රියා 20:29, 30හි සඳහන් වෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ සභාවට පිටින් සහ සභාව ඇතුළතින් අසත්‍ය ඉගැන්වීම්වල බලපෑම ඇති වෙනවා කියන එකයි.
f 17වෙනි ඡේදය: මේ සඟරාවේම “මම ඔබ සමඟ සැමදා සිටිනවා” කියන ලිපියේ, 11වෙනි පිටුවේ 6වෙනි ඡේදය බලන්න.