“කොහෙන්ද මම වේලාව හොයාගන්නේ?”
1 මෙය අපගෙන් බොහෝදෙනෙකු කරන මැසිවිල්ලක්. මෙයට හේතුව අපේ ජීවිත වැඩ කටයුතුවලින් පිරී තිබීමයි. අප සතු සම්පත් අතරින් වටිනාම මෙන්ම ඉක්මනින්ම ගෙවී යන සම්පත කාලයයි කියා පවසා තිබෙනවා. දේවවචනය කියවීම හා අධ්‍යයනය කිරීම වැනි ඇත්තටම වැදගත් දේවල් සඳහා අපට කාලය සොයාගන්න පුළුවන් කොහෙන්ද?—පිලි. 1:10.
2 මේ සඳහා කළ යුතු ප්‍රධානතම දෙය වන්නේ වැඩි පුර කාලය සොයාගැනීමට වෑයම් කිරීම නොව, අපට තිබෙන කාලය අපි වැය කරන්නේ කුමන දේවල් කිරීම සඳහාද කියා තීරණය කිරීමයි. අපි සෑම කෙනෙකුටම සතියකට තිබෙන්නේ පැය 168යි. මෙයින් පැය 100ක් පමණ වැය කරන්නේ නිදාගැනීමට හා වැඩ කිරීම සඳහායි. එනිසා උපරිම ප්‍රයෝජන අත් කරගත හැකි අයුරින් ඉතිරි පැය ගණන අපට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? එපීස 5:15-17හි අපට නිර්දේශ කරන්නේ ‘ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රස්තාව අල්ලාගෙන, යෙහෝවාගේ කැමැත්ත කුමක්ද කියා තේරුම්ගනිමින්’ හැසිරෙන්න කියායි. අත්‍යවශ්‍යයි කියා යෙහෝවා පවසන දේවල් කිරීම සඳහා සෑම ප්‍රස්තාවකින්ම ප්‍රයෝජන ගැනීමේ අවශ්‍යතාව එයින් පැහැදිලි වෙනවා.
3 යේසුස් අප ජීවත් වෙන දවස් නෝවාගේ දවස්වලට සමාන කළා. (ලූක් 17:26, 27) ඒ දවස්වල සිටි මිනිසුන් එදිනෙදා කටයුතුවල කාර්යබහුලව සිටියා. ඒත්, නෝවා විශාල නැවක් සෑදීමටත් දේශනා කිරීමටත් කාලය සොයාගත්තා. (හෙබ්‍රෙ. 11:7; 2 පේතෘ. 2:5) ඒ කොහොමද? දෙවිගේ කැමැත්තට මුල්තැන දීමෙන් හා ‘අණ කළ ලෙස’ දේවල් කරමින් ඔහුට කීකරු වීමෙන් කාලය සොයාගන්න නෝවාට හැකි වුණා.—උත්. 6:22.
4 මුල් තැන දිය යුත්තේ කුමකටද? “මනුෂ්‍යයා [දෙවිගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත් වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය” කියා යේසුස් පැවසුවා. (මතෙ. 4:4) සෑම සතියකම අපට “නියම වේලාවට [ආත්මික] කෑම කොටස” ලැබෙනවා. (ලූක් 12:42) මෙයින් අප ප්‍රයෝජන ලබන්න නම්, මේ ආහාර හොඳින් ජීර්ණය කරගත යුතු අතර, ඒ සඳහා නිතිපතා පෞද්ගලික කියවීම හා අධ්‍යයනය කිරීම අවශ්‍යයි. ආත්මික ආහාර අපි අගය කරනවා නම්, ඉක්මනින් අනුභව කළ හැකි ක්ෂණික ආහාර වගේ ඒවා සලකන්නේ නැත. අධ්‍යයනය කරමින් ආත්මික ආහාර රස බැලීම සඳහා කාලය වෙන් කරගැනීමට අපව පොලඹවන්නේ ඒ සඳහා තිබෙන අගය කිරීමයි.
5 ආත්මික ආහාර ලබාගැනීම සදාකාල ජීවනයට මඟ පාදයි. (යොහ. 17:3) අප දිනපතා කරන නොයෙකුත් දේවලදී ප්‍රධාන තැන ඒ සඳහා දීම වටිනවා. දිනපතා බයිබලය කියවීමට හා ක්‍රිස්තියානි රැස්වීම්වලට සූදානම් වීම සඳහා කාලය වෙන් කරගන්න අපට පුළුවන්ද? ඔව්, අපිට පුළුවන්. අපි මෙසේ කරනවා නම්, දෙවිගේ කැමැත්ත දැනගෙන සිටීමෙන් හා එය කිරීමෙන් ලැබෙන “මහත් විපාක” අප භුක්ති විඳින බව නිසැකයි.—ගීතා. 19:7-11.