බයිබලයේ දෘෂ්ටිකෝණය
ඔබ අන්‍යයන්ව අමනාප කළ විට කළ හැකි දේ
යමක් වැරදී තිබේ. එය ඔබට හොඳින් වැටහේ. ඔබගේ ක්‍රිස්තියානි සහෝදරයා ඔබව වුවමනාවෙන්ම මඟහරී. ඔහුට හිරිහැරයක් වී ඇත්තේ කුමක්ද කියා ඔහු නොපවසයි, නමුත් ආචාරයක්වත් නොකරන තරම්ය—එසේ කළත් එය ඔබ පළමුවෙන්ම ඔහුට ආචාර කළ විට පමණි! කුමක් සිදු වී ඇද්දැයි දැනගැනීමට ඔබ ඔහු වෙතට යා යුතුද?
‘ඒක එයාගේ ගැටලුවක්’ යයි ඔබ සිතිය හැක. ‘ඔහුට මට විරුද්ධව යමක් තිබේ නම්, ඔහු මා වෙත පැමිණ ඒ ගැන කතා කළ යුතුයි.’ ඇත්තෙන්ම, අමනාපයට පත් කරනු ලැබූ පුද්ගලයාට ඔහුගේ සහෝදරයා සමඟ සාමය ඇති කරගැනීම සඳහා මුල පිරීමට බයිබලය දිරිගන්වයි. (මතෙව් 18:15-17, සසඳන්න.) එහෙත් අමනාප කළ පුද්ගලයා සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? ඔහුට යම් වගකීමක් තිබේ නම්, ඒ කුමක්ද?
යේසුස්වහන්සේ සිය කන්ද උඩ දේශනාවේදී ගෝලයන්ට මෙසේ පැවසූසේක: “එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්, නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමගිවී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදාපන්න.” (මතෙව් 5:23, 24) මෙහි යේසුස්වහන්සේගේ වචන යොමු කර තිබෙන්නේ අමනාප කළ තැනැත්තාට බව සැලකිල්ලට ගන්න. කාරණය නිරාකරණය කරගැනීමට ඔහුට කුමන වගකීමක් තිබේද? එයට පිළිතුරු සැපයීමට, පළමු ශතවර්ෂයේදී සිය යුදෙව් ශ්‍රාවකයන්ට යේසුස්වහන්සේගේ වචනවලින් අදහස් කළ දෙය කුමක්ද කියා අපි සලකා බලමු.
“නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි”
යේසුස්වහන්සේ මෙහිදී පැහැදිලි චිත්‍රයක් ගෙනහැර දක්වනසේක: වාර්ෂික උත්සවවලින් එකක් සඳහා යුදෙව් නමස්කාරකයෙක් යෙරුසලමට පැමිණ සිටී. යෙහෝවඃවහන්සේට පූජා කිරීමට ඔහු ළඟ පඬුරක් තිබේ—එය ඇතැම්විට සතෙකු වන්ට පුළුවන.a පූජාවක් ඔප්පු කිරීම වනාහි නිරර්ථක චාරිත්‍රයකට වඩා වැඩි යමක් විය. ජුඩෙයිසම්—ප්‍රැක්ටිස් ඇන්ඩ් බිලීෆ් යන පොත මෙසේ පැහැදිලි කරයි: “තර, නොකැළැල් සත්වයන් තෝරාගැනීම, ප්‍රවීණයන් විසින් ඒවා පරීක්ෂා කිරීම බලාසිටීම, ඇවිළෙන පූජාසනයට යාර කිහිපයක් දක්වා උන් සමඟ ඇවිද යෑම, උන්ව බාර දීම, හිස මත අත් තැබීම, අපවිත්‍රකම හෝ වරදසහිතභාවය පාපොච්චාරණය කිරීම, එසේ නැතහොත් සතාව කැප කිරීම, උගේ උගුර පැළීම, නැතහොත් ඌව නිකම්ම අල්ලාගෙන සිටීම—මේවා එම මොහොතේ අර්ථවත්භාවයට සහ ගරුබිය දනවන තත්වයට සහතිකයක් විය. . . . එම සම්පූර්ණ මෙහෙයම දෙවියන්වහන්සේ විසින් නියෝග කර තිබුණ බව විශ්වාස කළ ඕනෑම කෙනෙකුට . . . ඊට චිත්තවේගීව සම්බන්ධ නොවී ඒ සියල්ල ඉටු කිරීමට නොහැකි විය.”
මෙලෙස යුදෙව් නමස්කාරකයන්ගේ අර්ථවත් සහ ගරුබිය දනවන මොහොතකට, මතෙව් 5:23, 24හි ඇති යේසුස්වහන්සේගේ වචන සිය ශ්රාවකයන්ව ගෙන යයි. එක් බයිබල් විශාරදයෙක් දර්ශනය මෙයාකාරයෙන් විස්තර කරයි: “නමස්කාරකයා දේවමාළිගාවට ඇතුල් වී සිටියි; ඔහු එහි මළු සියල්ල පසු කර සිටී, එනම් අන්‍යජාතීන්ගේ මළුව, ස්ත්රීන්ගේ මළුව සහ පුරුෂයන්ගේ මළුව. එයට පිටතින් ගිහියාට ඇතුල් විය නොහැකි පූජකයන්ගේ මළුව තිබේ. නමස්කාරකයා තම ගොදුර පූජකයා අතට පත් කිරීමට සූදානමින් ගරාදිය අසල සිටගෙන සිටියි; ඔහුගේ අත් පාපොච්චාරණය කිරීම පිණිස සත්වයාගේ හිස මත තිබේ.”
එම තීරණාත්මක මොහොතේදී, තමාගේ සහෝදරයාට තමාට විරුද්ධව යමක් තිබෙන බව ඔහුට මතක් වේ. ඔහුට මෙය පවසන්නේ ඔහුගේම හෘදය සාක්ෂිය විය හැක, නැතහොත් තම සහෝදරයා තමාට සලකන ස්වභාවයෙන් තමා කෙරෙහි අමනාපයේ යම් හැඟීමක් තිබෙන බව ඔහු වටහාගත්තා විය හැක. ඔහු කළ යුත්තේ කුමක්ද?
‘ඔබේ පඬුර . . . , තබා යන්න’
‘ඔබේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා යන්න,’ යනුවෙන් යේසුස්වහන්සේ පැහැදිලි කරයි. මන්ද? යෙහෝවඃවහන්සේට යාගයක් ඔප්පු කිරීමට වඩා එම මොහොතේදී වැදගත් විය හැක්කේ කුමක්ද? ‘පළමුකොට ඔබේ සහෝදරයා හා සමගි වන්න’ යයි යේසුස්වහන්සේ තවදුරටත් මෙසේ පැහැදිලි කරනසේක: ‘පසුව ඇවිත් ඔබේ පඬුර පුදන්න.’ එනිසා නමස්කාරකයා තම ජීවමාන පඬුර දවන පූජාසනය අසල තබා තම අමනාප වූ සහෝදරයා සෙවීමට යයි.
එය මංගල්‍යයක් බැවින්, යෙරුසලමේ එක්රොක් වී සිටින නමස්කාරකයන් අතර අමනාප වූ සහෝදරයා සිටින බවට සැකයක් නැත. පටු වීදි සහ එකිනෙකට ඉතා සමීපව පිහිටි ගෙවල්වලින් යුත් යෙරුසලම තරමක ජනගහනයකින් යුක්තය. එහෙත් මෙය මංගල්‍යයක් වන බැවින්, නගරය අමුත්තන්ගෙන් පිරී පවතී.b
එකම නගරයක ජනයා පවා එකට ගමන් කර කඳවුරු බැඳගත් විට, තදබදයෙන් පිරි නගරය තුළ යමෙකු සොයාගැනීමට සෑහෙන උත්සාහයක් දැරිය යුතු විය. නිදසුනක් වශයෙන්, කූඩාරම් මංගල්‍යය කාලයේදී, අමුත්තෝ නගරයේ සෑම තැනකම මෙන්ම යෙරුසලම වටා තිබෙන වීදිවල සහ උයන්වලද කූඩාරම් බැඳගනිති. (ලෙවී කථාව 23:34, 42, 43) ඒ කෙසේවෙතත්, යුදෙව් නමස්කාරකයා තම අමනාප වූ සහෝදරයා හමු වන තෙක් ඔහුව සෙවිය යුතුය. ඉන්පසු කුමක්ද?
‘ඔබේ සහෝදරයා හා සමගි වන්න,’ යනුවෙන් යේසුස්වහන්සේ පවසනසේක. ‘සමගි වන්න’ ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක යෙදුම, “‘වෙනස්වීමක් සිදු කිරීම, හුවමාරු කරගැනීම’ සහ මේ නිසා, ‘සමාදානය වීම’” යන අර්ථයෙන් යුත් ක්‍රියා පදයකින් (ඩයි·අල්·ලට්ʹසො) පැමිණේ. තම අමනාප වූ සහෝදරයා සොයාගැනීම සඳහා සැලකිය යුතු උත්සාහයක් දැරූ යුදෙව් නමස්කාරකයා, ඔහු සමඟ සමගි වීමට වෙර දරයි. ඉන්පසු, ඔහුට දේවමාළිගාවට නැවත පැමිණ තම පඬුර ඔප්පු කළ හැක, මන්දයත් දැන් එය දෙවියන්වහන්සේ පිළිගන්නා බැවිනි.
මෙලෙස මතෙව් 5:23, 24හි සඳහන් යේසුස්වහන්සේගේ වදන් වැදගත් පාඩමක් උගන්වයි: එනම් පූජාවට පෙර, එකඟ වීම හෝ සමාදානය පැමිණෙන බවය, හවුල් නමස්කාරකයන්ට අප සලකන ආකාරය දෙවියන්වහන්සේ සමඟ තිබෙන අපගේ සබඳතාවට ඍජු අයුරින් බලපායි.—1 යොහන් 4:20.
ඔබ අන් අය අමනාප කළ විට කළ හැකි දෑ
එසේනම්, ලිපිය ආරම්භයේදී විස්තර කළ තත්වයේ—එනම් සහකාර නමස්කාරකයෙකුව අමනාප කළේයයි ඔබට හැඟෙන තත්වයක ඔබත් සිටින්නේ නම් කුමක්ද?—සහකාර නමස්කාරකයෙකුව අමනාප කළේයයි ඔබට හැඟේද? ඔබ කළ යුත්තේ කුමක්ද?
යේසුස්වහන්සේගේ උපදෙස් අදාළ කරගනිමින්, ඔබගේ සහෝදරයා වෙතට යෑමට මුල පුරන්න. කුමන පරමාර්ථයක් ඇතුවද? අමනාප වීමට කිසිදු හේතුවක් නොමැති බව ඔහුට ඒත්තුගැන්වීමටද? කිසිසේත් නැත! එම ගැටලුවට සුළු වරදවා තේරුම්ගැනීමකට වඩා වැඩි යමක් තිබිය හැක. ‘සමගි වන්න,’ යනුවෙන් යේසුස්වහන්සේ පැවසූසේක. හැකි නම්, ඔහුගේ හෘදයේ තිබෙන ක්‍රෝධය ඉවත් කර දමන්න. (රෝම 14:19) එය පෙරදැරි කරගෙන, ඔහුගේ වේදනාකාරි හැඟීම් ප්‍රතික්ෂේප කිරීම වෙනුවට, ඒවා පිළිගැනීම ඔබට අවශ්‍ය විය හැක. ඔබ මෙසේ ඇසීමටද වුවමනා වනු ඇත, ‘වරද හරිගැස්වීමට මට කුමක් කළ හැකිද?’ බොහෝවිට, අවශ්‍ය වන්නේ අවංකව සමාව ඉල්ලීම පමණි. කෙසේවෙතත්, සමහර අවස්ථාවලදී, අමනාප කරනු ලැබූ පුද්ගලයාට තම හැඟීම් යථා තත්වයට පත් කරගැනීමට යම් කාලයක් අවශ්‍ය විය හැක.
නැවත නැවත උත්සාහ දැරුවද සමගි වීමට ඔබට නොහැකි වේ නම් කුමක්ද? රෝම 12:18 මෙසේ පවසයි: “පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටපල්ලා.” මෙලෙස සමාදානය ඇති කරගැනීමට ඔබ උත්සාහ දරා තිබෙනවා නම්, ඔබගේ නමස්කාරය පිළිගැනීමට යෙහෝවඃවහන්සේ සතුටු වන බව නිසැක වීමට ඔබට හැක.
[පාදසටහන්වල]
a පූජා කිරීම සඳහා පඬුරු ගෙනෙනු ලැබූ සාමාන්‍ය කාලය වූයේ, නියමිත මංගල්‍ය තුන පැවැත්වූ කාලයයි—එනම් පාස්කුව, පෙන්තකොස්ත සහ කූඩාරම් මංගල්‍යයය.—ද්විතීය කථාව 16:16, 17.
b මංගල්‍ය සඳහා පුරාණ යෙරුසලමේ එක්රොක් වූ නමස්කාරකයන්ගේ ගණන පිළිබඳ තක්සේරු කිරීම් එකිනෙකට වෙනස්ය. පාස්කුව සඳහා ආසන්න වශයෙන් යුදෙව්වරුන් මිලියන තුනක් පමණ පැමිණ සිටි බව, පළමු ශතවර්ෂයේ යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් තක්සේරු කළේය.—ද ජුවිෂ් වෝර්, II, 280 (xiv, 3); vi, 425 (ix, 3).