පාඩම 24
වචන තේරීම
අදහස් හුවමාරු කරගැනීමේදී වචනවලින් ප්‍රබල කාර්යයක් ඉටු වේ. එනමුත් අපගේ මුවින් පිට වන වචනවලින් නිශ්චිත අරමුණක් ඉටු කරගැනීමට නම්, ඒවා පරෙස්සමින් තෝරාගැනීම අවශ්‍යය. එක්තරා අවස්ථාවකදී උචිතයයි පෙනෙන වචනයක්, වෙනයම් පසුබිමකදී නුසුදුසු වන්නට පුළුවන. සිනහ උපදවන යම් කියමනක් වැරදි ආකාරයට භාවිත කළහොත් එය ‘රළු පරුෂ වදනක්’ බවට පත් විය හැක. එවැනි යෙදුම් භාවිත කරන්නේ අඥානකම හෝ නොසැලකිලිමත්කම හේතුවෙන් වන්නට පුළුවන. ඇතැම් වචනවලට දෙපැත්ත කැපෙන අදහස් තිබේ. එහි එක් අරුතක් සරදම්ශීලී හෝ හෙළාදකිනසුලු විය හැක. (හිතෝ. 12:18; 15:1, න. අ.) අනික් අතට ‘කාරුණික වචනයක්’ එනම් යම් දිරිගැන්වීමක් ලබා දෙන වචනයක් සවන් දෙන තැනැත්තාගේ සිතට ඉමහත් ප්‍රීතියක් ගෙන දෙයි. (හිතෝ. 12:25, න. අ.) ප්රඥාවන්තයෙකුට වුවත් නිවැරදි වචන තේරීමට වෑයමක් අවශ්‍යය. “ප්‍රිය වචන” හා “හරි වූ සත්‍ය වූ කාරණා” සෙවීමට සාලමොන්ද සෑදී පැහැදී සිටි බව බයිබලය පවසයි.—දේශ. 12:10.
ඇතැම් භාෂාවල, වයසින් වැඩි අය නැතහොත් යම් අධිකාරයක් හොබවන අය සඳහා එක්තරා ආමන්ත්‍රණයක් යොදාගනු ලැබේ. අනික් අතට, තමාගේම වයසේ කෙනෙකු හෝ තමාට වඩා වයසින් අඩු කෙනෙකු ආමන්ත්‍රණය කරද්දී භාවිත කරන්නේ වෙනත් ආකාරයේ යෙදුම්ය. ආචාරශීලිත්වය පෙන්නුම් කිරීමට තිබෙන මෙවැනි වදන් නොසලකා හැරීම අසංවර ගතිලක්ෂණයක් සේ සැලකේ. මීට අමතරව, ප්‍රාදේශීය සිරිත් විරිත්වලට අනුව එක්තරා පාර්ශ්වයකට ගෞරවය දීම සඳහා වෙන් කර ඇති යෙදුම් තමන්ටම අදාළ කරගැනීම උචිත වන්නේ නැත. ගෞරවය පෙන්වීම හා සම්බන්ධ කාරණයේදී, නීතියෙන් හෝ ප්‍රාදේශීය සම්ප්‍රදායෙන් බලාපොරොත්තු වනවාට වඩා උසස් ප්‍රමිතියක් බයිබලයෙහි පෙන්වා තිබේ. ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ “සියල්ලන්ටම ගෞරව කරන්න” කියාය. (1 පේතෘ. 2:16) මේ දෙය තම හදවතින්ම කරන අය ඕනෑම වයස් මට්ටමක සිටින උදවිය සමඟ ගෞරවනීය අන්දමකින් කතා කිරීමට සමත් වෙති.
සැබෑ ක්‍රිස්තියානීන් නොවන බොහෝදෙනෙකු කතා කරන්නේ ඉතා අසංවර හා අසභ්‍ය ආකාරයකිනි. එලෙස කතා කිරීමෙන් තමන්ට කීමට තිබෙන දේ යම් ආකාරයකින් අවධාරණය කළ හැකියයි ඔවුන්ට හැඟෙනවා ඇති. එසේ නැතහොත්, ඔවුන් එවැනි වචන භාවිත කරන්නේ ඔවුන්ගේ වාග් මාලාව ඉතා සීමිත නිසා විය හැක. යෙහෝවාගේ මාර්ග ගැන ඉගෙනගැනීමට කලින් එවැනි අන්දමකින් කතා කළ කෙනෙකුට එම පුරුද්ද අත්හැරීම සෑහෙන අසීරු කාර්යයක් විය හැක. එනමුත් එයින් මිදීමට පුළුවන. කෙනෙකු කතා කිරීමට පුරුදු වූ ආකාරය වෙනස් කිරීමට දෙවිගේ ආත්මයට පුළුවන. කෙසේ නමුත් යහපත් වචනවලින් පිරුණු වාග් මාලාවක් ගොඩනැඟීමට කැමැත්තක් ඒ පුද්ගලයා විසින්ම විදහාපෙන්විය යුතුය. ඔහුගේ ආශාව වන්නේ අවස්ථාවට උචිත, මනහර, වර්ධනය ගෙන දෙන වචන එකතු කරගෙන, ඒවා නිතිපතා භාවිත කිරීමයි.—රෝම 12:2; එපී. 4:29, න. අ.; කොලො. 3:8.
පහසුවෙන් තේරුම්ගත හැකි භාෂා ශෛලියක්. හොඳ භාෂා ශෛලියක් භාවිත කිරීමට මූලික වන එක් අවශ්‍යතාවක් වන්නේ එය පහසුවෙන් තේරුම්ගත හැකිවීමය. (1 කොරි. 14:9) ඔබ භාවිත කරන වචන සබයට පහසුවෙන් තේරුම්ගත නොහැකි නම්, ඔවුන් ඔබව දැකිය හැක්කේ දේශීය භාෂාව කතා කිරීමට උත්සාහ දරන විදේශියෙකු ලෙසය.
එක්තරා වෘත්තියක නියැලී සිටින පුද්ගලයන් අතර ඇතැම් වචන සුවිශේෂ අරුත් ගනියි. සමහරවිට ඔවුන් මෙවැනි වචන දිනපතා භාවිත කරනවා විය හැක. එනමුත්, තැනට උචිත නොවන ආකාරයකින් ඒවා භාවිත කළහොත් අදහස් ඉදිරිපත් කිරීමට බාධාවක් වන්නට පුළුවන. මීට අමතරව, දෛනිකව භාවිත වන වචන පාවිච්චි කළත්, සෑම තොරතුරක්ම විස්තර කිරීමට ඔබ අනවශ්‍ය කාලයක් ගන්නවා නම්, ඔබේ සවන්දෙන්නන්ගේ මනස් වෙන දේවලට යොමු විය හැක.
අන් අය ගැන සැලකිලිමත් වන කථිකයෙක් වචන තෝරාගන්නා විට, සීමිත අධ්‍යාපනයක් ලබා ඇති අයට පවා තේරුම්ගත හැකි වචන තෝරාගනියි. එවන් තැනැත්තෙකු අනුකරණය කරන්නේ “දිළින්දාට” සැලකිල්ල දක්වන යෙහෝවාවයි. (යෝබ් 34:19) නුහුරු වචනයක් භාවිත කිරීම අවශ්‍ය බව කථිකයෙකුට හැඟේ නම්, එහි තේරුම පැහැදිලි වන අන්දමකින් සරල වාක්‍ය සැකැස්මක් භාවිත කළ යුතුය.
හොඳින් තෝරාගත් සරල වචනවලින් අදහස් බලගතු අන්දමකින් ඉදිරිපත් කරන්නට පුළුවන. කෙටි වාක්‍ය සහ සරල යෙදුම්ද පහසුවෙන් ග්‍රහණය කරගත හැකිය. විටින් විට මෙම කෙටි වාක්‍ය අතරට දිග වාක්‍ය කිහිපයක්ද යොදාගැනීමෙහි වරදක් නැත. මෙයින් ඔබේ ඉදිරිපත් කිරීමෙහි ඇති ගැස්සෙන, ඒකාකාරි ගතිය මඟහැර, යම්කිසි රිද්මයකට අනුව පහසුවෙන් ගලායන ස්වභාවයක් ඇති කළ හැක. එනමුත් ඔබේ සබය විසින්, විශේෂයෙන්ම මතක තබාගත යුතු අදහස් ඉදිරිපත් කිරීමේදී සරල වචන සහ කෙටි වාක්‍ය භාවිත කරන්න.
නිවැරදි හා විවිධත්වයකින් යුත් වචන. හොඳ වචනවල නම් කිසිදු අඩුවක් නැත. එනමුත් සෑම අවස්ථාවකදීම එකම වචන හෝ යෙදුම් භාවිත කරනවා වෙනුවට, විවිධාකාර වචන යොදාගැනීම යහපති. එවිට ඔබේ මුවින් පිට වන වචනවල අමුතු ප්රියභාවයක් හා අරුතක් දැකගත හැකි වේ. ඔබේ වාග් මාලාව පුළුල් කරගත හැක්කේ කෙසේද?
කියවන විටදී ඔබට නොතේරෙන වචන සලකුණු කොට, ඔබේ භාෂාවේ ශබ්ද කෝෂයක් ඇත්නම් ඒවා පරීක්ෂා කර බලන්න. මෙම නුහුරු වචන අතුරින් කිහිපයක් තෝරාගෙන, උචිත අවස්ථාවන්හිදී ඒවා භාවිත කිරීමට වෑයමක් දරන්න. ඒවා නිවැරදි ලෙස උච්චාරණය කිරීමටත්, ඒවා පහසුවෙන් තේරුම්ගත හැකි පසුබිමක යොදාගැනීමටත් වගබලා ගන්න. ඔබ ඒවා භාවිත කරන්නේ අන් අයගේ අවධානය ඇදගැනීමට නම් නොවේ. ඔබේ වාග් මාලාව මෙලෙස පුළුල් කිරීමෙන් සිදු වන්නේ ඔබේ කතාවට යම් විවිධත්වයක් එක් කරගැනීමයි. එනමුත් මෙහිදී සැලකිලිමත් විය යුතු දෙයක් සඳහන් කළ යුතුය. සාමාන්‍යයෙන් කෙනෙකු වචන වැරදි විදිහට උච්චාරණය කරන විට හෝ භාවිත කරන විට ඔහුගේ සවන්දෙන්නන්ට එළඹිය හැකි නිගමනයක් වන්නේ ඔහු පවසන දේ ඔහුටම නොතේරෙනවා යන්නයි.
අපගේ වාග් මාලාව තවත් පුළුල් කරගන්නේ අපගේ සවන් දෙන්නන්ගේ අවධානය අප වෙත ඇදගැනීමට නොවේ. අපගේ අභිප්‍රාය වන්නේ වඩාත් හොඳින් අදහස් පළ කිරීමය. ඉතා සංකීර්ණ භාෂා ශෛලියක් හා දිග වචන භාවිත කිරීමෙන් බොහෝ විට අවධානය යොමු වන්නේ කථිකයා වෙතටයි. අන් අය සමඟ වටිනා තොරතුරු බෙදාගැනීමත්, එම තොරතුරු සවන් දෙන අයගේ සිතට කාවැද්දීමත් අපගේ ආශාව වේ. මෙහිදී “ප්‍රඥාවන්තයාගේ දිව දැනගැන්ම හරි ලෙස කියා දෙයි” යන බයිබල් ආප්තෝපදේශය මතක තබාගත යුතුය. (හිතෝ. 15:2) අප යහපත්, තැනට උචිත, පහසුවෙන් තේරුම්ගත හැකි වචන භාවිත කරනවා නම් අපට කීමට තිබෙන දෙයෙහි නැවුම් බවක්, රසවත් බවක්, පොලඹවනසුලු බවක් දැකගත හැකි වේ. එසේ කිරීමෙන් අසන්නන් තුළ නිරස හා උදාසීන ස්වභාවයක් ඇතිවීම වළක්වාලිය හැක.
ඔබේ වාග් මාලාව පුළුල් කරගැනීමට දරන උත්සාහයේදී නිවැරදි වචන භාවිත කිරීමටද නිසි අවධානයක් දිය යුතුය. නිදසුනකට, වචන දෙකකට බොහෝ දුරට එක සමාන අර්ථයන් තිබිය හැකි වුවත්, ඒවා භාවිත කරන්නේ වෙන වෙනම අවස්ථා දෙකකදීය. මෙය තේරුම්ගතහොත්, ඔබට වඩාත් පැහැදිලිව අදහස් පළ කළ හැකි අතරම, ඔබේ සවන්දෙන්නන්ගේ සිත් රිදවීමෙන් වුවද වැළකෙන්නට පුළුවන. මැනවින් කතා කරන අයට හොඳින් සවන් දෙන්න. ඇතැම් භාෂාවල එක් වචනයකට සමානාර්ථ (යම් සමානකම් ඇති වචන) හා විරුද්ධාර්ථ ඇති වචන (යම් දුරකට ප්‍රතිවිරුද්ධ අර්ථයක් ඇති වචන) දක්වා ඇත. මෙයින් තහවුරු වන දේ නම්, එකම අදහස විවිධ ආකාරවලින් විස්තර කළ හැකි බවත්, එක ළඟ දිව යන අදහස් ඇති නමුත් සියුම් වෙනස්කම් ඇති වචන කිහිපයක්ම තිබෙන බවත්ය. එක්තරා සුවිශේෂ තත්වයකට අදාළ වන නිවැරදිම වචනය තෝරාගැනීමට සිදු වන විට මෙය විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වේ. කෙසේවෙතත්, එක්තරා වචනයක් ඔබේ වාග් මාලාවට එකතු කරගන්නට පෙර, එහි අර්ථය, එය උච්චාරණය කරන අන්දම, එය භාවිත කළ යුතු ආකාරය පැහැදිලිව දැනගන්න.
සාමාන්‍යයෙන් පොදුවේ අදාළ වන වචන කිහිපයක් භාවිත කරනවාට වඩා, සුවිශේෂ අර්ථයන් ඇතුළත් යෙදුම් භාවිත කරන විට, සවන්දෙන්නාට වඩා පැහැදිලි පින්තූරයක් දිය හැක. නිදසුනකට කථිකයෙකු මෙසේ පවසනවා විය හැක. “ඒ කාලයේදී, මිනිසුන් විශාල සංඛ්‍යාවක් අසනීප වුණා.” එසේ නැතහොත් මෙසේද පැවසිය හැක. “පළමු ලෝක මහා යුද්ධයෙන් පසු, මාස කිහිපයක් ඇතුළත ස්පාඤ්ඤ සෙම්ප්රතිශ්යාවෙන් මිනිසුන් 2,10,00,000ක් මිය ගියා.” දැන්, මෙම වාක්‍ය දෙක අතර වෙනස සලකා බලන්න. “ඒ කාලයේදී,” “මිනිසුන් විශාල සංඛ්‍යාවක්” සහ “අසනීප වුණා” වැනි පොදුවේ අදාළ වන යෙදුම් වෙනුවට කථිකයා නිශ්චිතව අදහස් ප්‍රකාශ කරන විට සවන්දෙන්නාට මොනතරම් වෙනසක් දැනේද! මෙලෙස ඔබේ අදහස් පළ කිරීමට නම්, ඔබේ විෂයට සම්බන්ධ සියලුම තොරතුරු ගැන හොඳ අවබෝධයක් අවශ්‍ය වන අතර, ඔබේ වචනද පරෙස්සමින් තෝරාගත යුතුය.
නිවැරදි වචන භාවිතය යමක් පැහැදිලිව, නිවැරදිව සහ කෙටියෙන් කීමට හැකියාව ඔබට ලබා දිය හැක. වැල්වටාරම්වලින් අදහස යටපත් වේ. දේවල් සරලව පැවසීමෙන් වැදගත් කරුණු ග්‍රහණය කරගෙන, ධාරණය කරගැනීමට අන් අයට පහසු වෙයි. නිවැරදි දැනුම ලබා දීමට එය උපකාරයකි. සරල භාෂා ශෛලියක් භාවිත කිරීම සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් කැපීපෙනෙයි. එමනිසා ඔහුගෙන් ඉගෙනගන්න. (මතෙව් 5:3-12 සහ මාර්ක් 10:17-21හි වාර්තා කර ඇති උදාහරණ බලන්න.) පරෙස්සමින් තෝරාගත් වචන යොදාගනිමින් අදහස් සංක්ෂිප්තව දැක්වීමට පුරුදු වන්න.
භාෂාවට ජීවයක්, හැඟීම් සහ විචිත්‍රවත් බවක් ලබා දෙන වචන. ඔබේ වාග් මාලාව පුළුල් කරන අතරේදී අලුත් වචන ගැන පමණක් සිතන්න එපා. යම් සුවිශේෂ ලක්ෂණවලින් යුත් වචන ගැනද සිතා බලන්න. නිදසුනක් ලෙස, යම් ජීවයක් ලබාදෙන ක්‍රියා පද, යම් විචිත්‍රවත් බවක් ලබා දෙන විශේෂණ සහ උණුසුම් හැඟීම්, කාරුණික ගතියක් හෝ අවංක උනන්දුවක් ප්‍රකාශ කරන යෙදුම් සලකා බලන්න.
භාෂාව මෙලෙස අරුත් බරින් යුතුව භාවිත කිරීම සම්බන්ධයෙන් බයිබලයෙහි උදාහරණවල අඩුවක් නැත. අනාගතවක්තෘ ආමොස් මාර්ගයෙන් යෙහෝවා මෙසේ ඉල්ලා සිටියේය. “නපුර නොවන යහපත සොයන්න. . . . නපුරට ද්වේෂ කර, යහපතට [ප්‍රේම කරන්න].” (ආමො. 5:14, 15) සාවුල් රජුට අනාගතවක්තෘ සාමුවෙල් පැවසුවේ, “යෙහෝවා අද ඉශ්රායෙල් රජකම නුඹෙන් පැහැරගෙන . . . තිබේ” යන්නය. (1 සාමු. 15:28) එසකියෙල්ට කතා කළ අවස්ථාවේදී යෙහෝවා කිසිදා මනසෙන් නොමැකෙන භාෂා ශෛලියක් භාවිත කරමින් මෙසේ පැවසීය. “මුළු ඉශ්රායෙල් වංශය දැඩි වූ නළල්ද තද සිත්ද ඇත්තෝය.” (එස. 3:7) ඉශ්රායෙල් අතින් සිදු වූ අයුතුකම්වල බරපතළකම අවධාරණය කරමින් යෙහෝවා ඔවුන්ගෙන් මෙසේ විමසීය. “මනුෂ්‍යයෙක් දෙවිගෙන් කොල්ලකනවා ඇද්ද? නුඹලා නම් මාගෙන් කොල්ලකන්නහුය.” (මලා. 3:8) බබිලෝනියේ සිදු වූ ඇදහිල්ලේ පරීක්ෂාවක් විස්තර කරමින් දානියෙල් කළ විචිත්‍රවත් වාර්තාව සලකා බලන්න. ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ නෙබුකද්නෙශර් ඉදි කළ රූපයට වැඳ වැටී නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළ නිසා, “නෙබුකද්නෙශර් කෝපයෙන් පිරුණේය.” ඔහු කොපමණ කිපුණාද කිවහොත් ඔවුන්ව “බැඳ ඇවිළෙන ගිනි උදුනට හෙළන්ට” කියා විධාන කළේය. ඒ සඳහා රජු තම සේනාවේ මනුෂ්‍යයන්ට “පුරුදු ප්‍රමාණයට වඩා සත් ගුණයක් උදුන රත් කරන්ට” අණ කළ බව දානියෙල් වාර්තා කළේය. ඒ ගිනි උදුන කොතරම් රත් වූ එකක්ද කිවහොත්, ඊට ළඟා වූ රජුගේ සේනාවේ මනුෂ්‍යයෝ මිය ගියෝය. (දානි. 3:19-22) තම මරණයෙන් දවස් කිහිපයකට කලින් යෙරුසලමේ ජනතාවට කතා කරමින්, ගැඹුරු හැඟීම්වලින් යුතුව යේසුස් මෙසේ පැවසීය. “කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතු කරගන්නාක් මෙන් නුඹේ දරුවන් එකතු කරගන්ට මම කී වරක් කැමති වුණෙම්ද? එහෙත් නුඹලා කැමති වුණේ නැත. බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළු කොට අත්හරිනු ලැබේ.”—මතෙ. 23:37, 38; අකුරු ඇල කළේ අපය.
වචන මෙලෙස හොඳින් තෝරාගැනීමෙන් ඔබ කීමට උත්සාහ කරන දේ සම්බන්ධයෙන් ඔබේ සවන්දෙන්නන්ගේ මනස්වල ඉතා පැහැදිලි චිත්‍රයක් ඇඳිය හැක. හැඟීම් පුබුදුවාලන ආකාරයේ වචන වචන භාවිත කළහොත්, ඔබ කතා කරන දේ “දැකීමටත්,” “ස්පර්ශ කිරීමටත්” ඔබේ සවන්දෙන්නන්ට පුළුවන. ඔබ සඳහන් කරන ආහාරවල “රස බැලීමටත්” ඒවායේ සුවඳ “දැනීමටත්” ඔවුන් සමත් වනු ඇත. ඔබ විස්තර කරන ශබ්ද හා උපුටා දක්වන පුද්ගලයන්ගේ හඬවල් “ඇසීමටත්” ඔවුන්ට හැකි වේ. ප්‍රතිඵලයක් වශයෙන් සබය ඔබ පවසන දේට මුළු සිතින්ම සම්බන්ධ වනු ඇත. ඊට හේතුව ඔබ පවසන දේ ජීවමාන කරවීමට හා සබයේ පෞද්ගලික අද්දැකීමක් බවට පත් කිරීමට ඔබ සමත් වී ඇති නිසාය.
වචනවලින් විචිත්‍ර ලෙස අදහස් දක්වන විට, සමහරුන් සිනාසීමට හෝ ඇඬීමට පවා පෙලඹිය හැක. ඔවුන් තුළ බලාපොරොත්තුවක් ජනිත කරවන්නට පුළුවන. කලකිරුණු පුද්ගලයෙකු තුළ තම මැවුම්කරු කෙරෙහි ප්‍රේමය යළි පණ ගැන්වීමෙන් ජීවත්ව සිටීම සඳහා ආශාව පුබුදුවාලන්නටත් පුළුවන. ගීතාවලිය 37:10, 11, 34; යොහන් 3:16 සහ එළිදරව් 21:4, 5 වැනි බයිබල් වගන්තිවල වදන් තුළින් ජනිත කරවා ඇති බලාපොරොත්තුව ලොවටා විශාල ජන පිරිසකට ගැඹුරින් බලපා ඇත.
ඔබත් බයිබලය සහ “විශ්වාස වූ නුවණ ඇති දාසයා” පළ කරන ප්‍රකාශන කියවද්දී, විවිධ වචන හා යෙදුම් කොපමණ ප්‍රමාණයක් ඒවායෙහි භාවිත කර ඇද්දැයි ඔබට දැකගත හැකි වේ. (මතෙ. 24:45) ඒවා මුද්‍රිත පිටුවට සීමා නොකරන්න. ඔබේ සිත්ගත් ඒවා තෝරා, ඔබේ දෛනික වාග් මාලාවට එකතු කරගන්න.
ව්‍යාකරණ රීතිවලට අනුකූලව කතා කිරීම. ඇතැම් අයට පෙනී යන දෙයක් වන්නේ ඔවුන් සෑම විටම ව්‍යාකරණ රීතිවලට අනුකූලව කතා නොකරන බවය. එමනිසා, ඔවුන්ට මේ සම්බන්ධයෙන් කුමක් කළ හැකිද?
ඔබ තවමත් පාසැල් යන දරුවෙක් නම්, ව්‍යාකරණ රීති ඉගෙනගැනීමටත්, තැනට සුදුසු වචන තෝරාගැනීමේ හැකියාව ප්‍රගුණ කරගැනීමටත් ඔබ සතු ප්‍රස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එක්තරා ව්‍යාකරණ රීතියකට හේතුව ඔබට පැහැදිලි නැත්නම්, ඔබේ ගුරුවරයාගෙන් ඒ ගැන විමසන්න. යන්තමින් ඒ සම්බන්ධයෙන් දැනුමක් ලබා සෑහීමට පත් නොවන්න. වෙනත් ශිෂ්‍යයන්ට ඇතැම්විට නොතිබෙන පෙලඹීමක් ඔබ සතුය. ඔබේ ආශාව ශුභාරංචිය දක්ෂ ලෙස ප්‍රකාශ කරන්නෙකු වීම නොවේද?
ඔබ වැඩිහිටියෙක්ද? දරුවෙකු ලෙස ඇති දැඩි වෙද්දී ඔබ කතා කිරීමට ඉගෙනගත්තේ දැන් භාවිත කරන භාෂාව නොව වෙන භාෂාවක්ද? එසේ නැතහොත් ඔබේම භාෂාවෙන් ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලැබීමට ප්‍රස්තාව ඔබට අහිමි වූවාද? අධෛර්යයට පත් නොවන්න. දියුණු වීමට අවංක උත්සාහයක් දරන්න. ශුභාරංචිය වෙනුවෙන් එසේ කරන්න. අපට ව්‍යාකරණ සම්බන්ධයෙන් සෑහෙන අවබෝධයක් ලබාගත හැක්කේ අන් අය කතා කරන ආකාරයට සවන් දීමෙනි. එමනිසා, පළපුරුදු කථිකයන් තම කතා ඉදිරිපත් කරද්දී හොඳින් සවන් දෙන්න. බයිබලය හා බයිබලය මත පදනම් ප්‍රකාශන කියවන විට වාක්‍ය සැකැස්ම, එකට භාවිත කර ඇති වචන හා ඒවා භාවිත කරන අවස්ථා සම්බන්ධය ගැනද සැලකිලිමත් වන්න. මෙවැනි යහපත් ආදර්ශ අනුකරණය කරමින් ඔබේ කතා කිරීමේ දක්ෂතාවන් ප්‍රගුණ කරගන්න.
ජනප්‍රිය ගායක ගායිකාවන් හා වෙනත් විනෝදාස්වාදයන් සපයන්නන්ගේ කතා විලාසය හා ඔවුන් භාවිත කරන යෙදුම් ව්‍යාකරණ රීතිවලට පටහැනිව දිව යා හැක. මෙවැනි පුද්ගලයන්ව අනුකරණය කිරීමට ජනයා කැමැත්තක් දක්වති. අනික් අතට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සාපරාධී හෝ දුරාචාර ජීවිත ගත කරන අයටද වෙනම වාග් මාලාවක් ඇත. ඔවුන් භාවිත කරන වචනවල ඔවුන්ටම ආවේණික වූ අර්ථ තිබේ. ක්‍රිස්තියානීන් විසින් මෙවැනි අය අනුකරණය කිරීම ඥානවන්ත දෙයක් නොවේ. එසේ කිරීමෙන් ලෝකයේ එවැනි පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ජීවිත රටාවට අප යම් ගැතිකමක් දක්වන බව කියාපායි.—යොහ. 17:16.
එනිසා, දිනපතා යහපත් අන්දමකින් කතා බහ කිරීමට පුරුදු පුහුණු වන්න. දෛනික ජීවිතයේ ඔබ නොසැලකිලිමත් ලෙස කතා කිරීමේ පරීක්ෂාවට හසු වේ නම්, විශේෂ අවස්ථාවන්හිදී හොඳින් කතා කරන්නට හැකි වෙයි කියා අපේක්ෂා කළ නොහැකිය. එනමුත්, එදිනෙදා ජීවිතයේදී ඔබේ කතාව හොඳ මට්ටමක පවත්වාගැනීමට උත්සාහ දරනවා නම්, ඔබ වේදිකාවේ සිටින විට හෝ අන් අයට සත්‍යය ගැන සාක්ෂි දරන විට පහසුවෙන්ම හා නිරායාසයෙන්ම එසේ කතා කිරීමට ඔබට හැකි වේවි.