සිහි කිරීමට පැමිණෙන අයට උපකාර කරමු
1. වර්ෂ 2008 මාර්තු 22වනදා සිහි කිරීමට පැමිණෙන අය අද්දකින්නේ කුමක්ද?
1 යෙහෝවා දෙවි මිනිසුන්ට මොන තරම් ප්‍රේම කරනවාද කියා ඔහුගේ පුත්‍රයාගේ ජීවිත පූජාවෙන් පෙනී යනවා. (යොහ. 3:16) මේ ගැන ප්‍රබල සාක්ෂියක් 2008 මාර්තු 22වනදා යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණෙන මිලියන ගණනකට අසන්න ලැබෙනවා. දේවරාජ්‍යය ගැනත් දෙවි පොළොව සඳහා ඔහුගේ අරමුණ ඉටු කිරීමට එය යොදාගන්න ආකාරය ගැනත් ඔවුන්ට සවන් දෙන්න ලැබෙනවා. (මතෙ. 6:9, 10) දෙවිගේ ජනයා අතර තිබෙන ප්‍රේමය හා එක්සත්කම සියැසින්ම දැකගැනීමටත් අපේ උණුසුම් මිත්‍රශීලීකම අද්දකින්නත් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.—ගීතා. 133:1
2. සිහි කිරීමට පැමිණෙන බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
2 බයිබල් ශිෂ්‍යයන්: අපි සමඟ ළඟදී බයිබලය පාඩම් කිරීමට පටන්ගෙන සිටින අයද සිහි කිරීමට පැමිණෙයි. ඔවුන්ව අපේ සහෝදර සහෝදරියන්ට හඳුන්වා දෙන්න. සතිපතා පවත්වනු ලබන රැස්වීම් ගැන පවසා රාජ්‍ය ශාලාව ගැන කෙටි විස්තරයක් ලබා දෙන්න. දෙවි සමඟ මිත්‍රත්වය දිගටම වර්ධනය කරගැනීම සඳහා දිරිගැන්වීමක් සිහි කිරීමේ කතාවෙන් නවකයන්ට ලබා දෙයි. ඔබේ බයිබල් ශිෂ්‍යයන්ව දිරිමත් කිරීම සඳහා කථිකයා ඉදිරිපත් කරන එවැනි තොරතුරු යොදාගන්න පුළුවන්.
3. සිහි කිරීමට පැමිණෙන අක්‍රියාශීලී ප්‍රචාරකයන්ව දිරිමත් කළ හැක්කේ කෙසේද?
3 අක්‍රියාශීලී ප්‍රචාරකයන්: අක්‍රියාශීලී අයද සිහි කිරීමට පැමිණෙයි. ඔවුන්ව සාදරයෙන් පිළිගන්න. ඔවුන්ව අපහසුතාවකට පත් වන ආකාරයේ දේවල් පැවසීමෙන් වළකින්න. සිහි කිරීමෙන් දින කිහිපයකට පසු මේ අයව හමු වීමට වැඩිමහල්ලන් සැලසුම් කළ යුතුයි. වැඩිමහල්ලන් ඔවුන්ව හමු වීමට ගොස් සිහි කිරීමට පැමිණීම ගැන අගය පළ කර රැස්වීම්වලට දිගටම පැමිණීමට ඔවුන්ට ඕනෑකමින් ආරාධනා කරයි.
4. සිහි කිරීමට එන අමුත්තන්ට උපකාර කිරීමට අපි සෑම කෙනෙකුටම හැක්කේ කෙසේද?
4 අමුත්තන්: අපේ ආරාධනාව පිළිගත් හිත මිතුරන් හා පවුලේ අය සිහි කිරීමට පැමිණෙන්න පුළුවන්. තවත් අය සිහි කිරීමට පැමිණෙන්නේ සිහි කිරීම කාලයේ බෙදාහරින ආරාධනා පත්‍රය නිසා විය හැකියි. ඔබ හඳුනන්නේ නැති අය සිහි කිරීමට පැමිණ සිටිනවා ඔබ දුටුවොත් ඔවුන් ළඟට ගොස් ඔබව හඳුන්වා දී ඔවුන්ව සාදරයෙන් පිළිගන්න. සමහරවිට ඔවුන් කලින් අපේ රැස්වීමකට පැමිණ නොතිබෙන්න පුළුවන්. ඔවුන්ව නැවත හමු විය හැකි ආකාරය ගැන ඔවුන් සමඟ කරන කතාබහේදී දැනගන්න පුළුවන්. සිහි කිරීමෙන් දවස් කිහිපයකට පසු ගොස් ඔවුන්ව හමු වන්න. නැත්නම් දුරකථන ඇමතුමක් දෙන්න. බයිබලය ගැන ඉගෙනගැනීමට දිරිගන්වා පාඩමක් කිරීමට කැමතිද කියා අසන්න.
5. අපිට බයිබල් පාඩමක් පටන්ගත හැක්කේ කෙසේද?
5 සිහි කිරීමේ කතාවේදී ඉදිරිපත් කරනු ලබන තොරතුරු යොදාගෙන, නැවත බැලීමකදී බයිබලයේ ඉගැන්වීම් පොත හඳුන්වා දිය හැකියි. උදාහරණයක් හැටියට සිහි කිරීමේ කතාව ඉදිරිපත් කරන සහෝදරයා යෙසායා 65:21-23 දක්වා කියවයි. එසේ නැත්නම් ඒ පිළිබඳ අදහස් දක්වයි. නැවත බැලීමේදී කතාව ගැන යමක් පවසා මෙසේ කියන්න ඔබට හැකියි. “යේසුස්ගේ ජීවිත පූජාවෙන් ලැබෙන තවත් ආශීර්වාද ගැන ඔබට පැහැදිලි කර දෙන්න මම කැමතියි.” ඉන්පසු බයිබලයේ ඉගැන්වීම් පොතේ 4-5 දක්වා පිටුවල ඇති තොරතුරු සලකා බලන්න. මෙන්න තවත් යෝජනාවක්. “යෙසායාගේ අනාවැකිය ඉටු වෙන්නේ කවදාද කියලා හුඟදෙනෙක් කල්පනා කරනවා.” ඉන්පසු 9වන පරිච්ඡේදයේ 1-3 දක්වා ඡේද සලකා බලන්න. එසේත් නැත්නම් කථිකයා පැවසූ කරුණු කිහිපයක් නැවත සඳහන් කර බයිබලයේ ඉගැන්වීම් පොත හඳුන්වා දිය හැකියි. මේ පොතෙන් පාඩමක් කරන ආකාරය කෙටියෙන් පෙන්වන්න.
6. තම මරණය සිහි කරන්න කියා යේසුස් දුන් ආඥාවට අපි කීකරු වන විට උදා වන ප්‍රස්තා මොනවාද?
6 සිහි කිරීමට පැමිණෙන බයිබල් ශිෂ්‍යයන්ට, අක්‍රියාශීලී ප්‍රචාරකයන්ට හා අමුත්තන්ට උපකාර කිරීමට උදා වන ප්‍රස්තාවලින් අපි සියලුදෙනාම ප්‍රයෝජන ගනිමු. (ලූක් 22:19) අපි දෙවිට කරන සේවය වැඩි කිරීම සඳහා දරන වෑයම්වලට අනිවාර්යෙන්ම ඔහු ආශීර්වාද කරනවා.