ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bt 7 පරි. 58-66 පි.
  • “යේසුස් ගැන ශුභාරංචිය” ව්‍යාප්ත වෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “යේසුස් ගැන ශුභාරංචිය” ව්‍යාප්ත වෙයි
  • දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “දේශය පුරාම විසිරිලා ගිය ගෝලයන්” (ක්‍රියා 8:4-8)
  • “ඔයාලා කරන දේ කරන්න මටත් හැකියාව දෙන්න” (ක්‍රියා 8:9-25)
  • “ඔයා කියවන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද?” (ක්‍රියා 8:26-40)
  • පිලිප් ජ්වලිත එවැන්ජලිස්තවරයෙක්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පිලිප් එතියෝපිය නිලධාරියෙකුව බව්තීස්ම කරයි
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පුරෝගාමීන්ගේ ආකල්පයම ඔබත් තබාගන්න
    2004 අපගේ රාජ්‍ය සේවාව
  • ඔයා දැනගෙන හිටියාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
bt 7 පරි. 58-66 පි.

7වෙනි පරිච්ඡේදය

“යේසුස් ගැන ශුභාරංචිය” ව්‍යාප්ත වෙයි

උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරන කෙනෙක් විදිහට ෆිලිප් තියපු ආදර්ශය

ක්‍රියා 8:4-40

1, 2. දේශනා කරන එක නතර කරලා දාන්න දරපු උත්සාහයට වුණේ මොකක්ද?

දැන් පීඩා රැල්ල හොඳටම දරුණු වෙලා. සාවුල් ක්‍රිස්තියානීන්ට විරුද්ධව “හරිම කුරිරු විදිහට” පීඩා කරන්න පටන් අරන්. (ක්‍රියා 8:3) ඔහු ක්‍රියා කරන්නේ වියරු වැටුණු මෘගයෙක් වගේ. යෙරුසලමේ සිටින යේසුස්ගේ ගෝලයන් දැන් විවිධ තැන්වලට පලා යමින් සිටිනවා. ඒ නිසා ක්‍රිස්තියානි සභාව සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න සාවුල් ගත්ත උත්සාහය සාර්ථකයි කියලා සමහර අයට සිතෙන්න පුළුවන්. නමුත් නොසිතූ දෙයක් වෙනවා.

2 යෙරුසලමෙන් පලා ගිය අය ඔවුන් ගිය ගිය තැන්වල “දෙවියන්ගෙන් ලැබුණ ශුභාරංචිය දැනුම් දුන්නා.” (ක්‍රියා 8:4) ඒකෙන් පැහැදිලි වන්නේ විරුද්ධවාදීන් දරපු උත්සාහය අසාර්ථක වුණා කියන එකයි. ගෝලයන් එක එක තැන්වලට විසිරිලා ගිය නිසා ශුභාරංචිය දසත පැතිරුණා. ඇත්තෙන්ම ශුභාරංචිය ඈත කෙළවර දක්වා ව්‍යාප්ත කිරීමට විරුද්ධවාදීන් නොදැනුවත්වම දායක වුණා කියා පැවසිය හැකියි. මේ කාලයෙත් සිදු වී තිබෙන්නේ ඒ හා සමාන දෙයක්.

“දේශය පුරාම විසිරිලා ගිය ගෝලයන්” (ක්‍රියා 8:4-8)

3. (අ) ෆිලිප් කියන්නේ කාටද? (ආ) සමාරියේ හිටපු අයට ශුභාරංචියට සවන් දෙන්න අවස්ථාවක් ලැබුණේ නැත්තේ ඇයි? නමුත් පස්සේ කාලයකදී වෙන දේ ගැන යේසුස් කිව්වේ මොකක්ද?

3 “දේශය පුරාම විසිරිලා ගිය” අයගෙන් කෙනෙක් ෆිලිප්.a (ක්‍රියා 8:4; “‘උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරපු’ ෆිලිප්” කියන කොටුව බලන්න.) ඔහු ගියේ සමාරියටයි. ඒ නුවරේ සිටි බොහෝදෙනෙක්ට ශුභාරංචියට සවන් දෙන්න අවස්ථාවක් ලැබිලා තිබුණේ නැහැ. මොකද යේසුස් එක අවස්ථාවක තම නියෝජිතයන්ට මේ වගේ උපදෙසක් දීලා තිබුණා. “සමාරියේ තියෙන කිසි නගරෙකට ඇතුල් වෙන්න එපා. ඒ වෙනුවට දිගටම ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න, නැති වුණ බැටළුවන් ළඟට යන්න.” (මතෙ. 10:5, 6) නමුත් ඔහු ස්වර්ගයට යන්න කලින් කියපු මේ වදන්වලින් පැහැදිලි වන්නේ කාලයක් යද්දී සමාරියේ වැසියන්ටත් ශුභාරංචිය ගැන පැහැදිලි සාක්ෂියක් දරනවා කියලා ඔහු දැන සිටි බවයි. ඔහු කිව්වේ “ඔයාලා යෙරුසලමෙත් යුදය පුරාමත් සමාරියෙත් පොළොවේ දුර ඈත ප්‍රදේශවලත් මං ගැන සාක්ෂි දරයි” කියලයි.—ක්‍රියා 1:8.

4. ෆිලිප් ශුභාරංචිය දේශනා කරද්දී සමරිතානුවන් ඒකට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද?

4 සමාරිය කියන කෙතේ ‘කරල් පැහිලා, අස්වැන්න නෙළන්න කාලය ඇවිල්ලා’ කියලා ෆිලිප් දැක්කා. (යොහ. 4:35) ඔහු ඉදිරිපත් කළ පණිවිඩය එහේ හිටපු වැසියන්ට මහත් සහනයක් වුණා. මොකද පරිසිවරුන්ගේ පටු ආකල්ප නිසා යුදෙව්වන් සමරිතානුවන්ව සැලකුවේ පහත් ජාතියක් විදිහටයි. යුදෙව්වන් ඔවුන් සමඟ කිසි ගනු දෙනුවක් කළේ නැහැ. බොහෝදෙනෙක් ඔවුන්ව පිළිකුල් කළා. නමුත් ෆිලිප්ට ඔවුන් ගැන ඒ වගේ පහත් හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු මහත් උද්‍යෝගයෙන් හා සතුටින් සමරිතානුවන්ටත් ශුභාරංචිය දේශනා කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ශුභාරංචිය නිසා ලැබෙන බලාපොරොත්තුව කිසිම භේදයක් නැතුව සෑම කෙනෙක්ටම විවෘත බව සමරිතානුවන් තේරුම්ගත්තා. එහෙමනම් ෆිලිප් ශුභාරංචිය දේශනා කරන විට විශාල පිරිසක් ඒකට “කිට්ටු අවධානයක්” දුන්න එක පුදුමයක්ද!—ක්‍රියා 8:6.

5-7. දරුණු විරුද්ධවාදිකම් ශුභාරංචිය ව්‍යාප්ත වෙන්න හේතු වෙලා තියෙන්නේ කොහොමද?

5 පළවෙනි සියවසේ වගේ මේ කාලයෙත් දෙවියන්ගේ සේවකයන් කරන වැඩය නතර කිරීමට විරුද්ධවාදීන්ට හැකි වී නැහැ. දරුණු විරුද්ධවාදිකම් නිසා සාක්ෂිකරුවන්ට තම ගම්බිම් අත්හැර වෙනත් ස්ථානවලට යෑමට සිදු වී තිබෙන බව ඇත්තයි. සමහර අයට සිරකඳවුරුවල පවා ජීවත් වීමට සිදු වී තිබෙනවා. නමුත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ ස්ථානවල ඉන්න අයටත් ශුභාරංචියට සවන් දීමට අවස්ථාව ලැබී තිබෙනවා. උදාහරණයකට දෙවෙනි ලෝක යුද්ධය තිබුණ කාලයේදී නාට්සි ගාල් කඳවුරුවල හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ කඳවුරුවල අයට කදිම සාක්ෂියක් දැරුවා. ඒ කඳවුරක සිටි යුදෙව් ජාතිකයෙක් සාක්ෂිකරුවන් ගැන මෙහෙම කිව්වා. “කඳවුරේ හිටිය සාක්ෂිකරුවන් හරිම නිර්භීතයි. ඔවුන්ගේ විශ්වාසය ශුද්ධ ලියවිල්ල මත පදනම් වෙලා තිබුණා කියලා මම ඒකෙන් තේරුම්ගත්තා. ඒ නිසා මමත් සාක්ෂිකරුවෙක් වුණා.”

6 සමහර අවස්ථාවලදී තමන්ට විරුද්ධවාදිකම් කරන අයටත් සාක්ෂි දරන්න සාක්ෂිකරුවන්ට හැකි වී තිබෙනවා. උදාහරණයකට ඔස්ට්‍රියාවේ තිබුණ ගූසන් කියන ගාල් කඳවුරට මාරු කරපු සහෝදර ෆ්‍රාන්ස් ඩෙෂ්ගේ අද්දැකීම බලන්න. එහෙදී ඔහු නාට්සි ආරක්ෂක නිලධාරියෙක්ට සාක්ෂි දරලා ඔහු සමඟ බයිබල් පාඩමක් ආරම්භ කළා. අවුරුදු ගාණකට පස්සේ ඔවුන් දෙන්නා සමුළුවකදී මුණගැසුණා. ඒ ආරක්ෂක නිලධාරියා දැන් තමාගේ සහෝදරයෙක් කියලා දැනගන්න ලැබුණාම සහෝදර ඩෙෂ්ට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද!

7 විරුද්ධවාදිකම් නිසා සාක්ෂිකරුවන්ට එක රටකින් තවත් රටකට පලා යන්න සිදු වුණ අවස්ථාවකත් ඒ වගේම දෙයක් වුණා. 1970දී මලාවි රටේ සාක්ෂිකරුවන්ට මොසැම්බික් රටට පලා යන්න සිදු වුණා. නමුත් ඔවුන් මොසැම්බික්වලත් ශුභාරංචිය දේශනා කළා. පස්සේ කාලයක සාක්ෂිකරුවන්ට විරුද්ධව මොසැම්බික්වල විරුද්ධවාදිකම් ඇති වුණත් ඔවුන් සේවය නවත්වන්නේ නැතුව දිගටම කරගෙන ගියා. ඒ ගැන සහෝදර ෆ්‍රාන්සිස්කෝ කෝආනා මෙහෙම කිව්වා. “දේශනා සේවයේ හවුල් වුණ නිසා කිහිප අවස්ථාවකදීම අපව අත්අඩංගුවට ගත්තා. ඒ වුණත් හුඟදෙනෙක් ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා දකිද්දී පළවෙනි සියවසේ අයට වගේ යෙහෝවාගේ උපකාරය අපිටත් තියෙනවා කියලා ස්ථිර වුණා.”

8. ආර්ථික හා දේශපාලන වෙනස්කම් දේශනා සේවයට බලපාලා තියෙන්නේ කොහොමද?

8 විවිධ රටවලට ශුභාරංචිය පැතිරිලා තිබෙන්නේ පීඩා විරුද්ධවාදිකම් නිසා විතරක් නෙවෙයි. මෑත කාලයේදී සිද්ධ වුණ ආර්ථික හා දේශපාලන වෙනස්කමුත් ඒකට හේතු වෙලා තිබෙනවා. යුද්ධ තිබුණ රටවල හා ආර්ථිකය කඩා වැටුණ රටවල ජීවත් වුණ බොහෝදෙනෙක් වඩාත් දියුණු රටවලට ගිහින් තිබෙනවා. සමහරදෙනෙක් සරණාගතයන් විදිහට විවිධ රටවලට පලා ගිහින් තිබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට විවිධ භාෂා කතා කරන, විවිධ ජාතීන්ට අයත් අයට ශුභාරංචිය දේශනා කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. ඔවුන්ගෙන් සමහරදෙනෙක් බයිබලයේ සඳහන් දේවල් ඉගෙනගන්නත් පටන් අරන් තිබෙනවා. ඔබේ ප්‍රදේශයෙත් ජීවත් වන “හැම ජාතියකම, හැම ගෝත්‍රයකම, හැම ජනවර්ගයකම සහ හැම භාෂාවක්ම කතා කරන අයට” සාක්ෂි දරන්න ඔබට කළ හැකි උපරිමය ඔබ කරමින් ඉන්නවාද?—එළි. 7:9.

“ඔයාලා කරන දේ කරන්න මටත් හැකියාව දෙන්න” (ක්‍රියා 8:9-25)

යේසුස්ගේ නියෝජිතයෙක් කෙනෙක්ගේ උරහිස මත අත තබාගෙන ඉන්න අතරේ මන්තර ගුරුකම්වල යෙදී සිටි සීමොන් සල්ලි මල්ලකුත් රැගෙන එතනට පැමිණෙනවා. පසුබිමෙන් පෙන්වන්නේ තවත් ක්‍රිස්තියානියෙක් ආබාධිත ගැහැනු දරුවෙක්ව සුව කරද්දී අනිත් අය ප්‍රීති වෙන විදිහයි.

‘නියෝජිතයන් අත තිබ්බාම කෙනෙක්ට දෙවියන්ගේ බලය ලැබෙනවා කියලා දැක්කාම සීමොන් එයාලට සල්ලි දෙන්න පොරොන්දු වුණා.’—ක්‍රියා 8:18

9. සීමොන් කියන්නේ කාටද? ඔහු ෆිලිප් ගැන උනන්දු වුණේ ඇයි?

9 ෆිලිප් සමාරියේදී හුඟක් ආශ්චර්යයන් කළා. ඔහු අසනීපව සිටි අයව හා ආබාධිත අයව සුව කළා වගේම භූතයන් වැහුණ අයව භූතයන්ගෙන් නිදහස් කළා. (ක්‍රියා 8:6-8) මන්තර ගුරුකම් කරපු සීමොන් කියන තැනැත්තාත් ෆිලිප් කරපු ආශ්චර්යයන් දැක්කා. සීමොන් මිනිසුන් අතරේ කොතරම් ප්‍රසිද්ධ වෙලා හිටියාද කියනවා නම් මිනිසුන් ඔහු ගැන කිව්වේ “දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ බලය තියෙන්නේ මේ කෙනාටයි” කියලයි. නමුත් ෆිලිප් කරපු ආශ්චර්යයන් දැක්කාම දෙවියන්ගේ බලය ඇත්තටම මොන වගේද කියලා ඔහු තේරුම්ගත්තා. ඒ නිසා ඔහු යේසුස්ගේ අනුගාමිකයෙක් වුණා. (ක්‍රියා 8:9-13) නමුත් ඔහු දෙවියන්ගේ සේවකයෙක් වුණේ මොන චේතනාවෙන්ද කියලා පස්සේ සෝදිසියට ලක් වුණා.

10. (අ) සමාරියේදී පේතෘස් හා යොහන් කළේ මොකක්ද? (ආ) නියෝජිතයන් දෙන්නා අලුතින් ගෝලයන් වෙලා හිටපු අය පිට අත් තිබ්බාම වුණ දේ දැකපු සීමොන් කළේ මොකක්ද?

10 සමාරියේ වැසියන් දෙවියන්ගේ පණිවිඩයට දක්වපු හොඳ ප්‍රතිචාරය ගැන යේසුස්ගේ නියෝජිතයන්ට ආරංචි වුණාම ඔවුන් පේතෘස්ව හා යොහන්ව සමාරියට යැව්වා. (“පේතෘස් ‘ස්වර්ග රාජ්‍යයේ යතුරු’ භාවිත කරයි” කියන කොටුව බලන්න.) සමාරියට ගිය ඒ නියෝජිතයන් දෙන්නා අලුතින් ගෝලයන් වී සිටි අයට දෙවියන්ගේ බලය ලබා දෙන්න කියලා යාච්ඤා කළා. ඔවුන් දෙන්නා එහේ හිටපු ගෝලයන් පිට අත් තිබ්බාම ඔවුන්ට දෙවියන්ගේ බලය ලැබුණා.b සීමොන් ඒක දැකලා පුදුම වෙලා “ඔයාලා කරන දේ කරන්න මටත් හැකියාව දෙන්න. එතකොට මටත් පුළුවන් ඕනෙම කෙනෙක් පිට අත තියලා එයාට දෙවියන්ගේ බලය දෙන්න” කියලා නියෝජිතයන්ගෙන් ඉල්ලුවා. ඔහු ඔවුන්ට ඒ වෙනුවෙන් මුදල් දෙන්නත් කැමති වුණා. ඇත්තෙන්ම ඔහු සිතුවේ දෙවියන්ගේ බලය මුදල් දීලා ලබාගත හැකි දෙයක් කියලයි.—ක්‍රියා 8:14-19.

11. පේතෘස් සීමොන්ට කිව්වේ මොකක්ද? සීමොන් ඒකට ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?

11 එතකොට පේතෘස් තදින් ඔහුට මෙහෙම කිව්වා. “ඔයාගේ සල්ලි එක්කම ඔයාත් විනාශ වෙලා යන්න ඕනේ! ඔයා හිතනවාද දෙවියන් නොමිලේ දෙන මේ දීමනාව සල්ලි දීලා ගන්න පුළුවන් කියලා? ඔයාගේ හිත අවංක නැහැ කියලා දෙවියන්ට පේනවා. ඒ නිසා අපි කරන මේ වැඩේට ඔයාව කොහොමටවත් හවුල් කරගන්න බැහැ.” ඊටපස්සේ පේතෘස් සීමොන්ට මෙහෙම අවවාද කළා. “ඔයාගේ හිතේ තියෙන දුෂ්ට අදහස් ගැන පසුතැවිලි වෙලා යෙහෝවාට කන්නලව් කරන්න. සමහරවිට ඔහු ඔයාට සමාව දෙයි.” ඇත්තෙන්ම සීමොන් දුෂ්ට මිනිසෙක් නෙවෙයි. හරි දේ කරන්න ඔහුට ආශාවක් තිබුණා. ඒත් ඒ වෙලාවේ ඔහු ඒ වගේ දෙයක් කිව්වේ ඔහුගේ හිතට වැරදි අදහසක් ආපු නිසයි. ඔහු නියෝජිතයන්ට මෙහෙම කිව්වේ ඒ නිසයි. “අනේ, මං වෙනුවෙන් යෙහෝවාට කන්නලව් කරන්න. ඔයාලා කියපු කිසිම දෙයක් මට වෙන්න දෙන්න එපා කියලා ඔහුගෙන් ඉල්ලන්න.”—ක්‍රියා 8:20-24.

12. හුඟ කාලයක ඉඳන් ආගමික වරප්‍රසාද ලබාගද්දී සහ දෙද්දී වෙලා තියෙන්නේ මොනවාද?

12 පේතෘස් සීමොන්ට දුන්න ප්‍රබල උපදෙස අද ඉන්න අපට අනතුරු ඇඟවීමක්. හුඟ කාලයක සිට ආගමික වරප්‍රසාද මුදලට ගැනීම හා විකිණීම පුරුද්දක් වී තිබෙනවා. ක්‍රිස්තියානි කියලා කියාගන්න ආගම්වල ඒ දේ අඩුවක් නැතුව දකින්න ලැබෙනවා. එක විශ්වකෝෂයක ඒ ගැන කියලා තියෙන දේ බලන්න. “පාප්වරුන්ව පත් කිරීමට පවත්වන රහසිගත රැස්වීම්වල ඉතිහාසය පරීක්ෂා කරලා බලද්දී පෙනී යන්නේ පූජක වරප්‍රසාද මිල දී ගැනීම හෝ විකිණීම සිදු නොවුණ අවස්ථාවක් සොයාගැනීමට බැරි තරම් කියලයි. ඒ රැස්වීම්වලදී හුඟක් අවස්ථාවල ඒක කළේ කිසිම ලැජ්ජා බයක් නැතුව එළිපිටමයි.”—The Encyclopaedia Britannica 1878.

13. සැබෑ ක්‍රිස්තියානීන් පරෙස්සම් වෙන්න ඕනෙ මොන දේ ගැනද?

13 යම් දේවල් දීලා වරප්‍රසාද ලබාගැනීමෙන් හෝ යම් දේවල් අරන් වරප්‍රසාද ලබා දීමෙන් සැබෑ ක්‍රිස්තියානීන් වැළකී සිටිය යුතුයි. උදාහරණයකට ක්‍රිස්තියානි සභාව තුළ යම් වරප්‍රසාද ලබාගැනීමේ අරමුණින් වගකීම් දරන අයට අනවශ්‍ය විදිහට තෑගිබෝග දීමෙන් හෝ ඔවුන්ව අනවශ්‍ය විදිහට ප්‍රශංසාවට ලක් කිරීමෙන් අප වැළකී සිටිය යුතුයි. අනිත් අතට වගකීම් දරන අයත් මිලමුදල් වැඩියෙන් තිබෙන අයට වැඩි සැලකිල්ලක් නොදක්වන්න වගබලා ගත යුතුයි. ඒ දේවල් කිරීමට ක්‍රිස්තියානීන් පෙලඹෙනවා නම් ඔවුන්ට තිබෙන්නේ සීමොන්ට තිබුණා වගේ ආකල්පයක්. දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙලා යම් වරප්‍රසාද ලබා දෙන තුරු දෙවියන්ගේ සියලුම සේවකයන් “නිහතමානීව” බලා සිටිය යුතුයි. (ලූක් 9:48) ඇත්තෙන්ම “තමන්ටම ගෞරවය ගන්න හදන” අයට දෙවියන්ගේ සංවිධානය තුළ කිසිම ඉඩක් නැහැ.—හිතෝ. 25:27.

පේතෘස් “ස්වර්ග රාජ්‍යයේ යතුරු” භාවිත කරයි

“ස්වර්ග රාජ්‍යයේ යතුරු මං දෙන්නේ ඔයාටයි” කියලා යේසුස් පේතෘස්ට කිව්වා. (මතෙ. 16:19) යේසුස් ඒකෙන් අදහස් කළේ මොකක්ද? ඒකෙන් අදහස් කළේ ජන පිරිස් තුනකට දෙවියන්ගේ රාජ්‍යයට සම්බන්ධ විශේෂ වරප්‍රසාද විවෘත කර දීමේ වගකීම තිබුණේ පේතෘස්ට බවයි. ඔහු ඒ “යතුරු” තුන භාවිත කළේ මොන අවස්ථාවලදීද?

  • ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී පේතෘස් මුල් යතුර භාවිත කරලා යුදෙව්වන්ටත් යුදෙව් ආගමට හැරුණු අයටත් පසුතැවිලි වී බව්තීස්ම වන්න කියා පැවසුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 3,000ක් විතර එදා බව්තීස්ම වුණා. ඒ වගේම දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වීමේ බලාපොරොත්තුවත් ඔවුන්ට ලැබුණා.—ක්‍රියා 2:1-41.

  • ස්තේපන්ගේ මරණය වෙලා වැඩි කල් යන්න කලින් පේතෘස් දෙවෙනි යතුර භාවිත කළා. ඒ අවස්ථාවේදී පේතෘස් හා යොහන් යේසුස්ගේ ගෝලයන් වෙලා හිටිය සමරිතානුවන් පිට අත් තිබ්බාට පස්සේ ඔවුන්ට දෙවියන්ගේ බලය ලැබුණා.—ක්‍රියා 8:14-17.

  • පේතෘස් තුන්වෙනි යතුර භාවිත කළේ ක්‍රි.ව. 36දියි. ඒ වෙලාවේ ඔහු දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වීමේ බලාපොරොත්තුව වෙනත් ජාතීන්ටත් විවෘත කළා. ඒක සිදු වුණේ පේතෘස් කොර්නේලියස්ට සාක්ෂි දරපු අවස්ථාවෙදියි. චර්මච්ඡේදනය නොවුණ, වෙනත් ජාතීන් අතරින් යේසුස්ගේ අනුගාමිකයෙක් වුණ පළවෙනි තැනැත්තා ඔහුයි.—ක්‍රියා 10:1-48.

“ඔයා කියවන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද?” (ක්‍රියා 8:26-40)

14, 15. (අ) “ඉතියෝපියානු නිලධාරියා” ගැන අපි දන්නේ මොනවාද? ෆිලිප්ට ඔහුව හමු වුණේ කොහොමද? (ආ) ෆිලිප් කියපු දේවලට ඔහු ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? ඔහුගේ බව්තීස්මය හදිස්සියේ ගත් පියවරක් නෙමෙයි කියන්නේ ඇයි? (පාදසටහන බලන්න.)

14 යෙරුසලමේ සිට ගාසා දක්වා දිව යන මාර්ගයේ ගමන් කරන්න කියලා යෙහෝවාගේ දූතයෙක් ෆිලිප්ට මඟ පෙන්වුවා. තමන්ට ඒ වගේ මඟ පෙන්වීමක් දුන්නේ ඇයි කියලා සමහරවිට ෆිලිප් කල්පනා කරන්න ඇති. නමුත් ‘අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල ශබ්ද නඟලා කියවන’ ඉතියෝපියානු නිලධාරියාව දැක්කාම ෆිලිප්ට ඒකට පිළිතුරු ලැබෙන්න ඇති. (“ඉතියෝපියානු නිලධාරියා” කියන කොටුව බලන්න.) යෙහෝවාගේ මඟ පෙන්වීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ නිලධාරියා ගමන් කරමින් හිටපු අශ්ව රථය වෙතට ෆිලිප් දුවලා ගිහින් “ඔයා කියවන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද” කියලා ඔහුගෙන් ඇසුවා. එතකොට ඒ නිලධාරියා “කාගෙවත් උදව්වක් නැතුව මං කොහොමද මේක තේරුම්ගන්නේ” කියලා ෆිලිප්ට කිව්වා.—ක්‍රියා 8:26-31.

15 ඊටපස්සේ රථයට නැඟලා තමන් එක්ක ඉඳගන්න කියලා ඒ නිලධාරියා ෆිලිප්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන් දෙන්නා අතරේ මොන තරම් රසවත් සාකච්ඡාවක් සිදු වෙන්න ඇද්ද! යෙසායාගේ අනාවැකියේ සඳහන් ‘බැටළුවා’ නැත්නම් “සේවකයා” කවුද කියන කාරණය බොහෝ කාලයක් තිස්සේ අභිරහසක් වෙලා තිබුණා. (යෙසා. 53:1-12) නමුත් ගමන අතරතුරේදී යෙසායාගේ අනාවැකිය යේසුස් තුළින් ඉටු වුණ විදිහ ෆිලිප් ඉතියෝපියානු නිලධාරියාට පැහැදිලි කරලා දුන්නා. ඒ නිලධාරියාත් ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ පේතෘස් ඉදිරිපත් කළ කතාවට සවන් දුන්න අය වගේ ඊළඟට තමා ගත යුතු පියවර මොකක්ද කියලා ඉක්මනින් තේරුම්ගත්තා. මොකද ඔහු ඒ වන විට යුදෙව් ආගමට හැරුණු කෙනෙක්. ඒ නිසා “මෙන්න වතුර තියෙනවා! මට බව්තීස්ම වෙන්න මොකක්ද තියෙන බාධාව” කියලා ඔහු ෆිලිප්ගෙන් ඇසුවා. එතකොට ෆිලිප් ඒ වෙලාවෙම ඒ නිලධාරියාව බව්තීස්ම කළා.c (“බව්තීස්මය සිදු කරන්නේ කොහොමද?” කියන කොටුව බලන්න.) ඒ සිදුවීමෙන් පස්සේ අලුත් පැවරුමක් සඳහා අෂ්දොද් නුවර වෙතට යන්න කියලා ෆිලිප්ට දෙවියන්ගේ බලයෙන් මඟ පෙන්වීමක් ලැබුණා. ඔහු ඒ නුවරේ දිගටම ශුභාරංචිය ප්‍රකාශ කළා.—ක්‍රියා 8:32-40.

බව්තීස්මය සිදු කරන්නේ කොහොමද?

සමහර අය හිතන්නේ වතුර ටිකක් හිස මත වක් කිරීමෙන් හෝ ඉසීමෙන් බව්තීස්මය සිදු කළ හැකි බවයි. සැබෑ ක්‍රිස්තියානීන් බව්තීස්මය සිදු කරන්නේ කොහොමද? ඉතියෝපියානු නිලධාරියාව බව්තීස්ම කරපු විදිහ සලකා බැලීමෙන් අපිට ඒකට පිළිතුරු සොයාගත හැකියි. ඒ වාර්තාවේ කියන්නේ ‘වතුර තියෙන තැනකට ආවාම’ ඔවුන් අශ්ව රථය නැවැත්තුවා කියලයි. ඊටපස්සේ “ෆිලිප් සහ ඒ නිලධාරියා වතුරට බැස්සා.” (ක්‍රියා 8:36, 38) බව්තීස්මය සිදු කරන්න වතුර ටිකක් වක් කිරීම හෝ ඉසීම ප්‍රමාණවත් වුණා නම් ඇති තරම් වතුර තියෙන තැනක අශ්ව රථය නවත්වන්න අවශ්‍ය වුණේ නැහැ. ඒකට සම් භාජනයක තිබෙන වතුර ඔවුන්ට භාවිත කරන්න තිබුණා. ඉතියෝපියානු නිලධාරියා “කාන්තාරයක් මැදින් යන පාරක” ගමන් කරමින් සිටි නිසා වතුර පුරවපු සම් භාජන ඔහු ළඟ තියෙන්නත් ඇති.—ක්‍රියා 8:26.

එක ශබ්දකෝෂයකට අනුව බව්තීස්මය (බාප්ටීසෝ) විදිහට පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයෙන් “වතුරේ ගිල්වීම” අදහස් කරනවා. (A Greek-English Lexicon, by Liddell and Scott) බව්තීස්මය සිදු කළ අවස්ථා ගැන බයිබලයේ සඳහන් වාර්තාවලිනුත් පැහැදිලි වන්නේ බව්තීස්මය සිදු කළේ වතුරේ ගිල්වීමෙන් බවයි. උදාහරණයකට යොහන් 3:23 කියන්නේ මෙහෙමයි. “යොහන් සාලිම් ළඟ තියෙන ඒනොන්වලදී මිනිස්සුන්ව බව්තීස්ම කළා. මොකද එතන ගොඩක් වතුර තිබුණා.” යේසුස්ගේ බව්තීස්මය ගැන සඳහන් වාර්තාවේ කියන්නෙත් ‘වතුරෙන් උඩට එනවාත් එක්කම අහස විවර වෙනවා [යේසුස්] දැක්කා’ කියලයි. (මාක් 1:9, 10) ඒ නිසා සැබෑ ක්‍රිස්තියානීන්ව බව්තීස්ම කරද්දී ඔවුන්ව වතුරේ සම්පූර්ණයෙන්ම ගිල්වලා ආයෙත් උඩට ගන්නවා.

ඉතියෝපියානු නිලධාරියා

“නිලධාරියා” විදිහට පරිවර්තනය කර තිබෙන ග්‍රීක වචනයට අර්ථ දෙකක් තිබෙනවා. නපුංසකයෙක්ව හැඳින්වීමටත් උසස් නිලයක් දරපු කෙනෙක්ව හැඳින්වීමටත් ඒ වචනය භාවිත කළ හැකියි. හුඟක් බයිබල් පරිවර්තනවල ඉතියෝපියානු නිලධාරියාව ‘ඉතියෝපියානු නපුංසකයා’ විදිහට පරිවර්තනය කර තිබෙන්නේ ඒ නිසයි. නමුත් ප්‍රශ්නය වන්නේ ඔහු ඇත්තටම නපුංසකයෙක්ද කියන එකයි. ඒ කාලයේ රජුගේ භාර්යාවන්ව හා උපභාර්යාවන්ව බලාගන්න පත් කරපු නිලධාරියාගේ වෘෂණ කෝෂ කපා දැමීම අනිවාර්ය දෙයක් වෙලා තිබුණා. නමුත් රජුගේ කුසලාන දරන්නා හා ඔහුගේ වස්තුව භාරව හිටිය නිලධාරීන් වගේ අයට එහෙම කළේ නැහැ. ෆිලිප් බව්තීස්ම කළ ඉතියෝපියානු නිලධාරියාත් රජමාලිගාවේ උසස් නිලයක් දරපු කෙනෙක් කියා පැවසිය හැකියි. මොකද වාර්තාවේ ඔහුව හඳුන්වන්නේ රාජ වස්තුව බලා කියා ගත්ත නිලධාරියෙක් විදිහටයි. වෙනත් විදිහකින් කියනවා නම් ඔහු මුදල් ඇමති කෙනෙක්ට සමානයි.

ඔහු යුදෙව් ආගමට හැරුණු කෙනෙක්. ඔහු නමස්කාර කළේ යෙහෝවා දෙවියන්ටයි. ඒ නිසයි ඔහු නමස්කාර කරන්න යෙරුසලමට ගියේ. (ක්‍රියා 8:27) මෝසෙස්ට දුන්න නීතියේ වෘෂණ කෝෂ තුවාල වුණ හෝ ලිංගේන්ද්‍රිය කපා ඉවත් කළ කෙනෙක්ට දෙවියන් ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වෙන්න අවසර තිබුණේ නැහැ. (ද්වි. 23:1) මේ හැම තොරතුරකින්ම පැහැදිලි වන්නේ මේ ඉතියෝපියානු නිලධාරියා වෘෂණ කෝෂ කපා ඉවත් කළ කෙනෙක්, ඒ කියන්නේ නපුංසකයෙක් නොවුණ බවයි.

16, 17. ශුභාරංචිය දේශනා කරන කාර්යය ඉටු කරන්න අද දින දේවදූතයන් සම්බන්ධ වෙන්නේ කොහොමද?

16 ෆිලිප් කළා වගේම කාර්යයකට හවුල් වෙන්න සැබෑ ක්‍රිස්තියානීන්ට අවස්ථාව ලැබී තිබෙනවා. ගෙයින් ගෙට සේවයේ හවුල් වෙනවාට අමතරව ගමන්බිමන් යන විට හා වෙනත් අවස්ථාවලදී මිනිසුන්ට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය කියන්න අපට අවස්ථා උදා වෙනවා. ඒ වගේ අවස්ථාවලදී සත්‍යය දැනගන්න අවංක උනන්දුවක් දක්වන අයව අපට හමු වන්නේ අහම්බෙන් කියලා කියන්න බැහැ. මොකද බයිබලයේ පැහැදිලිවම කියන්නේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය ඉටු කරන්න දේවදූතයන්ගේ මඟ පෙන්වීම ලැබෙන බවයි. ඔවුන් එහෙම කරන්නේ “හැම ජාතියකම, ගෝත්‍රයකම, ජනවර්ගයකම අයටත් හැම භාෂාවක්ම කතා කරන අයටත්” ඒ පණිවිඩය ලබා දෙන්නයි. (එළි. 14:6) තිරිඟු හා කිරිඳි ගැන කියපු උදාහරණය මාර්ගයෙන් ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට දේවදූතයන් සම්බන්ධ වෙන විදිහ යේසුස් පෙන්වා දුන්නා. ඒ උදාහරණෙන් ඔහු පැවසුවේ අස්වැන්න කපන කාලයේදී ඒ කියන්නේ පවතින සමාජයේ අවසාන කාලයේදී ‘අස්වැන්න කපන අයගෙන්’ නියෝජනය වෙන්නේ ‘දේවදූතයන්ව’ කියලයි. ඔවුන් “අනිත් අයව වරදට පොලඹවන හැමෝවමත් දිගටම දෙවියන්ගේ නීති කඩන අයවත් එකතු කරලා ඔහුගේ රාජ්‍යයෙන් එළියට දානවා.” ඒ වගේම ඒ රාජ්‍යයේ පාලකයන් වෙන අපේක්ෂාවෙන් ඉන්න අයව එක් රැස් කිරීමටත් ඔවුන් පියවර ගන්නවා. ඊටපස්සේ දෙවියන් ඔහුගේ සංවිධානයේ කොටසක් වෙනවා දකින්න කැමති ‘වෙනත් බැටළුවන්ගෙන්’ හැදුණ “මහත් සමූහයත්” ඔවුන් එක් රැස් කරනවා.—මතෙ. 13:37-41; එළි. 7:9; යොහ. 6:44, 65; 10:16.

17 දේවදූතයන් ගැන යේසුස් කියපු ඒ දේ අද ඉටු වෙමින් පවතින බව අපට ස්ථිරවම පැවසිය හැකියි. සමහර අවස්ථාවල අපට හමු වන අය පවසන්නේ අපව හමු වීමට පෙර ඔවුන් යම් උපකාර ඉල්ලා යාච්ඤා කළ බවයි. ඇත්තෙන්ම ඒ වගේ අය වෙතට යෑමට අපට මඟ පෙන්වන්නේ දේවදූතයන්. ප්‍රචාරකයන් දෙන්නෙක් සමඟ පොඩි දරුවෙක් සේවයේ හවුල් වෙද්දී ලබපු මේ අද්දැකීම බලන්න. සේවය අවසන් කරන්න කාලය ආවත් ඊළඟ නිවසටත් යන්න දරුවා තුළ ලොකු උනන්දුවක් තිබුණා. ඔහුට තිබුණ උනන්දුව කොච්චරද කියනවා නම් ඔහු තනිවම ගිහින් ඒ නිවසේ දොරට තට්ටු කළා. තරුණ කාන්තාවක් නිවසේ දොර ඇරියාම ප්‍රචාරකයන් දෙන්නා ඇය එක්ක කතා කරන්න එතනට ගියා. බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න තමන්ට උපකාර කරන්න කාව හරි එවන්න කියලා ඒ අවස්ථාවේදී ඇය යාච්ඤා කරකර හිටියා කියලා ඇය කියද්දී ඔවුන් මොන තරම් පුදුම වුණාද! පසුව ඇය සමඟ බයිබලය පාඩම් කිරීමට ඔවුන් සැලසුම් යෙදුවා.

කාන්තාවක් නිවස ඇතුළේ යාච්ඤා කරමින් සිටියදී යුවළක් ඒ නිවසේ සීනුව නාද කරනවා.

“අනේ දෙවියනි, මම ඔබව දන්නේ නැහැ. ඒත් මට ඔබේ උපකාරය අවශ්‍යයි”

18. අපට තිබෙන වරප්‍රසාදය සුළුවට ගන්න හොඳ නැත්තේ ඇයි?

18 වෙන කවදාකටත් වඩා වැඩි පිරිසකට අද ශුභාරංචිය අහන්න ලැබෙනවා. ක්‍රිස්තියානි සභාවේ කෙනෙක් විදිහට දේවදූතයන් සමඟ ඒ කාර්යයට හවුල් වෙන වරප්‍රසාදය ඔබටත් ලැබී තිබෙනවා. ඔබට තිබෙන ඒ වරප්‍රසාදය කවදාවත් සුළුවට ගන්න එපා. “යේසුස් ගැන ශුභාරංචිය” ප්‍රකාශ කරන්න ඔබ දිගටම උත්සාහ කරනවා නම් ඒකෙන් ඔබට මහත් ප්‍රීතියක් අත් කරගත හැකි බව නිසැකයි.—ක්‍රියා 8:35.

“උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරපු” ෆිලිප්

පීඩා හා විරුද්ධවාදිකම් නිසා යෙරුසලමේ සිටි යේසුස්ගේ ගෝලයන් විවිධ තැන්වලට විසිරිලා ගියාම ෆිලිප් ගියේ සමාරියටයි. ඔහු පළවෙනි සියවසේ සිටි පාලක මණ්ඩලය සමඟ ඉතා කිට්ටුවෙන් වැඩ කළා. ඒක ක්‍රියා පොතේ සඳහන් මේ වාර්තාවෙන් පැහැදිලි වෙනවා. “සමාරියේ අය දෙවියන්ගේ පණිවිඩය පිළි අරන් තියෙනවා කියලා යෙරුසලමේ හිටපු නියෝජිතයන්ට ආරංචි වුණාම එයාලා පේතෘස්වයි, යොහන්වයි එහෙට යැව්වා.” ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමාරියේ සිටි යේසුස්ගේ අලුත් අනුගාමිකයන්ට දෙවියන්ගේ බලය ලැබුණා.—ක්‍රියා 8:14-17.

ඉතියෝපියානු නිලධාරියා සමඟ රථයක වාඩි වී සිටින ෆිලිප්.

ක්‍රියා 8වෙනි පරිච්ඡේදයේ සඳහන් සිදුවීමෙන් පස්සේ ෆිලිප් ගැන බයිබලයේ සඳහන් වන්නේ තව එක අවස්ථාවක විතරයි. ඒ, ඊට අවුරුදු 20කට විතර පස්සේ. නියෝජිත පාවුල් තම තුන්වෙනි සංචාරය අවසන් කරලා යෙරුසලමට යද්දී ඔහුත් ඔහු එක්ක ගිය අයත් ටොලමැයිසයට ගොඩබැස්සා. ඊටපස්සේ වුණ දේ ලූක් මෙහෙම වාර්තා කරනවා. “පහුවෙනිදා අපි එහෙන් පිටත් වෙලා සිසේරියට ආවා. එහෙදී අපි නවාතැන් ගත්තේ හුඟක් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරපු ෆිලිප්ගේ ගෙදර. එයා කෑම බෙදන්න පත් කරපු පුරුෂයන් හත්දෙනාගෙන් කෙනෙක්. එයාට අනාවැකි කියන අවිවාහක දුවලා හතරදෙනෙක් හිටියා.”—ක්‍රියා 21:8, 9.

ඒ වාර්තාවෙන් පැහැදිලි වන්නේ ෆිලිප් ඔහුට ශුභාරංචිය දේශනා කරන්න පවරලා තිබුණ ප්‍රදේශයේ තම පවුලේ අයත් එක්ක පදිංචි වෙලා හිටියා කියන එකයි. ලූක් ෆිලිප්ව හඳුන්වලා තියෙන්නේ “උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කරපු” කෙනෙක් විදිහටයි. අවුරුදු 20ක් ගත වෙලා තිබුණත් ඒකෙන් ෆිලිප් ගැන දෙයක් පැහැදිලි වෙනවා. සාමාන්‍යයෙන් බයිබලයේ ඒ යෙදුම භාවිත කර තිබෙන්නේ ශුභාරංචිය දේශනා කරලා නැති ප්‍රදේශවලට ගිහින් දේශනා කරන්න තම නිවෙස්, ගම්බිම් අත්හැර ගිය අයව විස්තර කරන්නයි. එහෙමනම් ෆිලිප්ව හැඳින්වීමට ඒ යෙදුම භාවිත කිරීමෙන් පැහැදිලි වන්නේ ඒ වන විටත් ශුභාරංචිය දේශනා කිරීමට ෆිලිප්ට මහත් උද්‍යෝගයක් තිබුණා කියලයි. අනාවැකි කියන දූවරු හතරදෙනෙක් ඔහුට සිටියා කියන එකෙන් පෙනී යන්නේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරගන්න හා ඔහුට සේවය කරන්න ෆිලිප් තම පවුලේ අයට උපකාර කරලා තිබුණා කියන එකයි.

a ඔහු යේසුස්ගේ නියෝජිතයෙක් වුණ ෆිලිප් නෙවෙයි. ඔහු, අප මේ පොතේ පස්වෙනි පරිච්ඡේදයේ ඉගෙනගත්ත විදිහට යෙරුසලමේ සිටි ග්‍රීක බස කතා කළ හා හෙබ්‍රෙව් බස කතා කළ වැන්දඹුවන්ට ආහාර බෙදා දීමේ කාර්යය අධීක්ෂණය කිරීමට පත් කළ ‘හොඳ නමක් දිනාගෙන හිටිය පුරුෂයන් හත්දෙනා’ අතරේ සිටි ෆිලිප්.—ක්‍රියා 6:1-6.

b ඒ කාලයේ කෙනෙක් බව්තීස්ම වුණ අවස්ථාවේදී ඔහුව දෙවියන්ගේ බලයෙන් අභිෂේක කළා. ඒ වෙලාවේ ඉඳන් දෙවියන්ගේ බලය ඒ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වුණා. යේසුස් සමඟ රජවරුන් හා පූජකයන් විදිහට වැඩ කරන බලාපොරොත්තුව කෙනෙක්ට ලැබුණේ ඒ වෙලාවෙදියි. (2 කොරි. 1:21, 22; එළි. 5:9, 10; 20:6) නමුත් සමාරියේ වැසියන් ශුභාරංචිය මුලින්ම පිළි අරන් බව්තීස්ම වුණ අවස්ථාවේදී දෙවියන්ගේ බලයෙන් ඔවුන්ව අභිෂේක කළේ නැහැ. මේ අලුත් ගෝලයන්ට දෙවියන්ගේ බලය ලැබුණේ පේතෘස් හා යොහන් ඔවුන් පිට අත් තැබුවාට පස්සෙයි. ඒත් එක්කම ආශ්චර්යවත් දීමනාත් ඔවුන්ට ලැබුණා.

c මේක වැඩිදුර සිතන්නේ බලන්නේ නැතුව හදිස්සියේ ගත්ත පියවරක් නෙවෙයි. ඒ වන විට ඔහු යුදෙව් ආගමට හැරුණු කෙනෙක් නිසා ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි ඇතුළු ශුද්ධ ලියවිල්ල ගැන හොඳ දැනුමක් ඔහුට තිබුණා. දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න යේසුස් දායක වෙන විදිහ ගැන දැනුවත් වුණාට පස්සේ කල් දාන්නේ නැතුව බව්තීස්ම වෙන්න ඔහුට පුළුවන් වුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න