ගැටලු හසුරුවන අන්දම පිළිබඳ පාඩමක්
යෝබ් මුහුණ දුන් සියලු ගැටලුවලට කවදා හෝ මුහුණ දී ඇත්නම්, ඒ ස්වල්පදෙනෙකි. කෙටි කාලයක් ඇතුළත, ඔහුට ඔහුගේ ධනය හා සත්ත්වයන් අහිමි වීමෙන්, තම දරුවන් සියල්ලන්ගේ ඛේදජනක මරණයෙන් හා අවසානයේදී ඉතා වේදනාකාරි රෝගයකින්, ඔහු ඉතා අසරණ තත්ත්වයකට පත්විය. තම මිත්‍රයන්ගෙන් හා නෑදෑයන්ගෙන් වෙන් කරනු ලැබූ ඔහුගෙන්, සිය භාර්යාව උදක්ම ඉල්ලා සිටියේ, “දෙවියන්වහන්සේට ශාප කර මැරෙවයි” කියාය.—යෝබ් 2:9, NW; යෝබ් 19:13, 14.
කෙසේවෙතත්, යෝබ් වනාහි, ඒ හා සමාන පරීක්ෂාවලට මුහුණ දෙමින් සිටින ඕනෑම අයෙකුට ධෛර්යයේ අද්විතීය උල්පතකි. ඔහුගේ පරීක්ෂාවේ ඒකාන්ත වූ අවසාන ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන්නේ, අප පෞද්ගලික වාසි ප්රයෝජනවලින් පෙලඹෙනවා වෙනුවට, අව්‍යාජ දේව භක්තියකින් විපත් හමුවේ විදඳරාගෙන සිටීමෙන්, යෙහෝවඃවහන්සේගේ හෘදය සතුටු කරවන බවයි.—යෝබ් 1, 2 පරිච්ඡේද; යෝබ් 42:10-17; හිතෝපදේශ 27:11.
ගැටලු හසුරුවන ආකාරය සම්බන්ධයෙන්ද මෙම බයිබල් වාර්තාව තුළ අනර්ඝ පාඩම් ඇතුළත් වී තිබේ. යම් පරීක්ෂාවන්ට මුහුණ දෙමින් සිටින යමෙකුට උපදෙස් දිය යුතු ආකාරය මෙන්ම, නොදිය යුතු ආකාරය ගැනද, එහි චමත්කාරජනක ආදර්ශ සපයයි. එපමණක්ද නොව, අප අහිතකර තත්ත්වයන්ට යටවී සිටින බව අපට දැනෙන විට, සමබර ආකාරයකින් ප්‍රතික්‍රියා කිරීම සඳහා අපට උපකාර කිරීමට යෝබ්ගේම අද්දැකීමට හැකිය.
නිෂේධාත්මක උපදෙස් පිළිබඳ පාඩමක්
විපත්තිදායක අවස්ථාවක දයානුකම්පාව දක්වනවා වෙනුවට, ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නාක් වැනි තත්ත්වයකට යමෙකුව පත් කරවන පුද්ගලයෙකුට “යෝබ්ගේ සැනසිලිකාරයා” යන යෙදුම පටබැඳී තිබේ. එහෙත්, යෝබ්ගේ මෙම මිත්‍රයන් තිදෙනා මෙම නාමයන් අත්කරගන්ට වටිනවා වුවද, ඔවුන්ගේ සියලු චේතනා මුළුමනින්ම නරක වූ බව අප නිගමනය නොකළ යුතුය. තමන්ගේ වැරදිසහගත මතවලට අනුව, යම් තරමකට යෝබ්ට උපකාර කිරීමට ඔවුන්ට වුවමනා වූවා විය හැකිය. ඔවුන් අසමත් වූයේ මන්ද? යෝබ්ගේ අඛණ්ඩතාව බිඳදැමීමට අදිටන් කරගෙන සිටි සාතන්ගේ උපකරණ බවට ඔවුන් පත්වූයේ කෙසේද?
ඇත්තෙන්ම, මූලික වශයෙන් ඔවුන් තම උපදෙස් සියල්ලම පාහේ පදනම් කරගෙන තිබුණේ වැරදිසහගත උපකල්පනයක් මතය: එනම්, දුක්වේදනා පැමිණෙන්නේ පව්කරන අයට පමණක්ය යන්නය. තම පළමු කථාවේදී, එලීපස් මෙසේ පැවසීය: “නිදොස්ව සිට විනාශවුණේ කව්ද කියාත් අවංක අය සිඳිනු ලැබුවේ කොතැනද කියාත් කල්පනාකරපන්න මා දැක තිබෙන හැටියට අධර්මිෂ්ඨකම හාලා අයුක්තිය වපුරන්නෝ ඒවාම කපාගනිති.” (යෝබ් 4:7, 8) නිර්දෝෂී අය විපත්වලට ගොදුරු වන්නේ නැතැයි එලීපස් වැරදිසහගත ලෙස විශ්වාස කළේය. යෝබ් දැඩි විපත්වලින් හිරවී සිටින හෙයින්, ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව පව්කර ඇතුවා විය යුතුයයි ඔහු තර්ක කළේය.a යෝබ් තම පව් සම්බන්ධව පසුතැවිලි විය යුතුයයි බිල්දද් හා ශෝපර් යන දෙදෙනාම ඒ හා සමානව බලකර කියා සිටියේය.—යෝබ් 8:5, 6; 11:13-15.
දිව්‍ය ප්‍රඥාව වෙනුවට තමන්ගේ පෞද්ගලික අදහස් ඉදිරිපත් කිරීම මගින් යෝබ්ගේ මිත්‍රයන් තිදෙනා තවදුරටත් ඔහුව අධෛර්යය කළේය. ‘දෙවියන්වහන්සේ තමන් මෙහෙකරුවන් කෙරෙහි විශ්වාසය නොතබනසේක’ කියාත්, යෝබ් ධර්මිෂ්ඨයෙකු වුවත් නැතත්, යෙහෝවඃවහන්සේට ඉන් කමක් නැතැයි කීමට තරම් එලීපස් දුරදිග ගියේය. (යෝබ් 4:18; 22:2, 3) එතරම් බොහෝ අධෛර්යය කරවනසුලු—නැතහොත් බොහෝ අසත්‍ය වූ—කියමනක් ගැන සිතාගන්ටවත් බැරිය! දේව අපහාස කිරීම ගැන යෙහෝවඃවහන්සේ එලීපස්ට සහ ඔහුගේ මිත්‍රයන්ට පසුව තරවටු කිරීම ගැන පුදුම වෙන්ට දෙයක් නැත. “නුඹලා මා ගැන හරි ලෙස කථා නොකළ” බව උන්වහන්සේ පැවසූසේක. (යෝබ් 42:7, NW) එහෙත්, වඩාත් හානිකර වූ දැඩි ප්‍රකාශය පැමිණීමට තිබුණේ පසුවටය.
අවසානයේදී එලීපස් ඍජු චෝදනා කිරීමට තරම් අන්තයට ගියේය. යෝබ් විසින් වරද පිළිගත් බවට යමක් යෝබ්ගෙන් ඇදගැනීමට නොහැකි වූ නිසා, යෝබ් කළා විය යුතුයයි, තමා සිතූ පරිදි වැරදි ගොතා කීමට හේ පටන්ගත්තේය. “නුඹේ දුෂ්ටකම මහත්ව තිබෙනවා නොවේද? නුඹේ අයුතුකම්වලට කෙළවරක් නැත [නැද්ද?, NW]” කියා එලීපස් ඇසුවේය. “මක්නිසාද නුඹ කාරණයක් නැතුව නුඹේ සහෝදරයාගෙන් උකස් ගත්තෙහිය. ඇඳුම් නැත්තන්ගෙන් වස්ත්‍රය උදුරා ගත්තෙහිය. ක්ලාන්ත අයට නුඹ බොන්ට වතුර නුදුන්නෙහිය, බඩගිනි අයට කෑම නොදී සිටියෙහිය.” (යෝබ් 22:5-7) මෙම චෝදනා මුළුමනින්ම පදනම් විරහිත ඒවා විණි. යෝබ් වනාහි “නිර්දෝෂවූ, අවංකවූ, [ඍජු, NW]” මිනිසෙකු ලෙස යෙහෝවඃවහන්සේම ඔහුව විස්තර කොට තිබුණි.—යෝබ් 1:8.
තම පෞද්ගලික අඛණ්ඩතාව මත එල්ල කරන ලද මෙම ප්‍රහාරවලට, යෝබ් ප්‍රතික්‍රියා කළේ කෙසේද? එනිසා ඔහු තරමක් තික්තබවට පත්වී කලකිරුණු බව තේරුම්ගත හැකිය, නමුත් මෙම චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීමට හේ තව තවත් අධිෂ්ඨාන කරගත්තේය. ඇත්තවශයෙන්ම, ඔහු තමාවම නිදොස් කරගැනීමට කොතරම් දැඩි වෑයමක් දැරුවේද යත්, එක් ආකාරයකට, ඔහු තම විපත්තිය සඳහා යෙහෝවඃවහන්සේට දොස් තබන්ට පටන්ගත්තේය. (යෝබ් 6:4; 9:16-18; 16:11, 12) මීට අදාළ නියම ප්‍රශ්න නොසලකා හැරිණි, තවද දෙබස වනාහි, යෝබ් ධර්මිෂ්ඨ මිනිසෙකු වූවාද නැද්ද යන්න පිළිබඳ නිෂ්ඵල විවාදයක් බවට පත්විණි. මෙම විපත්තිදායක උපදෙස් දීමෙන් ක්‍රිස්තියානියෙකුට ඉගෙනගත හැකි පාඩම් කවරේද?
1. සහෝදරයෙකුගේ ගැටලුවකට හේතුව, ඔහුගේම වරද බව ප්‍රේමනීය ක්‍රිස්තියානියෙකු මුලින්ම නිගමනය කරන්නේ නැත. සැබෑ වේවා, සිතා සිටින ඒවා වේවා, පසුගිය වැරදි පිළිබඳව දැඩි සේ විවේචනය කිරීමෙන් සිදුවන්නේ, ඒ සමඟ කටයුතු කිරීමට පොරබදමින් සිටින පුද්ගලයා මුළුමනින්ම අධෛර්යය වීමයි. කලකිරී සිටින තැනැත්තාට බැණවදිනවා වෙනුවට ඔහුව ‘සැනසිය’ යුතුය. (1 තෙසලෝනික 5:14, NW) යෙහෝවඃවහන්සේට වුවමනා වන්නේ, අවේක්ෂකයන් එලීපස්, බිල්දද් හා ශෝපර් මෙන් ‘දුක්දෙන සැනසිලිකාරයන්’ නොවී, “සුළඟෙන් මුවාවෙන ඉඩමක්” වීමය.—යෙසායා 32:2; යෝබ් 16:2.
2. පැහැදිලි සාක්ෂි නොමැතිව අප කිසිවිටෙකත් චෝදනාවක් නොකළ යුතුය. එලීපස්ගේ කියමන්වල මෙන්, කටකථා හෝ සැකයන් තරවටු දීම සඳහා හොඳ පදනමක් නොවේ. නිදසුනක් වශයෙන්, යම් වැඩිමහල්ලෙක්, බොරු චෝදනාවක් නඟන්නේ නම්, ඔහු තම විශ්වාසකටයුතුභාවය අහිමි කරගෙන චිත්තවේගී පීඩන සිදු කරන්ට පුළුවන. එවන් නොමඟ යවනසුලු උපදෙස්වලට සවන්දීමට සිදුවීම ගැන යෝබ්ට හැඟුණේ කෙසේද? ඔහු තමා තුළ වූ සංවේගය ඇණුම්පදයක් සහිතව වේගයෙන් පිට කළේ මෙසේය: “නුඹ ශක්තිය නැත්තාට උපකාරකළ හැටි!” (යෝබ් 26:2) සැලකිල්ලෙන් යුතුව ක්‍රියා කරන අවේක්ෂකයෙක්, “හෙළා තිබෙන අත් . . . සවිකර” ගැනීම මිස, ගැටලුව තවත් දරුණු තත්ත්වයට පත් කරන්නේ නැත.—හෙබ්‍රෙව් 12:12.
3. උපදෙස් පදනම් විය යුත්තේ දේව වචනය මත මිස, පෞද්ගලික අදහස් මත නොවේ. යෝබ්ගේ මිත්‍රයන්ගේ තර්ක වැරදිසහගත මෙන්ම විනාශකාරි විය. යෝබ්ව යෙහෝවඃවහන්සේ වෙතට ළං කරනවා වෙනුවට, ඔහු සහ ඔහුගේ ස්වර්ගික පියාණන් අතර බාධකයක් තිබෙන බව සිතීමට, එය ඔහුට හේතුකරවූයේය. (යෝබ් 19:2, 6, 8) අනික් අතට, බයිබලය දක්ෂ ලෙස යොදාගනු ලැබූ විට, කාරණා හරිගස්වා, අන්‍යයන්ව ප්‍රාණවත් කර, නියම සැනසීම ලබාදිය හැක.—ලූක් 24:32; රෝම 15:4; 2 තිමෝති 3:16ආ, 4:2.
ඇතැම් බොරුවලවල් හඳුනාගැනීමට යෝබ් පොත ක්‍රිස්තියානීන්ට උදව් වන අතරේදී, බලපෑමෙන් යුත් උපදෙස් දෙන ආකාරය ගැනද, එය ප්‍රයෝජනවත් පාඩමක් සපයයි.
උපදෙස් දෙන ආකාරය
එලීහුගේ උපදෙස, එහි අඩංගු දේ සහ එලීහු යෝබ් සමඟ කටයුතු කළ අන්දම අතින් බලන කල, යෝබ්ගේ මිත්‍රයන් තිදෙනාගේ උපදෙස්වලට වඩා හාත්පසින්ම වෙනස් වූයේය. ඔහු යෝබ්ගේ නාමය පාවිච්චි කළ අතර, ඔහුට කථා කළේ යෝබ්ගේ විනිශ්චයකරුවෙකු ලෙස නොව, නමුත් මිතුරෙකු ලෙසිනි. “ඒ කොයිහැටි නුමුත්, යෝබ්, මාගේ කථාව අසා, මාගේ සියලු වචනවලට ඇහුම්කන් දියන්න. දෙවියන්වහන්සේ වෙත නුඹ යම්සේද මමත් එසේ වෙමි. මමත් මැටියෙන් සාදනලද්දෙමි.” (යෝබ් 33:1, 6) යෝබ්ගේ ඍජු ක්‍රියාමාර්ගය වෙනුවෙන් ඔහුට ප්‍රශංසා කිරීමට එලීහු යුහුසුලු වූයේය. “නුඹ ධර්මිෂ්ඨ බව පෙන්වන්ට කැමැත්තෙමි” යයි ඔහු යෝබ් ධෛර්යවත් කළේය. (යෝබ් 33:32) මෙසේ කාරුණික අන්දමින් උපදෙස් දීමට අමතරව, වෙනත් හේතු සම්බන්ධයෙන්ද එලීහු සාර්ථක විය.
වෙනත් අය කථා කරන තෙක් ඉවසීමෙන් යුතුව බලාසිටි එලීහුට, තමා විසින් උපදෙස් දීමට පෙර, කාරණා වඩාත් හොඳහැටි අවබෝධ කරගැනීමට හැකිවිය. යෝබ් ධර්මිෂ්ඨ මිනිසෙකු බවට පිළිගනු ලැබූවෙන්, යෙහෝවඃවහන්සේ ඔහුට දඬුවම් කරනු ඇත්ද? “දෙවියන්වහන්සේගෙන් දුෂ්ටකම් කිරීමද සර්වපරාක්‍රමයාණන්ගෙන් අයුතුකම් කිරීමද දුරුවේවා” යයි එලීහු හඬනගා පැවසීය. “උන්වහන්සේ තමන් ඇස් ධර්මිෂ්ඨයන් වෙතින් අහක් නොකර[නසේක].”—යෝබ් 34:10; 36:7.
සැබවින්ම ප්‍රධාන ප්රශ්නය වූයේ යෝබ්ගේ ධර්මිෂ්ඨකමද? එලීහු යෝබ්ගේ අවධානය අසමබර වූ දෘෂ්ටිකෝණයක් වෙතට යොමු කළේය. “මාගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට වැඩියයි නුඹ කී[වෙහි]” යයි ඔහු පැහැදිලි කළේය. “අහස දෙසට ඇස් ඔසවා බලා, නුඹට ඉතා ඉහළින් තිබෙන ආකාශය බලා කල්පනාකරපන්න.” (යෝබ් 35:2, 5) වලාකුළු අපට වඩා බොහෝ ඉහළින් තිබෙන්නාක් මෙන්ම, යෙහෝවඃවහන්සේගේ මාර්ගද අපගේ මාර්ගවලට වඩා බොහෝ උසස්ය. උන්වහන්සේ දේවල් කරන ආකාරය සම්බන්ධයෙන් විනිශ්චය කරන තත්ත්වයක අපි නොසිටින්නෙමු. “එබැවින් මනුෂ්‍යයෝ උන්වහන්සේට භයවෙති. උන්වහන්සේ ප්‍රඥා සිත් ඇත්තන් [තමන් ප්‍රඥාවන්ත යයි සිතා සිටින අය, NW] නොසලකනසේක,” යනුවෙන් එලීහු අවසන් කළේය.—යෝබ් 37:24; යෙසායා 55:9.
එලීහුගේ නිවැරදි උපදෙස් හේතුකොටගෙන යෝබ්ට යෙහෝවඃවහන්සේ වෙතින් කෙළින්ම උපදෙස් ලැබීමට මාර්ගයක් විවෘත විණි. ඇත්තවශයෙන්ම, යෝබ් 37වන පරිච්ඡේදයේ “දෙවියන්වහන්සේගේ පුදුමාකාර ක්‍රියා” සම්බන්ධයෙන් එලීහුගේ විවරණය හා, යෝබ් 38 සිට 41 දක්වා පරිච්ඡේදවල වාර්තා වී ඇති යෝබ්ට යෙහෝවඃවහන්සේම වදාළ වචන අතර චමත්කාරජනක සමාන්තරයක් තිබේ. පෙනෙන විදිහට, එලීහු දේවල් දෙස බැලුවේ යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිකෝණයෙනි. (යෝබ් 37:14) එලීහුගේ කදිම ආදර්ශය අනුකරණය කිරීමට ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද?
එලීහු මෙන්, විශේෂයෙන්ම අවේක්ෂකයන්ට, තමන්ද අසම්පූර්ණ බව සිහියේ තබාගනිමින් සංවේදනීය වීමට හා කරුණාවන්ත වීමට වුවමනාය. ඔවුන් විසින් උපදෙස් දීමට පෙර, සැබෑ කරුණු හා ප්‍රශ්න අවබෝධ කරගැනීම පිණිස පරෙස්සමින් සවන්දීම යෙහෙකි. (හිතෝපදේශ 18:13) එපමණක්ද නොව, බයිබලය සහ ශුද්ධ ලියවිලිමය ප්‍රකාශන භාවිත කිරීමෙන්, යෙහෝවඃවහන්සේගේ දෘෂ්ටිකෝණය උපදෙස පුරා විසිර තිබෙන බවට ඔවුන්ට සහතික විය හැකිය.—රෝම 3:4.
වැඩිමහල්ලන් සඳහා මෙම ප්‍රායෝගික පාඩම් සපයනවාට අමතරව, ගැටලුවලට සමබර අන්දමකින් මුහුණ දෙන ආකාරය යෝබ් පොත අපට උගන්වයි.
අහිතකර තත්ත්වයන්හිදී ප්‍රතික්‍රියා නොකළ යුතු අන්දම
තම දුක්වේදනා සහ තම බොරු සැනසිලිකාරයන්ගෙන් වියවුලට පත් යෝබ්, ශෝකයටත් කලකිරීමටත් පත්විය. “මා උපන් දවස . . . නැති වේවා. . . . මාගේ ආත්මයට මාගේ ජීවිතය වෙහෙසක්ය,” යයි ඔහු කොඳුළේය. (යෝබ් 3:3; 10:1) මීට වගකිවයුත්තා සාතන් බව දැනනොසිටි ඔහු, තම විපත්ති පැමිණවූයේ දෙවියන්වහන්සේ බව නිගමනය කළේය. ධර්මිෂ්ඨ මිනිසෙකු වූ ඔහුට දුක්විඳිය යුතුව තිබීම එතරම්ම අයුක්තිසහගත යමක් බව පෙනෙන්ට විය. (යෝබ් 23:10, 11; 27:2; 30:20, 21) මෙම ආකල්පය යෝබ්ව අනිකුත් සැලකීම් සම්බන්ධයෙන් අන්ධ කළ අතර, දෙවියන්වහන්සේ මිනිස්වර්ගයා සමඟ කටයුතු කරන අන්දම විවේචනය කිරීමට හේතු කරවීය. යෙහෝවඃවහන්සේ මෙසේ ඇසූසේක: “නුඹ මාගේ විනිශ්චය පවා අවලංගුකර, නුඹම ධර්මිෂ්ඨව පෙනෙන පිණිස මට වරද තබන්නෙහිද?”—යෝබ් 40:8.
සමහරවිට, අපටද යම් විපතකට මුහුණ දීමට සිදුවූ විට, යෝබ්ට හැඟුණාක් මෙන්, අප තාඩන පීඩනවලට හසුකරනු ලැබූ බවක් හැඟෙන්ට පිළිවන. සාමාන්‍යයෙන් පොදුවේ දක්වන ප්‍රතිචාරය නම්, ‘ඇයි මට විතරක්? මට වඩා නරක අය සාමාන්‍යයෙන් ගැටලුවලින් තොර ජීවිතයක් භුක්තිවිඳින්නේ මන්ද?’ මේවා වනාහි, නිෂේධාත්මක සිතිවිලි වන අතර, දෙවියන්වහන්සේගේ වචනය මත මෙනෙහි කිරීම මගින් අපට මේවා නිෂ්ප්‍රභ කළ හැක.
යෝබ් මෙන් නොව, අප සිටින්නේ සම්බන්ධ වී ඇති මහත් ප්‍රශ්න තේරුම්ගැනීමට හැකි තත්ත්වයකය. සාතන් “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදි[න]” බව අපි දනිමු. (1 පේතෘස් 5:8) යෝබ්ගේ පොත හෙළි කරනවාක් මෙන්, අපට ගැටලු ඇති කිරීමෙන් අපගේ අඛණ්ඩතාව බිඳීමට සාතන් සතුටු වනු ඇත. අප වනාහි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් වන්නේ, කිසි ප්‍රශ්නයක් හෝ ගැටලුවක් නොමැතිනම් පමණක් බවට, ඔහු පවසන දේ ඔප්පු කිරීමට ඔහු බෙහෙවින් නැඹුරු වී සිටී. (යෝබ් 1:9-11; 2:3-5) යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය තහවුරු කරමින්, එලෙස යක්ෂයා බොරුකාරයෙකු බව ඔප්පු කිරීමට අපට ධෛර්යය තිබෙනු ඇත්ද?
යේසුස්වහන්සේගේ ආදර්ශය සහ යෙහෝවඃවහන්සේගේ, ගණන් කළ නොහැකි වෙනත් ඇදහිලිවන්ත සේවකයන්ගේ ආදර්ශවලින් පෙන්වන්නේ, මෙම දේවල පිළිවෙළ තුළ යම් ආකාරයක දුක්විඳීම වැළකිය නොහැකි බවයි. තමන්වහන්සේව අනුගමනය කිරීමට කැමති නම්, තම ගෝලයන් ‘තම වධකණුව උසුලාගැනීමට’ කැමති විය යුතු බව, යේසුස්වහන්සේ පැවසූසේක. (ලූක් 9:23, NW) අපගේ පෞද්ගලික “වධ කණුව” යෝබ් විඳදරාගත් විපත් එකක් හෝ ඊට වැඩි ගණනක් විය හැක—එනම්, දුර්වල සෞඛ්‍යය, ආදරය කළ කෙනෙකු වියෝවීම, කලකිරීම, ආර්ථික දුෂ්කරතා හෝ නොඇදහිලිකාරයන්ගෙන් පැමිණෙන විරුද්ධවාදීකම්ය. කුමන ආකාර ගැටලුවකට අප මුහුණ දෙනවා විය හැකි වුවත්, ඒකාන්ත පැත්තක්ද තිබේ. අපගේ මෙම තත්ත්වය, අපගේ විඳදරාගැනීම සහ යෙහෝවඃවහන්සේට වූ නොසැලෙන බැඳීම නිරූපනය කිරීමට ප්‍රස්තාවක් සේ අපට ඒ දෙස බැලිය හැකිය.—යාකොබ් 1:2, 3.
යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන් ප්‍රතික්‍රියා කළ ආකාරය වූයේ එයයි. පෙන්තකොස්තයට පසු විගසම පාහේ, යේසුස්වහන්සේ ගැන දේශනා කිරීම හේතුවෙන් ඔවුන්ට තළන ලදි. අධෛර්යය වෙනවා වෙනුවට, ඔවුහු තම මාර්ගයෙන් “සන්තෝෂව” ගියෝය. ඔවුහු ප්රීතිවූයේ දුක්විඳීම ගැනම නොවේ, නමුත් “ඒ [ක්‍රිස්තුස්වහන්සේගේ] නාමය නිසා නින්දාවිඳින්ට තුමූ වටින්නෝයයි ගණන්ගනු ලැබූ” නිසාය.—ක්‍රියා 5:40, 41.
ඇත්තවශයෙන්ම, අපගේ සියලු දුෂ්කරතා අප මතට කඩා වැටෙන්නේ අප යෙහෝවඃවහන්සේට සේවය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නොවේ. අඩුතරමින් එක්තරා දුරකට, අප විසින්ම කරගන්නා දේවල් නිසා අපට ගැටලු ඇතිවිය හැක. එසේ නැතහොත්, සමහරවිට අපගේම වරදක් නොවුණත්, ගැටලුව අපේ ආත්මික සමබරතාවට බලපා තිබෙනවා විය හැක. තත්ත්වය කුමක් වුවත්, අපට වැරදී ඇති තැන වටහාගැනීමට යෝබ්ට තිබුණාක් බඳු නිහතමානී ආකල්පයක් අපට උපකාර කරයි. යෝබ් යෙහෝවඃවහන්සේ සමඟ මෙසේ පිළිගත්තේය: “මම කථා කළෙමි, නමුත් මම තේරුම් නොගත්තෙමි.” (යෝබ් 42:3, NW) මේ අන්දමින් තම වැරදි පිළිගන්නාවූ තැනැත්තා අනාගතයේදී මේ හා සමාන මීට වඩා දුෂ්කරතාවලින් වැළකීමට බොහෝ ඉඩකඩ තිබේ. හිතෝපදේශය පවසන්නාක් මෙන්, “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි.”—හිතෝපදේශ 22:3.
වඩාත් වැදගත් දේ නම්, අපගේ ගැටලු සදහටම නොපවතින බව යෝබ් පොත අපට සිහිගැන්වීමයි. බයිබලය මෙසේ පවසයි: “ඉවසූ [විඳදරාගත්, NW] අය ආශීර්වාදලද්දෝයයි [සන්තෝෂවත්යයි, NW] අපි කියමුව. යෝබ්ගේ ඉවසීම [විඳදරරාගැනීම, NW] ගැන නුඹලා අසා තිබේ, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] තීරණයද නුඹලා දුටුවහුය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] බොහෝ අනුකම්පාව ඇත්තාවූ දයාවන්තවූ කෙනෙක්ය.” (යාකොබ් 5:11) ඒ හා සමානව අදදිනත් යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන්ගේ ඇදහිලිවන්තභාවයට විපාක දෙනු ඇති බවට අපට සහතික විය හැක.
තවද සියලු ආකාර ගැටලු—“පළමු දේවල්”—පහව ගොස් තිබෙනු ඇති කාලය දෙස අපි බලා සිටින්නෙමු. (එළිදරව් 21:4) එම දවස උදාවන තෙක්, ප්‍රඥාවෙන් සහ ස්ථිරභාවයෙන් යුක්තව ගැටලු හසුරුවාලීම සඳහා අපට යෝබ්ගේ පොතෙන් මිල කළ නොහැකි මඟ පෙන්වීමක් දානය කෙරේ.
[පාදසටහන්වල]
a “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය,” යනුවෙන් බයිබලය ප්‍රකාශ කරන අතරේදී, මින් අදහස් කරන්නේ, පුද්ගලයෙකුගේ දුක්විඳීම දිව්‍යමය පළිගැනීමක් නිසා සිදුවනවාය යන්න නොවේ. (ගලාති 6:7) සාතන් විසින් පාලනය කරන ලද මේ ලෝකය තුළ, ධර්මිෂ්ඨ මනුෂ්‍යයා බොහෝවිට දුෂ්ටයාට වඩා ගැටලුවලට මුහුණ දෙයි. (1 යොහන් 5:19) “නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය” යයි යේසුස්වහන්සේ සිය ගෝලයන්ට පැවසූසේක. (මතෙව් 10:22) දෙවියන්වහන්සේගේ ඕනෑම ඇදහිලිවන්ත සේවකයෙකු මත අසනීප හා වෙනත් ආකාරයේ අභාග්‍යසම්පන්න දේවල් සිදුවීමට පුළුවන.—ගීතාවලිය 41:3; 73:3-5; පිලිප්පි 2:25-27.
[28වන පිටුවේ පින්තූරය]
“නුඹට ඉතා ඉහළින් තිබෙන ආකාශය බලා කල්පනා කරපන්න.” මිනිසාගේ මාර්ගවලට වඩා දෙවියන්වහන්සේගේ මාර්ග උසස්ව තිබෙන බව වටහාගැනීමට එලීහු යෝබ්ට උපකාර කළේ මෙසේයි