කඳුවල සෙවණැලි අතරේ සැඟව ගිය ගමන
හිමිදිරි උදෑසනක තම නිවසේ දොරකඩට ගිය කාන්තාවක් එහි පාර්සලයක් තිබෙනවා දුටුවා. ඇය වටපිට බැලුවත් කිසිවෙක් පෙනෙන්න සිටියේ නැහැ. නොදන්නා අමුත්තෙක් කලින් දා රාත්‍රියේ ඒ පාර්සලය තබා ගොස් තිබුණා. එය අතට ගත් ඇය යාන්තමින් ඇර බලා එහි තිබූ දෙය දුටු සැණින් එය රැගෙන ඇතුළට ගොස් දොර වසාගත්තා. එහි තිබුණේ ඒ රටේ තහනම් කර තිබුණ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන කිහිපයක්. තමන්ට අත්‍යවශ්‍යව තිබූ ඒ ප්‍රකාශන ලබා දීම ගැන ඇය දෙවිට නිහඬ යාච්ඤාවක් කළේ ඒ පාර්සලය දෝතින්ම තුරුලු කරගෙන උතුරා යන සතුටකින්.
අපි ඒ සඳහන් කළේ 1930 ගණන්වල ජර්මනියේ සිදු වූ සිද්ධියක්. අපගේ ප්‍රකාශන ඒ විදිහට හොර රහසේ සහෝදරයන් අතට පත් වීම පිටුපස තියෙන කතාව දැන් අපි බලමු. 1933දී නාට්සි පාලනයේ නැඟී සිටීමත් සමඟම සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කළා. දැන් අවුරුදු 100කටත් වඩා වයසක පසු වන රිෂාඩ් රූඩොල්ෆ් ඒ කාලයේ ජවසම්පන්න තරුණයෙක්.a ඒ අතීතය සිහි කරමින් ඔහු මෙහෙම කියනවා. “මිනිස්සු මොන නීති දැම්මත් යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ නාමය ගැනත් ප්‍රචාරය කරන එක නවත්වන්න බැහැ කියලා අපිට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වෙනුවෙන් අපේ ප්‍රකාශන විශාල කාර්යභාරයක් කළා. ඒත් ඒවා තහනම් කරලා තිබුණ නිසා ඒ කාර්යය දිගටම කරගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නෙ මතු වුණා.” ඒ ගැන කල්පනා කරමින් හිටපු රිෂාඩ් ඇතුළු සහෝදරයන් ‘කඳුවල සෙවණැලි’ අතර සැඟව පොත් පත් රට තුළට ගෙන එන්න සැලසුම් කළා.—විනි. 9:36.
ජාවාරම්කරුවන්ගේ අඩිපාරේ යමින්
එල්බ් ගඟ දිගේ රට ඇතුළට එන කෙනෙක්ට යෝධ කඳු වැටියක් හමු වෙනවා. අද චෙක් ජනරජය සහ පෝලන්තය වෙන් කරන දේශ සීමාව විදිහටත් ඒ කඳු වැටිය ගණන් ගැනෙනවා. එහි උස අඩි 5,250ක් විතර වුණත් එහි යන කෙනෙකුට හැඟෙන්නේ හරියට ආක්ටික් වෘත්තයේ ඉන්නවා වගෙයි. ඒ තරමට ඒ කඳු වැටිය සීතලෙන් හා හිමෙන් වැසී ගිහින්. අවුරුද්දෙන් භාගයකටත් වඩා වැඩි කාලයක් අඩි දහයක පමණ ගනකමින් යුත් හිම තට්ටුවකින් ඒ කඳු පන්තිය වැසී තිබෙනවා. තද සීතලට අමතරව විටින් විට මුළු ප්‍රදේශයම ගන මීදුමෙන් වැසී යනවා.
සියවස් ගණනාවක් පුරාම ඒ කඳු වැටිය විවිධ රාජධානි, ප්‍රාන්ත වෙන් කරන ස්වාභාවික දේශ සීමාවක්ව පැවතුණා. අධික සීතල හා හිම නිසා එහි මිනිසුන් ගැවසුණේ නැති තරම්. එහි සිදු වෙන දේවල් සොයා බලන එකත් ලේසි වුණේ නැහැ. ඒ නිසා එය විවිධ ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත් වී තිබුණා. 1930 ගණන්වල චෙකොස්ලෝවේකියාව හා ජර්මනිය වෙන් කළෙත් ඒ කඳු වැටියයි. ඒ කඳු වැටිය හරහා වැටී තිබුණ ජාවාරම්කරුවන්ගේ මංමාවත් ඔස්සේ සාක්ෂිකරුවනුත් රහසිගතව තම ප්‍රකාශන ජර්මනියට ගෙනාවා.
යෝධ කඳු වැටිය හරහා ජර්මනියට සඟරා රැගෙන එමින්
භයානක කඳු තරණයක
ඒ ත්‍රාසජනක ගමන ගැන සහෝදර රිෂාඩ් තම මතකය අවදි කරන්නේ මේ විදිහටයි. “හැම සති අන්තයකම වගේ අපි හත්දෙනා ගාණේ කණ්ඩායම් හැදිලා කඳු නඟින අය විදිහට ඇඳගෙන කඳුකරය හරහා චෙක් රටේ ෂෙපින්ඩල්රූව්මලින් කියන තැනට යනවා. අපිට ඒ ගමනට පැය තුනක් විතර ගත වෙනවා.” චෙක් දේශ සීමාවේ ඉඳන් කි.මී. 16.5ක් විතර දුරින් තිබුණ ඒ ප්‍රදේශයේ හුඟක් ජර්මන් ජාතිකයන් ජීවත් වුණා. ඔවුන් අතර සහෝදරයන්ට උදව් කළ ගොවිපොළක හිමිකරුවෙක් සිටියා. ඔහු නිවාඩු ගත කරන්න එන අයව නගරයේ ඉඳන් ගමට අශ්ව කරත්තයෙන් රැගෙන එන අතරේ ප්රාග් නගරයේ සිට දුම්රියෙන් එවන සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන ඇතුළත් පෙට්ටි රැගෙන ඇවිත් ගොවිපොළේ සඟවා තබනවා.
“අපි ඒ ගොවිපොළට ගිහින් අපේ බෑග්වලට ඒ පොත් පත් දාගන්නවා. ඒ විදිහට එක් කෙනෙක් කිලෝ 50ක් විතර බර පොත් පත් උස්සගෙන එනවා.” ඔවුන් පිට වෙන්නේ කළුවර වැටීගෙන එද්දියි. ඔවුන්ගේ අරමුණ වුණේ පසුවදා එළි වෙන්න කලින් නැවතත් ජර්මනියට පැමිණීමයි. බලධාරීන්ට හසු නොවීම සඳහා ඔවුන් කළ දෙයක් ගැන චාරිකා සේවකයෙක් වුණ අර්නස්ට් වින්සර් කියන්නේ මෙහෙමයි. “කණ්ඩායමට ඉස්සරහයින් හැම වෙලාවෙම වගේ සහෝදරයෝ දෙන්නෙක්ව යවනවා. අතරමඟ පොලීසියෙන් හිටියොත් ඒ දෙන්නා ලයිට් එකක් ගහලා සංඥාවක් දෙනවා. එතකොට කට්ටිය ඉක්මනට හැංගෙනවා. ඒ දෙන්නා ආයෙත් ඇවිත් කතා කරනකල් කවුරුත් එළියට එන්නේ නැහැ.” නමුත් ඔවුන්ගේ ගමන දුෂ්කර එකක් වුණේ පොලීසිය නිසා විතරක් නෙවෙයි.
එක දවසක සිදු වූ දෙයක් ගැන රිෂාඩ් මෙහෙම කියනවා. “එදා මට ටිකක් රෑ වෙනකල් වැඩ කරන්න වුණ නිසා මම චෙක් රට පැත්තට යන්න පිටත් වුණේ අපේ කණ්ඩායම පිටත් වෙලා ටික වෙලාවකට පස්සෙයි. කට්ට කළුවරයි තද මීදුමයි මදිවට තිබුණ වැස්සත් නිසා සීතලේ ගැහිගැහී ගිය මං අතරමං වුණා. පැය ගාණක් තිස්සේ පාර හොයාගන්න බැරුව ඇවිද්දා. මේ වගේ අතරමං වුණ හුඟක් අය මැරිලත් තියෙනවා. අපේ කණ්ඩායම පාන්දර ආයෙ එනකොටත් මං පාර හොයනවා.”
ඒ සහෝදරයෝ ටිකදෙනා අවුරුදු තුනක් විතර හැම සතියකම වගේ ඒ ගමන නොසැලී දිගටම ගියා. දුෂ්කර ශීත ඍතුවේදීවත් ඔවුන් ඒ ගමන නතර කළේ නැහැ. ඊට අමතරව විටින් විට සහෝදරයෝ 20ක විතර කණ්ඩායමක් සාමාන්‍ය කඳු නඟින්නන් යන මඟේ දහවල් කාලයේදී මේ ගමන යනවා. කාටවත් සැක හිතෙන්නේ නැති වෙන්න ඔවුන් සමඟ සහෝදරියොත් යනවා. ඒ අයගෙන් කිහිපදෙනෙක් ගියේ කණ්ඩායමට ඉදිරියෙන්. කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතෙන අවස්ථාවලදී ඔවුන් හිස් වැසුම් උඩට විසි කරලා සංඥාවක් දෙනවා.
හිමෙන් වැසී ගිය කඳු මුදුන් හරහා ගිය ගමන භයානක එකක්
ඒ විදිහට ප්‍රකාශන ජර්මනියට ගෙනාවට පස්සේ ඔවුන් ඒවා ඉක්මනින්ම සහෝදරයන් අතර බෙදාහරින්න කටයුතු කළා. ඔවුන් ඒවා සබන් අසුරපු පෙට්ටි විදිහට සකස් කරලා හිර්ෂ්බර්ග්වල තිබුණ දුම්රිය ස්ථානයට රැගෙන යනවා. ඉන්පසුව දුම්රිය මගින් ජර්මනියේ විවිධ ප්‍රදේශවලට බෙදාහරිනවා. ඒ ප්‍රදේශවල ඉන්න සහෝදරයෝ ටිකදෙනෙක් ඒ අවට ඉන්න සාක්ෂිකරුවන්ට රහසිගතව ඒවා ලබා දෙනවා. ලිපියේ මුලින්ම අපි බැලුවේ ඒ වගේ සිද්ධියක්. කාටත් හොරා කරගෙන ගිය ඒ කාර්යය හරියට රහසිගත මෙහෙයුමක් වගෙයි. එක් කෙනෙක් හරි අහු වුණොත් හුඟක් ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තිබුණා. දවසක් ඒ වගේ දෙයක් වුණා.
1936දී හිර්ෂ්බර්ග්වලින් එවපු ඒ වගේ පාර්සල් තුනක් බර්ලින්වලදී බලධාරීන්ට අහු වුණා. එවපු අයගේ නම සඳහන් වෙලා නොතිබුණත් ඒකෙ තිබුණ අත් අකුරු ගැන පරීක්ෂණ කරලා පොලීසියෙන් එක් කෙනෙකුව අත්අඩංගුවට ගත්තා. ඊටපස්සේ රිෂාඩ්වත් තවත් සහෝදරයෙක්වත් අත්අඩංගුවට ගත්තා. අනිත් අයව පාවා නොදී ඔවුන් දෙන්නා සෑම චෝදනාවක්ම භාරගත්ත නිසා තවත් කාලයක් යනකල් ඒ කාර්යය දිගටම කරගෙන යන්න අනිත් අයට පුළුවන් වුණා.
අද දිනට පාඩමක්
යෝධ කඳු අතරේ සැඟව ගිය ඒ ගමන නිසා ජර්මනියේ සහෝදරයන්ට පොත් පත් නොඅඩුව ලැබුණා. 1939දී ජර්මනිය චෙකොස්ලෝවේකියාව යටත් කරගන්න තුරුම ඒ දේශ සීමාව හරහා වැටී තිබුණ තවත් ගමන් මාර්ග යොදාගෙන සහෝදරයන් ජර්මනියට පොත් පත් රැගෙන ආවා. ඒ වගේම ජර්මනියට මායිම්ව තිබුණ ප්‍රංශය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය වගේ රටවලිනුත් සහෝදරයන් ඒ විදිහට ප්‍රකාශන ගෙනාවා. ඒ රටවල හිටපු සහෝදරයොත් ජර්මනියේ සහෝදරයොත් ඔවුන්ගේ ජීවිත පරදුවේ තියලා කරපු ඒ කාර්යය නිසා ජර්මනියේ සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න පුළුවන් වුණා.
අද ඉන්න හුඟදෙනෙකුට නම් අපේ පොත් පත් ඕනෑ තරම් ප්‍රමාණයක් විවිධ ක්‍රමවලින් කියවන්න අවස්ථාව තියෙනවා. අපේ නමස්කාර මධ්යස්ථානවලිනුත් jw.org කියන අපේ වෙබ් අඩවියෙනුත් ඒවා අපිට ලබාගන්න පුළුවන්. ඒත් හැම අලුත් ප්‍රකාශනයක්ම ඔබ අතට පත් වෙද්දී ඒ පිටුපස මොන තරම් විශාල කාර්යභාරයක් සිදු වෙනවාද කියලා හිතලා බලන්න. ඒක හිමවලින් වැහුණු කඳු මත මහ රෑ සීතලේ ගැහිගැහී ගිය ගමන තරම් ඇඟ කිලිපොලා යන තරමේ කාර්යයක් නොවුණත් ඔබ අතට ඒ පොත් පත් ලබා දෙන්න සහෝදර සහෝදරියන් රාශියක් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී වැඩ කරනවා.
a ඔහු සේවය කළේ සිලෙසියාවේ හිර්ෂ්බර්ග් සභාවේ. හිර්ෂ්බර්ග් දැන් හඳුන්වන්නේ ජෙලෙනියාගෝරා ලෙසයි.