ලෝකය බියෙන් වෙළී තිබෙන්නේ මන්ද?
බියෙන් වෙළී ජීවත්වන්නට ඕනෑ කරන්නේ කාටද? සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකු ආශා කරන්නේ තමාගේ ජීවිතයට හෝ දේපළවලට තර්ජනයක් නොමැති, සුරක්ෂිත තත්ත්වයකි. එබැවින්, බොහෝ දෙනෙක් අපරාධ බහුලව පවතින ප්‍රදේශවලින් ඉවත්ව යති. එහෙත් බියෙන් සිටීමට හේතු සාධක සෑම තැනකම දක්නට ලැබේ.
න්‍යෂ්ටික අවි හා ප්‍රතික්‍රියාකාරක අනතුරු යනාදියෙන් පවතින අන්තරාවන් මනුෂ්‍යවර්ගයා සඳහා වැනසීමේ බියක් ජනිත කරයි. වේගයෙන් ඉහළ යන්නාවූ සැහැසියාව බිය උපදවයි. ඒඩ්ස් රෝගය මෙම ශතවර්ෂයේ වැඩිම මරණ ප්‍රමාණයක් සිදුකරන වසංගතය විය හැකි යයි බොහෝ දෙනෙක් බිය වෙති. අපගේ පරිසරයේ විනාශය බිය උපදවන වෙනත් හේතු අතර පවතින්නකි. මෙම භීතීන් විශේෂාකාරයෙන් වැදගත් කොට සැලකිය යුතු ඒවා වේද? එමෙන්ම මෙවන් බියකින් තොර ලොවක ජීවත්වීම කවදා හෝ අපට බලාපොරොත්තු විය හැකිද?
ලෝක ව්‍යාප්ත බිය වැදගත්කොට සැලකිය යුත්තකි
අදදවසේ ව්‍යාප්තව පවතින බිය වැදගත්කොට සැලකිය යුත්තේ බයිබලයේ පුරෝකථනය කරන ලද දෑ නිසාය. අන්තිම දවස් පිළිබඳ සිය අනාවැකිවල, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බිය හේතුකරවන තත්ත්වයන් සඳහන් කළ සේක. “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවනවා ඇත” යයි උන්වහන්සේ වදාළ සේක. යේසුස්වහන්සේ ‘අධර්මිෂ්ඨකමේ බෝවීම [නොපනත්කමේ වැඩිවීම, NW]’ ගැනද කථා කළ සේක. වර්ෂ 1914 පටන් පෙර නොවූවිරූ තරම් යුද්ධ, සාගත, පොළෝකම්පා හා නොපනත්කම් යනාදියේ විපාකයක් වශයෙන් මහත් බියක් මෙන්ම ජීවිත හානියක් සිදුවී ඇත.—මතෙව් 24:7-14.
ජනතාවගේ ආකල්පයන් පවා අදදින බිය උපදවයි. දෙවන තිමෝති 3:1-4හි, අපට ප්‍රේරිත පාවුල්ගේ පුරෝකථික වදන් කියවන්නට ලැබේ: “අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගනින්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව” සිටින්නෝය. අප මෙම අන්තිම දවස්වල මෙවන් ජනයාගෙන් වටවී සිටින බැවින්, මහත් බියක් තිබීම පුදුමයට හේතුවක් නොවේ!
මෙම ලෝකයට අපේක්ෂා කළ හැකි දෙය
යේසුස්වහන්සේ මෙම කාලපරිච්ඡේදය සැසඳුවේ නෝවාගේ කාලයේ තිබූ ලෝකයේ අන්තිම දවස්වලටය. නිසැකවම, එවිට මහත් බියක් තිබුණි, මන්දයත් බයිබලයේ ඓතිහාසික වාර්තාව පවසන්නේ “පොළොව දෙවියන්වහන්සේ ඉදිරියෙහි දූෂ්‍යවූවාය, පොළොව බලාත්කාරයෙන් [සැහැසියාවෙන්, NW] පිරී තිබුණාය” යනුවෙනි. එබැවින්, “දෙවියන්වහන්සේ නෝවාට කථාකොට: මාංසමයවූ සියල්ලන් කරණකොටගෙන පොළොව බලාත්කාරයෙන් [සැහැසියාවෙන්, NW] පිරී තිබෙන බැවින් ඔවුන්ගේ අන්තිමය මා ඉදිරියට පැමිණ තිබේ” යයි කීසේක. (උත්පත්ති 6:11, 13) එම දුෂ්ට ලෝකය කොතරම් සැහැසික වූවාද කියතොත්, සමස්ත ලෝක ජලගැල්මක් මගින් දෙවියන්වහන්සේ එය නිමාවකට පත්කළ සේක. කෙසේවෙතත්, ප්‍රේමය නිසා, යෙහෝවඃ දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ නෝවා හා ඔහුගේ පවුල ආරක්ෂා කළ සේක.—2 පේතෘස් 2:5.
එබැවින් වත්මන් සැහැසික ලෝකයට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද? ඇත්තෙන්ම, අන්‍යයන්ගේ සුභසාධනයට සැහැසික ලෙස නොසැලකිල්ලෙන් කටයුතු කිරීම දෙවියන්වහන්සේ පිළිකුල් කරන සේක. ගීතිකාකරුගේ මෙම වදන්වලින් මෙය පැහැදිලි වේ: “යෙහෝවඃවහන්සේ ධර්මිෂ්ඨයා මෙන්ම දුෂ්ටයා විමසන සේක; තවද උන්වහන්සේගේ ආත්මය සැහැසියාවට ප්‍රේම කරන කවරෙක් නමුත් ස්ථිරවම ද්වේෂ කරයි.” (ගීතාවලිය 11:5, NW) යෙහෝවඃවහන්සේ නෝවාගේ දවසේ පැවති සැහැසික ලෝකය නිමාවකට පත්කළ සේක. එසේ නම්, දෙවියන්වහන්සේ බිය උපදවන සැහැසියාවෙන් පිරී මෙම ලෝකයට අවසානයක් ගෙනෙනු ඇතැයි අප අපේක්ෂා කළ යුතු නොවේද?
ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණ සිටීම ගැන කථා කිරීමටත්, වත්මන් දුෂ්ට ලෝකය සඳහා නියමිත විපත්තිය පුරෝකථනය කිරීමටත් ප්‍රේරිත පේතෘස් දේවානුභාවයෙන් පෙලඹුණි. ඔහු මෙසේ ලිව්වේය: “අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ; පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ [පැමිණ සිටීමේ, NW] පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝය.” ඉන් අනතුරුව මනුෂ්‍යවර්ගයා කෙරෙහි පවතින අසම්පූර්ණ පාලන ක්‍රමය නියෝජනය කිරීමට “අහස” යන වදනත්, අධර්මිෂ්ඨ මනුෂ්‍ය සමාජය සඳහා “පොළොව” යන වදනත් පේතෘස් භාවිතා කළේය. ඔහු තවදුරටත් කියා සිටියේ මෙසේය: “මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය කරණකොටගෙන පුරාණයේ පටන් අහසක්ද වතුරෙන් සම්බන්ධකරනලද්දාවූ, වතුර මධ්‍යයෙහිවූ පොළොවක්ද තිබුණු බවත්, ඒ කරණකොටගෙන එකලට [නෝවාගේ දවසේ] තිබුණු ලෝකය ජලගැල්මට යටවී විනාශවූ බවත් ඔව්හු කැමැත්තෙන්ම මතකනැතිකරති. නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.”—2 පේතෘස් 3:3-7.
සමානාකාර අදහසක් පළ කරමින්, පාවුල් කියා සිටියේ ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ බලගතු දේවදූතයන් “දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන [එරෙහිව පළිගන්න, NW] කල, . . . ඒ තැනැත්තෝ . . . සදාකාල විනාශයේ දඬුවම විඳින්නෝය” යනුවෙනි. (2 තෙසලෝනික 1:6-8, 10) බයිබලයේ අන්තිම පොත “සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධය” ගැන කථා කරන අතර යෙහෝවඃවහන්සේ “පොළොව විනාශකරන්නවුන් විනාශ[යට]” ගෙනෙනු ඇති බවට අපට සහතික කරයි.—එළිදරව් 11:18; 16:14-16.
බිය සඳහා නොව, ප්‍රීතිය සඳහා කාලයක්
ලෝකය සඳහා බයිබලය පුරෝකථනය කරන දෙයින් ත්‍රස්ත වෙනවා වෙනුවට, ධර්මිෂ්ඨ ජනතාවට ප්‍රීතිමත් වීමට හේතුවක් ඇත. යෙහෝවඃවහන්සේ මෙම දුෂ්ට ලෝකයට ඉක්මනින් නිමාවක් ගෙනෙනු ඇතිමුත්, මෙය කරනු ලබන්නේ ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන්නන්ගේ යහපත සඳහාය. වත්මන් දේවල පිළිවෙළ දිව්‍යමය ලෙස නිමාවකට ගෙන ඒමෙන් පසුව සිදුවනු ඇත්තේ කුමක්ද? ඇයි, දෙවියන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යය යටතේ අලුත් පිළිවෙළක් ඇරඹෙනු ඇත! යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට යාච්ඤා කරන හැටියට ඉගැන්වූයේද මේ ගැනයි! උන්වහන්සේ කියා සිටියේ, “එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරපල්ලා:—ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා” යනුවෙනි. (මතෙව් 6:9, 10) දෙවියන්වහන්සේගේ කැමැත්ත පොළොව මත කරනු ලබන විට කිනම් වෙනස්කම් අපේක්ෂා කළ හැකිද?
යුද්ධ මෙන්ම එහි ත්රස්තකාරී තත්ත්වයන් එවිට නිමවී තිබෙනු ඇත. ගීතාවලිය 46:9 මෙසේ පවසයි: උන්වහන්සේ “[යෙහෝවඃ දෙවියන්වහන්සේ] පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, [යුද] රථ ගින්නෙන් දවනසේක.” එවිට ජනතාව “කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත.”—මීකා 4:4.
මාරාන්තික රෝග තවදුරටත් බියක් ඇති කරමින් ජීවිත බිලි ගන්නට යන්නේ නැත. දිව්‍ය පොරොන්දුව වනුයේ, “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය” යන්නය. (යෙසායා 33:24) ප්‍රීතිවීම සඳහා කොතරම් හේතුවක්ද!
අපරාධ මෙන්ම සැහැසියාව හා සම්බන්ධ බියද තවදුරටත් නොපවතින යමක් වනු ඇත. ගීතාවලිය 37:10, 11හි මෙසේ පොරොන්දු වෙයි: “මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය. නමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”
වත්මන්දින පවතින බිය වෙනුවට සැබෑ සාමය හා සුරක්ෂිතභාවය පවතින්ට යන්නේ කෙසේද? එක් ධර්මිෂ්ඨ ආණ්ඩුවක්—දේව රාජ්‍යය—මගින්ය. අපගේ කාලය ගැන දානියෙල් 2:44, 45 පවසන්නේ මෙසේය: “ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය; . . . ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය.” යෙහෝවඃවහන්සේගේ පත්කරන ලද රජ වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ‘දෙවියන්වහන්සේ සියලු සතුරන් තමන්වහන්සේගේ පාද යට දමන තුරු රජකම්කරන්ට ඕනෑය.’ (1 කොරින්ති 15:25) ප්‍රීතිමත් මනුෂ්‍යයන් විසින් සදාකාලයටම පාරාදීස පොළොවක් උරුම කරගැනීමටවූ දෙවියන්වහන්සේගේ මුල් අරමුණ යේසුස්වහන්සේගේ දහස් අවුරුදු පාලනයෙන් ඉටු කරනු ලබනවා ඇත.—ලූක් 23:43; එළිදරව් 20:6; 21:1-5.
එම පාරාදීස පොළොවේ, තිබෙන්නට යන්නේ එක් හිතකර බියක් පමණි. එය වනාහි “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භයවීම”ය. (හිතෝපදේශ 1:7) ඇත්ත වශයෙන්ම, අපට දැන් පවා මෙම බිය තිබිය යුතුය, මන්දයත් එය වනාහි අප උන්වහන්සේගේ ප්‍රේමනීය කරුණාව හා යහපත්කම අගය කරන බැවින් දෙවියන්වහන්සේව අප්‍රසන්න කිරීමේ බියක් සමඟ මුසුවූ ප්‍රණාමය පිදීමක් හා ගරුබියක් වන බැවිනි. මෙම බියෙන් ඉල්ලා සිටින්නේ යෙහෝවඃවහන්සේ කෙරෙහි පූර්ණ දැඩි විශ්වාසයක් හා උන්වහන්සේට විශ්වසනීය ලෙස කීකරුවීමකි.—ගීතාවලිය 2:11; 115:11.
භයංකර සිද්ධීන් නිසා මේවා අන්තිම දවස් හැටියට පැහැදිලි වෙයි. කෙසේවෙතත්, අප දෙවියන්වහන්සේ සඳහා තිබෙන අපගේ ප්‍රේමය තහවුරු කරන්නේ නම්, බිය වෙනවා වෙනුවට අපට ප්‍රීතියෙන් සිටිය හැකිය. බයිබල් අනාවැකි පෙන්වන්නේ මෙම ලෝකය කෙරෙහි පැමිණෙන දිව්‍ය අවසානය අතළඟ බවය. එහි තැනගත්තේ යෙහෝවඃ දෙවියන්වහන්සේ විසින් පොරොන්දුවූ ධර්මිෂ්ඨකමේ අලුත් ලෝකයය. (2 පේතෘස් 3:13) ඇත්ත වශයෙන්ම, රාජ්‍යය පාලනය යටතේ අහිතකර බියෙන් තොර ලොවක් ඉක්මනින්ම උදාවනු ඇත.
[6වන පිටුවේ කොටුව]
එකම එක පිටපතක බලය
පෝලන්තයේ යෞවනයෙක් වන ටෝමාෂ්, නීතිමය ගැටලුවකට හසු වී, ඔහුට එම රටෙන් පලා යන්නට සිදුවිය. තමා පසුකර යන වාහනවලින් නොමිලේ ගමන් පහසුව ලබා ගනිමින්ද, කූඩාරමක නිදා ගනිමින් හා විවිධ රැකියාවල නිරත වෙමින්ද මාස හයක කාලයක් ඔහු යුරෝපයේ වාසය කළේය. මේ අතර, එක්තරා පැණයක් නිතර ඔහුගේ මනසේ රැඳී පැවතුණි: එනම්, ජීවිතයේ අරමුණ කුමක්ද?
පෝලන්ත භාෂාවෙන්වූ මුරටැඹ පිටපතක් ටෝමාෂ්ට දෙනු ලැබූ විට, ඔහුගේ පැණයට පිළිතුරු දෙනු ලැබීය. ඔහු එය වාර ගණනාවක් කියවා, තමා සොයමින් සිටි සත්‍යය මෙම සඟරාවේ ගැබ්ව තිබෙන බව පිළිගත්තේය. තමා පසුකර යන වාහනවලින් නොමිලේ ගමන් පහසුව ලබාගනිමින් සැතපුම් 120ක දුරින් ජර්මනියේ, සෙල්ටර්ස්⁄ටවුනුස්හි පිහිටි වොච් ටවර් ශාඛා කාර්යාලය බලා ටෝමාෂ් ගමන් කළේය. සඳුදා සවස එහි ළඟාවූ හෙතෙම, තමාගේ මුරටැඹ සඟරාව පෙන්වමින් කියා සිටියේ “මා කැමතියි යමෙක් මට මෙම සඟරාවේ තිබෙන දෙය තවත් පැහැදිලි කරනවා නම්. මා කළ යුත්තේ කුමක්ද?” යනුවෙනි.
එම සන්ධ්‍යාවේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ දෙදෙනෙක්, තමන්ගේ සාකච්ඡාවට පදනමක් වශයෙන් බයිබලය යොදා ගනිමින්, ජීවිතයේ අරමුණ පිළිබඳව ටෝමාෂ් සමඟ කථා කළහ. තවත් වැඩියෙන් ඉගෙන ගැනීමට මහත් ආශාවක් ඇතිව, බයිබලය හා පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොත පාඩම් කිරීමට, ටෝමාෂ් එම සතියේ සෑම දිනකම ශාඛා කාර්යාලයට හැරී ආවේය.
තමාට එහිදී ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි වුවත්, ටෝමාෂ් හැරී පෝලන්තයට යෑමට තීරණය කළේය. මෙසේ, එම සිකුරාදා දින, එනම් සෙල්ටර්ස්හි පිහිටි ශාඛා කාර්යාලයට පැමිණීමෙන් දින හතරකට පසු, ටෝමාෂ් සිය මව්රට බලා ගමන් ඇරඹීය. ඔහු වහාම පෝලන්තයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ පාඩම් කරන්නට පටන් ගත්තේය. ටෝමාෂ් වේගයෙන් වර්ධනය වී තමා ඉගෙන ගනිමින් සිටි දෙය ගැන අන්‍යයන්ට ජ්වලිතව කථා කරන්නට පටන් ගත්තේය. ඔහු සෙල්ටර්ස් වෙතට ගිය මුල් ගමනෙන් හුදෙක් මාස හතරකට පසු, 1993 ඔක්තෝබර් මස, ඔහුව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු හැටියට බව්තීස්ම කරනු ලැබීය.
මෙම යෞවනයාට ජීවිතයේ අරමුණ ගැන පරීක්ෂා කරන්නට උපකාරවත් වූයේ එකම එක මුරටැඹ පිටපතක් පමණි!
[7වන පිටුවේ පින්තූරය]
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යය පාලනය යටතේ, යළිත් කිසිකලෙක ලෝකය බියෙන් වෙළී නොපවතිනු ඇත