‘ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දරමු’
1. අපි ජනයා සමඟ බෙදාගන්නා ශුභාරංචියට අයත් වන්නේ මොනවාද?
1 කලාතුරකින් පමණක් ශුභාරංචි ගැන අසන්න ලැබෙන මේ කාලයේ අපිට “දෙවිගේ මහත් කරුණාවේ ශුභාරංචිය ගැන සම්පූර්ණයෙන් සාක්ෂි දැරීමට” ලැබීම මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! (ක්‍රියා 20:24) එම ශුභාරංචියේ මූලික අංගයක් වන්නේ යෙහෝවා දෙවි මේ “අන්තිම දවස්” නිමාවට පත් කර ළඟදීම මේ පොළොව පාරාදීසයක් බවට පත් කරන බව ප්‍රකාශ කිරීමයි. එදාට පාරාදීසයෙහි ‘පළමු දේවල් පහව ගොස්’ තිබෙයි. (2 තිමෝ. 3:1-5; එළි. 21:4) එමෙන්ම ඒ කාලයේදී ලෙඩ රෝග ඇති වෙන්නෙත් නැහැ. (යෙසා. 33:24) මිය ගොස් සිටින ප්‍රේමණීයයන් යළි ජීවිතය ලබා අපි සමඟ ඇසුරු කරයි. (යොහ. 5:28, 29) මුළු පොළොවම ලස්සන තැනක් වෙයි. (යෙසා. 65:21-23) මේවා අපි ජනයා සමඟ බෙදාගන්නා ශුභාරංචියෙන් බිඳක් පමණයි.
2. සිහි කිරීමේ කාලය ශුභාරංචිය ජනයාට පැවසීමට කදිම කාලයක් වන්නේ ඇයි?
2 මාර්තු, අප්‍රියෙල් හා මැයි මාසවලදී එම ශුභාරංචිය ජනයාට පැවසීමට කදිම ප්‍රස්තා උදා වෙයි. වසරේ වැදගත්ම අවස්ථාව වන යේසුස්ගේ මරණය සිහි කිරීම මාර්තු 22වන සෙනසුරාදා හිරු බැස යෑමෙන් පසු ලොව පුරා පැවැත්වීමට නියමිතයි. ඒ මාසවල වැඩියෙන් සේවය කිරීම සඳහා සැලසුම් කරන්න කාලය දැනුයි.
3. පවුලක් හැටියට සේවයේ වැඩියෙන් හවුල් වීම සඳහා කුමක් කළ හැකිද?
3 උපකාරික පුරෝගාමි සේවය: ඉහත සඳහන් කළ මාසවලින් එකක, දෙකක හෝ මාස තුනේම උපකාරික පුරෝගාමි සේවය කිරීමට කාලය සැලසුම් කරගන්න ඔබට හැකිද? ඊළඟ වතාවේ පවුලේ පාඩම පවත්වන විට මේ ගැන සාකච්ඡා කරන්න. පවුලේ අයගේ සහයෝගය ඇතුව උපකාරික පුරෝගාමි සේවය කරන්න පවුලේ එක්කෙනෙකුට හෝ කිහිපදෙනෙකුට හැකියි. (හිතෝ. 15:22) මේ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. ඔහු ඔබේ වෑයම්වලට ආශීර්වාද කරනවා නිසැකයි. (හිතෝ. 16:3) පවුලේ කාටවත් උපකාරික පුරෝගාමි සේවය කරන්න නොහැකි වෙන්න පුළුවන්. ඒ වුණත් මේ මාසවල ඒ සේවය කරන අය සමඟ එකතු වී වැඩියෙන් සේවයේ හවුල් වීම සඳහා පවුලේ හැමෝටම ඉලක්කයක් තබාගන්න පුළුවන්.
4. රැකියාවක් කරන අයට වුණත් උපකාරික පුරෝගාමි සේවය කරන්න පුළුවන් කොහොමද?
4 ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් හොඳ කාලසටහනක් සකස් කරගත්තොත් ඔබටත් උපකාරික පුරෝගාමි සේවය කරන්න පුළුවන්. කෑම වේලාවේදී සාක්ෂි දැරීමට හැකිදැයි සිතා බලන්න. ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ළඟ ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවසර ලබාගෙන, රැකියාව පටන්ගන්න කලින් හෝ අවසන් වූ පසු පැයක් හෝ දෙකක් සේවය කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය නොවන සමහර දේවල් ඊළඟ මාසයේ කිරීමට සැලසුම් කර සෑම සති අන්තයක්ම සේවය සඳහා යෙදවීමට සැලසුම් කරන්න පුළුවන්ද? සමහර අය දවසක් හෝ දෙකක් නිවාඩු ගෙන ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට සැලසුම් කර තිබෙනවා.
5. වයසක හෝ දුර්වල සෞඛ්‍යයකින් පසු වන අයට උපකාරික පුරෝගාමි සේවය කිරීම සඳහා උපකාර කරන්න ඔබට පුළුවන් කොහොමද?
5 ඔබ වයසක කෙනෙක් හෝ දුර්වල සෞඛ්‍යයකින් පසු වන කෙනෙක් වුණත් සෑම දවසකම ටික වේලාවක් සේවයේ හවුල් වෙන්න පුළුවන් නම් ඔබටත් උපකාරික පුරෝගාමි සේවය කිරීම ගැන සිතා බැලිය හැකියි. “සාමාන්‍යය ඉක්මවූ බලය” ඔබට ලබා දෙන්න කියා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. (2 කොරි. 4:7) වයස අවුරුදු 106ක සහෝදරියකට හැකි වුණා උපකාරික පුරෝගාමි සේවය කරන්න. සත්‍යයේ සිටින ඇගේ නෑදෑයන්ගේ හා සභාවේ අනිත් අයගේ උපකාරය ඇතුව ඇය ගෙයින් ගෙට සේවයේ හවුල් වුණා. නැවත බැලීම්වලට හා බයිබල් පාඩම්වලට ගියා. වෙනත් ආකාරවලිනුත් සාක්ෂි දැරුවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට දහදෙනෙක් සමඟ බයිබල් පාඩම් පටන්ගැනීමට හැකි වුණා. මේ ගැන ඇය මෙසේ පැවසුවා. “උපකාරික පුරෝගාමි සේවය කිරීමෙන් යෙහෝවා දෙවිටත්, ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ ප්‍රේමණීය සංවිධානයටත් තියෙන මගේ ප්‍රේමය හා අගය කිරීම පුදුමාකාර විදිහට වැඩි වුණා. ‘යෙහෝවා දෙවියනි ඔබට හුඟාක් ස්තුතියි!’”
6. යෞවනයන්ට උපකාරික පුරෝගාමි සේවය කළ හැක්කේ කෙසේද?
6 ඔබ පාසැල් යන බව්තීස්ම ලත් යෞවනයෙක් නම් උපකාරික පුරෝගාමි සේවය කරන්න ඔබටත් පුළුවන්. රැකියාවන් කරන අය වගේ ඔබටත් පුළුවන් සේවයේ හවුල් වීම සඳහා සති අන්ත සම්පූර්ණයෙන්ම වෙන් කරගන්න. සමහර දවස්වලදී ඔබට පුළුවන් පාසැලෙන් පසු පැයක් හෝ දෙකක් සේවය කරන්න. ඔබ උපකාරික පුරෝගාමි සේවය කරන මාසයේදී සේවයේ හවුල් වීම සඳහා යොදාගත හැකි නිවාඩු දවස් තිබෙනවාද? උපකාරික පුරෝගාමි සේවය කරන්න ඔබ කැමති නම් ඔබේ දෙමාපියන් සමඟ ඒ ගැන කතා කරන්න.
7. සිහි කිරීමේ කාලයේදී දේවසේවය සඳහා උද්යෝගය වැඩි කිරීමට වැඩිමහල්ලන්ට කළ හැක්කේ මොනවාද?
7 උද්යෝගය වැඩි කරන්න: කදිම ආදර්ශයක් තැබීමෙන් සභාවේ උද්යෝගය වැඩි කරන්න වැඩිමහල්ලන්ට බොහෝ දේවල් කරන්න පුළුවන්. (1 පේතෘ. 5:2, 3) උදේ පාන්දර හෝ පාසැලෙන් හා රැකියාවෙන් පසු සේවයේ හවුල් වන අය සඳහා ක්ෂේත්‍ර සේවය සඳහා අමතර රැස්වීම් පැවැත්වීමට සැලසුම් කරන්න වැඩිමහල්ලන්ට හැකියි. එම රැස්වීම් පැවැත්වීම සඳහා සුදුසුකම් ලත් ප්‍රචාරකයන්ව කලින් සූදානම් කිරීමට සේවා අවේක්ෂකට හැකියි. එමෙන්ම ප්‍රමාණවත් ප්‍රදේශයක් වෙන් කර දීමටත් ඇති තරම් සඟරා හා පොත් පත් සභාවේ තබාගැනීමටත් සැලසුම් කරන්න ඔහුට පුළුවන්.
8. එක් සභාවක අද්දැකීමෙන් අපිට ඉගෙනගත හැක්කේ කුමක්ද?
8 එක සභාවක වැඩිමහල්ලන් උපකාරික පුරෝගාමි සේවය කිරීම සඳහා සහෝදර සහෝදරියන්ව මාස කිහිපයකට කලින්ම දිරිමත් කරන්න පටන්ගත්තා. උපකාරික පුරෝගාමි සේවය කරන්න ප්‍රචාරකයන් කීදෙනෙක් ඉදිරිපත් වී සිටිනවාද කියා ඔවුන් සෑම සතියකම නිවේදනය කළා. සේවයේ තමන් සමඟ හවුල් වීමට වැඩිදෙනෙක් සිටින බව දැනගන්න ලැබීමෙන් තවත් අය උපකාරික පුරෝගාමි සේවය කරන්න පෙලඹුණා. උදේ පාන්දර හා සවස ක්ෂේත්‍ර සේවය සඳහා අමතර රැස්වීම් සැලසුම් කළා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඒ සභාවේ ප්‍රචාරකයන් 53දෙනෙක් අප්‍රියෙල් මාසයේදී උපකාරික පුරෝගාමි සේවය කළා. මෙය ප්‍රචාරකයන්ගෙන් හරි අඩකට ආසන්නයි.
9. බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් වීමට සුදුසුකම් ලබන අයට දේශනා සේවයේ යෑම පටන්ගැනීමට සිහි කිරීමේ කාලය කදිම කාලයක් වන්නේ ඇයි?
9 දේශනා කිරීමට අන් අයට උපකාර කරමු: නවකයන්ට හා දරුවන්ට ප්‍රචාරකයන් ලෙස සේවය කිරීමට අනුමැතිය ලැබීමෙන් පසු අද්දැකීම් ලත් ප්‍රචාරකයන් සමඟ සේවයේ හවුල් වීමට ඔවුන්ව යොමු කළ හැකියි. සභාවේ බොහෝදෙනෙක් වැඩියෙන් සේවයේ හවුල් වන සිහි කිරීමේ කාලයේදී එවැනි අය සමඟ සේවයේ හවුල් වීමට අපිටත් ප්‍රස්තා උදා වෙන්න පුළුවන්. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව තම ජීවිතය හැඩගස්වා ගෙන සිටින, සත්‍යය තුළ ප්‍රගතියක් ලබන කෙනෙකු සමඟ ඔබ බයිබල් පාඩමක් පවත්වනවාද? යහපත් ලෙස හැසිරෙන, සත්‍යය තුළ ප්‍රගතියක් ලබන නමුත් තවමත් ප්‍රචාරකයන් වී නැති දරුවන් ඔබට සිටිනවාද? බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු ලෙස සේවය කිරීමට තමන් ආශාවෙන් සිටින බව එවැනි කෙනෙක් පැවසුවොත් ඔහුට හෝ ඇයට සුදුසුකම් තිබෙනවා කියා ඔබට හැඟෙනවා නම් වැඩිමහල්ලෙකුට ඒ බව පවසන්න. ඔබේ දරුවා හෝ බයිබල් ශිෂ්‍යයා හා ඔබ සමඟ මේ ගැන කතා කිරීමට වැඩිමහල්ලන් දෙදෙනෙකුව මුලසුන භාර අවේක්ෂක පත් කරයි.
10. අක්‍රියාශීලී අයට උපකාර කිරීමට වැඩිමහල්ලන්ට කුමක් කළ හැකිද?
10 අක්‍රියාශීලී වී සිටින අයට නැවතත් ක්‍රියාශීලී වීමට කදිම කාලයක් ඉදිරි මාසවලදී උදා වෙයි. සභා පොත් පාඩම් අවේක්ෂකයන් හා සෙසු වැඩිමහල්ලන් එවැනි අයව හමු වී නැවතත් සේවයේ හවුල් වීම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමට සැලසුම් කළ යුතුයි. දිගු කාලයක් පුරා අක්‍රියාශීලීව සිටින අය යළි සේවයේ හවුල් වීමට කලින් වැඩිමහල්ලන් දෙදෙනෙක් නැවතත් ඔවුන්ගේ සුදුසුකම් සලකා බැලීමට ඔවුන් සමඟ කතා කළ යුතුයි.—km 11/00 පි. 3.
11. ‘දෙවි මහත් කරුණාව’ පෙන්වා තිබෙන විශිෂ්ටතම ආකාරය කුමක්ද?
11 සිහි කිරීමට සූදානම් වන්න: ‘දෙවි මහත් කරුණාව’ පෙන්වා තිබෙන විශිෂ්ටතම ආකාරය වන්නේ ඔහුගේ පුත්‍රයාගේ ජීවිත පූජාවයි. (ක්‍රියා 20:24) මෙය අගය කරන ලොව පුරා සිටින මිලියන ගණනක් යේසුස්ගේ මරණය සිහි කිරීම සඳහා මාර්තු 22වන සෙනසුරාදා එක්රැස් වෙයි. යෙහෝවා දෙවි මුළු මිනිස් වර්ගයාටම පෙන්වූ මහත් කරුණාව මතක් කර දෙන මේ අතිවැදගත් අවස්ථාවට පැමිණීමට අවංක සිත් ඇති සියලුදෙනාටම ආරාධනා කිරීම අපේ ආශාවයි.
12. අපි සිහි කිරීමට ආරාධනා කළ යුත්තේ කාටද?
12 ඔබ ආරාධනා කරන අයගේ නම් ලියාගන්න. නෑදෑයන්ගේ, අසල්වැසියන්ගේ, රැකියා ස්ථානයේ හෝ පාසැලේ හිත මිතුරන්ගේ, කලින් ඔබ සමඟ පාඩම් කළ අය හා දැන් පාඩම් කරන අයගේ, සඟරා මාර්ගවලදී මෙන්ම නැවත බැලීම්වලදී හමු වන අයගේ නම් එම ලැයිස්තුවට ඇතුළත් කළ හැකියි. ඔබ ආරාධනා කළ කෙනෙකුට සිහි කිරීම ගැන යම් දේවල් දැනගන්න අවශ්‍ය නම් බයිබලයේ ඉගැන්වීම් පොතේ 206-208 දක්වා පිටුවල තිබෙන ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය නමැති කොටසේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වෙයි. බයිබල් පාඩම් පැවැත්වීමට යොදාගන්නා ඒ පොත හඳුන්වා දීමට එවැනි අවස්ථාවකදී ප්‍රස්තාව උදා වන නිසා බයිබල් පාඩමක් පවා පටන්ගන්න මාර්ගය විවෘත විය හැකියි.
13. සිහි කිරීමට පැමිණීමට අන් අයට ආරාධනා කළ ප්‍රචාරකයන් දෙදෙනෙකුගේ වෑයම්වලට දෙවි ආශීර්වාද කළේ කෙසේද?
13 එක් සහෝදරියක් පවුල් 48කට ආරාධනා කිරීමට නම් ලැයිස්තුවක් සකස් කළා. ඇය ඔවුන්ට ආරාධනා කිරීමෙන් පසු නම ඉදිරියේ ලකුණක් දමා ආරාධනා කළ දිනයද ලියාගත්තා. සිහි කිරීමට ඒ අයගෙන් 26දෙනෙක් පැමිණ සිටිනවා දැකීමෙන් ඇය මහත් ප්‍රීතියක් ලැබුවා. සාප්පුවක් අයිති සහෝදරයෙක් එහි සේවකයෙකුට ආරාධනා කළා. එම සේවකයා කලින් පූජකයෙක්. සිහි කිරීමෙන් පසු ඔහු පුදුමයෙන් මෙසේ පැවසුවා. “රෝමානු කතෝලිකයෙකු හැටියට අවුරුදු 30ක් පුරා මම බයිබලය ගැන ඉගෙනගත් දේවලට වඩා හුඟාක් දේවල් මම මේ පැය තුළදි ඉගෙනගත්තා.” ඔහු ඉක්මනින්ම බයිබලයේ ඉගැන්වීම් පොතෙන් පාඩමක් කරන්න කැමති වුණා.
14. මාර්තු 1වනදා පටන් ලොව පුරා සිදු කරන්නේ කුමක්ද?
14 ආරාධනා පත්‍ර බෙදාහැරීම: මාර්තු 1වන සෙනසුරාදා පටන් 22වනදා දක්වා සිහි කිරීමේ ආරාධනා පත්‍ර ලොව පුරා බෙදාහැරීමට නියමිතයි. සෑම ප්‍රචාරකයෙක්ම තමන්ට හැකි උපරිමයෙන් මේ කාර්යයේ හවුල් වීමට කැමති වෙනවාට සැකයක් නැහැ. හොඳම දෙය ආරාධනා පත්‍ර දොර යටින් දමනවා වෙනුවට ගෙවැසියාගේ අතටම දීමයි. ඒ වුණත් ඔබට පියවීමට විශාල ප්‍රදේශයක් තිබෙනවා නම් කවුරුත් නැති නිවෙස්වල ආරාධනා පත්‍ර තබා ඒම සුදුසුද කියා වැඩිමහල්ලන් තීරණය කරාවි. සති අන්තවලදී අපි අලුත් සඟරාද ඉදිරිපත් කරනවා.
15. සිහි කිරීමේ ආරාධනා පත්‍ර ඉදිරිපත් කරද්දී කුමක් පැවසිය හැකිද?
15 ආරාධනා පත්‍ර බෙදාහැරීමට අපිට තිබෙන්නේ සීමිත කාලයක් නිසා හොඳම දෙය වන්නේ කෙටියෙන් යමක් පැවසීමයි. මිත්‍රශීලී වන්න. උද්යෝගයෙන් කතා කරන්න. ඔබට මේ වගේ දෙයක් පවසන්න පුළුවන්. “මාර්තු 22වනදා පවත්වන ඉතාමත් වැදගත් උත්සවයට ඔබටත් ඔබේ පවුලේ අයට හා මිතුරන්ටත් ආරාධනා කරන්න සතුටුයි. මේ තියෙන්නේ ඔබේ ආරාධනා පත්‍රය. වැඩි විස්තර ආරාධනා පත්‍රයේ සඳහන් කරලා තියෙනවා.” ගෙවැසියාට යම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහරවිට ඔහු ආරාධනාව පිළිගෙන එදාට එනවා කියා පවසන්න පුළුවන්. ඒ ආකාරයට උනන්දුවක් පෙන්නුවොත් ඒ ගැන සටහන් කරගෙන, පසුව ගොස් නැවත හමු වන්න.
16. ජනයාට සිහි කිරීමට ආරාධනා කිරීමේ වැඩපිළිවෙළට සහය වීමේ වැදගත්කම අද්දැකීමකින් පැහැදිලි කරන්න.
16 පසුගිය වසරේදී සොල්දාදුවෙක් ඔහුගේ නිවසේ දොර අසල සිහි කිරීමේ ආරාධනා පත්‍රයක් තිබෙනවා දැක්කා. ඔහු එය අරගෙන කියවීමෙන් පසු සිහි කිරීමට යන්න තීරණය කළා. ඒ වුණත් ඒ සඳහා උසස් නිලධාරියෙකුගෙන් අවසර ගන්න සිදු වුණා. මේ සොල්දාදුවා ඔහුට මේ ආරාධනා පත්‍රය පෙන්වූ විට ඔහු ටික වේලාවක් නිහඬ වී, තමාත් කාලයකට ඉස්සර දෙමාපියන් සමඟ රැස්වීම්වලට ගියා කියා පැවසුවා. ඔහු මේ සොල්දාදුවාට සිහි කිරීමට යන්න අවසර දුන්නා විතරක් නෙමෙයි, ඔහුත් පැමිණියා.
17. දෙවිගේ මහත් කරුණාවේ අරමුණු තේරුම්ගැනීමට අපි අපොහොසත් නොවන බව පෙන්විය හැක්කේ කෙසේද?
17 අගය පෙන්වන්න: වසර 2008 යේසුස්ගේ මරණය සිහි කිරීම දවසින් දවස ළං වෙද්දී අපි සෑම කෙනෙක්ම යෙහෝවා දෙවි අපි වෙනුවෙන් පෙන්වා තිබෙන මහත් කරුණාව ගැන ගැඹුරින් සිතා බලමු. “දෙවිගේ මහත් කරුණාව පිළිගත් ඔබගෙන්, එහි අරමුණ තේරුම්ගැනීමට අපොහොසත් නොවන ලෙස අපි ඉල්ලා සිටිමු” කියා පාවුල් පැවසුවා. (2 කොරි. 6:1) දෙවිගේ මහත් කරුණාවේ අරමුණ තේරුම්ගැනීමට අපි අපොහොසත් නොවන බව පෙන්වන්නේ කෙසේද? පිළිතුර පාවුල්ගේ මේ වදන්වල සඳහන් වෙනවා. “දෙවිගේ සේවකයෝ බව සෑම ආකාරයකින්ම අපි ඔප්පු කර පෙන්වන්නෙමු.” (2 කොරි. 6:4) මේ නිසා දෙවිගේ සේවකයන් හැටියට ශුභාරංචිය උද්යෝගයෙන් දේශනා කිරීමෙන් හා අපේ යහපත් හැසිරීමෙන් දෙවි දී තිබෙන උතුම් ත්‍යාගය වන යේසුස්ගේ ජීවිත පූජාව අපි අගය කරන බව පෙන්වමු. ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දරමින් අපේ සේවය වැඩි කරගැනීමට සිහි කිරීමේ සමයේ උදා වන කදිම ප්‍රස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමු.
[3වන පිටුවේ කොටුව]
උපකාරික පුරෝගාමි සේවය කළ හැකි අය කවුද?
◼ පවුලේ කිහිපදෙනෙකුට
◼ රැකියා කරන අයට
◼ දුබලතා තිබෙන අයට හා මහලු අයට
◼ පාසැල් යන අයට
[4වන පිටුවේ කොටුව]
සිහි කිරීමේ ආරාධනා පත්‍ර බෙදාහරින විට
◼ කෙටියෙන් නමුත් උද්යෝගයෙන් ඉදිරිපත් කරන්න
◼ උනන්දුව දැක්වූ අයව පසුව හමු වන්න
◼ සති අන්තයේදී සඟරා ඉදිරිපත් කරන්න