සේවා රැස්වීමට සූදානම් වන්නේ මෙහෙමයි!
1. සේවා රැස්වීමේ අරමුණ කුමක්ද? ඉන් ප්‍රයෝජන ගන්න අපට හැකි වන්නේ කුමක් කළොත්ද?
1 සේවා රැස්වීමේ අරමුණ වන්නේ දේවසේවයෙන් හොඳ ප්‍රතිඵල අත් කරගැනීමට අපව පුහුණු කිරීමයි. එම රැස්වීම විශේෂ අවධානයක් දෙන්නේ ශුභාරංචිය දේශනා කිරීම, යේසුස්ගේ අනුගාමිකයන් වීමට ජනයාට උපකාර කිරීම හා අවසානය අත ළඟ බව ප්‍රකාශ කිරීම යන කාරණාවලටයි. (මතෙ. 28:20; මාක් 13:10; 2 පේතෘ. 3:7) අපිට මේ රැස්වීමෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගත හැකි වන්නේ ඊට හොඳින් සූදානම් වී හවුල් වුණොත් පමණයි. දැන් අපි ඊට සූදානම් වන්නේ කොහොමද කියා බලමු.
2. සවන් දීමට යන කතාවකට ඔබටත් සූදානම් විය හැක්කේ කෙසේද?
2 කතාවක්: එය පදනම් වන්නේ කුමන ප්රකාශනයෙන්ද කියා රාජ්‍ය සේවාවේ කථිකයන්ට දී තිබෙන මඟ පෙන්වීම් යටතේ සඳහන් වෙනවා. ඔබටත් පුළුවන් එම ප්රකාශනයේ තොරතුරු කියවන්න. බයිබල් පද බලන්නත් අමතක කරන්න එපා. එම තොරතුරු දේවසේවයේදී අදාළ කරගත හැකි පැති ගැනත් කල්පනා කරන්න.
3. ප්‍රශ්නෝත්තර සාකච්ඡාවකට සූදානම් වෙන්නේ කෙසේද?
3 ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්: කෙටි හැඳින්වීමකින් හා කෙටි අවසානයකින් සමන්විත මෙම කොටස බොහෝ දුරට මෙහෙයවන්නේ මුරටැඹ පාඩම මෙහෙයවන ආකාරයටයි. සෑම ඡේදයකම තිබෙන මූලික කරුණු යටින් ඉරි ගසන්න. ඉන්පසු ඒ කරුණු කාවද්දන ආකාරයෙන් පිළිතුරු සැපයීමට සූදානම් වෙන්න.
4. සබය සමඟ සාකච්ඡාවකට සූදානම් වෙන්නේ කෙසේද?
4 සබය සමඟ සාකච්ඡාවක්: මෙම කොටස ඉදිරිපත් කරන්නේ කතාවක් ආකාරයටයි. නමුත් කථිකයා විටින් විට සබයේද සහභාගිත්වය බලාපොරොත්තු වෙයි. ඔබ මූලික කරුණු යටින් ඉරි ගසා බයිබල් පදත් බලා තිබෙනවා නම් කථිකයා ප්‍රශ්න අසන විට අදහස් දක්වන්න ඔබට හැකි වෙයි. සබයෙන්ම මූලික කරුණු ලබාගැනීමට කථිකයා උපරිම වෑයමක් දරයි.
5. නිරූපණවලින් ප්‍රයෝජන ගැනීම සඳහා කුමක් කළ හැකිද?
5 නිරූපණ: සමහර කොටස්වලදී නිරූපණ ඉදිරිපත් කරනවා. එහි අරමුණ වෙන්නේ සලකා බැලූ කොටස් ඔබේ ප්‍රදේශයේදී ක්‍රියාවට නංවන්නේ කෙසේද කියා පෙන්වීමයි. ඊට සහභාගි වීමට ආරාධනා කරන්නේ වැඩිමහල්ලන්ට, පුරෝගාමීන්ට හෝ අද්දැකීම් තිබෙන ප්රචාරකයන්ටයි. ඔබ නිවසේදී එම කොටසට සූදානම් වන විට එය කෙසේ නිරූපණය කරයිද කියා සිතා බලන්න. පසුව රැස්වීමේදී එම නිරූපණය ඉදිරිපත් කරන විට, අවස්ථාවට ගැළපෙන විදිහට ඉදිරිපත් කරන්න ඔබටත් හැක්කේ කෙසේද කියා කල්පනා කර බලන්න. රැස්වීමට යන විට ඊට අදාළ ප්‍රකාශනද රැගෙන යන්න. අපගේ ප්‍රකාශන ඉදිරිපත් කරන ආකාරය පෙරහුරු කිරීම සඳහා පවුලේ පාඩමට වෙන් කළ කාලය කදිම අවස්ථාවක්.
6. සේවා රැස්වීමට සූදානම් වීමෙන් ලැබෙන තවත් ප්‍රයෝජන මොනවාද?
6 සේවා රැස්වීමෙන් වඩාත් සතුටක් ලබන්න අපට හැකි වන්නේ එයට සූදානම් වී, ඒ තොරතුරු කෙසේ ඉදිරිපත් කරයිද කියා කල්තියා කල්පනා කිරීමෙනුයි. අප එසේ කරන විට අන්‍යෝන්‍ය වශයෙන් දිරිගැන්වීම්ද ලැබෙනවා. (රෝම 1:11, 12) එමෙන්ම දේවසේවය ඉටු කිරීමට අවශ්‍ය සම්පූර්ණ පුහුණුවද ලැබෙනවා.—2 තිමෝ. 3:17.