යෞවනයෙනි ඔයාලා බයිබලය කියවනවාද?
1. දෙවිට කරන සේවය සම්බන්ධයෙන් ඉලක්ක තියාගන්න උදව් වෙන්නේ මොනවාද?
1 යෞවන කාලය කියන්නේ අභියෝගවලින් පිරුණු, බැරෑරුම් තීරණ ගන්න සිද්ධ වෙන කාලයක්. හැමදාම වගේ දෙවිගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව දේවල් කරන්න ලොකු පීඩනයක් ඔයාලගෙන් හුඟදෙනෙක්ට ඇති වෙනවා. ඒ නිසා අධ්‍යාපනය, රැකියාව සහ විවාහය වගේ දේවල් ගැන තීරණ ගන්න කලින්, දෙවිට කරන සේවය ගැන ඉලක්ක තියාගැනීම ගොඩක් වැදගත්. ඒ ඉලක්ක මනසේ පැහැදිලිව තියෙනවා නම් ජීවිතයේ ඔයාලා ගන්න තීරණවලදී ඥානවන්තව කටයුතු කරමින් සාර්ථක වෙන්න ඔයාලට පුළුවන්. බයිබලය නිතිපතා කියවනවා නම් ඒ ගැන හොඳට කල්පනා කරනවා නම් දෙවිගේ උපදෙස් පිළිපදිමින් ජීවත් වීමට ඔයාලා පෙලඹෙයි. එහෙම කරන කොට ඔයාලගේ ජීවිතය අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි.—යොෂු. 1:8; ගීතා. 1:2, 3.
2. බයිබලයේ තියෙන උපදෙස් පිළිපැදීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
2 ඔයාලට ලැබෙන ප්‍රයෝජන: ලෝකයේ තියෙන ගොඩක් දේවල් පාවිච්චි කරලා මිනිසුන්ව වරදට පොලඹවාගන්න සාතන් උත්සාහ කරනවා. (1 යොහ. 2:15, 16) අනිත් ළමයින්ගෙන් ආපු බලපෑම් නිසා කරදරවලට මුහුණ දීපු ඔයාලගෙම වයසේ ළමයින්ව ඔයාලා දන්නවා ඇති. ඒත් ඔයාලට එහෙම වෙන්න අවශ්‍ය නැහැ. බයිබලයේ තියෙන උපදෙස් පිළිපදිනවා නම් දෙවිත් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති වෙනවා. වැරදි දේවල් නොකර ඉන්න ඒ බැඳීම ඔයාලට ලොකු හයියක් වෙයි. ඒ විතරක් නෙමෙයි, සාතන්ගේ කපටි උගුල්වලට අහුවෙන්නේ නැතුව ඉන්න බයිබලයේ තියෙන උපදෙස් උදව් වෙනවා. (2 කොරි. 2:11; හෙබ්‍රෙ. 5:14) දෙවි කියන විදිහට ජීවත් වුණොත් ඔයාලට නියම සතුට අද්දකින්න පුළුවන් වෙයි.—ගීතා. 119:1, 9, 11.
3. බයිබලය විශ්වාස කරන්න පුළුවන් ඇයි?
3 විශ්වයේ ප්‍රඥාවන්තම තැනැත්තා වන යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති මිනිසුන්ගේ ඒවාවලට වඩා උසස් වගේම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. (ගීතා. 119:98-100) ඔයාලා ඒ ප්‍රතිපත්ති තේරුම්ගන්න උත්සාහ කරනවා නම් දෙවිගේ අරමුණු ගැන හොඳට කල්පනා කරනවා නම් ඒ වගේම මුළු හදවතින්ම යාච්ඤා කරනවා නම් බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවිත් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. දෙවි මෙහෙම පොරොන්දු වෙලා තියෙනවා. “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි. මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.”—ගීතා. 32:8.
4. හැමදාම බයිබලය කියවීමෙන් ඔයාලට ලැබුණ ප්‍රයෝජන මොනවාද?
4 කියවීමට කාලයක් වෙන් කරගන්න: සාක්ෂිකාර යෞවනියක් සම්පූර්ණ බයිබලය කියවන්න ඉලක්කයක් තියාගෙන අවුරුද්දකින් ඒක කියෙව්වා. එයා මෙහෙම කියනවා. “මම යෙහෝවා දෙවි ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ දේවල් නිසා මම දෙවිට ගොඩක් ළං වුණා. ඒ වගේම මගේ ජීවිත කාලෙම දෙවිට කීකරුව ඉන්න මට ලොකු ආසාවක් ඇති වුණා.” (යාකො. 4:8) යෞවනයෙනි ඔයාලා සම්පූර්ණ බයිබලයම කියවලා තියෙනවාද? නැත්නම්, එහෙම කරන්න ඉලක්කයක් තියාගන්න පුළුවන්ද? එහෙම කරනවා නම් ඔයාලා දරන උත්සාහයට අනිවාර්යයෙන්ම යෙහෝවා දෙවි ආශීර්වාද කරයි.