ආරක්ෂාව සඳහා ආරක්ෂක පටි පළඳින්න
◼ එක්සත් ජනපදයේ වයස අවුරුදු 5 සිට 24 දක්වා තරුණයන් අතර සිදු වන මරණවලට ප්‍රධාන හේතුව රිය අනතුරුයි.
◼ ජපානයේ පියයුරු පිළිකාවලින් සිදු වන මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකට වැඩි මරණ සංඛ්‍යාවකට මාර්ග අනතුරු වගකිව යුතු අතර, පුරස්ථිත පිළිකාවෙන් මියයන මිනිසුන් සංඛ්‍යාව මෙන් සිව්ගුණයක් එයින් මරු දකිනවා.
◼ යුරෝපයේ මිනිස් ඝාතනවලින් සිදු වන මරණ සංඛ්‍යාව මෙන් සිව්ගුණයකට මෝටර් රථ අනතුරු වගකිව යුතුයි.
මෙම තැතිගන්වන සංඛ්‍යාවලින් විශේෂ කොට දැක්වෙන්නේ, මරු කැඳවන වේගයෙන් ධාවනය කෙරෙන මෝටර් රථවල ගමන් කිරීම හා බැඳී පවතින අනතුරුවලින් එකක් ගැනයි. ඒ වගේම මත්පැන් පානය කර මරු කැඳවන වේගයෙන් ධාවනය කිරීම ගැනයි. අනතුරු හා සම්බන්ධ අවදානම් හා තුවාල වීම් අඩු කරගත හැකිවීම ගැන ස්තුතිවන්ත විය යුතුයි. එය සිදු විය හැක්කේ කෙසේද?
ආරක්ෂාකාරිව රිය පැදවීමේ පුරුදු වර්ධනය කරගැනීම ඊට හොඳ ආරම්භයක්. සිදු වන අනතුරුවලින් 10න් 9ක්ම වළක්වාගැනීමට හෝ මඟහැරීමට හැකියාවක් තිබෙන බව, ආරක්ෂාව පිළිබඳ ඇතැම් විශේෂඥයන් කියා සිටිනවා. මාර්ග පුවරුවල සඳහන් කර තිබෙන නියමිත වේග සීමාවන් ඉක්මවා ධාවනය කිරීම, වෙනත් වාහන අතරින් පතරින් ධාවනය කිරීම, අනතුරුදායක ලෙස වෙනත් වාහනවලට ආසන්නව ධාවනය කිරීම, මත්ද්‍රව්‍ය හෝ මත්පැන්වල බලපෑම යටතේ රිය පැදවීම හා ධාවනයට නුසුදුසු වාහන පැදවීම යනාදිය අනාරක්ෂිත ලෙස රිය පැදවීමේ පුරුදුවලට උදාහරණ කිහිපයක් පමණයි. වාහනයක් පැදවීමේදී පරෙස්සම් සහිතව මෙන්ම වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ ආකල්පයක් ඇති කරගැනීම සඳහා, ජීවිතය කෙරෙහි ගෞරවය දැක්වීම හා අපේ අසල්වැසියා සඳහා ප්‍රේමය අපව පෙලඹවිය යුතුයි.—මතෙව් 7:12.
ආසනවල සවි කර තිබෙන ආරක්ෂක පටි පැළඳීම සරල දෙයක් වුවත්, එය බොහෝ අවස්ථාවලදී නොසලකා හරිනු ලබන ආරක්ෂිත ක්‍රියාමාර්ගයක්. එක්සත් ජනපද ප්‍රවාහණ දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු වන ටිම් හ’ඩ් පවසන ආකාරයට, “ආරක්ෂක පටි පැළඳීම අනතුරකදී ඔබේ ජීවිතය ආරක්ෂා කරන වඩාත්ම ඵලදායී මාර්ගයක්. එමගින්, බේරීමට තිබෙන ඉඩ කඩ දෙගුණ කරවනවා.” දරුවන් සඳහා සදා තිබෙන ආරක්ෂක ආසනවල ඔවුන්ව තැබුවා නම් දරුවන්ට බේරීමට තිබෙන අනුපාතය තුන්ගුණයකට ආසන්න වෙනවා.a
මෙවැනි ආරක්ෂක විධි තිබුණත්, එක්සත් ජනපදයේ මඟී වාහනවල ගමන් කරන්නන්ගෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් ආසනවල සවි කර තිබෙන ආරක්ෂක පටි පළඳින්නේ නැති බව සමීක්ෂණයකින් අඟවනවා. දෙමාපියෙක් වශයෙන් ඔබ වාහනය පැදවීමට කලින් ඔබේ දරුවන්ව ඔවුන්ගේ ආසනවල තිබෙන ආරක්ෂක පටිවලට සම්බන්ධ කර තිබෙන බවට සහතික වනවාද? ආරක්ෂක පටිය පැළඳීම සඳහා යොදවන කාලය හුඟක් වටිනවා.
[පාදසටහන]
a ජාතික මහා මාර්ග රථ වාහන පිළිබඳ ආරක්ෂක ආයතනය මෙසේ නිර්දේශ කරනවා: “පිටුපසට මුහුණලා තිබෙන සේ මෝටර් රථවල අසුනේ සවි කරන ළමා ආසනවල සිටින දරුවන්ව, මඟියා අසුන් ගන්න පැත්තේ වායු බැලූනයක් සවි කර තිබෙන මෝටර් රථයක ඉදිරි ආසනයේ නොතැබිය යුතුයි. හදිසි අවස්ථාවකදී වායු බැලූනය පාවිච්චි කිරීමේදී, එය පිටුපසට මුහුණලා තිබෙන ළමා ආසනයකට වැදීමෙන් දරුවාට තුවාල විය හැකියි.