16වෙනි පරිච්ඡේදය
යෙහෝවාගේ නමස්කාරය සඳහා ජ්වලිතය
යේසුස්ගේ අර්ධ සහෝදරයන් වන මරියාගේ අනිත් පුතුන්ගේ නම් වන්නේ යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස්. මේ සියලුදෙනාම යේසුස් සහ ඔහුගේ ගෝලයන් සමඟ ගලීල මුහුද අසල පිහිටි නුවරක් වන කපර්ණවුමට ගමන් කරනවා. සමහරවිට ගමන ඇරඹීමට කලින්, ඒ සඳහා අවශ්‍ය කරන දේවල් සූදානම් කරගැනීමට නාසරෙත්වල පිහිටි තමන්ගේ නිවෙස්වල ඔවුන් මඳක් නවතින්න ඇති.
එහෙත් යේසුස් දිගටම තම දේවසේවය කානාවල, නාසරෙත්වල හෝ ගලීල කඳුකරයේ වෙනත් ස්ථානයක නොකර කපර්ණවුමට යන්නේ ඇයි? කපර්ණවුම සියල්ලන්ටම හොඳින් පෙනෙන සේ පිහිටා තිබීම හා එය වඩා විශාල නගරයක් වීම එයට එක් හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම, යේසුස් අලුතෙන් තෝරාගත් ගෝලයන්ගෙන් වැඩිදෙනෙක් ජීවත් වන්නේත් කපර්ණවුමේ හෝ ඒ අවට පෙදෙස්වලයි. ඉතිං යේසුස්ගෙන් පුහුණුව ලබාගැනීමට ඔවුන්ට තම නිවෙස් අතහැර යන්න අවශ්‍ය වන්නේ නැහැ.
කපර්ණවුමේ යේසුස් නැවතී සිටින විට ඔහු ආශ්චර්යවත් ක්‍රියා සිදු කරනවා. මාස කිහිපයකට පසු ඔහුම තහවුරු කළා තමන් ඒ ක්‍රියා කළ බවට. එහෙත් වැඩි කල් යන්න කලින් යේසුස් නැවතත් ඔහුගේ මිත්‍රයන් සමඟ ගමන් අරඹනවා. දැන් වසන්ත කාලයයි. ඔවුන් ගමන් කරන්නේ ක්‍රි.ව. 30වන වසරේ යෙරුසලමේ පැවැත්වෙන පාස්කුවට සහභාගි වෙන්නයි. එහි සිටින විට යේසුස්ගේ ගෝලයන් ඔහුගේ පෞද්ගලිකත්වයේ සමහරවිට කලින් නොදුටු පැත්තක් දකිනවා.
දෙවිගේ නීතියට අනුව, ඊශ්‍රායෙලිතයන්ට නියම කර තිබෙනවා සත්ව පූජා ඔප්පු කරන්න. ඉතිං, ඔවුන්ගේ පහසුව තකා යෙරුසලමේ වෙළෙන්දන් සතුන්ව හෝ පක්ෂීන්ව විකුණනවා. නමුත් ඔවුන් උන්ව විකුණන්නේ දේවමාලිගාව ඇතුලේමයි. ඒ විතරක් නෙවෙයි, ඕනෑවට වඩා අය කරමින් ඔවුන් මිනිසුන්ට වංචාත් කරනවා.
ඉතිං, යේසුස්ට හොඳටම කේන්ති ගිහින් ලණුවලින් කසයක් සාදා විකුණන්නන්ව ඉවතට පලවාහරිනවා. මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා මේස පෙරළා දමමින් පරෙවියන් විකුණමින් සිටි අයට ඔහු කෑ ගසා පවසන්නේ මෙසේයි. “මේ දේවල් මෙතැනින් ගෙන යන්න! මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක් කිරීම නවත්වන්න!”
යේසුස්ගේ ගෝලයන් මෙය දකින විට ඔවුන්ගේ මතකයට නැඟෙන්නේ දෙවිගේ පුත්‍රයා පිළිබඳව පවසා ඇති මේ අනාවැකියයි. “ඔබගේ ගෘහය ගැන තිබෙන ජ්වලිතය මාව දවන්නේය.” එහෙත් “ඔබ මේ දේවල් කරන බැවින්, අපට පෙන්වන ලකුණ කුමක්ද” කියා යුදෙව්වරු ඔහුගෙන් අසනවා. එවිට යේසුස් ඊට පිළිතුරක් වශයෙන් පවසන්නේ මෙහෙමයි. “මේ දේවමාලිගාව කඩා දමන්න. එවිට දවස් තුනකින් මම එය ගොඩනඟන්නෙමි.”
යුදෙව්වරුන් සිතන්නේ යේසුස් කතා කරමින් සිටින්නේ සැබෑ දේවමාලිගාව ගැනයි කියා. ඒ නිසා ඔවුන් මෙසේ අසනවා. “මේ දේවමාලිගාව ගොඩනඟන්න අවුරුදු හතළිස්හයක් ගත විය. ඔබ එය දවස් තුනකින් ගොඩනඟන්නෙහිද?” නමුත් යේසුස් කතා කරමින් සිටින්නේ තමාගේ ශරීරය නමැති දේවමාලිගාව ගැනයි. වසර තුනක් ගත වූ පසු, මළවුන්ගෙන් ඔහුව නැවත නැඟිටුවන විට මේ කියමන ඔහුගේ ගෝලයන්ගේ මතකයට නැඟෙනවා. යොහන් 2:12-22; මතෙව් 13:55; ලූක් 4:23; NW.
▪ කානා නුවර පැවති විවාහ මංගල්‍යයෙන් පසු යේසුස් ගමන් කරන්නේ කුමන ස්ථානවලටද?
▪ යේසුස්ට කේන්ති යන්නේ ඇයි? ඔහු කරන්නේ කුමක්ද?
▪ ඔහුගේ ක්‍රියා දකින විට යේසුස්ගේ ගෝලයන්ට මතක් වන්නේ කුමක්ද?
▪ “මේ දේවමාලිගාව” ගැන යේසුස් සඳහන් කරන්නේ කුමක්ද? ඔහු ඉන් අදහස් කරන්නේ කුමක්ද?