ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lr 41 පරි. 212-216 පි.
  • දෙවිව සතුටු කරපු දරුවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිව සතුටු කරපු දරුවන්
  • උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • සමාන තොරතුරු
  • හමුදාපතියෙක් සහ පුංචි දුවෙක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ඇයට ඕනේ වුණේ උදව් කරන්නයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ධෛර්යයෙන් යුතුව කතා කළ කුඩා දැරියක්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කීකරු වෙන්න ඉගෙනගන්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
lr 41 පරි. 212-216 පි.

41වෙනි පරිච්ඡේදය

දෙවිව සතුටු කරපු දරුවන්

පොළොවේ හිටිය දරුවන්ගෙන් යෙහෝවා දෙවිව වැඩියෙන්ම සතුටු කළේ මොන දරුවාද?— දෙවිගේ පුතා වන යේසුස්. ස්වර්ගයේ ඉන්න තාත්තාව යේසුස් සතුටු කළේ කොහොමද කියලා අපි බලමු.

යේසුස්ගේ පවුලේ අය ජීවත් වුණු තැන ඉඳන් දේවමාලිගාව තිබුණු යෙරුසලමට එන්න දවස් තුනක් විතර ගත වෙනවා. යේසුස් දේවමාලිගාව හැඳින්නුවේ ‘මගේ තාත්තාගේ ගෙදර’ කියලයි. හැම අවුරුද්දෙම පාස්කු උත්සවය සමරන්න යේසුත් එයාගේ පවුලේ අයත් යෙරුසලමට ගියා.

දවසක් යේසුස්ගේ පවුලේ අය පාස්කු උත්සවය සමරලා ගෙදර යන ගමන් වුණු සිද්ධියක් දැන් බලමු. ඒ වෙද්දී යේසුස්ට වයස 12යි. එදා රෑ නවාතැන් ගන්න තැනට ආවාම යේසුස් නෑදෑයන් එක්කවත් යාළුවන් එක්කවත් නැහැ කියලා මරියායි යෝසෙපුයි දැනගත්තා. ඒ නිසා එයාලා යේසුස්ව හොයාගෙන ආපහු යෙරුසලමට ගියා. යේසුස් කොහේ ඉන්න ඇද්ද?—

යේසුස් හිටියේ දේවමාලිගාවේ. ගුරුවරුන් උගන්වපු දේවල් අහගෙන හිටිය යේසුස් එයාලාගෙන් ප්‍රශ්නත් ඇහුවා. ගුරුවරු අහපු ප්‍රශ්නවලට යේසුස් උත්තර දීපු විදිහ ගැන එයාලා හුඟක් පුදුම වුණා. දැන් ඔයාට තේරුණාද දෙවි යේසුස් ගැන හුඟක් සතුටු වුණේ ඇයි කියලා?—

යේසුස්ව දැක්කාම මරියාටයි යෝසෙප්ටයි ලොකු සහනයක් දැනුණා. හැබැයි යේසුස් නම් පොඩ්ඩක්වත් බය වෙලා හිටියේ නැහැ. මොකද එයා දැනගෙන හිටියා දේවමාලිගාව ආරක්ෂාව තියෙන තැනක් කියලා. ඒ නිසා එයා ඇහුවා ‘මගේ තාත්තාගේ ගෙදර මං ඉන්න ඕනෙ කියලා ඔයාලා දැනගෙන හිටියේ නැද්ද’ කියලා. දේවමාලිගාව එයාගේ තාත්තාගේ ගෙදර කියලා යේසුස් දැනගෙන හිටිය නිසා එයා එහේ ඉන්න හුඟක් කැමති වුණා.

අන්තිමේදී මරියායි යෝසෙපුයි යේසුස්ව එක්කගෙන නාසරෙත්වල තිබුණු එයාලාගේ ගෙදරට ගියා. යේසුස් එයාගේ දෙමාපියන්ට සැලකුවේ කොහොමද කියලා ඔයා දන්නවාද?— බයිබලයේ කියන්නේ යේසුස් ‘දිගටම එයාලාට කීකරු වුණා’ කියලයි. ඔව්, දෙමාපියන් කියපු දේවල් එයා කළා. ළිඳෙන් වතුර අරන් එන්න කිව්වත් එයා ඒ දේට කීකරු වුණා.—ලූක් 2:41-52.

කුඩා යේසුස් ලිඳෙන් වතුර අරන් එන්න උදව් කරමින් සහ දේවමාළිගාවේදී වැඩිහිටියන්ගෙන් ප්‍රශ්න අහමින්

යේසුස් පුංචි කාලෙදී දෙවිව සතුටු කළේ කොහොමද?

මේ ගැන ටිකක් හිතන්න. යේසුස් පරිපූර්ණ කෙනෙක් වුණත් පව්කාරකම උරුම කරගෙන හිටිය දෙමාපියන්ට එයා කීකරු වුණා. දෙවි ඒ ගැන සතුටු වුණාද?— ඔව්, මොකද ‘දෙමාපියන්ට කීකරු වෙන්න’ කියලා දෙවි දරුවන්ට කියලා තියෙනවා. (එෆීස 6:1) යේසුස් වගේ ඔයාත් දෙමාපියන්ට කීකරු වෙනවා නම් දෙවිව සතුටු කරන්න ඔයාටත් පුළුවන්.

දෙවිව සතුටු කරන්න පුළුවන් තව විදිහක් තමයි දෙවි ගැන අනිත් අයට කියන එක. සමහර අය කියයි දරුවන් ඒ දේ කරන්න ඕනෙ නැහැ කියලා. හැබැයි දරුවන් එහෙම කරද්දී එයාලාව නතර කරන්න හදපු අයගෙන් යේසුස් මෙහෙම ඇහුවා. ‘“දරුවන්ගේ කටින් දෙවි ප්‍රශංසාව ගෙන දෙනවා” කියලා ශුද්ධ ලියවිල්ලේ තියෙන දේ ඔයාලා කියවලා නැද්ද?’ (මතෙව් 21:16) ඉතිං අපි හැමෝටම පුළුවන් යෙහෝවා දෙවි ගැන අනිත් අයට කියන්න. එහෙම කරලා දෙවිව සතුටු කරන්න අපිට පුළුවන්.

දෙවි ගැන අනිත් අයට කියන්න නම් අපි දෙවි ගැන ඉගෙනගන්න ඕනේ. දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් කොහෙන්ද?— ගෙදරදී කරන බයිබල් පාඩමෙන්. හැබැයි දෙවිගේ සෙනඟ පවත්වන රැස්වීම්වලින් අපිට ඊටත් වඩා හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒත් දෙවිගේ සෙනඟව අඳුනගන්න පුළුවන් කොහොමද?—

දෙවිගේ සෙනඟ පවත්වන රැස්වීම්වලදී කරන්නේ මොනවාද? බයිබලයේ තියෙන දේවල් උගන්වනවාද? ඒක කියවලා ඒ ගැන සාකච්ඡා කරනවාද? එහෙම කළොත් විතරයි අපිට දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් නේද?— ක්‍රිස්තියානි රැස්වීම්වලදී දෙවි ගැන උගන්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා නේද?— හැබැයි අපි බයිබලයේ තියෙන විදිහට ජීවත් වෙන්න ඕන නැහැ කියලා මිනිසුන් කියනවා නම් එයාලා දෙවිගේ සෙනඟ කියලා හිතන්න පුළුවන්ද?—

මේ ගැනත් හිතන්නකෝ. බයිබලයේ කියන්නේ දෙවිගේ සෙනඟ ‘දෙවිගේ නාමය දරනවා’ කියලයි. (ක්‍රියා 15:14) දෙවිගේ නම යෙහෝවා නිසා අපිට අහන්න පුළුවන් ඔයාලාගේ දෙවියන් යෙහෝවාද කියලා. නැහැ කියලා කිව්වොත් ඒ අය දෙවිගේ සෙනඟ වෙන්න බැහැ. දෙවිගේ සෙනඟ අනිත් අයට දෙවිගේ රාජ්‍යය ගැනත් කියලා දෙන්න ඕනේ. දෙවිගේ ආඥා පිළිපදින්නත් ඕනේ.—1 යොහන් 5:3.

ඒ හැම දෙයක්ම කරන සෙනඟක්ව ඔයා දන්නවා නම් ඔයාටත් පුළුවන් එයාලා පවත්වන රැස්වීම්වලට යන්න. එහෙදී උගන්වන දේවල් හොඳට අහගෙන ඉන්න. ප්‍රශ්න අහද්දී උත්තර දෙන්න. දේවමාලිගාවේ ඉද්දී යේසුත් කළේ ඒ දේමයි. ඔයා ඒ දේවල් කරද්දී යේසුස් වගේ ඔයාටත් පුළුවන් දෙවිව සතුටු කරන්න.

දෙවිව සතුටු කරපු තවත් දරුවන් ගැන ඔයා බයිබලෙන් ඉගෙනගෙන තියෙනවාද?— එක් කෙනෙක් තිමෝති. එයාගේ තාත්තා යෙහෝවා දෙවිට සේවය කළේ නැහැ. හැබැයි එයාගේ අම්මා යූනිස් සහ ආච්චි ලොයිස් දෙවිට සේවය කළා. තිමෝති ඒ දෙන්නාගෙන් යෙහෝවා දෙවි ගැන ඉගෙනගත්තා.

පුංචි තිමෝතිට යුනිස් උගන්වමින්, එයාගේ තාත්තා සහ ආච්චි ලොයිස් ඒ ළඟම ඉන්නවා

තිමෝතිගේ තාත්තා දෙවිට සේවය කළේ නැති වුණත් තිමෝතිට ඕන වුණේ මොනවා කරන්නද?

තිමෝති යෞවන වයසේ ඉද්දී එයාගේ ගමට පාවුල් ආවා. දෙවිට සේවය කරන්න තිමෝති කොච්චර ආසද කියලා පාවුල් දැක්කා. ඒ නිසා තවත් වැඩියෙන් දෙවිට සේවය කරන්න තමන් එක්ක එන්න කියලා පාවුල් එයාට කතා කළා. එයාලා ගිය හැම තැනකදීම දෙවිගේ රාජ්‍යය ගැනත් යේසුස් ගැනත් අනිත් අයට කිව්වා.—ක්‍රියා 16:1-5; 2 තිමෝති 1:5; 3:14, 15.

බයිබලයේ තියෙන්නේ දෙවිව සතුටු කරපු පිරිමි දරුවන් ගැන විතරද?— නැහැ. ඊශ්‍රායෙල් දැරියක් ගැන බලන්නකෝ. එයා ජීවත් වුණේ සිරියානුවන් සහ ඊශ්‍රායෙල්වරුන් තරහින් හිටිය කාලෙක. දවසක් සිරියානුවන් ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කරලා ඒ දැරියව වහලෙක් විදිහට අරන් ගියා. එයාව අරන් ගියේ හමුදාපතියෙක් වුණු නාමන්ගේ ගෙදරට. එහෙදී එයා නාමන්ගේ බිරිඳගේ සේවිකාවක් විදිහට වැඩ කළා.

නාමන්ට ලාදුරු කියන ලෙඩේ හැදිලා තිබුණා. ඒක සනීප කරන්න කිසිම දොස්තර කෙනෙක්ට පුළුවන් වුණේ නැහැ. හැබැයි ඊශ්‍රායෙල් දැරිය දැනගෙන හිටියා දෙවිගේ අනාගතවක්තෘවරයෙක්ට ඒක සනීප කරන්න පුළුවන් කියලා. ඒත් නාමන්වත් එයාගේ බිරිඳවත් යෙහෝවා දෙවිට නමස්කාර කළේ නැහැ. ඒ දැරිය දැනගෙන හිටිය දේ එයාලාට කියයිද? ඒ ඔයා නම් ඔයා මොනවා කරයිද?—

ඊශ්‍රායෙල් දැරිය නාමන්ගේ බිරිඳ එක්ක කතා කරමින්

මේ ඊශ්‍රායෙල් දැරිය දෙවිව සතුටු කළේ කොහොමද?

ඊශ්‍රායෙල් දැරිය කිව්වා ‘යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘ ළඟට ගියොත් අනිවාර්යයෙන්ම ලාදුරු ලෙඩේ සනීප කරගන්න පුළුවන්’ කියලා. දැරිය කියපු දේ අහලා නාමන් යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘ ළඟට ගියා. අනාගතවක්තෘවරයා කියපු දේ කළාම නාමන්ගේ ලෙඩේ හොඳ වුණා. එදා ඉඳන් තමයි නාමන් සැබෑ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න පටන්ගත්තේ.—2 රාජාවලිය 5:1-15.

ඒ දැරිය කළා වගේ යෙහෝවා දෙවි ගැන අනිත් අයට කියලා දෙන්න ඔයාත් කැමතිද?— මොන වගේ අයට ඒ ගැන කියලා දෙන්න පුළුවන්ද?— මිනිසුන් මුලින් හිතන එකක් නැහැ එයාලා දෙවි ගැන දැනගන්න ඕනෙ කියලා. හැබැයි ඔයාට පුළුවන් යෙහෝවා දෙවි කරන යහපත් දේවල් ගැන එයාලාට කියන්න. සමහරවිට එයාලා ඒකට ඇහුම්කන් දෙයි. ඔයා එහෙම කරද්දී දෙවි අනිවාර්යයෙන්ම ඒ ගැන සතුටු වෙයි.

සතුටින් යෙහෝවා දෙවිට සේවය කරන්න යෞවන දරුවන්ට උදව් වෙන මේ බයිබල් පද අපි දැන් කියවලා බලමු. ගීතාවලිය 122:1; 148:12, 13; දේශනාකාරයා 12:1; 1 තිමෝති 4:12; හෙබ්‍රෙව් 10:23-25.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න