ඔවුහු යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කළහ
ධෛර්යයෙන් යුතුව කතා කළ කුඩා දැරියක්
පොදු යුගයට පෙර දහවන ශතවර්ෂයේදී, ඉශ්රායෙලය හා සිරියාව අතර සබඳතා පීඩිත තත්වයක පැවතිණ. සටන් වැදීම කෙතරම් සුලභව දක්නට ලැබූ යමක්ද කිවහොත්, සාහසිකකමෙන් තොරව වසර තුනක් ගෙවී ගියහොත්, එය ඓතිහාසික වාර්තාවට එකතු කළ යුතු වූ කරුණක් විය.—1 රාජාවලිය 22:1.
සොල්දාදුවන් සිය ගණනකින් සැදි සිරියානු මංකොල්ලකාරයන්ගේ කණ්ඩායම් ඒ කාලවලදී විශේෂයෙන් තර්ජනයක් විය. ඉශ්රායෙල්වරුන් වෙත කඩා වැද කොල්ලකනු ඇති මෙම රණශූරයෝ, බොහෝදෙනෙකුව—දරුවන්ව පවා—පැහැරගනිමින්, වහල්භාවයට ගෙන ගියහ.
එක් ආක්‍රමණයකදී, ‘කුඩා කෙල්ලක්ව,’ අනුකම්පා රහිතව තම දේවභයැති පවුලෙන් පැහැර ගෙනයන ලදි. (2 රාජාවලිය 5:2) ඇයව සිරියාවට ගෙනයනු ලැබූ අතර, ඇය තුළ බියක් හැඟෙන්ට සැලැස්වූ නාඳුනන අය අතර ජීවත්වීමට බල කරනු ලැබිණ—ඒ ජනයා හිරුට, සඳුට, තාරකාවන්ට, ගස් වැල්වලට මෙන්ම ගල්වලට පවා වන්දනාමාන කළෝය. එකම සැබෑ වූ දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේට නමස්කාර කළ ඇගේ පවුලෙන් සහ මිත්‍රයන්ගෙන් ඔවුන් කෙතරම් වෙනස් වීද! කෙසේවෙතත්, මෙම විදේශීය වාතාවරණයේදී පවා, මේ කුඩා දැරිය යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීම සම්බන්ධයෙන් විශිෂ්ට ධෛර්යයක් පෙන්වුවාය. ප්‍රතිඵලයක් වශයෙන්, ඈ සිරියාවේ රජු යටතේ සේවය කළ උසස් නිලධාරියෙකුගේ ජීවිතය වෙනස් කළාය. ඒ කෙසේද කියා අපි බලමු.
නිර්භයව කතා කිරීමට ධෛර්යය
බයිබල් විස්තරයේ කුඩා දැරියගේ නම සඳහන් කර නැත. IIවන බෙන්-හදද් රජු යටතේ සිටි නිර්භීත හමුදා සේනාපතියා වූ නාමන්ගේ භාර්යාවගේ මෙහෙකාරියක් බවට ඈ පත් වූවාය. (2 රාජාවලිය 5:1) ඔහුව බොහෝ සෙයින් උසස් කොට සැලකුවද, නාමන්ට පිළිකුල්සහගත කුෂ්ඨ රෝගයක් තිබිණ.
එම දැරියගේ ගෞරවාන්විත හැසිරීම, නාමන්ගේ භාර්යාවට ඇය කෙරෙහි විශ්වාසයෙන් යුතුව කාරණා හෙළි කිරීමට පෙලඹීමක් වන්ට ඇත. ‘ඉශ්රායෙලයේ කුෂ්ඨ රෝගියෙකුට කරන්නේ කුමක්ද?’ යනුවෙන් ස්ත්‍රිය දැරියගෙන් අසන්ට ඇත. ඉශ්රායෙල් දැරිය නිර්භීත ලෙස මෙසේ ප්‍රකාශ කර සිටින්ට ලජ්ජා නොවූවාය: “මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනීසිටියොත් හොඳය, එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුවකරනවා ඇත.”—2 රාජාවලිය 5:3.
මෙම දැරියගේ වචන බොළඳ මනඃකල්පිතයක් ලෙස නොසලකා හැරියේ නැත. මීට පටහැනිව, එය බෙන්-හදද් රජුට වාර්තා කරන ලදි—ඔහු මෙම අනාගතවක්තෘ සෙවීමට, නාමන් හා වෙනත් අයව සමාරිය බලා කිලෝමීටර් 150ක දුර ගමනකට පිටත් කර යැවීය.—2 රාජාවලිය 5:4, 5.
නාමන්ව සුව කිරීම
නාමන් සහ ඔහුගේ මිනිස්සු බෙන්-හදද්ගෙන් හඳුන්වා දීමේ ලිපියක් සහ සෑහෙන ප්‍රමාණයේ මුදල් ත්‍යාගයකුත් රැගෙන ඉශ්රායෙලයේ රජු වන යෙහෝරාම් වෙත ගියෝය. වසු වන්දනාවේ යෙදී සිටි යෙහෝරාම් රජු, මෙහෙකාර දැරිය මෙන් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා කෙරෙහි ඇදහිල්ල විදහාපෙන්වූයේ නැත. ඒ වෙනුවට, ඔහු සිතුවේ නාමන් ඩබරයකට කාරණා සොයමින් පැමිණි බවයි. දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ වන එලිෂා යෙහෝරාම්ගේ සැකය ගැන දැනගත් විට, එම අවස්ථාවේදීම නාමන්ව තමාගේ නිවසට එවන මෙන් රජුට ආයාචනා කරමින් පණිවුඩයක් යැව්වේය.—2 රාජාවලිය 5:6-8.
නාමන් එලිෂාගේ නිවසට පැමිණි විට, අනාගතවක්තෘවරයා පණිවුඩකරුවෙකු අත මෙසේ කියා ඇරියේය: “නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාපන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්රවන්නෙහිය.” (2 රාජාවලිය 5:9, 10) නාමන් කෝපාවිෂ්ට වූයේය. ආශ්චර්යවත් සහ බාහිර අලංකාරයෙන් යුත් විදහාපෙන්වීමක් අපේක්ෂාවෙන් සිටි ඔහු, මෙසේ ඇසුවේය: “දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්රායෙල් දේශයේ සියලු ජලවලට වඩා හොඳ නොවේද? ඒවායේ නාලා පවිත්‍රවෙන්ට මට බැරිද?” නාමන් කෝපයෙන් එලිෂාගේ නිවසින් පිටත්ව ගියේය. එහෙත් නාමන්ගේ සේවකයන් ඔහුට කාරණා පැහැදිලි කළ විට, අවසානයේදී ඔහු යටත් විය. යොර්දාන් ගඟේ සත් වරක් නෑමෙන් පසු, “ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය.”—2 රාජාවලිය 5:11-14.
නාමන් එලිෂා වෙතට හැරී ඇවිත් මෙසේ පැවසුවේය: “ඉතින් ඉශ්රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි.” “මින් මතු . . . ස්වාමීන්වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පුකරන්නේ නැත” යනුවෙන් නාමන් පොරොන්දු විය.—2 රාජාවලිය 5:15-17.
අපට පාඩමක්
බාල මෙහෙකාර දැරිය ධෛර්යවත්ව කතා නොකළේ නම්, නාමන් අනාගතවක්තෘ එලිෂා වෙත නොයනු ඇත. අදදිනත්, බොහෝ බාලයෝ ඒ හා සමානවම ක්‍රියා කරති. පාසැලේදී, ඔවුන් දෙවියන්වහන්සේට සේවය කිරීමට කිසිම උනන්දුවක් නොදක්වන ශිෂ්‍යයන්ගෙන් වට වී සිටින්ට පුළුවන. කෙසේවෙතත්, විශ්වාස කරන්නාවූ දෑ සම්බන්ධයෙන් ඔවුහු නිදහසේ කතා කරති. ඔවුන්ගෙන් සමහරෙකු එසේ කිරීමට ආරම්භ කරන්නේ සැලකිය යුතු බාල වයසකදීය.
ඕස්ට්‍රේලියාවේ, පස් හැවිරිදි දැරියක් වන ඇලෙක්ස්සැන්ඩ්රා සලකා බලන්න. ඇය පාසැල් යන්ට පටන්ගත් විට, ඇගේ මව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් සම්බන්ධයෙන් ගුරුවරියට පැහැදිලි කිරීමට වෙලාවක් නියම කරගත්තාය. එහෙත් ඇලෙක්ස්සැන්ඩ්රාගේ මවට බලාපොරොත්තු නොවූ යමකට මුහුණ දීමට සිදු විය. “ඔයාලාගේ විශ්වාසයන් කිහිපයක් ගැනත්, පාසැලේදී ඇලෙක්ස්සැන්ඩ්රා කරන්නේ හා නොකරන්නේ මොනවද කියාත්, මම දැනටමත් හොඳින් දන්නවා,” යනුවෙන් ගුරුවරිය පැවසුවාය. පාසැලේ වෙන සාක්ෂිකාර ළමුන් නොසිටි බැවින්, ඇලෙක්ස්සැන්ඩ්රාගේ මව පුදුමයට පත් වූවාය. “ඇලෙක්ස්සැන්ඩ්රා අපට හැම දෙයක්ම කියලා දුන්නා,” කියා ගුරුවරිය පැහැදිලි කළාය. එසේය, මෙම කුඩා දැරිය එවිටමත් තම ගුරුවරිය සමඟ උපායශීලීව සාකච්ඡාවක් පවත්වා තිබුණාය.
එවන් බාලයෝ ධෛර්යවත්ව කතා කරති. මෙසේ ඔවුහු ගීතාවලිය 148:12, 13ට එකඟව ක්‍රියා කරති: “තරුණයන් හා තරුණියෙනි, මහල්ලන් හා බාලයෙනි, පොළොවේ සිට ස්වාමීන්ට ප්‍රශංසාකරව්. මොව්හු ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකෙරෙත්වා; මක්නිසාද උන්වහන්සේගේ නාමය පමණක් උසස්ය. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය හා පොළොව මත්තෙහි පවත්නේය.”