51වෙනි පාඩම
හමුදාපතියෙක් සහ පුංචි දුවෙක්
සිරියානු හමුදාව ඊශ්‍රායෙල් දේශයේ හිටිය පුංචි දුවෙක්ව සිරියාවට අරන් ඇවිත් එහේ හමුදාපති වුණු නාමන්ගේ ගෙදරට භාර දුන්නා. ඒ ගෙදර සේවිකාවක් විදිහට වැඩ කරපු මේ දුව දිගටම යෙහෝවාට නමස්කාර කළා.
හමේ ලෙඩක් නිසා නාමන් හුඟක් දුක් වින්දා. ඒක දැකපු පුංචි දුවට ඕන වුණා එයාට උදව් කරන්න. ඒ නිසා එයා නාමන්ගේ බිරිඳට මෙහෙම කිව්වා. ‘මගේ ස්වාමියාගේ ලෙඩේ හොඳ කරන්න පුළුවන් කෙනෙක්ව මං දන්නවා. යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙක් වන එලිෂා ළඟට ගියොත් එයා ලෙඩේ හොඳ කරයි.’
නාමන්ගේ බිරිඳ ඒක නාමන්ට කිව්වාම එයා ඊශ්‍රායෙල්වල හිටිය එලිෂාගේ ගෙදරට ගියා. කොහොමහරි ලෙඩේ හොඳ කරගන්නයි එයාට ඕන වුණේ. නාමන් හිතුවා එලිෂා එයාව ලොකු ගෞරවයකින් පිළිගනියි කියලා. හැබැයි එලිෂා නාමන් ළඟට එන්නේ නැතුව එයාගේ සේවකයෙක්ව එවලා මෙහෙම කිව්වා. ‘යොර්දාන් ගඟෙන් හත් පාරක් නාන්න. ඔයාගේ ලෙඩේ හොඳ වෙයි.’
එතකොට නාමන් හුඟක් කේන්තියෙන් මෙහෙම කිව්වා. ‘මං හිතුවේ මේ අනාගතවක්තෘවරයා මං ළඟට ඇවිත් එයාගේ දෙවියන්ගෙන් උදව් ඉල්ලලා එයාගේ අත එහෙට මෙහෙට වනලා මාව සනීප කරයි කියලා. සිරියාවේ මීට වඩා හොඳ ගංගාවල් තියෙනවානේ. ඉතින් ඒ ගඟකින් නාලා හොඳ වෙන්න මට බැරිද?’ ඊටපස්සේ එයා කේන්තියෙන්ම එලිෂාගේ ගෙදරින් පිට වුණා.
හැබැයි නාමන්ගේ සේවකයන් එයාට මෙහෙම කිව්වා. ‘ලෙඩේ හොඳ කරගන්න ඔබ ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි නේද? අනාගතවක්තෘවරයා කරන්න කිව්වේ අමාරු දෙයක් නෙවෙයිනේ. ඉතින් ඇයි ඒක කරන්නේ නැත්තේ?’ එයාලා කියපු දේ අහලා නාමන් යොර්දාන් ගඟේ හත් පාරක් නෑවා. එතකොට එයාගේ ලෙඩේ හොඳ වුණා. ඒ ගැන එයා කොච්චර සතුටු වුණාද කියනවා නම් එයා ආපහු එලිෂා ළඟට ගිහින් මෙහෙම කිව්වා. ‘දැන් මං දන්නවා යෙහෝවා තමයි සැබෑ දෙවියන් කියලා!’ නාමන්ගේ ලෙඩේ හොඳ වෙලා කියලා දැක්කාම ඊශ්‍රායෙල් දැරිය කොච්චර සතුටු වෙන්න ඇද්ද!
“බිලිඳුන්ගෙත් කිරි බොන ළදරුවන්ගෙත් මුවින් ඔබට ප්‍රශංසාව ලැබෙන්න සැලැස්සුවා.”—මතෙව් 21:16