21වෙනි පාඩම
දහවෙනි පීඩාව
මෝසෙස් පාරාවෝට කිව්වා ආයේ එයාව හම්බ වෙන්න එන්නේ නැහැ කියලා. ඒත් එයා යන්න කලින් පාරාවෝට මෙහෙම කිව්වා. ‘අද රෑ 12ට විතර ඊජිප්තුවේ ඉන්න හැම කුලුඳුල් දරුවෙක්ම මැරෙනවා.’
යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. ‘අවුරුද්දක් වයස පිරිමි බැටළුවෙක්ව හරි එළුවෙක්ව හරි මරලා උගේ ලේ ගෙයි උළුවහු කණුවල ගාන්න. ඊටපස්සේ උගේ මස් පුච්චලා මුහුන් දාපු නැති රොටි එක්ක කන්න. පාවහන් දාගෙන, යන්න ලෑස්ති වෙලා ඉන්න. මම අද රෑට ඔයාලව නිදහස් කරනවා.’ යෙහෝවා එහෙම කිව්වාම ඊශ්‍රායෙල්වරුන්ට කොච්චර සතුටු හිතෙන්න ඇද්ද!
එදා රෑ 12ට විතර යෙහෝවාගේ දූතයා ඊජිප්තුවේ තිබුණු හැම ගෙදරකටම ගියා. උළුවහු කණුවල ලේ ගාලා තිබුණේ නැති ගෙවල්වල හිටිය කුලුඳුල් දරුවන් මැරුණා. ඒත් ලේ ගාලා තිබුණු ගෙවල් දේවදූතයා පහු කරගෙන ගියා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ කුලුඳුල් දරුවන් මැරුණේ නැහැ. හැබැයි ඊජිප්තුවරුන්ගේ හැම කුලුඳුල් දරුවෙක්ම මැරුණා.
පාරාවෝගේ කුලුඳුල් පුතාත් මැරුණා. පාරාවෝට තවත් නම් දරාගන්න පුළුවන් වුණේ නැහැ. ඉක්මනටම එයා මෝසෙස්ටයි ආරොන්ටයි මෙහෙම කිව්වා. ‘සත්තුන්වත් අරන් මෙහෙන් පිට වෙලා යන්න. ගිහින් ඔයාලාගේ දෙවියන්ට නමස්කාර කරන්න.’
හොඳට හඳ පායලා තිබුණු ඒ දවසේ ඊශ්‍රායෙල්වරු පවුල් විදිහටයි ගෝත්‍ර විදිහටයි ඊජිප්තුවෙන් එළියට ආවා. එතන පිරිමි ලක්ෂ හයකුයි ගැහැනු අයයි දරුවෝයි ගොඩක් හිටියා. වෙන ජාතීන්වලට අයිති හුඟදෙනෙකුත් ආවා.
යෙහෝවා එයාලව බේරගත්ත විදිහ මතක් කරගන්න එයාලා හැම අවුරුද්දේම ඒ විශේෂ කෑම වේල ගත්තා. ඒකට කිව්වේ පාස්කුව කියලා.
“ඔයාට මේ වෙන කල් ජීවත් වෙන්න මං ඉඩ දුන්නේ ඔයාට වෙන දේ මාර්ගයෙන් මගේ බලය පෙන්නන්න වගේම පොළොවේ හැමෝම මගේ නම දැනගන්න ඕනෙ නිසයි.”—රෝම 9:17