අති ශුද්ධ ඇදහිල්ල තුළ ගිලියඩ් පුහුණුව
“අපේ ශිෂ්‍යයන් අති ශුද්ධ ඇදහිල්ල තුළ හොඳින් පුහුණුව ලැබ සිටිනවා.” මෙම වදන් වනාහි, 1993 සැප්තැම්බර් 12 වෙනි ඉරිදා පවත්වන ලද වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් නමැති පාසලේ 95 වෙනි පංතියේ උපාධි ප්‍රදානෝත්සව වැඩසටහනේ ආරම්භක වදන් විය. එම දින උදෑසන, ජර්සි නගරයේ එක් රැස්වීම් ශාලාවට රැස්වී සිටි ආරාධිත අමුත්තන් සහ බෙතෙල් පවුලේ සාමාජිකයන් ව ජෝර්ජ් ගැන්ගාස් විසින් ආරම්භක යාච්ඤාවකින් නියෝජනය කරන ලදි. සහෝදර ගැන්ගාස් වසර 65කට බෙතෙල් පවුලේ සාමාජිකයෙකු ව සිටින අතර, වයස අවුරුදු 97ක් ව සිටින ඔහු, පාලක මණ්ඩලයේ වයසක ම සාමාජිකයා ය.
පාලක මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු ද, වැඩසටහනේ සභාපති ද වන ඇල්බට් ශ්‍රෝඩර්, මෙසේ සඳහන් කළේ ය: “මාස පහක් පුරා ගිලියඩ් පාඨමාලාව පදනම් වී ඇත්තේ අති ශුද්ධ ඇදහිල්ල මතයි.” එහෙත්, “අති ශුද්ධ ඇදහිල්ල” යනු කුමක් ද? යූද් 20 [NW] හි සඳහන් ව ඇති “අති ශුද්ධ ඇදහිල්ල” වූ කලී, බයිබල් සත්‍යයේ මුළු පරාසය බව ඔහු පැහැදිලි කළේ ය. එමනිසා, ගිලියඩ් පාඨමාලාව පදනම් ව ඇත්තේ, එහි මූලික ග්‍රන්ථය වන යෙහෝවඃ වහන්සේගේ වචනය හෙවත් බයිබලය මත ය.
ශිෂ්‍යයෝ තවත් උපදෙස් ලබති
පළමු කථිකයා වූයේ, “ඥානවන්ත පුද්ගලයන්ගේ බලපෑමෙන් ප්‍රයෝජන ලැබීම” යන තේමාව යටතේ කථා කළ වොච්ටවර් ෆාම්ස් කමිටි හි ජෝන් ස්ටූෆ්ලෝටන් ය. “ඤාණවන්තයන් කැටුව යන” අය “ඤාණවන්තවන්නේය” යයි බයිබලය කියයි. (හිතෝපදේශ 13:20) ගිලියඩ් පාඨමාලාව අතරතුරේ දී, ශිෂ්‍යයෝ බයිබලය අධ්‍යයනය කිරීමෙහි ලා පැය 900කට වඩා වැඩි කාලයක් ගත කළහ. සහෝදර ස්ටූෆ්ලෝටන් ශිෂ්‍යයන්ගෙන් මෙසේ ඇසුවේ ය: “යෙහෝවඃ වහන්සේගේ බලපෑම ඔබට අනාගතයේ දී කෙසේ බලපාවි ද? ඔබ යන්නේ, මිලියන 170ක් පමණ සමස්ත ජනගහණයකින් යුත් රටවල් 18කටයි. ඉතින් ඔබ එම ජනයා ව බලපෑමට ලක් කරන්නේ කෙසේ ද?” යෙහෝවඃ වහන්සේගේ ප්‍රඥාව පිළිබිඹු කිරීමෙන්, අප්‍රමාණ ප්‍රඥාවේ ප්රභවය වන යෙහෝවඃ වහන්සේට නමස්කාර කරන්නන් බවට පත්වීමට වෙනත් අයට උපකාර කිරීමට එම නව මිෂනාරිවරුන්ට හැකි වෙනවා ඇත.
“සියලු මිනිසුන්ට සියල්ල වීම” යන්න, පාලක මණ්ඩලයේ ලොයිඩ් බැරී විසින් ගොඩනංවනු ලැබූ ඊළඟ කථාවේ තේමාවයි. (1 කොරින්ති 9:22) වසර 45කට පමණ පෙර, සහෝදර බැරී ම, ගිලියඩ් පාසලේ 11 වෙනි පංතියේ ශිෂ්‍යයෙකු වී සිටියේ ය. දැන් මෙම 95 වෙනි පංතිය, විදේශ රටක වසර ගණනාවක අත්දැකීම් ලත් හිටපු මිෂනාරිවරයෙකුගෙන් ප්‍රායෝගික උපදෙස් ලැබීම අගය කළේ ය. තමන් සේවය කරන්නට යන නව විදේශීය රටවල ජනයාගේ සංස්කෘතිය හා එම දේශීය භාෂාව ඉගෙන ගැනීමෙන් එම ජනයා සමඟ හොඳින් පෑහී—කටයුතු කිරීමට ඔහු ශිෂ්‍යයන් ව දිරිගැන්වී ය. මෙය එම රටවල ජනයා සමඟ උරෙන් උර ගැටී වැඩ කිරීමෙන් ඔවුන්ගේ සිරිත් විරිත් ඉගෙන ගෙන සුදුසු සෑම අවස්ථාවක දී ම ඒවාට සකස් වීමෙන් ඉතා හොඳින් කළ හැකි බව ඔහු පැවසුවේ ය.
ඊළඟට, කර්මාන්ත ශාලා කමිටුවේ ඩීන් සෝන්ජර්, “යුතුකම්වලින් නිදහස ලැබී” යන කුතුහලය දනවන තේමාව මත කථා කළේ ය. වසර 35කට වඩා වැඩි පූර්ණ කාලීන සේවය පසු කොට සිටින සහෝදර සෝන්ජර්ට, ද්‍රව්‍යමය වුවමනාවන්ගෙන් නිදහස් වුණු, තිබෙන වැඩය කිරීම මත අවධානය යොමු කරමින් එක ඉලක්කයට යොමු වී ඇති, සරල ජීවිතයක් යන්නෙන් අදහස් කරන දේ අවබෝධ වී තිබේ. එමෙන් ම, ශිෂ්‍යයන් හට දෙන ලද ඔහුගේ උපදෙසේ සාරය වූයේ එයයි. දේව මාළිගාවේ සිටි ගායකයෝ, තම විශේෂ පැවරුමට මුළුමනින් ම කැප වීම සඳහා වෙනත් ලෙවීවරුන්ට පොදු ව තිබූ යුතුකම්වලින් නිදහස් ව සිටියහ. (1 ලේකම් 9:33) ඒ හා සමාන ව, ගිලියඩ් මිෂනාරිවරු, බාහිර රැකියාවන් වැනි සාමාන්‍ය කටයුතුවලින් බැහැර කරනු ලැබ තිබෙන්නේ, එවිට තම විශේෂ සේවය මත මුළු අවධානය යොමු කිරීමට ඔවුන්ට හැකි වන පරිද්දෙනි. සහෝදර ස්නෝගර් මෙම අවවාදයෙන් අවසන් කළේ ය: “ඔබගේ මනස එක ඉලක්කයක තබා ගෙන ඔබගේ ජීවිත සරල ව තබා ගන්න. යුතුකම්වලින් නිදහස් කර ඇති ඔබගේ වගකීම වන්නේ, යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා කරමින්, දිවා රෑ සේවයෙහි නියැළීමයි.”
පාලක මණඩලයේ ඩැනියල් සිඩ්ලික්, “ජීවිතයේ උපරිමය නෙලා ගන්නා ආකාරය අන්‍යයන්ට ඉගැන්වීම” යන තේමාව යටතේ කථා කළේ ය. “ජනයාට මූල ධර්ම උගන්වනවා පමණක් නොව, නමුත් තම ජීවිත දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූල කිරීමට ඔවුන් කුමක් කළ යුතු දැයි පෙන්වීමට ද නිර්භීත ව සිටින” මෙන් ඔහු ශිෂ්‍යයන් ව දිරිගැන්වූයේ ය. හොඳ ගුරුවරුන් කාවද්දන සුලු විය යුතු ය, පොලඹවන සුලු විය යුතු ය. “නිකම් ම නීති හා කොන්දේසි උගන්වනවා වෙනුවට ක්‍රිස්තියානි සාරධර්ම ගොඩනැංවීමට සාවධාන ව සිටින්න” යයි පැවසූ ඔහු, අවසානයට මෙසේ එකතු කළේ ය: “සියල්ලට ම වඩා, ප්‍රිය සහෝදරයනි, ඔබට ම හා අන්‍යයන්ට ප්‍රේම කරන ආකාරය උගන්වන්න, මක්නිසා ද එය එකමුතුකමේ පරිපූර්ණ බැම්මකි.”—1 කොරින්ති 13:1-3; කොලොස්සි 3:14, NW.
මාස ගණනාවක පුහුණුවෙන් පසු, ශිෂ්‍යයෝ, විශේෂයෙන් ගිලියඩ් උපදේශකයන් දෙදෙනා කෙරෙහි විශේෂ ඇල්මක් වර්ධනය කර ගත්හ. හිටපු මිෂනාරිවරයෙකු වූ, ජැක් රෙඩ්ෆර්ඩ්, “ඔබ හරි තේරීම කර තිබේ” යන තේමාව යටතේ පළමුවෙන් කථා කළේ ය. ඉපැරණි යුදෙව් ලෝකයේ, ක්‍රිස්තියානි ප්‍රේරිතයෙකු බවට පත්වීමට පෙර, පාවුල් හට, තත්ත්වය, කීර්තිය, බලය හා මූල්‍යමය ආරක්ෂාව තිබිණි. එහෙත්, පිලිප්පි 3:8 හි, ඔහු මේ සියල්ල විස්තර කළේ, “කුණු” හෙවත් ෆිලිප්ස් පරිවර්තනයට අනුව, “කුණු කසළ” හැටියටයි. ඔහුගේ හෘදය තිබුණේ ඔහුගේ සේවය තුළයි, ඔහු කළේ හරි තේරීමයි. මීට වඩා හාත්පසින් ම වෙනස් ව, අද දින මිනිස් වර්ගයාගෙන් බහුතරයක් තමන් තෝරා ගන්නා දෙයින් පෙන්වන්නේ, තමන් සදාකාල ජීවනයට වඩා ද්‍රව්‍යමය දේවල් බොහෝ සෙයින් අගය කරන බව ය. ගිලියඩ් මිෂනාරිවරුන් හරි තේරීම කර තිබේ. ජැක් රෙඩ්ෆඩ් අවසන් කළේ මෙසේ පවසමිනි: “මිෂනාරි සේවය සමඟ සසඳන විට, ඔබ හට ඉදිරිපත් කිරීමට යක්ෂයාගේ ලෝකයට කිසිවක් නැත. මිලකළ නොහැකි ඒ වරප්‍රසාදය රැක බලා ගන්න, ලෝකය එහි කුණු කසළ රැක බලා ගත්තාවේ!”
පසුගිය වසර 32ක පුරා, යූලිසීස් ග්ලාස් ගිලියඩ් උපදේශකවරයෙකු ව සිට තිබේ. ඔහු ගීතාවලිය 1:3 පදනම් කරගනිමින්, “ගසක් සෑදීමට හැක්කේ දෙවියන් වහන්සේට පමණි” යන තේමාව යටතේ පාසල හැර යන ශිෂ්‍යයන් හට යම් අවසාන උපදෙස් දුණි. දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කර ඇති ගසක් ගොඩනැඟීමෙහි සමතැන් ගැනීමට නූතන තාක්ෂණයට කිසිවිටෙකත් හැකි වී නොමැත. එක් අර්ථයකින් ගත් කළ, සැබෑ ක්‍රිස්තියානිහු, යෙහෝවඃ වහන්සේ විසින් පැළ කරනු ලැබ, වතුර දැමූ ගස් මෙන් වෙත්. මාස පහක් මුළුල්ලේ, මෙම ශිෂ්‍යයන් හට, ආත්මික ගස් ගොන්නක නොහොත් පාරාදීසයක ඇති ගස් මෙන්, “දේව වචනයේ ජීවන-දායක ජල උල්පතෙන් නිති පතා වතුර දමනු ලැබ” තිබේ. එහෙත්, මිෂනාරිවරුන් වශයෙන්, ඔවුන් තම “ආත්මික මුල් පද්ධතිය කිසියම් හානියකින්” ආරක්ෂා කර ගත යුතු ය. ‘ගසක් සෑදීමට හැක්කේ යෙහෝවඃ වහන්සේට පමණක් නිසා, යෙහෝවඃ වහන්සේ වෙතින් පැමිණෙන ජීවන ජලය දිගට ම පානය කරන මෙන් ඔවුන් හට අනුශාසනා කරනු ලැබී ය.
අවසාන කථාව දෙන ලද්දේ, පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන කේරී බාබර් විසින් ය. වසර 70ක පූර්ණ කාලීන සේවයේ නියැලී සිට ඇති සහෝදර බාබර්ට, “යෙහෝවඃ වහන්සේට තනි භක්තිය දෙන්න” යන තේමාව යටතේ නිසැකකමින් යුතු ව කථා කළ හැකි විය. මිනිස් වර්ගයාගේ බහුතරයක් යෙහෝවඃ වහන්සේට තනි භක්තිය දී නැත. (ද්විතීය කථාව 5:9) කෙසේ වුව ද, සහෝදර බාබර් ඇඟවූවාක් මෙන්, අපගේ අසම්පූර්ණකම් අභිබවා, “දෙවින් වහන්සේට මුළුමනින් ම තනි භක්තිය දීමට හැකි ය.” ඔහු මෙසේ ද එකතු කළේ ය: “ ‘යක්ෂයා මට එය කිරීමට සැලැස්සුවා’ කියා ඇත්තෙන් ම කිසිවෙකුට කීමට නොහැකියි.” එහෙත්, අප යක්ෂයාට විරුද්ධ වීමට අසමත් වුවහොත්, අප ව පරාජය කිරීමට ඔහුට හැක. (යාකොබ් 4:7) සාතන්ට හා ඔහුගේ ලෝකයට විරුද්ධ ව සිට යෙහෝවඃ වහන්සේට තනි භක්තිය දීමට තිබෙන ප්‍රධානතම මාර්ගය නම්, යෙහෝවඃ වහන්සේගේ සේවය තුළ වැඩ බහුල ව සිටීමයි.
මිෂනාරිවරුන් ලෙස පත්වීම් ලැබ
සියලු ශිෂ්‍යයන් 46 දෙනාගේ නිල පත්වීම් සමඟින් උදෑසන වැඩසටහන අවසන් විණි. මෙම උපාධි ලාභීන්, “සියලු මිනිසුන් අතර ස්ථිර සාමයේ, පරිපූර්ණ පිළිවෙළේ නීතිය ධර්මිෂ්ඨකමේ නාමයෙන් ක්‍රියා කරමින්, හොඳ හිත වැඩි දියුණු කරන අධ්‍යාපනික සේවයක නියැලීමට විශේෂයෙන් සුදුසුකම් ලැබ තිබෙන බව” මෙම ජෝඩු 23 විසින් ලැබූ ඩිප්ලෝමාවල කොටසක සඳහන් වෙයි. අනූපස් වෙනි ගිලියඩ් පාසල, තමන් පත් කොට ඇති රටවල් 18 හි මෙම උදාර පැවරුම ඉටු කිරීමට දැඩි පරිශ්‍රමයක් දරන බවට සහතික ය. මෙම පැවරුම් ලෝකය පුරා විහිදී යන අතර, එයට, ආසියාවේ, අප්‍රිකාවේ, යුරෝපයේ, ලතින් අමෙරිකාවේ සහ කැරිබියන් දූපත් ඇතුළත් වෙයි.
දහවල් වරුවේ, සේවා අංශ කමිටුවේ චාල්ස් වූඩි විසින් මෙහෙයවනු ලැබූ කෙටි මුරටැඹ පාඩමට පසු, නව ගිලියඩ් උපාධි ලාභීහු, “මිෂනාරිවරුන් වශයෙන් ඉගැන්වීමට ගිලියඩ් පාසල අප ව සූදානම් කර තිබේ” යන තේමාව සමඟින් තම ශිෂ්‍ය වැඩසටහන ඉදිරිපත් කළහ. වැඩසටහන “අප මුහුණ දෙන තේරීම්” යන තේමාවෙන් යුත් නාට්‍යය සමඟින් අවසන් විය.
පොලඹවන සුලු මෙම වැඩසටහනෙන් පසු, මෙම නව මිෂනාරිවරු “අති ශුද්ධ ඇදහිල්ල” අන්‍යයන් සමඟ බෙදා ගැනීම සඳහා පොළොවේ සිවු කොන කරා යාමට දැන් සූදානමින් සිටියෝ ය.
[26වන පිටුවේ කොටුව]
පංතියේ දත්ත
නියෝජනය කළ රටවල් සංඛ්‍යාව: 7
යවනු ලැබූ රටවල් සංඛ්‍යාව: 18
සිසුන් සංඛ්‍යාව: 46
විවාහක ජෝඩු: 23
වයසේ සාමාන්‍යය: 30.06
සත්‍යය තුළ සිටි අවුරුදු සාමාන්‍යය: 12:92
පූර්ණ කාලීන සේවය තුළ සිටි අවුරුදු සාමාන්‍යය: 9.4
[26වන පිටුවේ පින්තූරය]
වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් හි 95 වෙනි උපාධිලාභී පංතිය
පහත දැක්වෙන ලැයිස්තුවේ, පේලි ගණන් කොට ඇත්තේ ඉදිරියේ සිට පිටුපසට ය, නම් ලැයිස්තු ගත කොට ඇත්තේ එක් එක් පෙළේ වමේ සිට දකුණට ය.
(1) බයූලෝ, ඩී.; ඩෝන්සේ, වී.; ඉනස්, එස්.; ෆල්ක්, එන්.; බිලිංග්ස්බි, එම්.; හෝඩ්නෝට්, එල්.; න්යූග්රේන් බී.; එරික්සෝන්, එල්.; (2) බෝකර්, ජේ.; තොමස්, එම්.; ස්ටෙඩ්මන්, එස්.; බිලිංග්ස්බි, ඩී.; වෝ, අයි; පර්විස්, එම්.; ලර්ට්රෙල්, එම්.; (3) යාකෝබ්සන්, ටී.; බෝකර්, ජේ.; මාර්ටීනේස්, එල්.; නෙල්සොන්, ඊ.; පර්විස්, පී.; හෝල්ට්, එල්.; ලාර්සන්, එම්.; ජෝන්ස්, එල්.; (4) න්යූමීනන්, පී.; න්යූමීනන්, එච්.; බයූලෝ, එම්.; ඕල්සන්, ඩබ්.; හෝල්ට්, එස්.; ඩෝන්සේ, ජී.; ඩෙස්යාඩැං සි.; ඩෙස්යාඩැං, ඩී.; (5) ලාර්සන්, කේ.; මාර්ටීනේස්, ඩී.; න්යූග්රේන් පී.; වෝ, පී.; ජෝන්ස්, ඩී.; හෝඩ්නෝට් ජේ.; තොමස්, ජී.; 6) ඉනස්, බී.; ෆල්ක්, ආර්.; එරික්සොන්, ඒ.; නෙල්සොන්, එස්.; ස්ටෙඩ්මන්, ජේ.; ඕල්සන්, කේ.; යාකොබ්සන්, එෆ්.; ලර්ට්රෙල් ජේ.