“සෑම යහපත් දීමනාවක ම” දායකයාණෝ
“එක්තරා අවස්ථාවක ප්‍රතිසංස්කෘත සභාවේ පූජකයෙකුගෙන් මට ඇමතුමක් ලැබුණා. ඔහුට දැනගන්නට ඕනෑ කළේ මගේ සභාව මා පාලනය කළ ආකාරයයි. මා ඔහුට මෙසේ පැවසුවා: . . . ‘අපි කිසි ම වැටුපක් ගෙවන්නේ නැහැ; දබර කර ගන්නට ජනයාට කිසි හේතුවක් නැහැ. අපි කිසි ම එකතු කිරීමක් කරන්නේ නැහැ.’ ‘එසේනම් ඔබ මුදල් සොයා ගන්නේ කොහොම ද?’ ඔහු ඇසුවා. මා පිළිතුරු දුන්නේ, ‘දැන්, ධර්මාචාර්ය——, සරල ම සත්‍යය කුමක් ද කියා මා ඔබට කීවොත් ඔබ එය විශ්වාස කරන එකක් නැහැ. ජනයා මේ ක්‍රමය ගැන උනන්දුව දක්වන්නට පටන් ගත්තා ම, ඔවුන් පසුපස කාණික්ක තැටියක් එනවා ඔවුන්ට පෙනෙන්නේ නැහැ. . . . එහෙත් දැරිය යුතු වියදම් තිබෙන බව ඔවුන් තේරුම් ගන්නවා. ඔවුන් තමන්ට ම මෙහෙම කියා ගන්නවා, “මෙම ශාලාවට යම් වියදමක් දැරිය යුතුයි. . . . මෙම ප්‍රයත්නයට මට යම් මුදලක් දිය හැක්කේ කෙසේ ද?” ’ ඔහු මා දෙස බැලුවේ ‘ඔබ මා කවරෙක්—කියා ද හිතන්නේ, නිවටයෙක් කියා ද?’ යනුවෙන් කල්පනා කරන ආකාරයකටයි. එවිට මා කිව්වා, ‘දැන්, ධර්මාචාර්ය——, මා ඔබට කියන්නේ නියම සත්‍යය. . . . කෙනෙකුට යම් ආශීර්වාදයක් ලැබුන විට, ඔහුට ද්‍රව්‍යමය සම්පත් තිබේ නම්, එය ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පාවිච්චි කරන්න ඔහු කැමති වෙනවා. ඔහුට කිසි වත්කමක් නැත්නම්, ඒ සඳහා අප ඔහුට ඇවිටිලි කළ යුත්තේ මක්නිසා ද?’ ”
—චාල්ස් ටී. රසල්, වොච් ටවර් සමිතියේ පළමුවන සභාපති, “ද වොච් ටවර්,” 1915 ජූලි 15.
අපි දෙන්නේ යෙහෝවඃ දෙවියන් වහන්සේ මුලින් දුන් තැනැත්තාණන් ව සිටින නිසා ය. උන් වහන්සේගේ දීම, පටන් ගත්තේ මැවිල්ල—එනම් උන් වහන්සේගේ පළමු මැවිල්ල වූ, ස්වකීය “ඒකජාතක පුත්‍රයාණන්”—සමඟ අනාදිමත් කලකට පෙර ය. (යොහන් 3:16) තමා තුළ තිබූ ප්‍රේමය නිසා, උන් වහන්සේ අන්‍යයන්ට ජීවනයේ දීමනාව දුන් සේක.
දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, යෙහෝවඃ වහන්සේ අපට දී ඇති ශ්‍රේෂ්ඨතම දීමනාව ය. එහෙත් දෙවියන් වහන්සේගේ දීම, දේව පුත්‍රයාගෙන් අවසන් වන්නට යන්නේ නැත. යෙහෝවඃ වහන්සේගේ “නිමකළ නොහැකි දීමනාව” හැටියට ප්‍රේරිත පාවුල් හඳුන්වන්නේ “දෙවියන්වහන්සේගේ ඉතා මහත් අනුග්‍රහය [ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව NW ]” ය. (2 කොරින්ති 9:14, 15) යේසුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේ ස්වකීය සෙනඟට පිරිනමන සියලු යහපත්කම්වල හා ඉතා මහත් ප්‍රේමනීය කරුණාවේ මුළු ප්‍රමාණය මෙම දීමනාවට ප්‍රත්‍යක්ෂ ලෙස ඇතුළත් වේ. එවන් ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව කොතරම් ආශ්චර්යවත් ද කියතොත්, එය මනුෂ්‍ය හැකියාවෙන් විස්තර කිරීමට හෝ පැවසීමට නුපුළුවන. එහෙත්, දෙවියන් වහන්සේ දීමනා වගුරුවන තවත් බොහෝ ක්‍රම ඇත.
දීමනා හැටියට තමා දුන් කිනම් යහපත් දෙයක් වුවද, එය යෙහෝවඃ වහන්සේට සැබවින් ම අයත් ව තිබූ බව, දීර්ඝ කලකට පෙර, එක්තරා රජ කෙනෙක් ප්‍රඥාවන්ත ව හා යටහත් පහත් ව පිළිගත්තේ ය. ඔහු මෙසේ පැවසුවේ ය: “මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය; රාජ්‍යයත්, ස්වාමීන්වහන්ස [අහෝ යෙහෝවඃ වහන්ස NW ], ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටිනසේක. . . . නුමුත් මේ ආකාරයෙන් ඔබට ඔප්පු කිරීමට පොහොසත් වූ මමත් මාගේ සෙනගත් කවුරුද? මක්නිසාද සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබගේම දෙයින් අපි ඔබට දුනිමුව.”—1 ලේකම් 29:11-14.
දෙවියන් වහන්සේගේ ආදර්ශය
සෑම ආකාරයකින් ම පරිපූර්ණ ලෙස යහපත් වන්නා වූ ඕනෑ ම දෙයක ප්‍රභවය යෙහෝවඃ දෙවියන් වහන්සේ බව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙක් වූ, යාකොබ් දැන සිටියේ ය. උන් වහන්සේගෙන් නික්මෙන්නේ පරිපූර්ණ දීමනා පමණකි. “සෑම යහපත් දීමද සෑම සපුර්ණ දීමනාවද කිසි වෙනස්වීමක්වත් හැරීමේ ඡායාවක්වත් නැත්ත වූ ආලෝකවල පියාණන්වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ” යයි යාකොබ් ලීවේ ය.—යාකොබ් 1:17.
තෑගි දීම පිළිබඳ විෂයෙහි පවා, දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට වඩා කොතරම් වෙනස් දැයි යාකොබ් දිටී ය. මනුෂ්‍යයන්ට යහපත් තෑගි දිය හැකිමුත් සැමවිට ම ඔවුන් එසේ කරන්නේ නැත. මෙම දීමනා ආත්මාර්ථකාමී අභිප්‍රායකින් නික්මෙන්නට පුළුවන, නැතහොත් යම් නරක දෙයක් කිරීමට පුද්ගලයෙක් ව පෙළඹවීමට ඒවා යොදා ගත හැකි ය. යෙහෝවඃ වහන්සේ සම්බන්ධයෙන් වෙනස්වීමක් නැත; උන් වහන්සේ වෙනස් වන්නේ නැත. එබැවින්, උන් වහන්සේගේ දීමනාවන්වල ස්වභාවය වෙනස් වන්නේ නැත. ඒවා සැමවිට ම නිර්මල ය. ඒවා නිතර ම මනුෂ්‍ය වර්ගයාගේ සුභසාධනය හා සන්තෝෂය වැඩි දියුණු කරයි. ඒවා විනාශකාරී නොවී, සැමවිට ම කාරුණික හා උපකාරවත් ව පවතී.
තෑගි දීම සඳහා ඇති චේතනාවන්
යාකොබ්ගේ දවස්වල, සුප්‍රකට ආගමික නායකයන් තෑගි දීම කළේ ජනයා විසින් දකිනු ලැබීමට පමණි. ඔවුහු නරක චේතනාවන් ඇති ව ඒවා බෙදා දුන්හ. මනුෂ්‍යයන් සතුටු කිරීමට උත්සුක ව, ඔවුහු තමන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති පාවා දුන්හ. කෙසේ වෙතත්, ක්‍රිස්තියානින් ඊට වෙනස් ව සිටිය යුතු විය. යේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ උපදෙස් දුන් සේක: “නුඹ [දයාවේ NW ] දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් [කුහකයන් NW ] කරන්නාක්මෙන් නුඹට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නුමුත් නුඹ [දයාවේ NW ] දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා. එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙනසේක.”—මතෙව් 6:2-4.
යමක් දීමට ක්‍රිස්තියානියෙකුට තිබෙන හේතුව වනුයේ යම් අවශ්‍යතාවයක් සපුරා ගැනීමට අන්‍යයන්ට උපකාර කිරීමට හෝ ඔවුන් ව සන්තෝෂවත් කිරීමට හෝ සැබෑ නමස්කාරය වැඩි දියුණු කරවීමට ය. එය ස්ව-ප්‍රශංසාව සඳහා නොවේ. ඇරත් යෙහෝවඃ වහන්සේගේ නෙත්වලට, අපගේ හෘදයේ ගැඹුරු ම කොන දක්වා විනිවිද යා හැක. අපගේ දයාවේ දීමනා පසුපස ඇති ඇතුළාන්ත චේතනාව උන් වහන්සේට දකින්නට පුළුවන.
තෑගි දීමේ දී යෙහෝවඃ වහන්සේගේ හා උන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ ආදර්ශය අනුගමනය කිරීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ වෙර දරති. ඔවුහු තමන්ට ඇති දෙයින් දෙති. ඔවුනට රාජ්‍යයේ ශුභාරංචිය ඇති අතර ඔවුහු එය අන්‍යයන්ගේ ආශීර්වාදය පිණිස දෙති. “නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW ] ගෞරවකරපන්න” යනුවෙන් හිතෝපදේශ 3:9 හි පවසන දෙය ඔවුහු දැන සිටින්නාහ. සෑම ශාඛා කාර්යාලයක්, සභාවක් හා පුද්ගලයෙක් ම සියල්ලන්ගේ සුභසාධනය පිණිස දායක වීමට අවංක ව ම වෑයම් කරන බැවින්, මුළු මහත් සහෝදරත්වය ම ආත්මික වශයෙන් ශක්තිමත් හා සමෘද්ධිමත් කෙරේ. ද්‍රව්‍යමය සමෘද්ධිය ආත්මික සමෘද්ධියට මඟ පාදන්නේ නැතත්, ආත්මික සමෘද්ධිය යෙහෝවඃ වහන්සේගේ වැඩවල අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත් ද්‍රව්‍යමය සමෘද්ධියක් ගෙන දෙයි.
හවුල් විය හැකි ක්‍රම
සෑම කෙනෙකුට ම ශුභාරංචියට අනුබල දීමට පෞද්ගලික ව දායක විය හැකි ක්‍රම බොහොමයක් ඇත. ඉන් එක් ක්‍රමයක් නම් රාජ්‍යය ශාලා හා සම්බන්ධය. සභාවේ සාමාජික සියල්ලෝ ම රාජ්‍යය ශාලාව පාවිච්චි කරත්. ඇතැමෙක් එය ගොඩනැගීම නැතහොත් එයට වැයවන කුලිය, විදුලි ගාස්තුව, උෂ්ණත්ව පාලනය හා නඩත්තුව සඳහා අරමුදල් සපයා ඇත. සභාවකට සෑම කෙනෙකුගේ ම අනුබලය අවශ්‍ය කරවන බැවින්, සම්මාදම් පෙට්ටි රාජ්‍යය ශාලාවේ තබා ඇති අතර ස්වේච්ඡා සම්මාදම් සභාවේ වියදම් දැරීමට පාවිච්චි කරනු ලැබේ. අතිරික්ත මුදල්වලින්, සභාවේ තීරණය අනුව, ප්‍රදේශයේ වොච් ටවර් ශාඛාවට සම්මාදම් ඉදිරිපත් කළ හැකි ය.
ශුභාරංචිය පොදු ජනයා කරා ගොස් නැති ලෝකයේ කොටස්වල මිෂනාරිවරුන් හා විශේෂ පුරෝගාමීන් පුහුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා සමිතියේ ශාඛාවට ම සම්මාදම් ඉදිරිපත් කරන්නට පුළුවන. ශුභාරංචිය ව්‍යාප්ත කිරීමෙහි ලා සංචාරක අවේක්ෂකයන්ගේ වැඩ සම්බන්ධයෙන් ද වියදම් දැරීමට සිදු වේ. පළමුවන සියවසේ සංචාරක වැඩවල ආදර්ශය තැබූ, ප්‍රේරිත පාවුල්, “නුඹලා මාගේ ඕනෑකම් ගැන වරක් දෙවරක් මට දීලා එවුවහුය” යයි පවසමින් පිලිප්පි සභාවට ප්‍රශංසා කළේ ය. (පිලිප්පි 4:14-16) සියලු ම ශාඛාවන්හි තිබෙන, පූර්ණ කාලීන සේවයේ මෙම අංගවල වියදම්වලට අමතර ව, එක් එක් බෙතෙල් නිවසේ මෙන් ම එහි වාසය කරන හා සේවය කරන අයගේ නඩත්තුව පිණිස ද මුදල් වැය වේ. ශුභාරංචියේ මනහර පණිවුඩය අඩංගු වන්නා වූ ප්‍රකාශන ලිවීම හා මුද්‍රණය කිරීම ඇත්ත වශයෙන් ම දෙවියන් වහන්සේ විසින් දානිත වරප්‍රසාදයන් වුවත්, ප්‍රකාශන බෙදා හැරීමත් අවශ්‍ය කරවන අතර ඒ සඳහා මුදල් ද වැය වේ. මීට අමතර ව එක් රැස්වීම් හා සමුළුවල වියදම් ද ඇති අතර ‘ශුභාරංචිය ගැන වග උත්තර දීම හා නීත්‍යානුකූල ව ස්ථීර කිරීම’ සඳහා මුහුණ දී ඇති නඩු විභාගයන් සඳහා ද වියදම් දැරීමට සිදු වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.—පිලිප්පි 1:7.
යෙහෝවඃ වහන්සේගේ සෑම සේවකයෙක් ම ශුභාරංචිය දේශනා කිරීමට ස්වේච්ඡාවෙන් කාලය වැය කරන අතර ද්‍රව්‍යමය අරමුදල් ලබා දෙන විට ඔවුන් එය කරන්නේ ද ස්වේච්ඡාවෙනි. සැබෑ නමස්කාරයේ ව්‍යාප්තියට අනුබලයක් වශයෙන් පාවිච්චිය පිණිස නිති පතා මුදල් වෙන් කරන ලෙස ප්‍රේරිත පාවුල් මෙසේ අවවාද කරයි: “ශුද්ධවන්තයන් උදෙසා සම්මාදම්කිරීම ගැන, . . . සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා.”—1 කොරින්ති 16:1, 2.
යම් තැනැත්තෙක් සම්මාදමක් දෙන විට, එය පාවිච්චි කරන්නට යන ආකාරය ඔහු සැමවිට ම නිවැරදි ව නොදන්නාමුත්, රාජ්‍යය දේශනා කිරීමේ ව්‍යාප්තිය තුළින් ඔහුට එහි ප්‍රතිඵල දැකිය හැකි ය. ශුභාරංචිය රටවල් හා මුහුදු දූපත් 200කට වැඩි සංඛ්‍යාවක ක්‍රිස්තියානි දේව සේවකයන් 45,00,000කට වැඩි පිරිසක් විසින් දේශනා කරනු ලබන බව 1993 යියර්බුක් ඔෆ් ජෙහෝවා’ස් විට්නසස් පොතේ වාර්තා පෙන්වයි. මෙම වාර්තා හෘදය උණුසුම් කරවන සුලු ය. එසේ නම්, ප්‍රමාණය කුමක් වුවද, ඕනෑ ම පරිත්‍යාගයක් ලොව පුරා ම ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට උපකාරවත් වේ.
මෙම සේවයට මුදල් ලැබෙන්නේ සියල්ලන්ගේ ම ඒකාබද්ධ දීම තුළින් ය. ඇතැමෙකුට වැඩියෙන් දීමට හැකියාවක් තිබෙන අතර, මෙය දේශනා සේවයට වඩාත් පුළුල් පරිමාණයකින් උපකාරවත් වේ. අන්‍යයන් දෙන්නේ අඩු ප්‍රමාණයකි. එහෙත් සුළු පරිත්‍යාගයන් කරන්නන් ලජ්ජා වන්නට හෝ තමන්ගේ කොටස නොවැදගත් වන්නේ යයි කල්පනා කරන්නට අවශ්‍යතාවයක් නැත. යෙහෝවඃ වහන්සේට ඇත්තෙන් ම එයාකාර ව නොහැඟේ. වැන්දඹුවගේ කුඩා සම්මාදම යෙහෝවඃ වහන්සේ කොතරම් අගය කළේ ද කියා යේසුස් වහන්සේ පෙන් වූ විට, උන් වහන්සේ මෙය මැනවින් පැහැදිලි කළ සේක. “එක්තරා දිළිඳු වැන්දඹුවක් කුඩා මිල දෙකක් එහි දමනවාත් උන්වහන්සේ දැක: සැබවක් නුඹලාට කියමි—මේ දිළිඳු වැන්දඹුව සියල්ලන්ට වඩා දැමුවාය. මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. නුමුත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.”—ලූක් 21:2-4.
අප මූල්‍යමය වශයෙන් කුමන තත්ත්වයක සිටියත්, යෙහෝවඃ වහන්සේ ව සතුටු කරන්නා වූ ක්‍රමවලින් අපට දෙන්නට පුළුවන. අපගේ රජාණන් හා විනිශ්චයකරුවාණන් ව අපට මහිමවත් කළ හැකි ආකාරය ගීතිකාකරු මනා ලෙස සංක්ෂිප්ත කොට දක්වයි. “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW ] නාමයට දිය යුතු මහිමය දෙව්. පූජාවක් රැගෙන උන්වහන්සේගේ මණ්ඩපවලට ඇතුල්වව්” කියා ඔහු පවසයි. (ගීතාවලිය 96:8) එබැවින්, සන්තෝෂයෙන් යුත් අපගේ පරිත්‍යාගයන් මගින් අපගේ ස්වර්ගීය පියාණන්ගේ ප්‍රේමනීය ආදර්ශය අපි අනුකරණය කරමු. මන්දයත් මුලින් ම අපට දුන් තැනැත්තාණන් උන් වහන්සේ බැවින් ය.
[30වන පිටුවේ කොටුව]
ඇතැමෙක් රාජ්‍යය දේශනා සේවයට සම්මාදම් ඉදිරිපත් කරන ආකාරය
◻ ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම්: “සමිතියේ ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් නම් කර ඇති සම්මාදම් පෙට්ටිවල දැමීමට බොහෝ දෙනෙක් මුදලක් අයින් කරත්, නැතහොත් වෙන් කරත්. සෑම මසක ම සභාවන් මෙම මුදල් නිව් යෝක්, බෘක්ලින් හි ලෝක මූලස්ථානයට හෝ ළඟ ම ඇති ශාඛා කාර්යාලයට ඉදිරිපත් කරයි.
◻ තෑගි: ස්වේච්ඡා සම්මාදම් මුදල් කෙළින් ම වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා, 25 කොලොම්බියා හයිට්ස්, බෘක්ලින්, නිව් යෝක් 11201 ලිපිනයට හෝ සමිතියේ ස්ථානීය ශාඛා කාර්යාලයට එවන්නට පුළුවන. රන් ආභරණ මෙන් ම වෙනත් වටිනා භාණ්ඩ ද පරිත්‍යාග කළ හැක. මේවා සහමුලින් ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කෙටි ලිපියක් ද මෙම සම්මාදම් සමඟ එවිය යුතු ය.
◻ කොන්දේසි සහිත ව ප්‍රදානය කිරීමේ විධිවිධානය: පුද්ගලික අවශ්‍යතාවයක් ඇති වුවහොත් එය දායකයාට ආපසු දෙන බවට කොන්දේසිය සහිත ව, දායකයාගේ මරණය තෙක් විශ්වාසය මත තබා ගැනීමට වොච් ටවර් සමිතියට මුදල් දිය හැකි ය.
◻ රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම ගැනීම⁄විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කරන්නට පුළුවන. එවන් යම් විධිවිධානයක් වෙතොත් ඒවා පිළිබඳ ව සමිතියට දැනුම් දිය යුතු ය.
◻ බැංකු ගිණුම්: ස්ථානීය බැංකු නීති අනුව බැංකු ගිණුම්, තැන්පත් සහතික, නැතහොත් පුද්ගලික විශ්‍රාම වැටුප් ගිණුම් වොච් ටවර් සමිතියේ විශ්වාසය භාරයේ නැතහොත් මරණයෙන් පසු ගෙවිය යුතු ආකාරයට තැන්පත් කළ හැක. එවන් යම් විධිවිධානයක් වෙතොත් ඒවා පිළිබඳ ව සමිතියට දැනුම් දිය යුතු ය.
◻ ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ ලාභය දිගට ම දායකයාට ලැබෙන සේ විධිවිධානයක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට දානය කළ හැක.
◻ නිශ්චල දේපොළ: සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට වාසය කළ හැකි පදනමක් හැටියට ජීවිත බුත්තිය දායකයා වෙත තබා ගෙන විකිණිය හැකි නිශ්චල දේපොළ වොච් ටවර් සමිතියට පරිත්‍යාග කළ හැක. යම් නිශ්චල දේපොළක් සමිතිය වෙත පවරන්නට කලින් එම තැනැත්තා සමිතියට එසේ කිරීමට වූ අදහස දැනුම් දිය යුතු ය.
◻ අන්තිම කැමති පත්‍රයන් හා විශ්වාස භාරයන්: නීත්‍යානුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා වෙත දේපොළ හෝ මුදල් පවරා දෙන්නට, නැතහොත් විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට සමිතිය නම් කරන්නට පුළුවන. ආගමික සංවිධානයකට ප්‍රයෝජන ගෙන දෙන විශ්වාස භාරයක් අත්වීම ඇතැම් බදු සහනයන්ට ද හේතු විය හැකි ය. අන්තිම කැමති පත්‍රයේ හෝ විශ්වාස ගිවිසුමේ පිටපතක් සමිතිය වෙත එවිය යුතු ය.
අමතර තොරතුරු සඳහා Treasurer’s Office, Watch Tower Bible and Tract Society of Pennsylvania, 25 Colombia Heights, Brooklyn, New York 11201, හෝ වොච් ටවර්, 62 ලෙයාඩ්ස් පාර, කොළඹ 5 යන ලිපිනයට ලියන්න.
[31වන පිටුවේ පින්තූර]
ඔබගේ සම්මාදම් පාවිච්චි කරනු ලබන ආකාරය:
1. බෙතෙල් ස්වේච්ඡා සේවකයෝ
2. ශාඛා කාර්යාල ඉදිකිරීම්
3. ආපදා සහනාධාර
4. රාජ්‍යය ශාලා
5. මිෂනාරිවරු