“මුදල් ලැබෙන්නේ කොහෙන්ද?”
ජෙහෝවා’ස් විට්නසස්—දි ඕර්ගනයිසේෂන් බිහයින්ඩ් ද නේම්” යන වොච් ටවර් සමිතියේ වීඩියෝ පටිය නරඹන්නෝ විස්මයට පත් වෙති. යහපත් පෙනුමක් ඇති විවිධ ජාතීන්ගෙන් සහ පසුබිම්වලින් යුත් ස්ත්‍රීන් සහ පුරුෂයන්, සිනහා මුසු මුහුණින් එකට එක්සත්ව වැඩ කරන අයුරු ඔවුහු දකිත්. එහි සිටින්නාවූ දහස් ගණන් සේවකයන් පමණක් නොව, නමුත් සමිතියේ බෘක්ලින් මූලස්ථානයේ ඇති විශාල සංකීර්ණ ගොඩනැඟිලි සහ නිව් යෝර්ක්හි වොල්කිල් ගොවිපොළවල් කෙරෙහිද ඔවුන්ගේ සිත ඇදී යන්නේය. මෙම ගොඩනැඟිලි ඇතුළත නවීන තාක්ෂණය—එනම් සෑම මසකම ප්‍රකාශන මිලියන ගණනක් ප්‍රකාශයට පත් කරන ඉතා වේගවත් මුද්‍රණ සහ පොත් බැඳුම් උපකරණ, නානාප්‍රකාර පරිගණක උපකරණ සහ වෙනත් සහය සේවාවන් සපයන අංශ විශාල සංඛ්‍යාවක්ද තිබෙන බව මෙම වීඩියෝ පටිය පෙන්වයි.
සම්පත්වල විශාල වියදමක් මින් පිළිබිඹු වේ. එනිසා සමහරු මෙසේ අසත්, “මුදල් ලැබෙන්නේ කොහෙන්ද?”
සමිතියේ ලෝක මූලස්ථානයට පැමිණෙන අමුත්තෝද මෙයාකාරයෙන්ම විස්මයට පත් වෙති. එහි සේවය කරන ස්වේච්ඡා දේවසේවකයන් 3,000කට වඩා වැඩි සංඛ්‍යාවකට නවාතැන් සපයනු ලබන ගොඩනැඟිලි බොහොමයකින් එකක් වන තට්ටු 30කින් යුත් නව නිවාස ගොඩනැඟිල්ල ඔවුහු හොඳින් නිරීක්ෂණය කරති. බෘක්ලින් නගරයෙන් උතුරට කිලෝමීටර් 110ක් පමණ ඈතින් පිහිටා තිබෙන නව වොච්ටවර් අධ්‍යාපන මධ්‍යස්ථානය නැරඹීමෙන්ද බොහෝදෙනෙක් විස්මයට පත් වෙති. මෙය තවමත් ඉදි කෙරෙමින් පවතින අතර, මෙහි සේවකයන් 1,200කට පමණ නවාතැන් පහසුකම් සපයනු ලැබේ. මෙහි සෑම වසරකදීම, මිෂනාරිවරුන් පංති දෙකකට පුහුණුව ලැබ, ඔවුන්ගේ පැවරුම් සඳහා වෙනත් රටවල්වලට යවනු ලැබේ. එක්සත් ජනපදයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 10,000කට වැඩි සංඛ්‍යාවට මඟ පෙන්වීම ලැබෙන්නේද මෙම ස්ථානයෙන්මය. මෑතකදී, ලොව පුරා තිබෙන ශාඛා කාර්යාල බොහොමයක්ද තම පහසුකම් විශාල කර තිබෙන අතර, තවත් සමහරක් එසේ කරමින් සිටිත්. මේ සෑම ක්‍රියාවලියක්ම ඉටු කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය කරයි. මනුෂ්‍යයෝ මෙසේ අසති, “මුදල් ලැබෙන්නේ කොහෙන්ද?”
එය අප වගේ සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ලැබීම, පිළිතුරයි. ඔවුහු නම්, දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ අතිවැදගත් ක්‍රිස්තියානි කර්තව්‍යය තවත් දියුණු කිරීම සඳහා කළ හැකි උපරිමය කිරීමට සතුටු වන ලොව පුරා සිටින මනුෂ්‍යයෝය. සිය කැමැත්තෙන් ඉදිරිපත් කරන එවන් ස්ප්‍රීතුවකට පූර්වාදර්ශයක් නැතුවා නොවේ.
පුරාණ ඉශ්‍රායෙල් මගින් තබන ලද ආදර්ශය
වසර 3,500කට වඩා ඉහතදී, නොමසුරු ලෙස සම්මාදම් කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟීය. යෙහෝවඃවහන්සේ ස්වකීය නමස්කාරයේදී භාවිත කිරීම සඳහා මණ්ඩපයක් හෙවත් “සම්මුඛවීමේ කූඩාරමක්” ඉදි කරන මෙන් මෝසෙස්ට අණ කර තිබිණ. දිව්‍යමය ලෙස දී තිබුණා වූ සැලැස්ම සඳහා විවිධ අනර්ඝ භාණ්ඩවල අවශ්‍යතාවක් තිබිණ. යෙහෝවඃවහන්සේ මෙසේ ආඥා කළසේක: “නුඹලා අතරෙන් ස්වාමීන්වහන්සේට පඬුරක් ගෙනෙල්ලා. කැමති සිතක් ඇති කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට පඬුරක් [ගෙනෙල්ලා].” (නික්මයාම 35:4-9) ජනයා ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඔවුන් “තමුන්ගේ සිත් පොලඹවනලද්දාවූ තමුන්ගේ ආත්මයෙන් කැමති කරනලද්දාවූ සියල්ලෝ අවුත් සම්මුඛවීමේ කූඩාරමේ කර්මාන්ත පිණිසද ඒකේ සියලු මෙහෙය හා ශුද්ධ වස්ත්‍ර පිණිසද ස්වාමීන්වහන්සේට පඬුරු ගෙනා,” බව වාර්තාව අපට පවසයි. මෙම “ස්වේච්ඡා පඬුර” ක්‍රමක්‍රමයෙන් කෙතරම් විශාල වූවාද කිවහොත්, ‘එය යෙහෝවඃවහන්සේ අණ කළ කර්මාන්ත මෙහෙවරය සඳහා සෑහෙන පමණට වඩා බොහෝ වැඩි විය.’ (නික්මයාම 35:21-29; 36:3-5) එම ජනයා මොනතරම් පරාර්ථකාමී, ත්‍යාගශීලී ස්ප්‍රීතුවක් විදහාපෙන්නුවෝද!
ඉන් වසර 500කට වඩා අඩු කාලයකට පමණ පසුව, ඉශ්‍රායෙල්වරුන්හට නොමසුරු ලෙස සම්මාදම් කිරීමට තවත් ආරාධනාවක් දෙන ලදි. යෙහෝවඃවහන්සේට, යෙරුසලමේ ස්ථිර ගෘහයක් ගොඩනැංවීමට වූ දාවිත් රජගේ ආශාව තම පුත් සාලමොන් තුළින් ඉටුවීමට තිබිණ. මේ සඳහා අවශ්‍ය වන ඉතා විශාල කොටසක් දාවිත් විසින්ම රැස් කර සම්මාදම් කරනු ලැබීය. ‘යෙහෝවඃවහන්සේට ත්‍යාගයක් පූජා කරන්න’ කියා දාවිත් ආරාධනා කළ විට අනික් අයද එයට හවුල් වුණෝය. මෙහි ප්‍රතිඵලය කුමක් වීද? “සෙනඟ එසේ කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීතිවුණෝය, මක්නිසාද ඔව්හු අවංක සිතකින් ස්වාමීන්වහන්සේට පූජාකළෝය. දාවිත් රජද මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණේය.” (1 ලේකම් 22:14; 29:3-9) වර්තමාන වටිනාකමට අනුව, රිදී සහ රත්තරන් පමණක් ඩොලර් බිලියන 50ක් (රු. බිලියන 250ක්) පමණ වටිනාකමකින් යුක්ත වනු ඇත!—2 ලේකම් 5:1.
පරිත්‍යාග කිරීම සඳහා කිසිවෙකුට බල කිරීමට සිදු නොවූ බව අපි මෙම නිදසුන්වලින් දකිමු. ඒවා සම්පූර්ණයෙන්ම “කැමැත්තෙන්” සහ “අවංක සිතකින්” ඉදිරිපත් කරනු ලැබීය. එසේ කර නොතිබුණා නම්, යෙහෝවඃවහන්සේ සතුටු නොවනවා ඇත. එයාකාරයෙන්ම, අවශ්‍යතාව ඇති ක්‍රිස්තියානීන්ට උපකාර කිරීමට මුදල් සම්මාදම් කිරීමට වූ ප්‍රස්තාව පැන නැඟුණ විට, එය “බලාත්කාරයෙන් ගැනීමක්” මෙන් නොවිය යුතු බව ප්‍රේරිත පාවුල් ලීවේය. ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය: “කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.—2 කොරින්ති 9:5, 7.
වර්තමාන අවශ්‍යතාව
අදදින සඳහා සම්මාදම් දීමට අවශ්‍යතාවක් තිබේද? සැබවින්ම එසේය, තවද කාලය ගෙවී යත්ම ඊට වඩා අවශ්‍යතාවක් තිබෙනු ඇත. ඒ මන්ද?
මෙම අවසාන කාලය සඳහා ක්‍රිස්තියානීන්හට නිශ්චිත උපදෙස් දී තිබේ. යේසුස්වහන්සේ තම ගෝලයන්ට මෙසේ අණ කළසේක: “නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරපල්ලා. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා.”—මතෙව් 28:19, 20.
‘පිළිවෙළේ සමාප්තිය’ කරා අප තව තවත් ළඟා වෙත්ම, මෙම ශ්‍රේෂ්ඨ දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ සේවය ඉටු කිරීම සඳහා සැලකිය යුතු ප්‍රමාණයක කාලය සහ සම්පත් වැය වේ. ඒ මන්ද? “පොළොවේ සීමාව දක්වා” දේවරාජ්‍යයේ පණිවිඩය ගෙන යෑමට මේ සෑම දෙයක්ම ඇතුළත්ව තිබෙන බැවිනි. (ක්‍රියා 1:8) බොහෝ ජනයා පළමු ශතවර්ෂයේ යුදෙව්වන් මෙන් ශුද්ධ ලියවිලි හොඳින් දැන නොසිටිති. ඇත්තවශයෙන්ම, පොළොවේ වාසීන්ගෙන් විශාල සංඛ්‍යාවකට, බයිබලයේ නිවැරදි දැනගැන්ම නොතිබෙන අතර, ඔවුහු එය දේවවචනය ලෙසද නොසලකති. දේශනාකරන්නන් පුහුණු කරනු ලැබ දුර ප්‍රදේශවලට යැවිය යුතු වේ. (රෝම 10:13-15) මෙයට සම්බන්ධ වන භාෂා සංඛ්‍යාව ගැන කල්පනා කරන්න! දේශනා කිරීමට සවන් දෙන්නන්හට තමන්ගේ භාෂාවෙන්ම කියවීමට සහ අධ්‍යයනය කිරීමට හැකි වන පිණිස, බයිබල් සහ බයිබලය මත පදනම් වූ ප්‍රකාශන අවශ්‍ය වේ. සියලුදෙනා වෙත ක්‍රමානුකූලව ළඟාවීමටත්, ඔවුන්ට තවත් අයටද උපකාර කිරීමට හැකි වන පිණිස ඔවුන්ව ආත්මික මේරූභාවය කරා ප්‍රගතිශීලීව ගෙන ඒමටත් මහා පරිමාණයෙන් සංවිධානය කිරීමක් අවශ්‍ය කෙරේ.—2 තිමෝති 2:2.
“රාජ්‍යයේ . . . ශුභාරංචිය” පළමුවෙන්ම “සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය” කියා යේසුස්වහන්සේ කීසේක. (මතෙව් 24:14) එමනිසා එම වැදගත් කර්තව්‍යය ඉටු කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කැපකිරීමට දැන් කාලය වේ. ද්‍රව්‍යමය වස්තුවෙන් ප්‍රායෝගික වටිනාකමක් ලබාගත නොහැකි අවස්ථාව උදා වන්ට පෙර, අපගේ ද්‍රව්‍යමය සම්පත්වලින් අපට වඩාත් ප්‍රයෝජනය ලබාගත හැකි වන කිසිම ක්‍රමයක් නොමැත.—එසකියෙල් 7:19; ලූක් 16:9.
මුදල් යන්නේ කොතැනටද?
වොච් ටවර් සමිතිය භාෂා 230කට වඩා වැඩි සංඛ්‍යාවකින් බයිබල් පොත් පත් ප්‍රකාශයට පත් කරන අතර, අන්ධ අයට බ්රේල්වලින්ද, බිහිරි අයට සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරනු ලබන වීඩියෝ පටිද ප්‍රකාශයට පත් කරයි. මේ සඳහා සෑම භාෂාවකටම පරිවර්තකයන් සහ සෝදුපත්කියවන්නන් විශාල කණ්ඩායම් අවශ්‍ය කරයි. මේ සෑම වැඩක් සම්බන්ධයෙන්ම, විශේෂයෙන්ම මුරටැඹ සඟරාව සෑම මසකම භාෂා 121කින් ප්‍රකාශයට පත් කරනු ලැබීම සහ ඉන් 101ක්ම සමගාමීව ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සිතීම පවා මනසට දරාගත නොහැකි යමකි. එහෙත් ලොව පුරා සිටින මනුෂ්‍යයන්හට එකම තොරතුරු ලබාගැනීමට සහ කියවීමට හැකි වන පිණිස එය අවශ්‍ය වේ. මුද්‍රිතව හෝ ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය පටිගත කිරීම් මගින් ඉදිරිපත් කරන රාජ්‍ය පණිවිඩය සඳහා භාවිත කරනු ලබන පත්‍ර සහ වෙනත් අමුද්‍රව්‍යවල වියදම් සෑම වසරකම ඉහළ යමින් පවතී. සහෝදරයන්ගේ පරිත්‍යාග භාවිත කිරීමෙන් එවැනි වියදම් දැරීමට සිදුවේ.
ලොව පුරා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 75,000කට වැඩි සංඛ්‍යාවක බල ප්‍රදේශයන් තුළ දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කර්තව්‍යය සිදු කෙරෙමින් පවතී. ඔවුන්ව එක්සත් කිරීම සහ දිරිගැන්වීම සඳහා, පුහුණු කරනු ලැබූ සංචාරක අවේක්ෂකයෝ වසරකට දෙවරක් පමණ සභාවක් බැහැදකිති. උපදේශ ඉදිරිපත් කිරීමේදී එක්රැස්වීම්ද අතිවැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඇදහිල්ල බොහෝසෙයින් ශක්තිමත් කරන්නාවූ සමුළු සඳහා, විශාල ගොඩනැඟිලි කුලියට ගැනීමට සිදු වේ. ඔබගේ සම්මාදම් මෙම අරමුණු සඳහාද භාවිත කරනු ලැබේ.
සාමාන්‍යයෙන් එක්රැස්වීම් අවුරුද්දකට තුන් වරක් පවත්වනු ලබන අතර, ප්‍රාදේශීය සභාවෝ සතියකට රැස්වීම් පහක් සඳහා එකට රැස්වෙති. (නික්මයාම 34:23, 24 සසඳන්න.) ශුභාරංචියට ප්‍රතිචාරය දක්වන නවකයන්ගේ විශාල සංඛ්‍යාව හේතුකොටගෙන, සෑම වසරකම සභාවන් දහස් සංඛ්‍යාවක් එකතු වී තිබේ. සමිතිය තුළින් දෙනු ලබන ඩොලර් මිලියන ගණනක ණය මුදල්වල උපකාරයෙන්, අලුත් රාජ්‍ය ශාලා සිය ගණනක් සෑම වසරක් තුළදීම ඉදි කරනු ලබන අතර, තවත් බොහොමයක්ම අලුත්වැඩියා කර, විශාල කරනු ලැබේ. මෙම අරමුදල් මාරුවෙන් මාරුවට භාවිත කරනු ලැබුවත්, එම ඉල්ලුම වැඩිවෙමින් පවතී.
පෙර නොදුටුවිරූ වර්ධනයක් ඇති වී තිබෙන එක් ප්‍රදේශයක් නම්, කලින් සෝවියට් දේශයට යටත්ව පැවති නැඟෙනහිර යුරෝපයේ ජාතීන්ය. මෙම ස්ථානවල සේවය අරඹා තිබූ බවට වූ ප්‍රගතිශීලී ප්‍රවෘත්තිය ඇසීම කොතරම් ප්‍රීතිය ගෙනදෙන්නක්වීද! මෙවැනි රටවල් බොහොමයකට දැන් මිෂනාරිවරුන් යවනු ලැබේ. ලොව වටා බෙතෙල් පවුලේ සිටින ස්වේච්ඡා දේවසේවකයන්ගේ සංඛ්‍යාව 15,000කට වඩා වැඩි කරමින්, ඇතැම් රටවල අලුත් ශාඛා කාර්යාල පිහිටුවා තිබේ. ඇත්තෙන්ම පවසනවා නම්, ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහා ශාඛා ගොඩනැඟිලි මිල දී ගැනීමට හෝ ඉදි කිරීමට සිදු වේ. ඔබගේ සම්මාදම් අවශ්‍යතාව සපුරාලීමට උපකාර කරයි.
මේ කාර්යයන් සියල්ල සාතන්ට සහ ඔහුගේ භූතයන්ට නොපෙනෙනවා නොවේ. යෙහෝවඃවහන්සේගේ විශ්වාසවන්ත සේවකයන්ගේ වෑයම්වලට බාධා කිරීමට හෝ ගැටලු ඇති කිරීමට ඔවුන්ට කළ හැකි උපරිමය ඔවුහු කරති. (එළිදරව් 12:16ආ) දෙවියන්වහන්සේගේ ජනයාට දේශනා කිරීමට සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුකූලව ජීවත්වීමට ඇති අයිතිය රැකීම සඳහා, වැඩිවන බරක් වන බොහෝ නීතිමය සටන් කිරීමට සිදුවන බව මෙයින් අදහස් කෙරේ. මීට අමතරව, සාතන්ගේ දේවල පිළිවෙළේ විනාශකාරි යුද්ධ මෙන්ම ස්වාභාවික විපත්වලින් ලැබෙන පහර හේතුකොටගෙන, අපගේ සහෝදර සහෝදරියන්ටද ඔවුන් සමඟ සිටින අනික් අයටද සහනාධාර නිතරම සැපයීමට සිදු වේ. මෙම වැදගත් ආධාරය සැපයීමට ඔබගේ සම්මාදම් උපකාර කරයි.
යෙහෝවඃවහන්සේ ඔබට විපාක දෙනසේක
නොමසුරු ලෙස අපගේ කාලය සහ සම්පත් ස්වාමීන්වහන්සේගේ සේවය ඉටු කිරීම සඳහා යොදාගැනීම ඉමහත් ආශීර්වාද ගෙන දෙයි. ඒ කෙසේද? අවසානයේදී සෑම දෙයක්ම අයිති වන්නාවූ දෙවියන්වහන්සේ අපට විපාක දෙන බැවිනි. හිතෝපදේශ 11:25 මෙසේ ප්‍රකාශ කරයි: “ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; [අන්‍යයන්ට, NW] පැන් ඉසින තැනැත්[තාට] පැන් ඉසිනු ලබන්නේය.” උන්වහන්සේගේ නමස්කාරය වැඩිදියුණු කිරීම සඳහා අප අපගේ කොටස කරන විට, යෙහෝවඃවහන්සේ සැබවින්ම සතුටු වනසේක. (හෙබ්‍රෙව් 13:15, 16) ව්‍යවස්ථා ගිවිසුම යටතේ නියම කර තිබුණා වූ සම්මාදම් රැගෙන එන්නාවූ පුරාණ ඉශ්‍රායෙලිතයන්ට උන්වහන්සේ මෙසේ පොරොන්දු කළසේක: “මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලාපල්ලායයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.” (මලාකී 3:10) අදදින යෙහෝවඃවහන්සේගේ සේවකයන් භුක්තිවිඳින්නාවූ ආත්මික සමෘද්ධිය, දෙවියන්වහන්සේ ස්වකීය පොරොන්දුව ඉටු කරන බවට සාක්ෂියකි.
සියලුදෙනාටම ගැළවීමේ දවස ප්‍රකාශ කිරීමේ සහ අවංක හෘද ඇති පුද්ගලයන්ට ජීවන මාර්ගයට පිවිසීමට උපකාර කිරීමේ ශ්‍රේෂ්ඨ කර්තව්‍යය සදාකාලයට නොපවතිනු ඇත. (මතෙව් 7:14; 2 කොරින්ති 6:2) එහෙත් ස්වාමීන්වහන්සේගේ “වෙනත් බැටළුවෝ” සියලුදෙනාවම එක්රැස් කළ යුතුය. (යොහන් 10:16) අදදින මෙම අභියෝගයට මුහුණ දීම මොනතරම් අවශ්‍යද! තවද ධර්මිෂ්ඨකමේ නව ලොව සිට හැරී බලා ‘එම අවසාන එකතු කිරීමේ කර්තව්‍යයට මාත් පූර්ණ ලෙස හවුල් වුණා’ යයි පැවසීමෙන් අප එකිනෙකා කොතරම් සන්තෝෂ වනු ඇද්ද!—2 පේතෘස් 3:13.
[30, 31වන පිටුවේ කොටුව]
රාජ්‍ය-දේශනා වැඩයට ඇතමෙක් දීමනා දෙන අයුරු
ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම්: “සමිතියේ ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් නම් කර ඇති සම්මාදම් පෙට්ටිවලට දැමීමට බොහෝදෙනෙක් මුදලක් ඉතිරි කරත්, නැතහොත් වෙන් කරත්. සෑම මසකම සභාවෝ මෙම මුදල් නිව් යෝර්ක්, බෘක්ලින්හි ලෝක මූලස්ථානයට හෝ දේශීය ශාඛා කාර්යාලයට ඉදිරිපත් කරති.
තෑගි: ස්වේච්ඡා සම්මාදම් මුදල් කෙළින්ම වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා, 25 කොලොම්බියා හයිට්ස්, බෘක්ලින්, නිව් යෝර්ක් 11201-2483 ලිපිනයට හෝ ඔබේ රටෙහි සේවය කරන සමිතියේ ශාඛා කාර්යාලයට එවන්ට පුළුවන. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැක. මේවා සහමුලින්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුය.
කොන්දේසි සහිතව ප්‍රදානය කිරීමේ විධිවිධානය: පෞද්ගලික අවශ්‍යතාවක් ඇති වුවහොත් එය දායකයාට ආපසු දෙන බවට කොන්දේසිය සහිතව, දායකයාගේ මරණය තෙක් විශ්වාසය මත තබාගැනීමට වොච් ටවර් සමිතියට මුදල් දිය හැකිය.
රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම ගැනීම⁄විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කරන්ට පුළුවන. එවන් යම් විධිවිධානයක් වෙතොත් ඒවා පිළිබඳව සමිතියට දැනුම් දිය යුතුය.
බැංකු ගිණුම්: ස්ථානීය බැංකු නීති අනුව බැංකු ගිණුම්, තැන්පත් සහතික නැතහොත් පෞද්ගලික විශ්‍රාම වැටුප් ගිණුම් වොච් ටවර් සමිතියේ විශ්වාසය භාරයේ නැතහොත් මරණයෙන් පසු ගෙවිය යුතු ආකාරයට තැන්පත් කළ හැක. එවන් යම් විධිවිධානයක් වෙතොත් ඒවා පිළිබඳව සමිතියට දැනුම් දිය යුතුය.
ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ ලාභය දිගටම දායකයාට ලැබෙන සේ විධිවිධානයක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට දානය කළ හැක.
නිශ්චල දේපොළ: සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට වාසය කළ හැකි පදනමක් හැටියට ජීවිත බුත්තිය දායකයා වෙත තබාගෙන විකිණිය හැකි නිශ්චල දේපොළ වොච් ටවර් සමිතියට පරිත්‍යාග කළ හැක. යම් නිශ්චල දේපොළක් සමිතිය වෙත පවරන්ට කලින් එම තැනැත්තා සමිතියට එසේ කිරීමට වූ තම අදහස දැනුම් දිය යුතුය.
අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් සොසයටි වෙත දේපොළ හෝ මුදල් පවරා දෙන්ට, නැතහොත් විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට සමිතිය නම් කරන්ට පුළුවන. ආගමික සංවිධානයකට ප්‍රයෝජන ගෙන දෙන විශ්වාස භාරයක් අත්වීම ඇතැම් බදු සහන සපයා දිය හැකිය. අන්තිම කැමති පත්‍රයේ හෝ විශ්වාස ගිවිසුමේ පිටපතක් සමිතිය වෙත එවිය යුතුය.
සැලසුම් කරන ලද පරිත්‍යාග: “සැලසුම් කරන ලද පරිත්‍යාග” සම්බන්ධයෙන් සමිතිය ඉංග්‍රීසි භාෂාවෙන් විවරණිකාවක් පිළියෙළ කොට ඇත. එක්සත් ජනපදයේදී, සමිතියට දැන් විශේෂ තෑග්ගක් ඉදිරිපත් කිරීමට හෝ තම මරණයේදී උරුමයක් තබා යන්ට සැලසුම් කරන අය සඳහා මෙම තොරතුරු උපකාරවත් වන බව සොයාගත හැක. තම පවුලේ ඉලක්කයක් ඉටු කරගැනීමට හෝ තමාගේ බූදලය තම මරණයේදී උරුම කර දීමට ඔවුන් සතුටු වන්නේ නම් මෙය විශේෂයෙන්ම සත්‍ය වේ, එයින් ඔවුන්ට එම ත්‍යාගයේ හෝ රික්ථවරණයේ වටිනාකම සම්බන්ධයෙන් බදු සහනයක් ලබාගත හැකි වනු ඇත. සමිතියට පහත සඳහන් ලිපිනයට ලිවීමෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි වනු ඇත.
ඉහත දක්වා ඇති ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් තවත් තොරතුරු සඳහා Treasurer’s Office, Watch Tower Bible and Tract Society of Pennsylvania, 25 Colombia Heights, Brooklyn, New York 11201-2483 හෝ වොච් ටවර්, 711 දුම්රියපොළ පාර, වත්තල, 0730 යන ලිපිනයට ලියන්න.