‘නුඹේ සම්පතින් යෙහෝවාට ගෞරව කරන්න’—ඒ කෙසේද?
“නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද [යෙහෝවාට] ගෞරව කරන්න.” වසර 2,600කට පමණ පෙර ලියැවුණු මේ ආනුභාව ලත් ප්‍රඥාවන්ත වචනවල යෙහෝවාගේ ආශීර්වාද බහුලව ලබාගැනීමේ යතුර අඩංගු වෙනවා. මන්ද ලේඛකයා තවදුරටත් මෙසේ දක්වනවා: “එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.”—හිතෝපදේශ 3:9, 10.
නමුත් දෙවිට ගෞරව කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? යෙහෝවාට ගෞරව කරන්න අපිට තිබෙන සම්පත් මොනවාද? තවද අපිට මෙය කළ හැක්කේ කෙසේද?
‘යෙහෝවාට ගෞරව කරන්න’
ශුද්ධ ලියවිලිවල, ගෞරවය සඳහා ප්‍රධාන හෙබ්‍රෙව් වචනය ඛා·වොහ්ඩ්ʹ, වචනානුසාරයෙන් ගත් කල “බරගතිය” යන්න අදහස් කරනවා. එමනිසා කෙනෙකුට ගෞරව කිරීම යන්නෙන් අදහස් වන්නේ ඔහුව හෝ ඇයව ඉතා වැදගත්, සිත්ගන්නා හෝ වටිනා කෙනෙක් හැටියට සැලකීමයි. එමෙන්ම ගෞරවය සඳහා තවත් හෙබ්‍රෙව් වචනයක් වන යෙඛාර්ʹ, “අනර්ඝ” සහ “අනර්ඝ දේවල්” වශයෙන් දක්වා තිබෙනවා. එලෙසම, බයිබලයේ ටයි·මෙʹ යන ග්‍රීක් වචනයෙන් පරිවර්තනය කර තිබෙන “ගෞරවය” යන වචනයෙහි උසස්, වටිනා, අනර්ඝත්වයේ හැඟීමක් ගම්‍ය වෙනවා. මේ අනුව ගැඹුරු ගෞරවය හා උසස් කොට දැක්වීම මගින් කෙනෙක් අනිත් කෙනාට ගෞරවය දක්වනවා.
ගෞරවය දීමට තවත් පැත්තකුත් තිබෙනවා. ඉපැරණි පාර්සියාවේ අහෂ්වේරොෂ් රජගේ ජීවිතයට හානි කිරීම සඳහා වූ කුමන්ත්‍රණයක් හෙළි කළ ඇදහිලිවන්ත යුදෙව් ජාතික මොර්දෙකයිගේ වාර්තාව සම්බන්ධයෙන් සලකා බලන්න. පසුව, එම ක්‍රියාව සඳහා මොර්දෙකයිට ගෞරව කරන්න කිසිවක් කර නැති බව රජ දැනගත් විට, රජු කැමති පුද්ගලයාට හොඳම ගෞරවය දෙන ආකාරය ගැන ඔහු තම ප්‍රධාන අධිපති හාමාන්ගෙන් විමසුවා. එවැනි ගෞරවයක් තමාට ලැබෙයි කියා හාමාන් සිතුව නමුත් ඔහුට කොයිතරම් වැරදී තිබුණාද! කොහොම නමුත්, එවැනි පුද්ගලයෙකුට “රාජ වස්ත්‍රයක්” පැළඳවිය යුතු අතර, “රජ්ජුරුවන් නැගී යන්නාවූ . . . අශ්වයා” පිට ගෙන යා යුතුයි කියා හාමාන් පැවසුවා. ඔහු මෙම නිගමනයට බැස්සා: “ඔහු අශ්වයා පිට නංවා නුවර වීථිය දිගේ ගෙනයමින් රජ්ජුරුවන් ගෞරවකරන්ට කැමති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේයයි ඔහුට පෙරටුවෙන් ඝෝෂණයකර කියන්ටත් [යුතුය].” (එස්තර් 6:1-9) මේ අවස්ථාවේදී, පුද්ගලයෙකුට ගෞරවය දීමට ඔහුව ප්‍රසිද්ධියේ උසස් කිරීම ඇතුළත් වුණා; එවිට සියලු ජනයා විසින් ඔහුව ඉතා උසස් කොට සලකනු ලැබුවා.
එලෙසම, යෙහෝවාට ගෞරවය දීමට පැති දෙකක් තිබෙනවා: පෞද්ගලිකව ඔහුව උසස් කොට සැලකීම හා ඔහුගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ වැඩයේ හවුල් වෙමින් හා ඊට සහයෝගය දෙමින් ඔහුව ප්‍රසිද්ධියේ උසස් කිරීම.
‘නුඹේ සම්පත්’—ඒවා මොනවාද?
අපේ සම්පත්වලට ඇත්තෙන්ම අපේ ජීවිතය, අපේ කාලය, අපේ කුසලතා සහ අපේ ශක්තිය ඇතුළත් වෙනවා. අපේ ද්‍රව්‍යමය වස්තු ගැන මොනවද කියන්න පුළුවන්? දිළිඳු වැන්දඹුවක් දේවමාළිගාවේ සම්මාදම් පෙට්ටියකට වටිනාකමක් නැති කුඩා කාසි දෙකක් දමනවා යේසු දුටු විට පැවසූ ඔහුගේ වදන් සැලකිල්ලට ගන්න. ඔහු මෙසේ පැවසුවා: “මේ දිළිඳු වැන්දඹුව සියල්ලන්ට වඩා දැමුවාය. මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. නුමුත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවාය.” (ලූක් 21:1-4) යෙහෝවාගේ නමස්කාරය වැඩිදියුණු කිරීම සඳහා ඇගේ ද්‍රව්‍යමය දායාදයන් භාවිත කිරීම වෙනුවෙන් යේසු මේ වැන්දඹුවට ප්‍රශංසා කළා.
එහෙමනම්, අප ළඟ තිබෙන ද්‍රව්‍යමය වස්තු සියල්ල සාලමොන් සඳහන් කළ සම්පත්වලට ඇතුළත් බව පැහැදිලියි. තවද “නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵල” යන ප්‍රකාශයෙහි, යෙහෝවාට අපේ සම්පත්වලින් හොඳම දේ දීම යන අදහස අඩංගුයි.
එහෙත්, ද්‍රව්‍යමය දේවල් දීමෙන් දෙවිට ගෞරව කළ හැක්කේ කෙසේද? දැනටමත් ඔහුට සියල්ල අයිති නැද්ද? (ගීතාවලිය 50:10; 95:3-5) යෙහෝවාට කළ හෘදයාංගම යාච්ඤාවකදී “සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්” කියා දාවිත් රජ පිළිගත්තා. තවද දේවමාළිගාව ඉදි කිරීම සඳහා ඔහු සහ ඔහුගේ ජනයා කළ විශාල පරිත්‍යාගයක් සම්බන්ධයෙන් දාවිත් මෙහෙම පැවසුවා: “ඔබගේම දෙයින් අපි ඔබට දුනිමු.” (1 ලේකම් 29:14) එබැවින් යෙහෝවාට ත්‍යාගයන් ඉදිරිපත් කරන විට, අපි හුදෙක් යළි දෙන්නේ ඔහුගේ හෘදයේ යහපත්කමෙන් අපට දී ඇති දේමයි. (1 කොරින්ති 4:7) නමුත්, කලින් සඳහන් කළ පරිදි, යෙහෝවාට ගෞරව කිරීම යන්නට අනිත් අයගේ නෙත් ඉදිරියේ ඔහුව උසස් කිරීම ඇතුළත්. තවද සැබෑ නමස්කාරයේ දියුණුව සඳහා යොදාගන්නාවූ ද්‍රව්‍යමය ත්‍යාග දෙවිට ගෞරව ගෙනෙනවා. යෙහෝවාට මේ ආකාරයෙන් ගෞරව කිරීමේ විශිෂ්ට ආදර්ශ බයිබලයේ අඩංගුයි.
අතීතයෙන් ආදර්ශ
වර්ෂ 3,500කට පමණ ඉහතදී, ඉශ්රායෙල්වරුන්ට නමස්කාරයේ තැනක් වශයෙන් පාළුකරයේ මණ්ඩපයක් සැපයීමට යෙහෝවාට වෙලාව ආ විට, දෙන ලද දිව්‍යමය සැලසුමකට අනුව අවශ්‍ය වූ විවිධාකාර අනර්ඝ භාණ්ඩ සඳහා අවශ්‍යතාවක් පැනනැඟුණා. ‘කැමති-සිතක් ඇති ඕනෑම කෙනෙක් යෙහෝවාට පඬුරක් ගෙනේවා’ කියා යෙහෝවා මෝසෙස්ට අණ කළා. (නික්මයාම 35:5) වාර්තාවේ තවදුරටත් මෙසේ පවසනවා: “තමුන්ගේ සිත් පොලඹවනලද්දාවූ තමුන්ගේ ආත්මයෙන් කැමති කරනලද්දාවූ සියල්ලෝ අවුත් සම්මුඛවීමේ කූඩාරමේ කර්මාන්ත පිණිසද ඒකේ සියලු මෙහෙය හා ශුද්ධ වස්ත්‍ර පිණිසද [යෙහෝවාට] පඬුරු ගෙනාවෝය.” (නික්මයාම 35:21) ඇත්තවශයෙන්ම, වැඩයට අවශ්‍ය වූ ප්‍රමාණයට වඩා ඔවුන්ගේ ස්වේච්ඡා දීමනා කොයිතරම් වැඩි වූවාද කිවහොත්, “[ඒවා] ගෙනඊමෙන්” ජනයාව ‘වළක්වන්න’ සිද්ධ වුණා.—නික්මයාම 36:5, 6.
තවත් උදාහරණයක් සලකා බලන්න. මණ්ඩපයෙන් අවශ්‍ය අරමුණ ඉටු වුණ විට හා දේවමාළිගාව ඉදි කිරීම සඳහා සූදානම් කිරීම් සිදු වෙමින් තිබුණු විට, තම පුත්‍ර සාලමොන් විසින් තැනීමට තිබූ දේවමාළිගාවට දාවිත් පෞද්ගලිකව විශාල සම්මාදමක් ඉදිරිපත් කළා. එමෙන්ම ඔහු, හවුල් වෙන්න කියා අනිත් අයටත් ආරාධනාවක් කළ අතර, සම්පත්වලින් යෙහෝවාට ත්‍යාග පිරිනමමින් ජනයා ප්‍රතිචාරය දැක්වුවා. රිදී සහ රත්රන් විතරක් දැන් වටිනාකම අනුව රුපියල් බිලියන 3,000ක් පමණ වටිනවා. ‘සෙනඟ එසේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කිරීම් ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝය.’—1 ලේකම් 29:3-9; 2 ලේකම් 5:1.
අපේ කාලයේ ‘ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කිරීම්’
අපේ කාලයේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කිරීමෙහි අපිට හවුල් වෙන්න පුළුවන් කොහොමද? මේ කාලයේදී ලෝකයේ සිදු වෙමින් පවතින වඩාත්ම වැදගත් වැඩය දේශනා කිරීම හා ගෝලයන් සෑදීමයි. (මතෙව් 24:14; 28:19, 20; ක්‍රියා 1:8) එමෙන්ම තම සාක්ෂිකරුවන්ට රාජ්‍යයේ භූමික කටයුතු භාර දීම සුදුසු බව යෙහෝවා දැක තිබෙනවා.—යෙසායා 43:10.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් අදදින කරන වැඩයට මුදල් අවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. රාජ්‍ය ශාලා, එක්රැස්වීම් ශාලා, ශාඛා කාර්යාල, කර්මාන්ත සහ බෙතෙල් නිවාස ඉදි කිරීමේ වැඩයට මුදල් ඇතුළත්ව තිබෙනවා. බයිබල් හා බයිබලය මත පදනම් ප්‍රකාශන විවිධ භාෂාවලින් ප්‍රකාශයට පත් කර, බෙදාහැරීමට වියහියදම් දරන්න සිද්ධ වෙනවා. එවැනි සංවිධානාත්මක වියහියදම් ලැබෙන්නේ කොහොමද? මුළු කැමැත්තෙන්ම ඉදිරිපත් කරන සම්මාදම්වලින්!
සම්මාදම්වලින් වැඩිහරියක් ලැබෙන්නේ—යේසු නිරීක්ෂණය කළ වැන්දඹුව වැනි—සාමාන්‍ය වත්කමක් විතරක් තිබෙන පුද්ගලයන්ගෙන්. යෙහෝවාට ගෞරව කිරීමේ මේ අංගය අතහැරෙනවාට කැමැත්තක් නැති ඔවුන් “තමුන්ගේ පුළුවන්කමේ ප්‍රකාරයට,” සමහර අවස්ථාවලදී, “ඊට වැඩියෙනුත්” ප්‍රමාණවත් මුදලක් ඉදිරිපත් කරනවා.—2 කොරින්ති 8:3, 4.
“කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට [දෙවි ප්‍රේම කරන්නේය]” කියා ප්‍රේරිත පාවුල් කොරින්තියේ ක්‍රිස්තියානීන්ට පැවසුවා. (2 කොරින්ති 9:7) සතුටු සිතින් දීමට හොඳින් සැලසුම් කිරීම අවශ්‍යයි. පාවුල් කොරින්තිවරුන්ට මෙසේ පැවසුවා: “මා ආ කල සම්මාදම් නොකරන පිණිස සතියේ පළමුවෙනිදා නුඹලාගෙන් එකිනෙකා තම තමාගේ කාරණා සඵලවන ප්‍රකාරයට රැස්කොට තම තමා ළඟ යමක් තබාගනීවා.” (1 කොරින්ති 16:2) එලෙසම, අදදින රාජ්‍ය වැඩය දියුණු කිරීමට කැමති අයට, ඒ වෙනුවෙන් පෞද්ගලිකව සහ කැමැත්ත පරිදි තමන්ගේ ආදායමෙන් යමක් පැත්තකට කළ හැකියි.
යෙහෝවාට ගෞරව කරන අයට ඔහු ආශීර්වාද කරනවා
ද්‍රව්‍යමය සමෘද්ධිය තිබූ පමණින් ආත්මික සමෘද්ධියට මඟ පාදන්නේ නැති නමුත්, අපේ සම්පත්—අපේ කාලය, අපේ ශක්තිය හා අපේ ද්‍රව්‍යමය ධනසම්පත්—යෙහෝවාට ගෞරවය පිණිස ත්‍යාගශීලී ලෙස පාවිච්චි කිරීම මහඟු ආශීර්වාද ගෙන දෙයි. මෙසේ වන්නේ සියල්ල හිමි දෙවි අපට මෙසේ සහතික කරන නිසයි: “ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.”—හිතෝපදේශ 11:25.
දාවිත් රජගේ මරණයෙන් පස්සේ, ඔහුගේ පුත්‍ර සාලමොන්, යෙහෝවා මඟ පෙන්වා ඇති පරිදි තේජවත් දේවමාළිගාවක් ඉදි කරන්න තම පියා එකතු කළ ස්වේච්ඡා සම්මාදම් පාවිච්චි කළා. තවද සාලමොන් දෙවිගේ නමස්කාරයේ විශ්වාසවන්තව යෙදී සිටි තාක් කල්, “සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යූදාවරුද ඉශ්‍රායෙල්වරුද . . . සුවසේ වාසයකළෝය.” (1 රාජාවලිය 4:25) ඉශ්රායෙල්වරු ‘තම සම්පත්වලින් යෙහෝවාට ගෞරව කළ’ තාක් කල්, ගබඩා ගෙවල් පිරී, මුද්‍රික ඵල කටාරම් පිරී ඉතිරී ගියා.
පසුව, මලාකී ප්‍රොපේතවරයා මාර්ගයෙන් යෙහෝවා මෙසේ පැවසුවා: “මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවල [යෙහෝවා කියන්නේය].” (මලාකී 3:10) යෙහෝවාගේ සේවකයන් අදදින භුක්ති විඳින ආත්මික සමෘද්ධිය, දෙවි තම පොරොන්දුව ඉටු කර ඇති බවට සාක්ෂියක්.
රාජ්‍ය කටයුතු වැඩිදියුණු කිරීමේදී අපි අපේ කොටස කරන විට, ඇත්තෙන්ම යෙහෝවා ඒ ගැන ප්‍රසන්න වෙනවා. (හෙබ්‍රෙව් 13:15, 16) එමෙන්ම අපි ‘පළමුව රාජ්‍යය සහ ඔහුගේ ධර්මිෂ්ඨකම නොකඩවාම සොයනවා’ නම් අපිව උසුලන බවට ඔහු පොරොන්දු වෙනවා. (මතෙව් 6:33) ඉතාමත් ප්‍රීතිමත් හෘදයකින් අපි ‘අපේ සම්පත්වලින් යෙහෝවාට ගෞරවය දෙමු.’
[28, 29වන පිටුවේ කොටුව]
ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම් වීමට සමහරු ස්වේච්ඡාවෙන් දීමට ඉදිරිපත් වන අයුරු
“සමිතියේ ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් නම් කර ඇති සම්මාදම් පෙට්ටිවලට දැමීමට බොහෝදෙනෙක් මුදලක් ඉතිරි කරනවා නැතහොත් වෙන් කරනවා. සෑම මසකම සභාවන් මෙම මුදල් නියූ යෝක්, බෘක්ලින්හි ලෝක මූලස්ථානයට හෝ දේශීය ශාඛා කාර්යාලයට ඉදිරිපත් කරනවා.
ස්වේච්ඡා සම්මාදම් මුදල් කෙළින්ම වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි ඔප් ලංකා, 711 දුම්රියපොළ පාර, වත්තල 11300, ශ්‍රී ලංකාව යන ලිපිනයට හෝ ඔබේ රටේ සේවය කරන සමිතියේ ශාඛා කාර්යාලයට එවන්න පුළුවන්. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැකියි. මේවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුයි. කොන්සි සහිතව ප්රදානය කිරීම් විධිවිධානය පෞද්ගලික අවශ්‍යතාවක් ඇති වුවහොත් එය දායකයාට ආපසු දෙන බවට විශේෂ කොන්දේසියක් යටතේ, වොච් ටවර් සමිතියට මුදල් දීමට හැකියි. තවත් තොරතුරු සඳහා, ඉහත සඳහන් ලිපිනයට සමිතිය අමතන්න.
සැලසුම් කරන ලද පරිත්‍යාග
සම්පූර්ණ තෑග්ගක් හැටියට මෙන්ම කොන්දේසි සහිතව මුදල් ප්රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත රාජ්‍ය සේවයට ප්‍රයෝජන අත් කරගැනීම සඳහා දීමට වෙනත් ක්‍රම තිබෙනවා. මෙයට පහත සඳහන් දේවල් ඇතුළත්:
රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම ගැනීම/විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කරන්න පුළුවන්. එවන් යම් විධිවිධානයක් වෙතොත් ඒවා පිළිබඳව සමිතියට දැනුම් දිය යුතුයි.
බැංකු ගිණුම්: ස්ථානීය බැංකු නීති අනුව බැංකු ගිණුම්, තැන්පත් සහතික නැතහොත් පෞද්ගලික විශ්‍රාම වැටුප් ගිණුම් වොච් ටවර් සමිතියේ විශ්වාසය භාරයේ නැතහොත් මරණයෙන් පසු ගෙවිය යුතු ආකාරයට තැන්පත් කළ හැකියි. එවන් යම් විධිවිධාන වෙතොත් ඒවා පිළිබඳව සමිතියට දැනුම් දිය යුතුයි.
ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ ලාභය දිගටම දායකයාට ලැබෙන විධිවිධානයක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට දානය කළ හැකියි.
නිශ්චල දේපොළ: සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට වාසය කළ හැකි පදනමක් හැටියට ජීවිත බුත්තිය දායකයා වෙත තබාගෙන, විකිණිය හැකි නිශ්චල දේපොළ වොච් ටවර් සමිතියට පරිත්‍යාග කළ හැකියි. යම් නිශ්චල දේපොළක් සමිතිය වෙත පවරන්ට කලින් එම තැනැත්තා එසේ කිරීමට වූ තම අදහස සමිතියට දැනුම් දිය යුතුයි.
අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් සමිතිය වෙත දේපොළ හා මුදල් පවරා දෙන්ට හෝ විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට සමිතිය නම් කරන්න පුළුවන්. ආගමික සංවිධානයකට ප්‍රයෝජන ගෙන දෙන විශ්වාස භාරයක් අත්වීම මගින් ඇතැම් බදු සහන සපයා දිය හැකියි. අන්තිම කැමති පත්‍රයේ හෝ විශ්වාස ගිවිසුමේ පිටපතක් සමිතිය වෙත එවිය යුතුයි.
ඕනෑම දෙයක් දීමට සතුටු අය, ඉහත සඳහන් ලිපිනයට සමිතියට හෝ ඔබේ රටෙහි සේවය කරන සමිතියේ ශාඛා කාර්යාලයට එවන්න පුළුවන්. මෙම විධිවිධානවලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුයි.