යෙහෝවඃවහන්සේට දිය යුත්තේ මන්ද?
ශාරෙපත්හි කුඩා ශීදොන් නගරය මත අධික හිරු රශ්මිය පතිත වීමත් සමඟම, දර අහුලා ගැනීම සඳහා වැන්දඹු ස්ත්‍රියක් නැවුණාය. ඉතා සුළු ආහාර වේලක් පිසගැනීම සඳහා ඇයට ගිනි මෙළවීමට අවශ්‍ය වූ අතර, එය සමහරවිට ඇය හා ඇගේ යෞවන පුත්‍රයා අනුභව කරනු ඇති අවසාන ආහාර වේල වන්ට තිබිණ. දීර්ඝ කාලයකට පැවතුණ නියඟයක් හා සාගතයක් තුළින්, ඇය තමාව මෙන්ම තම පුත්‍රයාව ජීවත් කරවීමට මහත් සටනක යෙදුණ අතර, එය මෙම දුක්ඛිත අවසානයට පත් වෙමින් තිබිණ. ඔවුහු හාමතේ සිටියෝය.
මනුෂ්‍යයෙක් ළඟට පැමිණියේය. ඔහුගේ නම එලියා වූ අතර, හෙතෙම යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘවරයෙකු බව එම වැන්දඹු ස්ත්‍රියට ඉක්මනින්ම වැටහිණ. ඇය මෙම දෙවියන්වහන්සේ ගැන අසා තිබුණු බව පෙනෙන්ට තිබිණ. යෙහෝවඃවහන්සේ බාල්ට වඩා වෙනස් වූසේක; ශීදොන් නමැති ඇයගේ දේශයෙහි බාල්ගේ කෲර, දුෂ්ට නමස්කාරය පැවතිණ. එමනිසා, එලියා බීමට වතුර ඉල්ලා සිටි විට, උපකාර කිරීමට ඈ කැමැත්තෙන් සිටියාය. ඇතැම්විට එසේ කිරීමෙන් ඇය යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහය ලබාගනු ඇති බව ඇයට හැඟුණා විය හැකිය. (මතෙව් 10:41, 42) එහෙත් ඊටපසු එලියා ඊට වඩා වැඩි යමක් ඉල්ලුවේය—එනම් ආහාර ටිකක්. ඇයට ඇති තරම් ආහාර තිබුණේ එක වේලකට පමණක් බව ඈ පැහැදිලි කළාය. එහෙත් නියඟය අවසන් වන තුරු, යෙහෝවඃවහන්සේ ආශ්චර්යවත් ආකාරයකින් ඇයට ආහාර සපයා දෙනු ඇති බවට සහතික කරමින්, එලියා දිගටම ආහාර ඉල්ලා සිටියේය. ඇය කළේ කුමක්ද? බයිබලය මෙසේ පවසයි: “ඈ ගොස් එලියා කී හැටියට කළාය.” (1 රාජාවලිය 17:10-15) මෙම පැහැදිලි වචනවලින් මහත් විශ්වාසයකින් යුත් ක්‍රියාවක් විස්තර කරයි; එය කොතරම් මහත්ද කිවහොත්, ඇත්තවශයෙන්ම ඊට වසර දාහකට ආසන්න කාලයකට පසුව වුවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එම වැන්දඹු ස්ත්‍රියට ප්‍රශංසා කළසේක.—ලූක් 4:25, 26.
එසේවුවත්, බෙහෙවින් දිළිඳු වූ ස්ත්‍රියකගෙන්, යෙහෝවඃවහන්සේ මෙතරම් දෙයක් ඉල්ලා සිටීම අමුතු දෙයක් ලෙස පෙනෙන්ට පුළුවන. ඉතා ප්‍රමුඛ මනුෂ්‍යයෙකු විසින් වරක් ඉදිරිපත් කරනු ලැබූ යාච්ඤාවක් අප සලකා බලන විට, මෙය විශේෂයෙන්ම එසේ වේ. තම පුත්‍ර වූ සාලමොන්ට දේවමාළිගාව ඉදි කිරීම වෙනුවෙන් භාවිත කිරීම සඳහා, දාවිත් රජු සම්මාදම් එකතු කිරීම තුළින් මහත් ත්‍යාගශීලීභාවයක් පෙන්නුම් කරනු ලැබීය. නවීන කාලවලට අනුව, සම්මාදම් කරනු ලැබූ ත්‍යාග ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුක්ත විය. කෙසේනමුත්, දාවිත් යෙහෝවඃවහන්සේට යාච්ඤාවෙන් මෙසේ පැවසුවේය: “මේ ආකාරයෙන් ඔබට ඔප්පුකිරීමට පොහොසත්වූ මමත් මාගේ සෙනඟත් කවුරුද? මක්නිසාද සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබගේම දෙයින් අපි ඔබට දුනිමුව.” (1 ලේකම් 29:14) දාවිත් පැවසුවාක් මෙන්, සියල්ලම යෙහෝවඃවහන්සේට අයිතිය. එමනිසා, නිර්මල නමස්කාරය වැඩිදියුණු කිරීම සඳහා අප දෙන සෑම අවස්ථාවකදීම, අප දැනටමත් යෙහෝවඃවහන්සේට අයිති දේවල් උන්වහන්සේට දෙමින් සිටිනවා පමණි. (ගීතාවලිය 50:10) මේ නිසා, දැන් මේ ප්‍රශ්නය මතු වේ; එනම්, අප යමක් දෙමින් සිටීම යෙහෝවඃවහන්සේට වුවමනා වන්නේ මන්ද?
සැබෑ නමස්කාරයෙහි වැදගත් කොටසක්
මුල් කාලවල සිටම යෙහෝවඃවහන්සේ, දීම නිර්මල නමස්කාරයේ වැදගත් කොටසක් බවට පත් කර තිබීම, සරලම උත්තරය වේ. විශ්වාසවන්ත මනුෂ්‍යයෙකු වූ ආබෙල්, තම අනර්ඝතම සත්වයන්ගෙන් සමහරක් යෙහෝවඃවහන්සේට පූජා කළේය. පිතෘමූලිකයන් වූ නෝවා, ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ යෝබ්ද එවැනිම ඔප්පු කිරීම් කළහ.—උත්පත්ති 4:4; 8:20; 12:7; 26:25; 31:54; යෝබ් 1:5.
යෙහෝවඃවහන්සේට සම්මාදම් දීම, මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි නියෝග කරනු ලැබුවා පමණක් නොව, නමුත් එය පාලනයද කරනු ලැබීය. නිදසුනක් වශයෙන්, ඉශ්‍රායෙලිතයන් සියලුදෙනාටම දේශයේ ඵලවලින් සහ තමන්ගේ සතුන්ගේ වැඩි කොටසෙන් දසයෙන් කොටසක් පරිත්‍යාග කිරීමට අණ කරනු ලැබීය. (ගණන් කථාව 18:25-28) වෙනත් සම්මාදම් කිරීම් මෙතරම් දැඩිව පාලනය කරනු ලැබුවේ නැත. නිදසුනක් වශයෙන්, තම සතුන්ගේ සහ භෝගවල නාඹුල් ඵල යෙහෝවඃවහන්සේට දීම සෑම ඉශ්‍රායෙලිතයෙකුගෙන්ම අපේක්ෂා කෙරිණ. (නික්මයාම 22:29, 30; 23:19) එහෙත්, තමා හොඳම දේ දෙන තාක් කල්, කෙනෙකුට තමාගේ නාඹුල් ඵලවලින් කෙතරම් ප්‍රමාණයක් දෙන්නේද කියා තීරණය කිරීමට, සෑම පුද්ගලයෙකුටම ව්‍යවස්ථාවෙන් ඉඩ දෙන ලදි. සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරනු ලබන ස්තුති දීම් සහ භාර ඔප්පු කිරීම්වලටද ව්‍යවස්ථාව ඉඩ සලසා දුන්නේය. (ලෙවී කථාව 7:15, 16) ඔවුන්ට ආශීර්වාද කර තිබුණු ප්‍රමාණයට අනුව දෙන්න කියා යෙහෝවඃවහන්සේ තම ජනයාට දිරිගැන්වූසේක. (ද්විතීය කථාව 16:17) මණ්ඩපය ඉදි කිරීමේදී හා ඉන්පසුව, දේවමාළිගාව ඉදි කිරීමේදී කර තිබුණාක් මෙන්, එක් එක්කෙනා තම තමාගේ හෘදයේ පෙලඹීමෙන් දුන්නේය. (නික්මයාම 35:21; 1 ලේකම් 29:9) එවැනි ස්වේච්ඡා සම්මාදම්, යෙහෝවඃවහන්සේට බෙහෙවින් ප්‍රසන්න වූ බවට කිසිදු සැකයක් නැත.
“ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව” යටතේ දෙනු ලබන දීමනා සියල්ලක්ම ස්වේච්ඡාවෙන් කළ යුතුව තිබිණ. (ගලාති 6:2; 2 කොරින්ති 9:7) ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්, දීම නතර කළ බව හෝ ඔවුන් අඩුවෙන් දුන් බව හෝ මින් අදහස් කළේ නැත. සිදු වූයේ ඉඳුරාම වෙනස් දෙයක්! යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේරිතවරුන් ඉශ්‍රායෙලයේ දේශනා කරමින් සිටිද්දී, ස්ත්‍රීහු කණ්ඩායමක් ඔවුන් පසුපස ගමන් කර, තමන්ගේම වස්තුවලින් ඔවුන්ට උපස්ථාන කළෝය. (ලූක් 8:1-3) එයාකාරයෙන්ම, ප්‍රේරිත පාවුල්ට තම මිෂනාරි සේවයට අත හිත දුන් ත්‍යාග ලැබුණු අතර, අවශ්‍යතා ඇති වෙනත් අයට මුදල් දීමට ඔහු සභාවන් කිහිපයකට දිරිගැන්වූයේය. (2 කොරින්ති 8:14; පිලිප්පි 1:3-5) සම්මාදම් කරනු ලැබූ ධනය අවශ්‍යතා ඇති අයට බෙදාහරිනු ලැබුවේද කියා සහතික කිරීමට, යෙරුසලමේ පාලක මණ්ඩලය වගකීම් ඉසිලිය හැකි පුරුෂයන්ව පත් කළේය. (ක්‍රියා 6:2-4) නිර්මල නමස්කාරයට මෙවැනි ක්‍රමවලින් සහයෝගය දීම, වරප්‍රසාදයක් හැටියට මුල් ක්‍රිස්තියානිවරුන් සැලකූ බව පැහැදිලිය.
කෙසේවුවත්, යෙහෝවඃවහන්සේ දීම තම නමස්කාරයේ කොටසක් බවට පත් කරන්නේ කුමන හේතුවකටද කියා අප සිතන්ට පුළුවන. හේතු හතරක් සලකා බලන්න.
අප දෙන හේතුව
ප්‍රථමයෙන්ම, යෙහෝවඃවහන්සේ දීම සැබෑ නමස්කාරයේ කොටස් බවට පත් කරන්නේ, එසේ කිරීම අපට යහපත් නිසාය. එයින් දෙවියන්වහන්සේගේ යහපත්කම කෙරෙහි අපේ අගය දැක්වීම අවධාරණය කරනු ලැබේ. උදාහරණයක් හැටියට, දරුවෙකු දෙමාපියෙකුට ත්‍යාගයක් මිල දී ගතහොත්, එසේ නැතහොත් සෑදුවොත්, එම දෙමාපියා සතුටින් ඉපිලෙන්නේ මන්ද? දෙමාපියාට වෙනත් ආකාරයකින් ලබාගත නොහැකි අවශ්‍යතාවක්, එම ත්‍යාගයෙන් ඉටු වීද? ඇතැම්විට එසේ නොවන්ට පුළුවන. ඒ වෙනුවට, දරුවා අගය දැක්වීමේ සහ දීමේ ස්වභාවයක් වර්ධනය කරගෙන තිබෙනවා දැකීමෙන් දෙමාපියා ප්‍රීති වන්නේය. ඒ හා සමාන හේතු නිසා, යෙහෝවඃවහන්සේ අපට දෙන්න කියා දිරිගන්වන අතර, අප එසේ කරන විට උන්වහන්සේ ප්‍රීතිමත් වනසේක. උන්වහන්සේ අපට දක්වන අප්‍රමාණ කරුණාව සහ ත්‍යාගශීලීභාවය අප සැබවින්ම අගය කරන බව අප පෙන්වන්නේ මේ ආකාරයෙනි. උන්වහන්සේ “සෑම යහපත් දී[මේ]ද සෑම සම්පූර්ණ දීමනා[වේ]ද” දායකයාණන් වන බැවින්, උන්වහන්සේට ස්තුති කිරීම සඳහා අපට අඩුවක් නැතුව හේතු තිබෙනු ඇත. (යාකොබ් 1:17) සියල්ලටම වඩා, අපට සදාකාලයට ජීවත්වීම සඳහා මරණය විඳීමට ඉඩ දීමෙන්, යෙහෝවඃවහන්සේ තම ඒකජාතක පුත්‍රයාණන් අපට දුන්සේක. (යොහන් 3:16) මේ සඳහා අපට උන්වහන්සේට ඇති තරම් ස්තුති කළ හැකිද?
දෙවනුව, අප දීමට පුරුදු වී සිටින්නේ නම්, අපි එයින් යෙහෝවඃවහන්සේව සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව වඩාත් වැදගත් ආකාරයකින් අනුගමනය කිරීමට ඉගෙනගන්නෙමු. යෙහෝවඃවහන්සේ අඛණ්ඩව දෙන අතර, උන්වහන්සේ නිතරම ත්‍යාගශීලිවන්ත වනසේක. බයිබලය පවසන ආකාරයට, උන්වහන්සේ “ජීවිතයද හුස්මද සියලු දේවල්ද” අපට දානය කරනසේක. (ක්‍රියා 17:25) අප හුස්ම ගන්නා සෑම අවස්ථාවකටම, අප භුක්තිවිඳින සෑම ආහාරයකටම මෙන්ම ජීවිතයේ අප අද්දකින්නාවූ සෑම සන්තෝෂවත් හා අර්ථවත් අවස්ථාවකටම අපට නිසියාකාරව උන්වහන්සේට ස්තුති කළ හැක. (ක්‍රියා 14:17) තම පියාණන් මෙන්, යේසුස්වහන්සේත් දීමේ ස්වභාවයක් විදහාපෙන්වූසේක. උන්වහන්සේ තමන්වම නොමසුරුව දුන්සේක. යේසුස්වහන්සේ ප්‍රාතිහාර්යයන් සිදු කළ විට, උන්වහන්සේට යම් දෙයක් වැය වූ බව ඔබ දන්නෙහිද? උන්වහන්සේ රෝගී මනුෂ්‍යයන්ව සුව කළ විට, ‘උන්වහන්සේගෙන් ආනුභාවය නිකුත් වූ’ බව අවස්ථා කිහිපයකදී ශුද්ධ ලියවිලිවල අපට පැවසේ. (ලූක් 6:19; 8:45, 46) යේසුස්වහන්සේ කෙතරම් ත්‍යාගශීලීද කිවහොත්, උන්වහන්සේ තමාගේම ප්‍රාණය, එනම් තම ජීවිතය මරණය මගින් පිදූසේක.—යෙසායා 53:12.
එබැවින් අප අපේ කාලය, ශක්තිය හෝ වස්තුව දෙන විට, අපි යෙහෝවඃවහන්සේව අනුකරණය කරන අතර, උන්වහන්සේගේ හෘදය ප්‍රීති කරන්නෙමු. (හිතෝපදේශ 27:11; එපීස 5:1) මනුෂ්‍යයන්ට හැසිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තබා ගිය සම්පූර්ණ ආකෘතියද අපි අනුගමනය කරන්නෙමු.—1 පේතෘස් 2:21.
තුන්වන කරුණ නම්, දීමෙන් සැබෑ මෙන්ම වැදගත් අවශ්‍යතාවන් ඉටුවීමය. වචනය දේශනා කිරීමට අපව පාවිච්චි කරනවා වෙනුවට, උන්වහන්සේට ගල් මොරගැසීමට සැලැස්විය හැකිවනවා සේම, යෙහෝවඃවහන්සේට රාජ්‍ය කටයුතුවල අවශ්‍යතාවන් අපගේ උපකාරය නොමැතිව පහසුවෙන්ම ඉටු කිරීමට හැකි බව සැබෑය. (ලූක් 19:40) එහෙත් මෙම වරප්‍රසාදයන් තුළින් උන්වහන්සේ අපව ගෞරවයට පත් කිරීමට තෝරාගෙන තිබෙනසේක. එමනිසා, රාජ්‍ය කටයුතු වැඩිදියුණු කිරීම සඳහා අප අපේ සම්පත් දෙන විට, මේ ලෝකයේ කෙරීගෙන යන්නාවූ වඩාත්ම වැදගත් සේවයෙහි අප සැබෑ කොටසක් ඉටු කරන බව දැනගැනීමේ ඉමහත් තෘප්තිය අපට තිබේ.—මතෙව් 24:14.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත සේවය නඩත්තු කිරීම සඳහා මුදල් අවශ්‍ය කරන බව අමුතුවෙන් කිව යුතු නැත. එක්දහස් නවසිය අනූපහ සේවා වර්ෂය තුළදී, තම ක්ෂේත්‍ර සේවා පැවරුම්වල සිටි විශේෂ පුරෝගාමීන්, මිෂනාරිවරුන් සහ සංචාරක අවේක්ෂකයන්ට පමණක්, සමිතිය ඩොලර් මිලියන 60කට ආසන්න මුදලක් වියදම් කළේය. කෙසේවෙතත්, ලොව වටා ශාඛා කාර්යාල සහ මුද්‍රණය කිරීමේ පහසුකම් ඉදි කිරීම සහ ක්‍රියා කරවීම සමඟ සැසඳීමේදී, එය සාපේක්ෂ වශයෙන් සුළු වියදමකි. එහෙත්, මේ සෑම දෙයක්ම සිදු කිරීමට හැකි වී තිබෙන්නේ ස්වේච්ඡා සම්මාදම් තුළින්ය.
තමන් ධනවත් නොවන්නේ නම්, වෙනත් අයට හුදෙක් බර ඉසිලීමට ඉඩ දිය යුතු බව යෙහෝවඃවහන්සේගේ ජනයා සාමාන්‍යයෙන් උපකල්පනය නොකරති. එවැනි ආකල්පයකින්, අපගේ නමස්කාරයේ මෙම අංගයට සහභාගි නොවීමට අපව මඟ පෑදිය හැකිය. ප්‍රේරිත පාවුල්ට අනුව, මකිදෝනියේ විසූ ක්‍රිස්තියානීහු, “මහත් දිළිඳුක[මකින්]” පීඩා විඳිමින් සිටියෝය. එසේවුවත්, ඔවුහු දීමේ වරප්‍රසාදය ලබා දෙන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියෝය. තවද ඔවුන් දුන්නාවූ දේවල්, “තමුන්ගේ පුළුවන්කමේ ප්‍රකාරයටත්” වඩා වැඩි වූ බවට පාවුල් සාක්ෂි දුන්නේය.—2 කොරින්ති 8:1-4.
හතරවන කරුණ නම්, යෙහෝවඃවහන්සේ දීම සැබෑ නමස්කාරයේ කොටසක් කර තිබෙන්නේ, දීම අපට සන්තෝෂව සිටීමට උපකාරවත් වන නිසාය. යේසුස්වහන්සේම මෙසේ ප්‍රකාශ කළසේක: “ගැනීමට වඩා දීමෙහි වැඩි සන්තෝෂයක් තිබේ.” (ක්‍රියා 20:35, NW) යෙහෝවඃවහන්සේ අපව නිර්මාණය කළේ ඒ ආකාරයටයි. අප උන්වහන්සේට කොතරම් දුන්නත්, අපේ හෘදයන්හි අපට උන්වහන්සේ කෙරෙහි හැඟෙන අගයට එය සරිලන්නේ නැති බව අපට හැඟීමට මෙය තවත් හේතුවක් විය හැක. කෙසේවෙතත්, අපට දිය හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් යෙහෝවඃවහන්සේ අපේක්ෂා නොකිරීම සන්තෝෂයට කරුණකි. අපට දිය හැකි ප්‍රමාණය අප ප්‍රීතියෙන් දෙන විට, උන්වහන්සේ සතුටු වන බවට අපට නිසැක විය හැකිය.—2 කොරින්ති 8:12; 9:7.
දීමේ ස්වභාවයක් පෙන්වීමේ ප්‍රතිඵලය ආශීර්වාද වේ
අප කලින් සඳහන් කළ ආදර්ශයට අවධානය යොමු කරනවා නම්, එලියාට ආහාර වේලක් සැපයීමට වෙනත් කෙනෙකුට හැකි බවට ශාරෙපත්හි වැන්දඹු ස්ත්‍රිය හේතු මැව්වායයි සිතන්න. එවිට ඈ මොනතරම් ආශීර්වාදයක් අහිමි කරගනු ලබනවා ඇද්ද!
දීමේ ස්වභාවයක් විදහාපෙන්වන අයට යෙහෝවඃවහන්සේ ආශීර්වාද කරන බවට කිසිදු සැකයක් නොමැත. (හිතෝපදේශ 11:25) තමාගේ අවසාන ආහාර වේල කියා සිතූ දේ ඉදිරිපත් කිරීමෙන්, ශාරෙපත්හි වැන්දඹු ස්ත්‍රියට ඒ සඳහා දුක් විඳීමට සිදු වූයේ නැත. යෙහෝවඃවහන්සේ ප්‍රාතිහාර්යයකින් ඇයට විපාක දුන්සේක. එලියා පොරොන්දු වූ ආකාරයටම, නියඟය අවසාන වන තුරුම ඇයගේ පිටි සහ තෙල් භාජන හිඟ වූයේ නැත. එහෙත් ඇයට ඊටත් වඩා වැදගත් විපාකයක් ලැබිණ. ඇයගේ පුත්‍රයා රෝගාතුර වී මියගිය විට, සැබෑ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලියා ඇයට ඔහුව නැවතත් ලබා දුන්නේය. එය ඇයව ආත්මික වශයෙන් කොතරම් නඟාසිටුවන්ට ඇද්ද!—1 රාජාවලිය 17:16-24.
අදදින ප්‍රාතිහාර්යයන් තුළින් ආශීර්වාද ලැබීමට අප බලාපොරොත්තු වන්නේ නැත. (1 කොරින්ති 13:8) එහෙත් උන්වහන්සේට ආත්ම-පූර්ණව සේවය කරන්නාවූ අයව යෙහෝවඃවහන්සේ උසුලන බව අපට සහතික කරනසේක. (මතෙව් 6:33) එබැවින් යෙහෝවඃවහන්සේ අපව රැකබලා ගන්නා බවට නිසැක වෙමින්, නොමසුරුව දීමෙන්, අපට මේ කාරණය සම්බන්ධයෙන් ශාරෙපත්හි වැන්දඹු ස්ත්‍රිය මෙන් විය හැකිය. එයාකාරයෙන් අපට මහත් ආත්මික විපාක භුක්තිවිඳිය හැක. අපගේ දීම ඉඳහිට කරන, අහම්බෙන් සිදු කරන යමක් වනවා වෙනුවට විධිමත්ව කරන යමක් නම්, යේසුස්වහන්සේ නිර්දේශ කළ ආකාරයට අපේ ඇස සරලව තබාගැනීමටත්, රාජ්‍ය කටයුතු මත අවධානය යොමු කිරීමටත් එය අපට උපකාර කරනු ඇත. (ලූක් 11:34; සසඳන්න 1 කොරින්ති 16:1, 2.) සෙසු සේවකයන් වශයෙන් යෙහෝවඃවහන්සේට සහ යේසුස්වහන්සේට වඩාත් කිට්ටු බවක් හැඟෙන්ටත් එය අපට උපකාර කරනු ඇත. (1 කොරින්ති 3:9) තවද එය ලෝක ව්‍යාප්තව සිටින යෙහෝවඃවහන්සේගේ නමස්කාරකයන්ව දැනටමත් හඳුන්වන ත්‍යාගශීලී, දීමේ ස්වභාවය තවත් වැඩි කරනු ඇත.
[31වන පිටුවේ කොටුව]
ඇතමෙක් දීමට තෝරාගන්නා අයුරු
ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම්
“සමිතියේ ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් නම් කර ඇති සම්මාදම් පෙට්ටිවලට දැමීමට බොහෝදෙනෙක් මුදලක් ඉතිරි කරත්; නැතහොත් වෙන් කරත්. සෑම මසකම සභාවෝ මෙම මුදල් නිව් යෝර්ක්, බෘක්ලින්හි ලෝක මූලස්ථානයට හෝ දේශීය ශාඛා කාර්යාලයට ඉදිරිපත් කරති.
ස්වේච්ඡා සම්මාදම් මුදල් කෙළින්ම වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් ලංකා, 711 දුම්රියපොළ පාර, වත්තල 0730, ශ්‍රී ලංකා යන ලිපිනයට හෝ ඔබේ රටෙහි සේවය කරන සමිතියේ ශාඛා කාර්යාලයට එවන්ට පුළුවන. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැක. මේවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුය.
කොන්දේසි සහිතව ප්‍රදානය කිරීමේ විධිවිධානය
පෞද්ගලික අවශ්‍යතාවක් ඇති වුවහොත් එය දායකයාට ආපසු දෙන බවට කොන්දේසිය සහිතව, දායකයාගේ මරණය තෙක් විශ්වාසය මත තබාගැනීමට වොච් ටවර් සමිතියට මුදල් දිය හැකිය. තවත් තොරතුරු සඳහා, ඉහත සඳහන් ලිපිනයකට සමිතියට ලියන්න.
සැලසුම් කරන ලද පරිත්‍යාග
සම්පූර්ණ තෑග්ගක් හැටියට මෙන්ම කොන්දේසි සහිතව මුදල් ප්‍රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත රාජ්‍ය සේවයට ප්‍රයෝජන අත් කරගැනීම සඳහා දීමට වෙනත් ක්‍රම තිබේ. මෙයට පහත සඳහන් දේවල් ඇතුළත් වේ:
රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම ගැනීම⁄විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කරන්ට පුළුවන. එවන් යම් විධිවිධානයක් වෙතොත් ඒවා පිළිබඳව සමිතියට දැනුම් දිය යුතුය.
බැංකු ගිණුම්: ස්ථානීය බැංකු නීති අනුව බැංකු ගිණුම්, තැන්පත් සහතික නැතහොත් පෞද්ගලික විශ්‍රාම වැටුප් ගිණුම් වොච් ටවර් සමිතියේ විශ්වාසය භාරයේ නැතහොත් මරණයෙන් පසු ගෙවිය යුතු ආකාරයට තැන්පත් කළ හැක. එවන් යම් විධිවිධානයක් වෙතොත් ඒවා පිළිබඳව සමිතියට දැනුම් දිය යුතුය.
ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ ලාභය දිගටම දායකයාට ලැබෙන විධිවිධානයක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට දානය කළ හැක.
නිශ්චල දේපොළ: සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට වාසය කළ හැකි පදනමක් හැටියට ජීවිත බුත්තිය දායකයා වෙත තබාගෙන විකිණිය හැකි නිශ්චල දේපොළ වොච් ටවර් සමිතියට පරිත්‍යාග කළ හැක. යම් නිශ්චල දේපොළක් සමිතිය වෙත පවරන්ට කලින් එම තැනැත්තා සමිතියට එසේ කිරීමට වූ තම අදහස දැනුම් දිය යුතුය.
අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් සොසයටි වෙත දේපොළ හෝ මුදල් පවරා දෙන්ට හෝ විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට සමිතිය නම් කරන්ට පුළුවන. ආගමික සංවිධානයකට ප්‍රයෝජන ගෙන දෙන විශ්වාස භාරයක් අත්වීම මගින් ඇතැම් බදු සහන සපයා දිය හැකිය. අන්තිම කැමති පත්‍රයේ හෝ විශ්වාස ගිවිසුමේ පිටපතක් සමිතිය වෙත එවිය යුතුය.
ඕනෑම දෙයක් දීමට සතුටු අය, ඉහත සඳහන් ලිපිනයට සමිතියට හෝ ඔබේ රටෙහි සේවය කරන සමිතියේ ශාඛා කාර්යාලයට එවන්ට පුළුවන. මෙම විධිවිධානවලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුය.