මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානය කැප කිරීම—යෙහෝවාට උත්සවයක්
පුරාණයේ පටන්, ප්‍රීතිමත් උත්සව සැබෑ නමස්කාරයේ කොටසක්ව තිබුණා. පුරාණ ඉශ්රායෙලයේ පැවැත්වූ සමහර උත්සව දවස් ගණන් පැවති අතර, යෙහෝවාගේ නමස්කාරකයන් දින ගණනාවක් පුරා ඊට සහභාගි වුණා. සාලමොන්ගේ දේවමාළිගාවේ සමාරම්භය දවස් හතක් පුරා පැවති අතර, ඉන්පසු සතියක් පුරා කූඩාරම් මංගල්‍යය පවත්වනු ලැබුවා. යෙහෝවා ඉශ්රායෙල්වරුන් සමඟ කටයුතු කර තිබෙන පුදුම දනවන ආකාරය ගැන මෙනෙහි කිරීමට එමඟින් ඔවුන්ට ප්‍රස්තාවක් උදා වුණා. “[යෙහෝවා] . . . කළ සියලු යහපත්කම් ගැන ප්‍රීතිමත්ව, සන්තෝෂ සිත් ඇතුව” ඔවුන් තම නිවෙස්වලට ආපසු හැරී ගියා.—1 රාජාවලිය 8:66.
වර්ෂ 1999 මැයි 17-22 දක්වා අ.එ.ජ. නියූ යෝක්, පැටසන්හි මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානයේ පැවැත්වූ දෙය, එහි පැමිණි අමුත්තන්ට එම පුරාණ සන්තෝෂවත් උත්සව සිහිගැන්නුවා. මෙය සමස්ත ලෝක බයිබල් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට සැලසුම් කළ ගොඩනැඟිලි 28ක සංකීර්ණයක් කැප කිරීම වටා ගෙතුණු විශේෂ ක්‍රියාකාරකම්වලින් යුත් සතියක් වුණා. බෘක්ලින්, වෝල්කිල් හා පැටසන්හි මූලස්ථාන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 5,400දෙනාටම එම සිහිකටයුතු සතිය තුළදී පැටසන්හි පහසුකම් නැරඹීමට සවිස්තර චාරිකාවක යෙදීමට ප්‍රස්තාවක් උදා කරනු ලැබුවා. අමුත්තන් අතර, අධ්‍යාපනික මධ්‍යස්ථානය ගොඩනැඟූ කාලයේදී එහි වැඩවල නිරත වූ ක්‍රියාකාරි මණ්ඩලයේ සාමාජිකයන් 500කට වැඩිදෙනෙක්, වොච් ටවර් සමිතියේ ශාඛා 23කින් පැමිණි නියෝජිතයන් හා ළඟපාත සභාවලින් පැමිණි අය සිටි අතර, මුළු සංඛ්‍යාව අඩුම තරමින් 8,100ක්වත් වුණා.
ප්‍රදර්ශනයන් අධ්‍යාපනයක් සපයයි
අධ්‍යාපනික මධ්‍යස්ථානයට හොඳින් හුරු පුරුදු වීමට, විශේෂ ප්‍රදර්ශන, අධ්‍යාපනික වීඩියෝ දර්ශන මෙන්ම මඟ පෙන්වීමට විස්තර පුවරුද සූදානම් කරනු ලැබුවා. ප්‍රධාන ප්‍රවේශ ශාලාවේ, යේසුස්ගේ භූමික දේවසේවා කාලයේදී යෙරුසලමෙහි පැවති දේවමාළිගාව මෙන් ආකෘතියක් යම් පරිමාණයකට අනුව සකස් කර තිබුණු අතර විශේෂයෙන් ඒ වෙතට අමුත්තන්ගේ නෙත් යොමු වුණා. වෙනත් ප්‍රදර්ශනවල ගිලියද්හි මුරටැඹ බයිබල් පාසැලේ මුල් ඉතිහාසය, ඓතිහාසික සමුළු, සභා රැස්වීම් හා යේසුස්ගේ අණට කීකරු වීමක් වශයෙන්, දැන් සතිපතා පවත්වන මිලියන සංඛ්‍යාත නිවාස බයිබල් පාඩම්වල නවීන දින වර්ධනය හා මෙවැනි ක්‍රියාකාරකම් දිගටම කරගෙන යෑමට නීතික අංශයෙන් කෙරෙන වැඩ යනාදිය විදහාපෙන්වා තිබුණා.—මතෙව් 28:19, 20.
කැප කිරීමේ කාලයේදී නැරඹීමට එන අමුත්තන්ට පහසුවෙන්ම ආසන 1,700ක් දැමිය හැකි යාබද ශ්රවණාගාරයෙහි “බලයෙන් නොව—මාගේ ආත්මයෙන්ය!” යන මැයෙන් යුත් වීඩියෝ දර්ශනයක් විනාඩි 33කට පෙන්නුවා. මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානය බිහි වුණු ආකාරය මෙම වීඩියෝ දර්ශනයෙන් පෙන්නුවා. සම්මුඛ සාකච්ඡාවලදී විස්තර කළ යම් අද්දැකීම්වලින් පැහැදිලිවම අඟවනු ලැබුවේ, දේවල් පිටුපස යෙහෝවාගේ මඟ පෙන්වීම තිබුණු බවත්, වසර-15වේ මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට ගත් වෑයම්වලට ඔහු ආශීර්වාද කර ඇති බවත්ය. ඇත්තෙන්ම ඉදි කිරීමේ වැඩයෙහි දහස් ගණනක් සහභාගි වුණා. වර්ෂ 1994 එක් අවස්ථාවකදී, පූර්ණ කාලීන ස්වේච්ඡා සේවකයන් 350, තාවකාලික සේවකයන් 113 හා දවස්පතා පැමිණ උදව් කළ 63 ඇතුළු සේවකයන් 526දෙනෙක් ඉදි කිරීමේ භූමියෙහි සිටියා. තවත් බොහෝදෙනෙක් මුදල් පරිත්‍යාග කිරීමෙන් සහයෝගය දුන්නා. යෙහෝවාගේ ආත්මය නැතුව මෙවැන්නක් කවදාවත් කළ නොහැකි බව ඔවුන් සියල්ලන්ටම වැටහෙනවා.—සෙකරියා 4:6.
අධ්‍යාපනික මධ්‍යස්ථානයේ සිදු කෙරෙන වැඩ යොමු වී තිබෙන්නේ දිව්‍ය ඉගැන්වීමේ වැඩිදියුණුව සඳහා බව ප්‍රදර්ශන නරඹන්න ගිය අයට දැකගත හැකි වුණා. පාසැල් ගොඩනැඟිල්ලේ පළමු මහලේ ගිලියද් පාසැලට ඇතුල් වන තැන පිහිටුවා තිබුණ ප්‍රදර්ශනයෙන් පාසැලේ ධනවත් ආත්මික උරුමය හා ඉතිහාසය හුවා දැක්වුවා. වර්ෂ 1943දී නියූ යෝක්, දකුණු ලැංසින්වල මුල් පාසැල් සරසවියේ ප්‍රථම පංතිය පැවැත්වූ දා සිට ගිලියද් පාසැල මිෂනාරි සේවය සඳහා ශිෂ්‍යයන් 7,000කට වඩා පුහුණු කර තිබෙනවා. පාසැල් ගොඩනැඟිල්ලේ දෙවන මහලේ පිහිටුවා තිබුණු දර්ශනවලින් ශාඛා කමිටු සාමාජිකයන් සඳහා පාසැල හා සංචාරක අවේක්ෂකයන් සඳහා පාසැල යන දෙකෙහිම පංති පැවැත්වෙන ප්‍රදර්ශන විදහා දක්වා තිබුණා. වර්ෂ 1995 නොවැම්බර්වලදී එහි ආරම්භයේ පටන්, ශාඛා පාසැල රටවල් 106කින් පැමිණි ශාඛා කමිටු සාමාජිකයන් 360කට හරබර උපදෙස් සපයනු ලැබුවා.
පැමිණි අමුත්තන් ඇතුළට ගොස් නරඹන විට, ඔවුන් පින්තූරු මාර්ගයෙන් දුටු දේට වඩා වැඩි යමක් බොහෝ තැන්වලදී දකින්න තිබුණු බව ඔවුන්ට විගස වැටහුණා. විවිධ අංශ ඇතුළටම ගොස් කාර්යාල හා වෙනත් සේවා ස්ථාන දැක බලාගන්නත්, සිදු කෙරෙන වැඩ වඩාත් කිට්ටුවෙන් නැරඹීමටත් ඔවුන්ට හැකි වුණා. මෙම චාරිකාවේ කැපීපෙනෙන අංගයක් වුණේ ශ්‍රව්‍ය/දෘශ්‍ය සේවා ගොඩනැඟිල්ලයි. බයිබල් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට මොනතරම් කදිම පහසුකම්ද! සවිස්තර ප්‍රදර්ශන දැක්වීම් හා කෙටි වීඩියෝ පට මාර්ගයෙන්, හඬ කැවීම් සිදු කෙරෙන ආකාරයත්, වීඩියෝ පට සූදානම් කෙරෙන ආකාරයත් තේරුම්ගැනීමට අමුත්තන්ට උපකාරයක් ලැබුණා. නාට්‍ය මෙවලම් හා ඇඳුම් පැළඳුම් සූදානම් කිරීමේදී සිදු කෙරෙන පුළුල් ගවේෂණය සම්බන්ධයෙන් ඔවුන් යමක් ඉගෙනගත්තා. සියුම් කාරණාවලට පවා විශිෂ්ට අවධානයක් දෙමින් අවම වියදමකින් වේදිකාව පිහිටුවීමේ මෙවලම් සොයාගෙන තිබෙන අයුරු ඔවුන් දුටුවා. තමන් ඇත්තෙන්ම දර්ශනයෙහි ඉන්නවාක් මෙන් ජනයාට හැඟෙන පරිදි සංගීතය යොදා තිබෙන ආකාරයත් ඔවුන් දැක්කා. අමෙරිකානු සංඥා භාෂාව යොදාගන්නා අය සඳහා වූ වෙනත් වීඩියෝ පටවලට අමතරව, විවිධ බයිබල් තේමා ඉස්මතු කොට දැක්වෙන වීඩියෝ පට දහයක් භාෂා 41කින් 1990 පටන් සමිතිය මගින් නිපදවා තිබෙනවා.
නැරඹීමට පැමිණි අයගෙන් බොහෝදෙනෙක් ඡායාරූප පරීක්ෂණාගාරය, කලා අංශය හා පරිගණක පුහුණුව හා උපකාරය සපයන තොරතුරු සේවා අංශය මෙන්ම සභා 11,242ක හා සංචාරක අවේක්ෂකයන් 572දෙනෙකුගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන සේවා අංශය හා සෑම වසරකම ප්‍රශ්න අසා එවන ලිපි 14,000කට පමණ උත්තර සපයන අංශය නැරඹුවා. යවනු ලබන ලිපි සම්බන්ධයෙන් සිදු කෙරෙන පර්යේෂණය සම්බන්ධයෙන්ද, බරපතළ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමට වෑයම් දරන බවට තම ලිපිවලින් සාක්ෂි සැපයූ අය සඳහා දක්වන අව්‍යාජ සැලකිල්ල සම්බන්ධයෙන්ද ඔවුන් පුදුමයට පත් වුණා.
වැල නොකැඩී එන අමුත්තන්, පරිවර්තන සේවා නැරඹීමටද ගියා. ඉකුත් පස් වසර තුළ සමිතිය මගින් තවත් භාෂා 102කින් බයිබල් පොත් පත් සැපයීම වැඩි කර ඇති බව දැනගැනීමෙන් ඔවුන් පුදුමයට පත් වුණා. ලොව පුරා, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සියයට 80ක් පමණ ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවලින් සමිතියේ ප්‍රකාශන කියවනවා. ඔවුන්ගේ අවශ්‍යතා සැපයීමට, රටවල් 100ක පරිවර්තන ක්ෂේත්රයෙහි ස්වේච්ඡා සේවකයන් 1,700කට වඩා වැඩිදෙනෙක් සේවය කරමින් සිටිනවා. අමෙරිකාවේ, යුරෝපයේ, ආසියාවේ හා අප්‍රිකාවේ භාෂාවලින් මුරටැඹ ප්‍රදර්ශනය කර තිබුණා. භාෂා 31කින් පළ කළ නියූ ව’ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් බයිබලය දැකගැනීමට අමුත්තන්ට හැකි වුණා. වොච් ටවර් ප්‍රකාශන, දැන් භාෂා 332කින් ලබාගත හැකි බවත්, දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාව භාෂා 219කින් පළ කර ඇති බවත් ඔවුන්ට දැනගන්න පුළුවන් වුණා.
නීතිමය අංශය නැරඹීමට ගිය අමුත්තන්ට ලොව පුරා නීතිමය අවධානයක් අවශ්‍ය වූ විවිධ ක්ෂේත්රයන් මොනවාද කියා පෙන්නුවා. රුධිර ප්‍රවේශනයට සම්බන්ධ ඇත්ත නඩුවක සාක්ෂිකාර නීතීඥවරයෙක් තර්ක කරන හැටි ඔවුන් වීඩියෝවකින් දැක්කා. ශුභාරංචිය ප්‍රසිද්ධියේ දේශනා කිරීම සඳහා මාර්ගය විවෘත කර තබාගැනීමට සිදු කෙරෙන දේවල්ද ඔවුන්ට දැනගන්න ලැබුණා. (පිලිප්පි 1:7, NW) තම ප්‍රජාව තුළ ප්‍රසිද්ධියේ ගෙයින් ගෙට දේශනා සේවයේ යෙදීම සඳහා, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට අවසර පතක් හා නිල ලාංඡනයක් ඇතුව සිටීම අවශ්‍ය කරවන නීතිය වෙනස් කරන්න කියා, අමෙරිකා එක්සත් ජනපදයේ නියූ ජර්සිහි ඕරඩෙල් නගරයට නියෝග කරමින් ඒකාබද්ධ දිස්ත්‍රික් අධිකරණයක් මගින් මෙම වසරේ මාර්තුවලදී ගත් තීරණය වෙත අවධානය යොමු කරනු ලැබුවා.
අමුත්තන් දුටුවේ මේ දේවල් පමණක් නොවෙයි. ඔවුන්ට කොන්ක්‍රීට් බිත්ති, රාමු හා ලෑලි වැනි දේ තනන ස්ථානයෙහි සිදු වූ ඉදි කිරීම් ප්‍රදර්ශනය තුළින් කිට්ටුවෙන් බැලීමටත්, ජලය පිරිසිදු කරන පහසුකම්වලට, විදුලි බලාගාරයට, ජලයේ ලවණ ගතිය ඉවත් කිරීමේ පහසුකමට මෙන්ම තවත් නඩත්තු අංශ කිහිපයකටත් ගොස් බලන්න හැකිකම ලැබුණා. එය ඇත්තෙන්ම අද්විතීය ප්‍රස්තාවක් වුණා.
කැප කිරීමේ වැඩසටහන දිව්‍ය අධ්‍යාපනය අවධාරණය කරයි
කැප කිරීමේ වැඩසටහන ආරම්භ කළේ මැයි 19වන බදාදා සවස 4.00ටයි. මෙම 6,929ක් වූ ප්‍රීතිමත් සෙනඟට ශාඛා කාර්යාල කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, සමිතියේ අමුත්තන් හා ඉලෙක්ට්‍රෝනික වශයෙන් සම්බන්ධ කළ කැනඩා ශාඛාවෙහි රැස්ව සිටි 372දෙනා ඇතුළත් වුණා.
වොච් ටවර් සමිතියේ සභාපති මිල්ටන් ජී. හෙන්ෂල් ඉදිරිපත් කළ හද උණුසුම් කරවන පිළිගැනීමේ වදන්වලට සවන් දීම ඇත්තෙන්ම සභාවට සතුටක්. පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම මෙම උත්සවයේ සභාපති වූ තියඩෝ ජැරැස් ඊළඟට විලියම් මැලෙන්ෆොන්ට්ව හඳුන්වා දුන්නා. “ගොඩනැඟීමේ ව්‍යාපෘතියේ විශේෂාංග” ඉදිරිපත් කිරීමේදී, මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානයේ වැඩිදියුණුව, නිර්මාණය හා ඉදි කිරීම සඳහා වැදගත් කොටසක් ඉටු කළ සහෝදරයන් තුන්දෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳෙව්වා. ගොඩනැඟිලි සෑදූ කාලය තුළදී මෙම ව්‍යාපෘතියේ වැඩ කිරීමට තමන්ගේම වියදමින් තාවකාලික සේවකයන් 8,700කට වැඩි පිරිසක් පැමිණි බව සම්මුඛ සාකච්ඡාවලදී ප්‍රකාශ කළා. දිව්‍ය ඉගැන්වීම මගින් අත් කරගෙන තිබෙන සමගිය හා ත්‍යාගශීලීකම සඳහා මොනතරම් කදිම සාක්ෂියක්ද!
“සමස්ත ලෝක පරිමාණයෙන් දිව්‍ය අධ්‍යාපනය” යන මැයෙන් ඊළඟට කතා මාලාවක් ඉදිරිපත් කෙරුණා. එය ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සාමාජිකයන් හතරදෙනෙකු විසින්. දිව්‍ය අධ්‍යාපනයට පදනම වන්නේ දේවවචනය වන බයිබලය බවත්, එය ක්‍රිස්තියානීන්ට “සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, [දෙවි] දැනගැනීමෙහි වර්ධනයවෙමින්ද” සිටීමට දිරිගන්වන බවත් ජෝන් ඊ. බාර් අවධාරණය කළා. (කොලොස්සි 1:10) ක්‍රිස්තියානි සභාවේ හිස වන යේසුස් ක්‍රිස්තුස්ගේ සිට ලෝක ව්‍යාප්ත සහෝදරත්වයේ සෑම සාමාජිකයෙකු දක්වාම දිව්‍ය අධ්‍යාපනය දිව්‍ය තන්ත්‍රික පිළිවෙළකට සැලසුම් කර තිබෙන ආකාරය ගැන ඩැනියෙල් සිඩ්ලික් සාකච්ඡා කළා. (1 කොරින්ති 12:12-27) කතා මාලාවේ අවසන් කොටස් දෙක දුන් ජෙරිට් ලෝෂ් හා කැරී බාබ’ සෑම තැනකම සිටින ජනයා වෙතට යෑමට හා ඔවුන්ටත් දෙවිගේ මාර්ගයේ ඇවිදීමට හැකි වන සේ උපදෙස් දීමටත් දිව්‍ය අධ්‍යාපනය දේවසේවකයන්ව සුදුස්සන් කරන අයුරු පෙන්වා දුන්නා.—යෙසායා 2:1-4; 2 කොරින්ති 3:5.
මෙම අධ්‍යාපනික මධ්‍යස්ථානයේ කෙරීගෙන යන විවිධ පාසැල් සභාවට හඳුන්වා දීම සඳහා උපදේශකයන් මෙන්ම තම කාර්යයන්වල නිරතව සිටින වෙනත් අය සමඟ සම්මුඛ සාකච්ඡා මෙන්ම සංවාදයන් පවත්වනු ලැබුවා. සමස්ත ලෝක පරිමාණයකින් දිව්‍ය අධ්‍යාපනික වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සෑම පාසැලකටම දැරීමට සිදු වන කාර්යභාරය පෙන්වනු ලැබුවා. ගිලියද් පාසැල බයිබලයේ හැම පොතක්ම අධ්‍යයනය කිරීම, යෙහෝවාගේ ජනයාගේ නවීන දින ඉතිහාසය, මිෂනාරි සේවය සඳහා සූදානම් වීම යන කාරණා වෙත අවධානය යොමු කරන බව එයින් පෙන්නුම් කළා. ශාඛා කමිටු සාමාජිකයන්ට සිදු කිරීමට තිබුණු ක්‍රියාකාරකම්වල විවිධ පැති ගණනාවක් සම්බන්ධයෙන් ශාඛා පාසැල පුදුමාකාර ලෙස විස්තරාත්මක අධ්‍යාපනයක් වුණා. සංචාරක අවේක්ෂකයන් සඳහා පාසැල තිබෙන්නේ සංචාරක සහෝදරයන්ගේ අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව නමුත් විශේෂයෙන්ම සභාවලට ප්‍රයෝජනවත් වන යම් ආත්මික උපකාරයක් සැපයීමට ඔවුන්ව සන්නාහ සන්නද්ධ කිරීමටත්ය.
කදිම වැඩසටහන අවසන් කිරීමට, පාලක මණ්ඩලයේ ලොයිඩ් බැරි “අපේ උතුම් මැවුම්කරු සමඟ ගොඩනැඟීම” යන විෂය මත කැප කිරීමේ කතාව ඉදිරිපත් කළා. මැවුම්කරු වූ යෙහෝවා ඔහුගේ සියලු මැවිලි ගැන ප්‍රීති වන අතර ඔහු සමඟ ප්‍රීති වන්න කියා ඔහු අපට ආරාධනා කරන බව ඔහු පෙන්වා දුන්නා. (යෙසායා 65:18) ‘සියලු දේවල් පිහිටෙවූ තැනැත්තා දෙවි’ නිසා, මේ ඉදි කිරීම් සියල්ලටම අවසානයේ ප්‍රශංසාව දිය යුත්තේ යෙහෝවා දෙවිටයි. (හෙබ්‍රෙව් 3:4) එවැනි අදහස් ප්‍රකාශ කර සිටි කථිකයා අපේ උදාර මැවුම්කරු වූ යෙහෝවාට මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානය කැප කරමින් හෘදයාංගම යාච්ඤාවක් පැවසුවා.a
මුළු සතියේම පැවති උත්සවශ්රීය, ඊට සහභාගි වූ අයගේ මතකයේ බොහෝ කලක් රැඳී පවතින බවට කිසි සැකයක් නැහැ. මුරටැඹ අධ්‍යාපනික මධ්‍යස්ථානය නැරඹීමට සැලසුම් නොකරන්නේ මන්ද? අපේ ප්‍රේමනීය මැවුම්කරු ගැනත්, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති අනුව ජීවත් වීම ගැනත් තව බොහෝ දේ ඉගෙනීමට ඔබ වෑයම් කරන අතරේදී මෙහි පැමිණ නැරඹීම ඔබට දිරිගැන්වීමක් වේවි යන්න අපට ස්ථිරයි.
[පාදසටහන]
a සහෝදර බැරි විශ්වාසවන්තව සිට 1999 ජූලි 2දා ඔහුගේ භූමික ජීවිතය නිම කළා. 1999 ඔක්තෝබර් 1 මුරටැඹහි 16 පිටුව බලන්න.
[10වන පිටුවේ පින්තූර]
තදබද වූ ශ්‍රවණාගාරයක් හා භෝජනාගාරයේ පිරී ඉතිරී ගිය සෙනඟ
[10වන පිටුවේ පින්තූර]
චාරිකාවන් විශේෂයෙන්ම ප්‍රීතිමත් අවස්ථාවන් වුණා