පුරාණ යෙරුසලම් නගරය විනාශ වුණේ කවදාද? පළමුවන කොටස
එය දැනගැනීමේ ඇති වැදගත්කම කුමක්ද? සාක්ෂිවලින් තහවුරු වන්නේ කුමක්ද?
යෙරුසලම විනාශ වූ දිනය ගැන විශාරදයන් දක්වන අදහස් අඩංගු ලිපි දෙක අතරින් පළමුවන ලිපිය මෙයයි. ඊළඟ ලිපිය අනික් කලාපයේ පළ වෙනවා. යෙරුසලම විනාශ වූ දිනය ගැන අපගේ සමහර පාඨකයන්ට ප්‍රශ්න මතු වී තිබෙනවා. එම ප්‍රශ්නවලට හොඳින් ගවේෂණය කර ලබාගත් තොරතුරු හා බයිබලය මත පදනම් කරගත් පිළිතුරු මෙම ලිපි දෙක තුළ තිබෙනවා.
“ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් යෙරුසලමේ විනාශය සිදු වූයේ ක්‍රිස්තු පූර්ව 586දී හෝ 587දී කියා පවසනවා.a නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවසන්නේ එය ක්‍රි.පූ. 607දී සිදු වුණා කියායි. ඒ සඳහා සාක්ෂිකරුවන්ට තිබෙන පදනම කුමක්ද?”
ඉහත සඳහන් ප්රශ්නය ඇසුවේ මෙම සඟරාව කියවන පාඨකයෙක්. දෙවන නෙබුකද්නෙෂර් රජු යෙරුසලම විනාශ කළ නිවැරදි දිනය දැනගැනීම වැදගත්ද? ඔව්, එය දැනගැනීම වැදගත්. ඒ සඳහා ඇති පළමු හේතුව නම් පුරාණයේ සිටි දෙවිගේ සෙනඟට එම දවස සුවිශේෂී දවසක් වීමයි. එක ඉතිහාසඥයෙක් එම විනාශය ගැන පැවසුවේ “එය මහා විනාශයක්” කියායි. විශ්වයේ ශ්‍රේෂ්ඨතම බලය හිමි තැනැත්තාට නමස්කාර කිරීම සඳහා අවුරුදු 400ක් පුරා යොදාගත් දේවමාලිගාව විනාශ වුණේ එදිනයි. එම විනාශය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවියනි, ජාතීහු ඔබේ උරුමය පැහැරගත්තෝය. ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසා, යෙරුසලම නටබුන් ගොඩක් කළෝය.”—ගීතාවලිය 79:1.
දෙවෙනි හේතුව නම් යෙරුසලම විනාශ වූ දිනය හා එහි සැබෑ නමස්කාරය නැවත ආරම්භ වීම ගැන බයිබලයේ ඇති අනාවැකි ඉටු වූ ආකාරය දැනගැනීමෙන් බයිබලයේ ඇති තොරතුරු මොන තරම් නිවැරදිද කියා තහවුරු කරගත හැකි වීමයි. බොහෝදෙනා පිළිගන්න වර්ෂයකට වඩා වර්ෂ 20ක වෙනසක් ඇති වසරක යෙරුසලම විනාශ වූ බව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිළිගන්නේ ඇයි? ඊට දිය හැකි සරලම පිළිතුර වන්නේ ඒ ගැන සාක්ෂි බයිබලයේම අඩංගු වී තිබීමයි.
“අවුරුදු හැත්තෑව”
යෙරුසලම විනාශ වීමට අවුරුදු ගණනාවකට පෙර සිටි යුදෙව් අනාගතවක්තෘවරයෙක් වූ යෙරෙමියා මෙසේ සඳහන් කළා. “මුළු දේශයම පාළුවට යන්නේය. සියලුදෙනා එදෙස පුදුමයෙන් බලනු ඇත. මේ ජාතීන්ට වසර හැත්තෑවක් පුරා බැබිලෝනියේ රජුට සේවය කිරීමට සිදු වනු ඇත.” (යෙරෙමියා 25:1, 2, 11) ඔහු මෙසේද පැවසුවා. “යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘බැබිලෝනියේ ජීවත් වීමට නියම කර ඇති අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ විට මම ඔබව සිහි කරන්නෙමි. ඔබේ මව්බිමට ඔබව නැවත රැගෙන එන බවට මා දුන් පොරොන්දුව එදාට ඉෂ්ට කරන්නෙමි.’” (යෙරෙමියා 29:10) යෙරෙමියා සඳහන් කරන “අවුරුදු හැත්තෑව” ගැන සලකා බැලීම වැදගත් වන්නේ ඇයි? යෙරුසලමේ විනාශය සිදු වූ කාලය දැනගැනීමට ඉන් ඇති ප්‍රයෝජනය කුමක්ද?
යෙරෙමියා සඳහන් කරන්නේ බැබිලෝනි අධිරාජ්‍යය හා සම්බන්ධ අවුරුදු 70ක් ගැන මිස යුදෙව්වන් සම්බන්ධයෙන් නොවන බව සමහර විශාරදයන් පවසනවා. නමුත් ඉතිහාස තොරතුරුවලට අනුව, බැබිලෝනිවරුන් ක්‍රි.පූ. 609 සිට අවුරුදු 70ක පමණ කාලයක් යෙරුසලම පාලනය කර තිබෙනවා. ඒ, ක්‍රි.පූ. 539දී බැබිලෝනියේ අගනුවර වෙනත් ජාතියක් විසින් යටත් කරගන්නා තුරුයි.
කෙසේවෙතත් යෙරෙමියා සඳහන් කරන අවුරුදු 70 අදාළ වෙන්නේ දෙවිගේ සෙනඟ වන යුදෙව්වන්ට බව බයිබලයේ සඳහන් වෙනවා. දෙවිට කීකරු වන බවට ගිවිසුමකින් බැඳී සිටි ඔහුගේ සෙනඟ ඊට එකඟව ජීවත් නොවුණු නිසා දඬුවමක් ලෙස දෙවි ඔවුන්ව අවුරුදු 70කට වහලුන් ලෙස සිටීමට ඉඩහැරියා. (නික්මයාම 19:3-6) ඔවුන් ගත කරමින් සිටි නරක ජීවිතය අත්හරින්න ඔවුන් අකමැති වූ විට දෙවි මෙසේ පැවසුවා. ‘මම බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ව [එනම්, නෙබුකද්නෙෂර්ව] ගෙන්වාගන්නෙමි. මා එසේ කරන්නේ මේ දේශයටත් එහි වැසියන්ටත් දේශය අවට සිටින සියලු ජාතීන්ටත් විරුද්ධව ක්‍රියා කරන පිණිසය.’ (යෙරෙමියා 25:4, 5, 8, 9) බැබිලෝනිවරුන් සිදු කළ විනාශය නිසා යෙරුසලම අවට සිටි ජාතීන්ටත් දුක් විඳින්න සිදු වුණත් එම විනාශය ‘මාගේ සෙනඟ කළ වරදට ලැබුණු දඬුවමක්’ කියා දෙවි පැවසූ බව බයිබලයේ සඳහන් වෙනවා.—විලාප ගී 1:8; 3:42; 4:6.
යුදෙව්වන්ට එම අවුරුදු 70 තුළ දැඩි ලෙස දුක් විඳින්න සිදු වූ අතර යෙහෝවා දෙවි එම දඬුවම ලබා දීමට තෝරාගත්තේ බැබිලෝනිවරුන්වයි. කෙසේවෙතත් දෙවි, යුදෙව්වන්ට මෙසේද පැවසුවා. ‘අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ විට ඔබව ඔබේ මව්බිමට නැවත රැගෙන එන බවට මා දුන් පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.’ ඔවුන්ගේ මව්බිම වුණේ යෙරුසලමයි.—යෙරෙමියා 29:10.
‘අවුරුදු හැත්තෑවේ’ ආරම්භය
අවුරුදු 70 සම්බන්ධයෙන් යෙරෙමියා පැවසූ අනාවැකිය ඉටු වූ පසු ජීවත් වූ ඉතිහාසඥයෙක් වන එස්රා, නෙබුකද්නෙෂර් ගැන මෙසේ ලිව්වා. “කඩු පහරින් මිය නොගිය අයව ඔහු වහලුන් ලෙස බැබිලෝනියට ගෙන ගියේය. එසේ වහල්කමට ගිය සියලුදෙනා පර්සියාවේ රාජකීය පාලනය පටන්ගන්නා තෙක් ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් සේවය කළෝය. මෙසේ යෙහෝවා දෙවි යෙරෙමියා මාර්ගයෙන් පැවසූ දේ ඉටු විය. දේශය අවුරුදු සැත්තෑවක් පුරා පාළුව පැවතිණ. පාළුව පැවති සියලු දවස්වලදී දේශයේ වැසියන් කලින් නොපැවැත්වූ සෑම සබතක් වෙනුවෙන්ම දේශයට විවේකයක් දෙන ලදි.”—2 ලේකම් 36:20, 21.
එම අවුරුදු 70, සබත වෙනුවෙන් ‘දේශයට දුන් විවේකයක්’ ලෙස එස්රා සඳහන් කරනවා. ඉන් අදහස් කරන්නේ යූදා දේශයේ හා යෙරුසලමේ කිසිම වගා කටයුත්තක් සිදු නොවූ බවයි. (ලෙවී කතාව 25:1-5) දෙවිට අකීකරු වූ යුදෙව්වන් සබත් අවුරුදු නොපැවැත්වූවා විය හැකියි. ඔවුන්ට දුන් දඬුවමට දේශය අවුරුදු 70ක් පාළුව තිබීමත් අයත් වුණා.—ලෙවී කතාව 26:27, 32-35, 42, 43.
එය සිදු වුණේ කවදාද කියා දැන් අපි බලමු. නෙබුකද්නෙෂර් රජු දෙවතාවක් බැබිලෝනිය ආක්‍රමණය කළා. නමුත් යෙරෙමියා පැවසූ අනාවැකිය අදාළ වෙන්නේ පළමු ආක්‍රමණයට නොවෙයි. ඒ ඇයි? පළමු ආක්‍රමණයේදී නෙබුකද්නෙෂර් රජු සියලුම යුදෙව්වන්ව වහලුන් ලෙස බැබිලෝනියට රැගෙන ගියේ නැහැ. ඔහු දිලිඳු අයව එහි අත්හැර ගියා. ඒ වගේම ඔහු නගරය සහමුලින්ම විනාශ කළේද නැහැ. යෙරුසලමේ ඉතුරු වූ “දිලිඳුන්” අවුරුදු ගණනාවක් පුරා එහි ජීවත් වුණා. (2 රාජාවලිය 24:8-17) නමුත් ඉන්පසු විශාල වෙනසක් සිදු වුණා.
ඉතුරුව සිටි යුදෙව්වන් කැරලිගැසූ නිසා බැබිලෝනිවරුන් නැවත වතාවක් යෙරුසලම ආක්‍රමණය කළා. (2 රාජාවලිය 24:20; 25:8-10) ඔවුන් දේවමාලිගාවත් මුළු නගරයත් බිමට සමතලා කළා. එහි සිටි බොහෝදෙනෙකුව ඔවුන් වහලුන් ලෙස බැබිලෝනියට රැගෙන ගියා. වහලුන් ලෙස රැගෙන නොගිය ‘ලොකු කුඩා සියලුදෙනා ඇතුළු හමුදාපතීන්ද කල්දිවරුන්ට භය වී ඊජිප්තුවට පලා ගියා.’ (2 රාජාවලිය 25:25, 26) එය සිදු වූයේ යුදෙව් දිනදර්ශනයේ හත්වන මාසය වන තීෂ්රි (සැප්තැම්බර්/ඔක්තෝබර්) මාසයේයි. ඇත්තටම ඊශ්‍රායෙල් දේශයට සබත ආරම්භ වුණේ එනම් එහි කිසිම වගා කටයුත්තක් සිදු නොකර අත්හැර දැමුවේ එදා සිට බව පැවසිය හැකියි. ඊජිප්තුවට පලා ගිය යුදෙව්වන්ට දෙවි මෙසේ පැවසුවා. “මා යෙරුසලම පිටටත් යූදාහි සියලු නගර පිටටත් ගෙනා සෑම විපත්තියක්ම ඔබ දුටුවහුය. බලන්න! අද එහි ඉතුරු වී තිබෙන්නේ නටබුන් පමණි. මිනිස් පුළුටක්වත් එහි දක්නට නැත.” (යෙරෙමියා 44:1, 2) අවුරුදු 70ක කාල පරිච්ඡේදය ආරම්භ වුණේ එම සිද්ධියත් සමඟ බව ඉන් හොඳින්ම පැහැදිලි වෙනවා. එය සිදු වූයේ කුමන වසරේදීද? ඊට පිළිතුරු සොයා බැලීම සඳහා එම කාල පරිච්ඡේදය අවසන් වූ අවුරුද්ද දැනගැනීම වැදගත් වෙනවා.
“අවුරුදු හැත්තෑව” අවසන් වෙන්නේ කවදාද?
වහල්භාවයට රැගෙන ගිය අය අතර අනාගතවක්තෘ දානියෙල්ද සිටියා. ඔහු පර්සියානු අධිරාජ්‍යයේ මුල් කාලය දක්වා ජීවත් වුණා. ඔහු බැබිලෝනියේ සිටියදී යෙරෙමියා පැවසූ අවුරුදු 70 අවසන් වන්නේ කවදාද කියා ගණනය කළා. ඒ ගැන ඔහු මෙසේ වාර්තා කරනවා. “දානියෙල් වන මම අනාගතවක්තෘ යෙරෙමියාගේ ලියවිලි සෝදිසි කර බලා, යෙරුසලම කොපමණ කාලයක් පුරා පාළුවට යන්න ඉඩහැර තිබුණාද කියා තේරුම්ගත්තෙමි. යෙහෝවා දෙවි යෙරෙමියාට හෙළි කර තිබූ පරිදි එය අවුරුදු හැත්තෑවක් විය.”—දානියෙල් 9:1, 2.
එස්රාද යෙරෙමියාගේ අනාවැකි අධ්‍යයනය කරමින් මෙසේ ලිව්වා. “පර්සියාවේ රජු වූ සයිරස් පාලනය කළ පළමු අවුරුද්දේදී යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා දෙවි පැවසූ වචන ඉටු කරන පිණිස යෙහෝවා දෙවි සයිරස් රජුගේ සිත පෙලඹුවේය.” (2 ලේකම් 36:21, 22) යුදෙව්වන්ව නිදහස් කළේ කවදාද? “පර්සියාවේ රජු වූ සයිරස් පාලනය කළ පළමුවන අවුරුද්දේදී” එය සිදු වුණා. (“ඉතිහාසයේ සුවිශේෂී දවසක්” යන කොටුව බලන්න.) ක්‍රිස්තු පූර්ව 537 අගභාගයේදී යුදෙව්වන් යෙරුසලමට නැවත පැමිණ සැබෑ නමස්කාරය යළි ආරම්භ කිරීමට පියවර ගත්තා.—එස්රා 1:1-5; 2:1; 3:1-5.
බයිබලයේ සඳහන් කාල ගණිතයට අනුව අවුරුදු 70ක කාලය අවසන් වෙන්නේ ක්‍රි.පූ. 537දීයි. එදා සිට අවුරුදු 70ක් පසුපසට ගණනය කරන විට පැමිණෙන්නේ ක්‍රි.පූ. 607වෙනි අවුරුද්දටයි.
යෙරුසලමේ විනාශය සිදු වූයේ ක්‍රි.පූ. 607දී කියා බයිබලයේ පැහැදිලි සාක්ෂි තිබුණත් එය ක්‍රි.පූ. 587දී සිදු වූ බව බොහෝදෙනෙක් පිළිගන්නේ ඇයි? ඊට හේතුව ඔවුන් එම අවුරුද්ද තීරණය කිරීමට පැරණි ඉතිහාසඥයන්ගේ වාර්තා හා ටොලමිගේ ලියවිලි පදනම් කරගැනීමයි. නමුත් එම වාර්තා බයිබලයේ සඳහන් තොරතුරුවලට වඩා නිවැරදි ඒවාද? අපි දැන් ඒ ගැන සොයා බලමු.
පුරාණයේ සිටි ඉතිහාසඥයන්ගේ තොරතුරු නිවැරදිද?
යෙරුසලමේ විනාශය සිදු වූ කාලයට ආසන්න කාලයේ ජීවත් වූ ඉතිහාසඥයන් බැබිලෝනියේ රජවරුන් ගැන පළ කරන අදහස් විවිධාකාරයි.b (“ක්‍රිස්තු පූර්ව 645 සිට 539 අතර කාලයේ බැබිලෝනිය පාලනය කළ රජවරු” යන කොටුව බලන්න.) එම ඉතිහාසඥයන් සඳහන් කරන කාල වකවානු බයිබලයේ සඳහන් කාල වකවානු සමඟ එකඟ වෙන්නේ නැහැ. ඔවුන් සඳහන් කරන කාල වකවානු නිවැරදිද?
ඉතිහාසඥයෙක් වන බරාසස් ජීවත් වුණේ බැබිලෝනි අධිරාජ්‍යයේ අවසානයට ආසන්න කාලයේයි. ඔහු බෙල් දෙවියාගේ පූජකයෙක්. ඔහු ක්‍රි.පූ. 281දී පමණ බැබිලෝනිකා නමැති ලියවිල්ල සම්පාදනය කළා. එය දැන් සොයාගැනීමට නොහැකි වුණත් වෙනත් ඉතිහාසඥයන් ලියූ පොත්වල එම ලියවිලිවලින් උපුටාගත් තොරතුරු ඇතුළත් කර තිබෙනවා. එම පොත්වල සමහර කොටස් තවම තිබෙනවා. “බැබිලෝනිවරුන් හොඳින් සංරක්ෂණය කළ පොත්” අධ්‍යයනය කර තම ලියවිලි සැකසූ බව බරාසස් සඳහන් කර තිබෙනවා.1 නමුත් බරාසස් වාර්තා කළ තොරතුරු නිවැරදිද?
ඇසිරියානු රජ කෙනෙක් වූ සෙනකෙරිබ්, රජ බවට පත් වුණේ ඔහුගේ සහෝදරයාගෙන් පසුව බවත් ඔහුගෙන් පසු ඔහුගේ පුත් [ඒසර්හද්දොන්] අවුරුදු අටක් පාලනය කළ බවත් ඊට පසු ෂම්මුගස් අවුරුදු 21ක් පාලනය කළ බවත් බරාසස් සඳහන් කරනවා. නමුත් බරාසස්ට බොහෝ කලකට පෙර ලියූ බැබිලෝනි ලියවිලිවල සඳහන් වන්නේ සෙනකෙරිබ්ට රජකම ලැබුණේ ඔහුගේ පියා වන දෙවෙනි සර්ගොන්ගෙන් පසුව බවයි. ඒසර්හද්දොන් අවුරුදු අටක් නොව අවුරුදු 12ක් රජකම් කළ බවත් ෂම්මුගස් අවුරුදු 21ක් නොව අවුරුදු 20ක් රජකම් කළ බවත් එම ලියවිලිවල සඳහන් වෙනවා. විශාරදයෙක් වන ආර්. ජේ. වැන් ඩර් ස්පික් සඳහන් කරන ආකාරයට බරාසස් බැබිලෝනි ලියවිලි සෝදිසි කළත් ඔහුගේ පොතට “අමතර තොරතුරු හා ඔහුගේම අදහස් ඇතුළත් නොකර සිටියේ නැහැ.”2
වෙනත් විශාරදයන් බරාසස් ගැන පවසන්නේ කුමක්ද? බරාසස් ගැන හොඳ අධ්‍යයනයක් කළ එස්. එම්. බර්ස්ටීන් සඳහන් කරන්නේ මෙසේයි. “අතීතයේදී බරාසස්ව ඉතිහාසඥයෙක් ලෙස සැලකුවා. නමුත් ඔහුගේ දක්ෂතා ගැන නම් සෑහීමට පත් වෙන්න බැහැ. බැබිලෝනිකා කෘතියේ සමහර සුළු කාරණාවල පවා දෝෂ තියෙනවා. ඉතිහාසඥයෙක් ඒ වගේ වැරදි සිදු කරයි කියලා හිතාගන්නවත් බැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ බරාසස්ගේ අරමුණ වුණේ ඉතිහාසගත තොරතුරු වාර්තා කිරීම නෙවෙයි.”3
ඉහත සඳහන් තොරතුරුවලට අනුව ඔබ සිතන්නේ කුමක්ද? බරාසස්ගේ කාල වකවානු නිවැරදි විය හැකිද? බරාසස්ගේ කාල වකවානුවලට අනුව කාලය තීරණය කරන අනිකුත් ඉතිහාසඥයන්ගේ වාර්තා ගැන කියන්න පුළුවන් කුමක්ද? ඔවුන්ගේ වාර්තා සත්‍යය බව පැවසිය හැකිද?
ටොලමිගේ ලියවිලි
විශාරදයන් යෙරුසලමේ විනාශය ක්‍රි.පූ. 587දී සිදු වූ බව තහවුරු කිරීමට ක්‍රිස්තු වර්ෂ දෙවෙනි සියවසේ ජීවත් වූ ක්ලෝදියස් ටොලමිගේ ලියවිලිද පදනම් කරගන්නවා. ඔහු තාරකාවල පිහිටීම ගැන හැදෑරු කෙනෙක්. පුරාණ ඉතිහාසයේ කාල වකවානු ගණනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ ටොලමිගේ ලියවිලිවල රජවරුන්ව ලැයිස්තුගත කර ඇති අනුපිළිවෙළයි.
ටොලමි එම වාර්තාව සකස් කළේ බැබිලෝනි අධිරාජ්‍යය බිඳ වැටී අවුරුදු 600කට පමණ පසුවයි. එසේනම් ඔහුගේ ලැයිස්තුවේ සිටින මුල්ම රජ පාලනය කරන්න පටන්ගත් දිනය තීරණය කළේ කොහොමද? ඔහු එසේ කළේ චන්ද්‍ර ග්‍රහණ ඇතුළු තරුවල පිහිටීම අනුවයි. ඔහු ඒ සම්බන්ධව මෙසේ පැවසුවා. “අපි නැබොනසාර්ගේ පාලන කාලය දක්වා කාල වකවානු ගණනය කළා.” ඔහුගේ ලැයිස්තුවේ මුලින්ම සඳහන් වෙන්නේ නැබොනසාර්ගේ නමයි.4 බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ මහාචාර්ය ක්‍රිස්ටෝෆර් වෝකර්, ටොලමිගේ ලියවිලි ගැන මෙසේ සඳහන් කරනවා. ‘එය ලියා තිබෙන්නේ තාරකාවල පිහිටීම ගැන හදාරන අයට මූලාශ්‍රයක් ලෙස යොදාගැනීමට මිස රජවරුන්ගේ ආරම්භය හා ඔවුන් මිය ගිය දිනයන් ගැන ඉතිහාසඥයන්ට අවශ්‍ය නිවැරදි තොරතුරු සැපයීමට නොවෙයි.’5
ටොලමිට පක්ෂව කතා කරන තැනැත්තෙක් වන මහාචාර්ය ලියෝ ඩෙපාව්ට් මෙසේ පවසනවා. “එම ලියවිලි තාරකාවල පිහිටීම පැත්තෙන් නිවැරදි බව බොහෝ කාලයක් පුරා පිළිගෙන තිබෙනවා. නමුත් ඉන් අදහස් කරන්නේ එය ඉතිහාසය පැත්තෙන් නිවැරදි කියාම නොවෙයි.” ටොලමිගේ ලියවිලිවල සඳහන් රජවරු සම්බන්ධව ඔහු මෙසේ පැවසුවා.‘එහි සඳහන් රජවරුන්ගේ පාලන කාලය ගැන නිවැරදි තොරතුරු ලබාගැනීමට නම් එම ලැයිස්තුව මැටි පුවරුවල සඳහන් ලැයිස්තු සමඟ සන්සන්දනය කළ යුතුයි.’6
ටොලමිගේ ලියවිලි සන්සන්දනය කිරීමට තිබෙන මැටි පුවරු මොනවාද? බැබිලෝනියේ ඉතිහාසය, රජවරු හා වෙළඳ කටයුතු ගැන සඳහන් මැටි පුවරු ඊට ඇතුළත් වෙනවා. ඒවා ලියා තිබෙන්නේ බැබිලෝනි අධිරාජ්‍යයේ අවසාන භාගයේදී හෝ ඊට ආසන්න කාලයේදීයි.7
ටොලමිගේ වාර්තාවේ අඩංගු රජවරුන් සහ මැටි පුවරුවල සඳහන් රජවරුන් අතර සන්සන්දනයක් “ටොලමිගේ වාර්තා හා මැටි පුවරු අතර සන්සන්දනයක්” යන පහත ඇති කොටුවේ ඇතුළත් වෙනවා. කන්ඩාලානුගේ සිට නැබොනිඩස්ගේ පාලනය දක්වා කාලය අතරතුර බැබිලෝනිය පාලනය කළේ රජවරු හතරදෙනෙක් පමණක් බව ටොලමි සඳහන් කරනවා. කෙසේවෙතත් යූරාක්ගේ ලැයිස්තුවේ රජවරුන් හත්දෙනෙකුගේ නම් සඳහන් වෙනවා. ඔවුන් වැඩි කල් පාලනය නොකිරීම ඔවුන්ගේ නම් සඳහන් නොකිරීමට හේතු වුණාද? එසේ විය නොහැකියි. ඊට හේතුව එක් මැටි පුවරුවක සඳහන් කරන ආකාරයට ටොලමි සඳහන් නොකළ එක් රජ කෙනෙක් අවුරුදු හතක් පාලනය කර තිබීමයි.8
නැබොපොලසාර්ට කලින් තවත් රජ කෙනෙක් අවුරුදු හතරක් බැබිලෝනිය පාලනය කළ බව මැටි පුවරුවල සඳහන් තොරතුරුවලින් සාක්ෂි ලැබෙනවා. අවුරුද්දකට අධික කාලයක් බැබිලෝනි අධිරාජ්‍යයට කිසිම පාලකයෙක් නොසිටි බවටත් සාක්ෂි තිබෙනවා.9 ඒ සියලු තොරතුරු ටොලමිගේ ලියවිලිවල සඳහන් වෙන්නේ නැහැ.
ටොලමි එම පාලකයන් ගැන සඳහන් නොකරන්නේ ඇයි? ඔවුන් බැබිලෝනියේ රජ පෙළපතට අයත් අය නොවන බව ඔහු සිතන්න ඇති.10 උදාහරණයකට, ඔහු ලබාෂි-මාර්ඩුක්ව ඔහුගේ ලැයිස්තුවට ඇතුළත් කළේ නැහැ. නමුත් මැටි පුවරුවක සඳහන් තොරතුරුවලට අනුව ලබාෂි-මාර්ඩුක් විසින් බැබිලෝනිය පාලනය කර තිබුණා.
ටොලමිගේ ලියවිලි නිවැරදි බව සාමාන්‍යයෙන් බොහෝදෙනා පිළිගන්නවා. නමුත් ඉතිහාසය ගැන සමහර තොරතුරු ඔහු එහි ඇතුළත් කර නැති නිසා නිවැරදි තොරතුරු දැනගැනීමට ඔහුගේ වාර්තා කෙරෙහි විශ්වාසය තැබිය හැකිද?
පැමිණිය හැකි නිගමනය
යුදෙව්වන් අවුරුදු 70ක් බැබිලෝනියේ වහල්භාවයේ සිටි බවට පැහැදිලි සාක්ෂි බයිබලයේ තිබෙනවා. ඔවුන් ක්‍රි.පූ. 537දී නැවත යෙරුසලමට පැමිණි බවට සාක්ෂි තිබෙන අතර බොහෝ විශාරදයන් එය පිළිගන්නවා. එම වසරේ සිට අවුරුදු 70ක් පසුපසට ගණනය කළ විට යෙරුසලමේ විනාශය ක්‍රි.පූ. 607දී සිදු වූ බව ස්ථිරවම පැවසිය හැකියි. නමුත් පැරණි ඉතිහාසඥයන්ගේ වාර්තාවල සහ ටොලමිගේ ලියවිලිවල සඳහන් වෙන්නේ එය වෙනත් අවුරුද්දකදී සිදු වූ බවයි. කෙසේවෙතත් එම ලියවිලිවල නිවැරදිභාවය පිළිබඳ බොහෝ සැකයන් තිබෙනවා. බයිබලයේ සඳහන් කාල වකවානු වැරදි බව ඔප්පු කිරීමට තරම් සාක්ෂි ඉහත සඳහන් මූලාශ්‍රවලින් සොයාගත නොහැකියි.
සලකා බැලිය යුතු තවත් ප්‍රශ්න තිබෙනවා. යෙරුසලමේ විනාශය ක්‍රි.පූ. 607දී සිදු වූ බවට බයිබලයේ සඳහන් කරුණුවලට එකඟ තොරතුරු ඉතිහාසයෙන් සොයාගත හැකිද? ඇසින් දුටු සාක්ෂිකරුවන් ලියූ තොරතුරු සහිත මැටි පුවරුවලින් ඔප්පු වන්නේ කුමක්ද? ඒ සම්බන්ධ තොරතුරු ඊළඟ කලාපයෙන් අපි සාකච්ඡා කරමු.
[පාදසටහන්වල]
a එම අවුරුදු දෙකම ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. පහසුව පිණිස අප මෙහි සඳහන් කරන්නේ ක්‍රි.පූ. 587 පමණයි.
b බැබිලෝනි අධිරාජ්‍යයේ දෙවන අදියරයේ මුල්ම පාලකයා වූයේ නෙබුකද්නෙෂර්ගේ පියා වන නැබොපොලසාර්. එහි අවසන් පාලකයා වූයේ නැබොනිඩස්. ඔවුන් පාලනය කළ කාලයෙන් වැඩි ප්‍රමාණයක් යෙරෙමියා සඳහන් කරන අවුරුදු 70ට අයත් වුණා.
[28වන පිටුවේ කොටුව⁄පින්තූර]
ඉතිහාසයේ සුවිශේෂී දවසක්
දෙවන සයිරස් රජු ක්‍රි.පූ. 539දී බැබිලෝනිය යටත් කරගත් බව පැවසීමට පදනම් කරගන්නා සාක්ෂි කිහිපයක් පහත සඳහන් වෙනවා.
▪ පුරාණ ග්රන්ථ හා මැටි පුවරු: සයිරස්, පර්සියාවේ රජ බවට පත් වුණේ ‘පනස්පස්වන ඔලිම්පික් උලෙළෙන් පසු වසරෙයි’ කියා ඉතිහාසඥයෙක් වන සිසිලියේ ඩයොඩොරස් (ක්‍රි.පූ. 80-20 පමණ) ලිව්වා. (Historical Library Book IX, 21) එය සිදු වූයේ ක්‍රි.පූ. 560දීයි. සයිරස් “වසර විසිනවයක් පාලනය කළ පසු” ඔහුව ඝාතනය කළ බව ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරෝඩටස් ලිව්වා. ඒ අනුව ඔහුගේ පාලනයේ 30වෙනි අවුරුද්දේදී එනම් ක්‍රි.පූ. 530දී ඔහුව ඝාතනය කළ බව නිගමනය කළ හැකියි. (Histories, Book I, Clio) මැටි පුවරුවල සඳහන් වන්නේ සයිරස් රජ මිය යෑමට පෙර වසර නවයක් (එනම් ඔහුගේ පාලනයේ අවසන් වසර නවය) බැබිලෝනිය පාලනය කළ බවයි. ඔහු මිය ගියේ ක්‍රි.පූ. 530දී නිසා ක්‍රි.පූ. 539දී ඔහු බැබිලෝනිය යටත් කරගත් බව පැවසිය හැකියි.
තවත් සාක්ෂි: සයිරස් රජු ක්‍රි.පූ. 530දී මිය ගිය බව තාරකාවල පිහිටීම ගැන සඳහන් බැබිලෝනියානු මැටි පුවරුවකින් (BM 33066) තහවුරු වෙනවා. තාරකාවල පිහිටීම ගැන එහි සඳහන් තොරතුරුවල යම් දෝෂ තිබුණත් සයිරස්ගෙන් පසු රජ වූ ඔහුගේ පුත් දෙවන කැම්බිසස්ගේ පාලනයේ හත්වන අවුරුද්දේ චන්ද්‍ර ග්‍රහණ දෙකක් සිදු වූ බව එහි සඳහන් වෙනවා. බැබිලෝනි නගරයටද ක්‍රි.පූ. 523 ජූලි 16වෙනිදා හා ක්‍රි.පූ. 522 ජනවාරි 10වෙනිදා චන්ද්‍ර ග්‍රහණ දර්ශනය වූ බව සඳහන් වෙනවා. ඒ අනුව කැම්බිසස්ගේ පාලනයේ හත්වන අවුරුද්ද ආරම්භ වන්නේ ක්‍රි.පූ. 523දීයි. එසේනම් ඔහුගේ පාලනයේ පළමුවන අවුරුද්ද ක්‍රි.පූ. 529 බව පැහැදිලියි. මේ සියලු තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ සයිරස් රජුගේ පාලනයේ අවසන් වසර ක්‍රි.පූ. 530 බව හා ඔහු බැබිලෝනිය යටත් කරගත්තේ ක්‍රි.පූ. 539දී බවයි.
[හිමිකම් විස්තර]
Tablet: © The Trustees of the British Museum
[31වන පිටුවේ කොටුව]
සාරාංශයක්
▪ යෙරුසලම විනාශ වුණේ ක්‍රි.පූ. 587දී කියා බොහෝ ඉතිහාසඥයන් පවසනවා.
▪ යෙරුසලම විනාශ වුණේ ක්‍රි.පූ. 607දී කියා පැවසීමට ඕනෑ තරම් සාක්ෂි බයිබලයේ තිබෙනවා.
▪ ඉතිහාසඥයන් නිගමනවලට පැමිණෙන්නේ පුරාණ ඉතිහාසඥයන්ගේ ලියවිලිවල සහ මැටි පුවරුවල තිබෙන තොරතුරු පදනම් කරගෙනයි.
▪ පුරාණ ඉතිහාසඥයන්ගේ වාර්තාවල විවිධ දෝෂ තිබෙනවා. එම වාර්තා හා මැටි පුවරුවල සඳහන් තොරතුරු එකඟ නොවන අවස්ථාද තිබෙනවා.
[31වන පිටුවේ කොටුව]
පොත පත
1. Babyloniaca (Chaldaeorum Historiae), Book One, 1.1.
2. Studies in Ancient Near Eastern World View and Society, page 295.
3. The Babyloniaca of Berossus, page 8.
4. Almagest, III, 7, translated by G. J. Toomer, in Ptolemy’s Almagest, published 1998, page 166. සෑම වසර 18කට වරක් එකම ආකාරයේ චන්ද්‍ර ග්‍රහණය සිදු වන බව බැබිලෝනිය තාරකාවල පිහිටීම ගැන හදාරන්නන් අවබෝධ කරගත්තා. ඒ නිසා අතීතයේ හා අනාගතයේ චන්ද්‍ර ග්‍රහණ සිදු වන කාල වකවානු තීරණය කිරීමට ඔවුන් ගණිත ක්‍රමයක් සාදාගත් බව ටොලමි දැන සිටියා.—Almagest, IV, 2.
5. Mesopotamia and Iran in the Persian Period, pages 17-18.
6. Journal of Cuneiform Studies, Volume 47, 1995, pages 106-107.
7. පුරාණයේ ජනයා ත්‍රිකෝණාකාර හැඩයෙන් යුත් විවිධ සලකුණු මැටි පුවරු මත සලකුණු කළා. ඒවා ක්යුනීෆෝර්ම් ලෙස හඳුන්වනවා.
8. සින්-ෂරා-ඉෂ්කුන් රජු වසර හතක් පාලනය කළා. එම වසර හත තුළ ඔහු කළ දේවල් ඇතුළත් මැටි පුවරු 57ක් සොයාගෙන තිබෙනවා. Journal of Cuneiform Studies, Volume 35, 1983, pages 54-59.
9. C.B.M. 2152 ලෙස නම් කර ඇති මැටි පුවරුවේ අෂූර්-ඉටෙල්-ඉලානි රජුගේ හතරවන වසර කියා සඳහන් වී තිබෙනවා. (Legal and Commercial Transactions Dated in the Assyrian, Neo-Babylonian and Persian Periods—Chiefly From Nippur, by A.T. Clay, 1908, page 74.) නැබොනිඩස්ගේ ශිලා ලේඛනයේ (H1B) තිස්වන පේළියේ අෂූර්-ඉටෙල්-ඉලානි රජුව නැබෝපොලසාර් යන නමට කලින් සඳහන් කර තිබෙනවා. (Anatolian Studies, Vol. VIII, 1958, pages 35, 47.) කිසිම රජ කෙනෙක් පාලනය නොකළ කාලය ගැන දැනගැනීමට Chronicle 2, line 14, of Assyrian and Babylonian Chronicles, 87-88 පිටු බලන්න.
10. “ඇසිරියාවේ රජ කෙනෙක්” කියා සඳහන් රජවරුන්ගේ නම් ටොලමි ඉවත් කර ඇති බව විශාරදයන් පවසනවා. නමුත් 30වෙනි පිටුවේ ඇති කොටුවේ සඳහන් ලෙස ටොලමිගේ ලියවිලිවල “ඇසිරියාවේ රජ කෙනෙක්” ලෙස හඳුන්වා තිබෙන රජවරුන්ගේ නම්ද තිබෙනවා. අෂූර්-ඉටෙල්-ඉලානි, සින්-ෂුමු-ලිෂිර්, සහ සින්-ෂරා-ඉෂ්කුන් යන රජවරු බැබිලෝනිය පාලනය කළ බව මැටි පුවරු සහ වෙනත් ලියවිලිවල සඳහන් වෙනවා.
[29වන පිටුවේ වගුව⁄පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
ක්‍රිස්තු පූර්ව 645 සිට 539 අතර කාලයේ බැබිලෝනිය පාලනය කළ රජවරු
මෙහි සඳහන් ඉතිහාසඥයන්ගේ දත්ත නිවැරදි නම් ඒවා එකිනෙකට පටහැනි වෙන්නේ ඇයි?
රජවරුන්
නැබොපොලසාර්
බරාසස් ක්‍රි.පූ. 350 පමණ-270 (21)
පොලිහිස්ටොර් ක්‍රි.පූ. 105-? (20)
ජොසිෆස් ක්‍රි.ව. 37-100 ? (—)
ටොලමි ක්‍රි.ව. 100 පමණ-170 (21)
දෙවන නෙබුකද්නෙෂර්
බරාසස් ක්‍රි.පූ. 350 පමණ-270 (43)
පොලිහිස්ටොර් ක්‍රි.පූ. 105-? (43)
ජොසිෆස් ක්‍රි.ව. 37-100 ? (43)
ටොලමි ක්‍රි.ව. 100 පමණ-170 (43)
ආමෙල්-මාර්ඩුක්
බරාසස් ක්‍රි.පූ. 350 පමණ-270 (2)
පොලිහිස්ටොර් ක්‍රි.පූ. 105-? (12)
ජොසිෆස් ක්‍රි.ව. 37-100 ? (18)
ටොලමි ක්‍රි.ව. 100 පමණ-170 (2)
නෙරිග්ලිසාර්
බරාසස් ක්‍රි.පූ. 350 පමණ-270 (4)
පොලිහිස්ටොර් ක්‍රි.පූ. 105-? (4)
ජොසිෆස් ක්‍රි.ව. 37-100 ? (40)
ටොලමි ක්‍රි.ව. 100 පමණ-170 (4)
ලබාෂි-මාර්ඩුක්
බරාසස් ක්‍රි.පූ. 350 පමණ-270 (9 මාස)
පොලිහිස්ටොර් ක්‍රි.පූ. 105-? (—)
ජොසිෆස් ක්‍රි.ව. 37-100 ? (9 මාස)
ටොලමි ක්‍රි.ව. 100 පමණ-170 (—)
නැබොනිඩස්
බරාසස් ක්‍රි.පූ. 350 පමණ-270 (17)
පොලිහිස්ටොර් ක්‍රි.පූ. 105-? (17)
ජොසිෆස් ක්‍රි.ව. 37-100 ? (17)
ටොලමි ක්‍රි.ව. 100 පමණ-170 (17)
(#) = ඉතිහාසඥයන්ට අනුව රජවරුන්ගේ පාලන කාලයන්
[හිමිකම් විස්තර]
Photograph taken by courtesy of the British Museum
[30වන පිටුවේ වගුව⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
ටොලමිගේ වාර්තා හා මැටි පුවරු අතර සන්සන්දනයක්
ටොලමි සමහර රජවරුන් ගැන සඳහන් කරන්නේ නැහැ. ඒ ඇයි?
ටොලමිගේ වාර්තාවල සඳහන් රජවරු
නැබොනසාර්
නබු-නඩින්-සෙරි (නාඩිනු)
මුකින්-සෙරි සහ පුල්
උලුලායු (පස්වන ෂල්මනෙසෙර්) “ඇසිරියාවේ රජ”
මෙරොදක්-බලදාන්
දෙවන සර්ගොන් “ඇසිරියාවේ රජ”
පාලකයෙක් නොසිටි මුල් අවදිය
බෙල්-ඉබ්නි
අෂූර්-නඩින්-ෂුමි
නෙරිගල්-උෂෙසිබ්
මුෂෙසිබ්-මාර්ඩුක්
පාලකයෙක් නොසිටි දෙවන අවදිය
ඒසර්-හද්දොන් “ඇසිරියාවේ රජ”
ෂමෂ්-ෂුමා-උකින්
කන්ඩාලානු
නැබොපොලසාර්
නෙබුකද්නෙෂර්
ආමෙල්-මාර්ඩුක්
නෙරිග්ලිසාර්
ලබාෂි-මාර්ඩුක්
නැබොනිඩස්
සයිරස්
කැම්බිසස්
යූරාක්හිදී සොයාගත් මැටි පුවරුවක සඳහන් රජවරුන්ගේ ලැයිස්තුව
කන්ඩාලානු
සින්-ෂුමු-ලිෂිර්
සින්-ෂරා-ඉෂ්කුන්
නැබොපොලසාර්
නෙබුකද්නෙෂර්
ආමෙල්-මාර්ඩුක්
නෙරිග්ලිසාර්
නැබොනිඩස්
[පින්තූරය]
බැබිලෝනියානු මැටි පුවරු උපයෝගී කරගෙන ටොලමිගේ වාර්තා නිවැරදිද කියා දැනගත හැකියි
[හිමිකම් විස්තර]
Photograph taken by courtesy of the British Museum
[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Photograph taken by courtesy of the British Museum