“දෙවිගේ වචනය පිළිපදින්නෝ”—යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව 2000
1 “මහත් සභාවේදී ඔබට ස්තුතිකරන්නෙමි. බොහෝ සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරන්නෙමි.” (ගීතා. 35:18) අපගේ සමුළුවලදී දෙවිගෙන් ඉගෙනගැනීමට සාමකාමීව එකට එක්රැස් වී සිටින දහස්ගණන්දෙනාව දාවිත් අද දැක්කා නම්, ඔහු මොනතරම් ප්‍රීතියෙන් උද්දාමයට පත් වෙයිද! “දෙවිගේ අනාවැකිමය වදන්” දිස්ත්‍රික් සමුළුවට පැමිණ සිටි 4,881දෙනා අතර ඔබත් සිටියාද? වසර 2000 පැවැත්වීමට සැලසුම් කර තිබෙන සමුළු මගින්, යෙහෝවාට ප්‍රශංසා කරන සෙසු ඇදහිලිවන්තයන් සමඟ එක්රැස් වීමේ තවත් ප්‍රස්තාවක් අපිට ලැබෙන්න යනවා. “තමන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සාවධානව” සිටින මෙම ප්‍රශංසා කරන්නන් ‘ආත්මය සභාවලට කියන දේවල් සවන් දීමට’ මහත් ආශාවෙන් සිටිනවා.—මතෙ. 5:3; එළි. 2:29; NW.
2 නවාතැන්: මෙම දිස්ත්‍රික් සමුළුව සඳහා තමන්ට අවශ්‍ය කරන නවාතැන් පහසුකම්, හැකි සියලුදෙනාම පෞද්ගලික මට්ටමින් පිළියෙළ කරගැනීමට සැලසුම් කරන මෙන් අපි දිරිගන්වන්න කැමතියි. හුඟදෙනෙක් මිතුරන්ගේ හා නෑදෑයන්ගේ නිවෙස්වල නතර වේවි. තානායම්වල හෝ හෝටල්වල නතර වෙන්න තවත් අය තීරණය කරන්න පුළුවන්. කොහොමවුණත්, ප්‍රවාහණ හා නවාතැන් පහසුකම් පිළියෙළ කරගැනීමේදී බොහෝ දුෂ්කරතාවලට නිතර මුහුණ දෙන අයට, නවාතැන් සපයාගැනීමේදී සමිතිය හා සමුළු කාමර අංශය කලින් අවුරුදුවලදී සහාය වූවාක් මෙන් මේ වතාවේදීත් සහය වන්න කැමතියි. මෙම සැපයුම පිළියෙළ කර තිබෙන්නේ, සභාවේ සේවා කමිටුව විසින් අනුමත කර තිබෙන හොඳ ස්ථාවරයක සිටින ප්‍රචාරකයන් හා උනන්දුව දක්වන අය සඳහා පමණයි. ඔවුන්ට දරුවන් සිටිනවා නම්, ඔවුන් හොඳින් හැසිරෙන අය විය යුතුයි. සමුළුව පවත්වන ස්ථානය සඳහන් කරමින් මේ සඳහා කරන ඉල්ලුම් හැකි විගස නවාතැන් අංශයට එවිය යුතුයි.
3 විශේෂ අවශ්‍යතා තිබෙන අය කෙරෙහි සැලකිල්ල දැක්වීම: වයසක අයගේ, දුබල අයගේ, පූර්ණ-කාලීන සේවයේ නියුතු අයගේ හා උපකාරය අවශ්‍ය කරන වෙනත් අයගේ තත්වයන් ගැන දන්න නෑදෑයන්, වැඩිමහල්ලන් සහ වෙනත් අයට පුළුවන් ඔවුන්ට ප්‍රේමනීයව උපකාර කරන්න.—1 තිමෝති 5:4 සසඳන්න.
4 දවස් තුනේම යන්න සැලසුම් කරන්න: ආත්මික දේවලට අවධානය දීමෙන් ඔබව වළක්වන්න සාතන් උත්සහ කර තිබෙනවාද? හුඟාක් සහෝදර සහෝදරියන් හා ඔවුන්ගේ පවුල්වල අය ජීවනදායක ආත්මික ආහාර ගැනීම අතපසු කර තිබීම කනගාටුවට කරුණක්. ඔවුන් අතපසු කර තිබෙන්නේ කොහොමද? සිකුරාදා ඔවුන් සමුළුවට එන්නේ නැහැ. සිකුරාදා දවසේ වැඩසටහනින් සැපයෙන ආත්මික උපදෙස් හා සෙසු සහෝදරයන් සමඟ ඇසුරු කිරීමට ලැබෙන ප්‍රස්තාවෙන් සමහර සහෝදරයන් ප්‍රයෝජන නොගන්න බව පෙනී ගොස් තිබෙනවා.
5 තමන්ගේ ස්වාමියා ළඟට ගොස් සමුළුවට යෑම සඳහා නිවාඩු ඉල්ලන්න සමහර සහෝදරයන් පසුබට විය හැකියි. ඔබත් මේ තත්වයට මුහුණ දී සිටිනවාද? මේ ගැන යෙහෝවාට යාච්ඤා කර, පසුබට නොවී ඔබේ අවශ්‍යතාව ගැන ස්වාමියා සමඟ කතා කිරීම හොඳ අදහසක් නොවේද? මේ හා සමාන තත්වයක සිටි නෙහෙමියා අද්දුටු යහපත් ප්‍රතිඵල සිහියට නඟන්න. (නෙහෙ. 2:1-6) අපේ ස්වර්ගික පියා ඔබට උපකාර කරන්න සූදානමින් සිටින බවට ඇදහිල්ල ඇතුව සිටින්න. ඔබ රාජ්‍යය හා සම්බන්ධ කාරණාවලට මුල් තැන දෙනවා නම්, ඔහු ඔබේ අවශ්‍යතා සපයන්න යනවා.—මතෙ. 6:32ආ, 33.
6 අපේ සමුළු ඔබට බලපාන්නේ කෙසේද? එක් සහෝදරියක් මෙසේ ලිව්වා: “1999 පැවැත්වූ සමුළුව වෙනුවෙන් ඔබට ස්තුති කරන්න කැමතියි. අවුරුද්දකට වතාවක් මට දකින්න ලැබෙන සහෝදරයන් එක්ක ආශ්‍රය කිරීමෙන් මම හුඟාක් සතුටක් ලබනවා. මට සත්‍යය දැනගන්න ලැබුණේ නහඹර වියේදී. එතකොට මම ගැබිණියක්. මගේ බයිබල් පාඩම කරපු කෙනා එක්ක මම ගිය මුල්ම සමුළුවේදී මට දැනුණ සතුට තාමත් මතකයි. එළිමහන් ක්‍රීඩාංගණයේ ඉඳන් ‘දසදහස් වර දසදහස් සොහොයුරන්’ කියන ගීතිකාව කියද්දී, අහසේ වලාකුළු දිහා බලාගෙන මම ඇඬුවා. ‘මං වටේට ඉන්න මේ මිනිස්සු කොච්චර හොඳද! ඒ හැමදෙනාම වගේ මාවත් යෙහෝවාට මොනතරම් වටිනවාද’ කියලා මම මටම කියාගත්තා. යෙහෝවාට පූර්ණ ලෙස සේවය කරන්න මම එදාම තීරණය කළා.” මොනතරම් හැඟීම් දනවනසුලු අද්දැකීමක්ද! යෙහෝවාගේ පවිත්‍ර සෙනඟ සමඟ ඇසුරු කරන්න ලැබීම ඇත්තෙන්ම ප්‍රීතිමත් අවස්ථාවක් නොවේද?
7 අවසාන දවස්වල අවසාන භාගයේ අපි ජීවත් වන නිසා, වාර්ෂිකව පවත්වන අපේ දිස්ත්‍රික් සමුළු අපිට වෙන කවරදාටත් වඩා අවශ්‍යයි. දිස්ත්‍රික් සමුළු, අපේ ආත්මික නිරෝගිකම හා සමබරතාව දිගටම පවත්වාගැනීම සඳහා යෙහෝවා දී තිබෙන සැපයුමක්. එනිසා, මේ අවුරුද්දේ පවත්වන “දෙවිගේ වචනය පිළිපදින්නෝ” නමැති දිස්ත්‍රික් සමුළුවේ දවස් තුනටම යෑමට අදිටන් කරගන්න. ඔබේ මේ අධිෂ්ඨානය ඉටු කරගන්න පුළුවන් කොහොමද? සමුළුවේ සම්පූර්ණ වැඩසටහනටම යෑම සඳහා කල් වේලා ඇතුව ඔබේ ස්වාමියාගෙන් නිවාඩු ඉල්ලාගන්න. ඔබට මුදල් හිඟයක් තිබෙනවා නම්, සමුළුවට යන්න අවශ්‍ය කරන මුදල් දැන්ම ඉතිරි කරන්න. තිබෙන බාධා ජයගැනීමට උපකාර ඉල්ලා යෙහෝවාට යාච්ඤා කරන්න. ඔබ මේ දේවල් කරනවා නම්, ඔබේ සහෝදර සහෝදරියන් සමඟ ප්‍රීතිමත් ඇසුරක් භුක්ති විඳීමේ හා අපේ ප්‍රේමනීය ස්වර්ගික පියා වන යෙහෝවාගෙන් පැමිණෙන සදාකාල ජීවනයේ වචනවලට සවන් දීමේ ප්‍රස්තාව දෙස ඔබට මහත් ආශාවෙන් බලා සිටිය හැකියි.—යොහන් 6:68 සසඳන්න.
[3වන පිටුවේ කොටුව]
වැඩසටහනේ වේලාවන්
සිකුරාදා සහ සෙනසුරාදා
පෙ.ව. 9:30 - ප.ව. 5:00
ඉරිදා
පෙ.ව. 9:30 - ප.ව. 4:00