“ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව 2002
1 “යෙහෝවාගේ ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂ වීමි.” (ගීතා. 122:1) ගීතිකාකරු කළ ඉහත ප්‍රකාශය පරීක්ෂා කර බලමු. එහිදී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්න. (1) යෙහෝවාට නමස්කාර කිරීම සඳහා එක් වෙන්න කියා ගීතිකාකරුට ආරාධනා කරනු ලැබූ විට ඔහුට හැඟුණු ආකාරය, (2) සැබෑ නමස්කාරය ගැන ඉමහත් උනන්දුවක් දැක්වූ අය සමඟ ඔහු පැවැත්වූ යහපත් ඇසුර සහ (3) එකට එකතු වී දෙවිගේ ගෘහයට ගමන් කිරීම ඇතුළුව කළ යුතුව තිබූ සැලසුම්.
2 අපේ ඊළඟ සමුළුව සඳහා සැලසුම් සකස් කරමින් තිබෙනවා කියා අපට ඇසෙන විට අප තුළ ඇති වන හැඟීම් ගීතිකාකරුගේ වදන්වලින් ප්රතිරාවය කරන්නේ නැද්ද? පසුගිය සමුළුවලදී අප ලැබූ ප්‍රීතිය ගැන මතක් වෙන විටත් අප මෙන් යෙහෝවාට ප්‍රේම කරන සෙසු ඇදහිලිවන්තයන් සමඟ නැවතත් විශේෂ අවස්ථාවකදී එක්රැස්වීම ගැන සිතන විටත් ඉමහත් ප්‍රීතියක් අපි අද්දකිනවා. වසර 2002දී පවත්වනු ලබන “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” නමැති තෙදින දිස්ත්‍රික් සමුළුව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. දැන් තියෙන්නේ එම ආත්මික මංගල්‍යයට යෑමටත් එයින් උපරිම ප්‍රයෝජන ගැනීමටත් හැකි වන පරිදි සැලසුම් සකස් කරගැනීමයි.
3 මේ සමුළුවේදී බෙදාහැරීම සඳහා “විශ්වාස වූ නුවණ ඇති ගබඩාකාරයා” කාලෝචිත ආත්මික ආහාර සූදානම් කර තිබෙනවා. (ලූක් 12:42) මේ ලිපිය සමඟ තිබෙන කොටුවේ සඳහන් කර තිබෙන පරිදි සෑම සභාවක්ම යම් සමුළුවකට සම්බන්ධ කර තිබෙනවා. මීට අමතරව සහෝදරයන් බොහෝදෙනෙක් සමුළුවේ විවිධ අංශ සංවිධානය කිරීමට පටන්ගෙන තිබෙන අතර, මෙය “සියල්ල ඔබිනා ලෙසද පිළිවෙළින්ද [කිරීමට]” දායක වෙයි. (1 කොරි. 14:40) අපේ ප්‍රයෝජනය සහ පහසුව සඳහා දැනටමත් බොහෝ දේවල් සූදානම් කර හමාරයි. සමුළුවට සූදානම් වීම සඳහා අපට පෞද්ගලිකව කළ හැකි දේවල් මොනවාද?
4 දවස් තුනටම යන්න සැලසුම් කරන්න: සමුළුවේ දවස් තුනටම යෑම සඳහා ඔබේ ස්වාමියාගෙන් නිවාඩු ඉල්ලන්න අවශ්‍යද? සමහර ස්වාමිවරුන් “රළු” බව යෙහෝවාත් දන්නවා. (1 පේතෘ. 2:18) නමුත් අපේ සමුළු ඉතාමත් වැදගත්. අපිට අවශ්‍ය වන්නේ මුළු වැඩසටහනටම යෑම සඳහා හැකි සෑම වෑයමක්ම දැරීමයි. යහපත් ප්‍රතිඵලයක් ලැබීම සඳහා යෙහෝවාගේ මඟ පෙන්වීම ඉල්ලා මේ ගැන ඔහුට යාච්ඤා කරන්න.—නෙහෙ. 2:4.
5 සභාව දෙස හොඳින් බලන්න: ශාරීරික හෝ ද්‍රව්‍යමය අවශ්‍යතාවක් නිසා සහෝදරයෙකුට හෝ සහෝදරියකට සමුළුවට යන්න අමාරු බව අපි දන්නවා නම්, ප්‍රේමය පෙන්වීමෙන් හා යම් උපකාරයක් කිරීමෙන් අපට ‘පුළුල් විය’ [NW] හැකිද? (2 කොරි. 6:12, 13; ද්වි. 15:7) දෙවන කොරින්ති 8:14හි පාවුල් සහෝදරයන්ව දිරිමත් කළේ එම ස්ප්‍රීතුව වර්ධනය කරගැනීමටයි. ඔබත් එක්ක සමුළුවට යන්න එන්න කියා එවැනි අයට ආරාධනා කරන්න ඔබ කැමතිද? ඔවුන් පුරෝගාමීන් නම් සමුළුවට යන ගමන් ඔබත් එක්ක බෙදාගන්න හොඳ අද්දැකීම් ඔවුන්ට තියෙන්න පුළුවන්. දිගු කාලයක සිට ඔවුන් සභාවේ සිටින අය නම්, දිව්‍යාණ්ඩු ඉතිහාසය ගැන ඔබ කවදාවත් අසා නැති අපූර්ව තොරතුරු ඔවුන් ළඟ තිබිය හැකියි. මෙවැනි සහෝදර සහෝදරියන් සමඟ ඇසුරු කිරීමෙන් ඔබටත් ඔබේ පවුලේ අයටත් ඇති වන්නේ යහපත් බලපෑමක් නොවේද? ඔබේ ත්‍යාගශීලීකම ඔවුන් අගය කරාවි. ඒ වගේම ඔබට යෙහෝවාගේ ආශීර්වාදත් අත් වෙයි.—හිතෝ. 28:27; මතෙ. 10:42.
6 විශේෂ අවශ්‍යතා තිබෙන අයව බලාගැනීමේ මූලික වගකීම තිබෙන්නේ ඔවුන්ගේ ක්‍රිස්තියානි ඥාතීන්ට වුණත්, වැඩිමහල්ලන් ඇතුළු සභාවේ සිටින අනිත් අයටත් පුළුවන් ප්‍රේමනීය ලෙස එවැනි අයට උපකාර කිරීම සඳහා කටයුතු පිළියෙළ කරන්න. (1 තිමෝ. 5:4) කාමර ඉල්ලුම් කිරීමේ අයදුම් පත් සභාවේ සේවා කමිටුවට ලැබුණු පසු, එම කමිටුව අදාළ අයදුම් පත් කාමර අංශයට යවන්න කලින් එක් එක් අයදුම්කරුවාගේ සුදුසුකම් ගැන සලකා බැලිය යුතුයි. ලේකම් තමන්ගේ දුරකථන අංකය එම අයදුම් පතේ සඳහන් කළ යුතුයි. මෙසේ කිරීමෙන් යම් ප්‍රශ්නයක් තිබේ නම්, ඒ ගැන ඔහුගෙන් විමසීමට කාමර අංශයට හැකියි. අනුමත කළ අයදුම් පත් අයදුම් පතේ සඳහන් සමුළුවේ ලිපිනයට තැපැල් කරන්න.
7 ස්වේච්ඡා සේවකයන් ලෙස කැමැත්තෙන්ම ඉදිරිපත් වන්න: විවිධ අංශවල කටයුතු හොඳින් කරගෙන යෑම සඳහා සමුළුව පවත්වන දවස්වල ස්වේච්ඡා සේවකයන් සිය ගණනක් අවශ්‍යයි. ක්‍රීඩාංගණයේ සහ රථවාහන ගාල් කරන ස්ථානයේ සිටින පරිවාරකයන් පැමිණෙන අයව ආසන කරා මඟ පෙන්වන අතර අපේ වාහනද බලාගනියි. නමස්කාර කිරීම සඳහා යොදාගන්න තාවකාලික ස්ථානය අපි බාරගන්න කලින් තිබුණාට වඩා පිරිසිදුව තැබීමෙන් පිරිසිදුකම ගැන අපි ලබා තිබෙන හොඳ නම රැකගැනීම, පිරිසිදු කිරීමේ අංශයට හිමි වන වරප්‍රසාදයක්. මේ අංශයට හෝ අපේ සහය අවශ්‍ය කරන වෙනත් අංශවලට සහය වෙන්න අපට පුළුවන්ද? ඔබේ සහෝදරයන් සමඟ “උරෙන් උර ගැටී” සේවය කරන්න ඔබ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවාද?—ශෙප. 3:9, NW.
8 ඔබ කරන දේවල් ඇත්තෙන්ම මිනිසුන්ගේ අවධානයට ලක් වේද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ පාඩම් කිරීම අවුරුදු 20කට කලින් නතර කර තිබූ මිනිසෙක් පසුගිය වසරේ දිස්ත්‍රික් සමුළුව පැවත්වූ කාලයේදී හෝටලයක වැඩ කරමින් සිටියා. නැවතත් බයිබල් පාඩම පටන්ගෙන රැස්වීම්වලට යන්න දැන් තමන් කල්පනා කරන බව ඔහු සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුට පැවසුවා. ඔහු එසේ කල්පනා කළේ ඇයි? සමුළුවට පැමිණි සාක්ෂිකරුවන් හෝටලයේදී ඔහුට ප්‍රේමනීය ලෙස සැලකූ නිසයි.
9 හෝටලයක වැඩ කරන නිලධාරියෙක් අපේ සහෝදරයන් ගැන මෙසේ පැවසුවා. “ඔයාලාගේ කණ්ඩායම තමයි අපේ හෝටලයේ නතර වෙන හොඳම අය. ඔයාලාගේ අය හරිම ඉවසිලිවන්තයි. ආචාරශීලීයි.” යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙම උපදෙස දුන්නා. “මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්ට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.” අපි එම උපදේශය පිළිපදිනවා අපේ ස්වර්ගික පියා දකිද්දී ඒ ගැන ඔහු මොනතරම් ආඩම්බර වේවිද!—මතෙ. 5:16.
10 යෙහෝවාගේ නමස්කාර ගෘහයට යෑමට මහත් ආශාවෙන් සිටි දාවිත් රජුගේ ආකල්පයම අපත් විදහාපෙන්වමු. අපේ දිස්ත්‍රික් සමුළු ආත්මික ආහාර බෙදාහැරීමේ අතිවැදගත් මාධ්‍යයක් වන අතර ප්‍රේමනීය සහෝදර ඇසුරක් සඳහා වෙන කිසිවකින් ලැබිය නොහැකි ප්‍රස්තාවක්ද එමගින් අපට ලබා දෙයි. මේ නිසා මේ වසරේ පවත්වනු ලබන “ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” දිස්ත්‍රික් සමුළුවේ දවස් තුනේ සෑම සැසිවාරයකටම පැමිණීම සඳහා සැලසුම් සකස් කරගැනීමට දැන්ම පටන්ගන්න කියා මහත් ඕනෑකමින් ඔබට ආරාධනා කරන්න කැමතියි.
[Caption on page 3]
වැඩසටහනේ වේලාවන්
සිකුරාදා සහ සෙනසුරාදා
පෙ.ව. 9:30 - ප.ව. 5:00
ඉරිදා
පෙ.ව. 9:30 - ප.ව. 4:00
[Caption on page 4]
“ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයෝ” සමුළුව පවත්වන දින හා ස්ථාන
2002 අගෝස්තු 16-18
කොළඹ, ප්‍රේමදාස ක්‍රීඩාංගණය, ඛෙත්තාරාම පාර, කොළඹ 14
භාෂා: ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ (සංඥා භාෂාවෙන්ද තිබේ)
චාරිකා: 1A, 1B, 2A, 2B, 3A, 3B, 3C, 4A, 4B, 4D
[Caption on page 4]
2002 අගෝස්තු 30–සැප්තැම්බර් 1
යාපනය, වීරසිංහම් ශාලාව, යාපනය
භාෂාව: දෙමළ
චාරිකා: 4C