“දෙවිව මහිමවත් කරන්න” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව 2003
1 යෙහෝවා ඔහුගේ විශ්වාසවන්ත අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් මෙසේ අණ කළේය. “මාගේ සෙනඟෙනි, මට ඇහුම්කන් දෙන්න. මාගේ ජනයෙනි, මට කන් යොමු කරන්න.” (යෙසා. 51:4) වඩ වඩා අන්තරාදායක වන මේ අන්තිම කාලයේදී යෙහෝවාගේ ආඥාවලට ඇහුම්කන් දීම වෙන කවරදාටත් වඩා වැදගත් බවට ඔබ එකඟ වන්නේ නැද්ද? අප යෙහෝවාට ‘කන් යොමු කරන’ එක් ආකාරයක් වන්නේ නමස්කාරය සඳහා එකට එක්රැස් වන්න කියා ඔහු දී තිබෙන ආඥාවට කීකරු වීමයි. වාර්ෂිකව පවත්වනු ලබන අපගේ දිස්ත්‍රික් සමුළු පැමිණෙන තෙක් අප බලා සිටින්නේ මොන තරම් ආශාවකින්ද! යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය 2003දී දිස්ත්‍රික් සමුළු ගණනාවක් ලොව පුරා පැවැත්වීමට නැවත වරක් කටයුතු යොදා ඇත.
2 වසර 2002 ජූලි 1 මුරටැඹ සඟරාවේ සඳහන් වූ පරිදි තෝරාගත් නගර කිහිපයක ජාත්‍යන්තර සමුළුද පවත්වනු ඇත. මේ සමුළුවලට ලොව නන් දෙසින් නියෝජිතයන් පැමිණෙනු ඇත. එනමුත් සියලුම දිස්ත්‍රික් සමුළුවලද ජාත්‍යන්තර ස්වරූපයක් දකින්න ලැබේවි. බොහෝ ස්ථානවලදී පවත්වනු ලබන සමුළුවලට මිෂනාරිවරුන් පැමිණෙන අතර ඔවුන්ගේ අද්දැකීම් සමහරකට සවන් දීමට අවස්ථාවක් ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අපගේ සමුළුව සඳහා දැන් කටයුතු සකස් කරමින් පවතී. මෙයින් පූර්ණ ප්‍රයෝජන ගැනීම සඳහා අපට කුමක් කළ හැකිද?
3 සෑම දවසකම පැමිණෙන්න: විශ්වාසවන්ත වූ නුවණ ඇති දාසයා මාර්ගයෙන් සපයනු ලබන මෙම වැඩසටහනින් පූර්ණ ප්‍රයෝජන ගැනීමට නම් සෑම දවසකටම කෙසේ හෝ යෑමට අප කටයුතු සකස් කරගත යුතුයි. (මතෙ. 24:45) සමුළුවේ දවස් තුනටම යෑම සඳහා ඔබේ ස්වාමියාගෙන් ඔබ නිවාඩු ඉල්ලිය යුතුද? පවුරු නැවත ගොඩනැඟීම සඳහා යෙරුසලමට යෑමට අර්තක්ෂස්තා රජුගෙන් අවසර ඉල්ලීමට කලින් නෙහෙමියා ‘ස්වර්ගයේ සිටින දෙවිට යාච්ඤා කළේය.’ (නෙහෙ. 2:4) ඒ හා සමානව ඔබත් සමුළුවේ දවස් තුනටම යෑමට ඔබේ ස්වාමියාගෙන් නිවාඩු ඉල්ලීම සඳහා ධෛර්යය ලබා දෙන මෙන් යෙහෝවාට යාච්ඤා කළ යුතුයි. ඔබේ ස්වාමියා නිවාඩු ලබා දීමට අකමැති නම් කුමක් කිව හැකිද? අපේ සමුළුවලදී අපි ඉගෙනගන්න දේවල් අවංක, කඩිසර හා විශ්වාසවන්ත සේවකයන් වීමට අපට උපකාරවත් වන බව පැහැදිලි කර දීමෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්න ඉඩ තිබේ. මීට අමතරව, අපේ පවුලේ සාමාජිකයන් ඇදහිල්ලේ නැත්නම්, හැකි විගස සමුළුවට යෑම සඳහා අප කර තිබෙන සැලසුම් ඔවුන්ට දැන්වීම ප්‍රේමණීය දෙයක් වනු ඇත.
4 නවාතැන් පිළියෙළ කිරීම: බොහෝදෙනෙක් අවුරුදු ගණනාවක සිට කොළඹට පැමිණෙන අතර කොළඹ හෝ ඒ අවට ප්‍රදේශවල මිතුරන් ඔවුන්ට සිටිත්. සමුළුව පවත්වන දවස්වලදී රාත්‍රියේ එම මිතුරන්ගේ නිවෙස්වල නතර වීමට ඔවුන්ට හැකියි. නවාතැන් පෞද්ගලිකව සොයාගන්න පුළුවන් අයට එසේ සොයාගන්න කියා දිරිගන්වන්න කැමතියි. මුල් වතාවට උතුරෙන් පැමිණෙන අයගේ හා විශේෂ අවශ්‍යතාවක් තිබෙන අයගේ නවාතැන් අවශ්‍යතා කෙරෙහි පූර්ණ සැලකිල්ල දැක්වීමට කාමර අංශයට එමගින් අවස්ථාව ලැබෙනු ඇත. කාමර ඉල්ලුම් කිරීමේ පෝර්ම කිහිපයක් තව ටික දවසකින් සෑම වැඩිමහල් මණ්ඩලයකටම යවනු ලැබේ. නවාතැන් ඉල්ලුම් කරන අයට කාමර අංශය මාර්ගයෙන් අවශ්‍ය උපකාර ලබා දීමට ලේකම්ට පුළුවනි.
5 නවාතැන් ඉල්ලුම් කරමින් ප්‍රචාරකයන් ලබා දෙන ඉල්ලුම් පත් සියල්ලම සභාවේ සේවා කමිටුව විසින් සලකා බලනු ලැබේ. එක් එක් ඉල්ලීම නිර්දේශ කරනවාද නැද්ද කියා පෝර්මයේ තිබෙන මඟ පෙන්වීම් සලකා බලමින් සේවා කමිටුව තීරණය කළ යුතුයි. මෙවන් සැපයුමක් පිළියෙළ කර තිබෙන්නේ හොඳ ස්ථාවරයක සිටින ප්‍රචාරකයන් හා මනා ලෙස හැසිරෙන ඔවුන්ගේ දරුවන් සඳහාය. යම් කාමර ඉල්ලුමක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් කාමර අංශය ඒ ගැන සභාවේ ලේකම්ගෙන් විමසනු ඇත.
6 විශේෂ අවශ්‍යතා තිබෙන අයට උපකාර කිරීම: සමුළුවට යෑම සඳහා උපකාර අවශ්‍ය විය හැකි අය ඔබේ සභාවේ සිටිනවාද? වයසක හෝ දුර්වල සෞඛ්‍යකින් පසු වන අයගේ හෝ පූර්ණ කාලීන සේවයේ හවුල් වන අයගේ විශේෂ අවශ්‍යතා ගැන සැලකිල්ල දැක්වීම මූලිකව පැවරෙන්නේ ඔවුන්ගේ ඥාතීන්ට වුණත් එවැනි අයගේ තත්වයන් ගැන දන්න සභාවේ වැඩිමහල්ලන්ට හා වෙනත් අයට ප්‍රේමණීය උපකාරය සපයන්න පුළුවනි.
7 මහ කොළඹ බලප්‍රදේශය ඇතුළත ආගන්තුක සත්කාරය පෙන්වීම: අපේ ප්‍රේමණීය සහෝදර සහෝදරියන් බොහෝදෙනෙකු කොළඹට පැමිණෙන්නේ මුල් වතාවටයි. අවුරුදු ගණනාවක් පුරා අවතැන් වී සිටින ඔවුන්ගෙන් සමහරදෙනෙකු දිලිඳුය. කොළඹ යෑම ගැන සිතන විට ඔවුන්ට යම් ප්‍රමාණයක බියක් දැනිය හැකියි. නැත්නම් තමන් අතරමං වේ දෝ කියා හැඟී යා හැකියි. ඔවුන්ට උපකාර ලබා දිය හැක්කේ කෙසේද? බොහෝදෙනෙකු ක්‍රිස්තියානි ප්‍රේමය සහ ආගන්තුක සත්කාරය පෙන්වන බව අපි දනිමු. ඇත්තෙන්ම ආගන්තුක සත්කාරය ලබා දෙන අය මෙන්ම ලබන අයද සන්තෝෂයක් ලබනු ඇත. අවශ්‍ය කරන්නේ කුමන ආකාරයේ උපකාරයක්ද කියා දැන්වීම සඳහා කාමර අංශය ඇතැම් සභාවල ලේකම්වරුන්ව ඇමතිය හැකියි. උපකාර කිරීම සඳහා ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබ කරන බව අපි දනිමු. අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා ආගන්තුක සත්කාරය පිරිනැමිය හැකි සභාවලට පෝර්මයක් යවා තිබේ. එමෙන්ම ආගන්තුකයන් ලෙස කොළඹට පැමිණෙන සභාවලටද වෙනස් පෝර්මයක් යවා ඇත.
8 අප සිටින්නේ රංග භූමියකය: යෙහෝවාගේ සාක්ෂිකරුවන් හා මේ ලෝකයේ වෙසෙන මිනිසුන් අතර වෙනසක් ජනයා දකිනවාද? ඇත්තෙන්ම වෙනසක් දකී. නවාතැන් සපයන ස්ථානවල කළමනාකරුවන් පැවසූ මේ වදන් සලකා බලන්න. “අපි විවිධ සමුළුවලට පැමිණි අයට ඉඳුම් හිටුම් සපයලා තියෙනවා. ඒ වුණත් ඉතාමත් සහයෝගශීලී හා කරුණාවන්ත අය ඔයාලයි.” “ඔයාලාගේ උපකාරය හා සහයෝගය අපට ලැබෙන එක ගැන සැකයක් නැහැ.” “ඉහළින් පැමිණෙන ප්‍රඥාව” අපේ පෞද්ගලිකත්වය කෙරෙහි හිතකර බලපෑමක් ඇති කරන ආකාරය තේරුම්ගැනීමට එම අදහස් දැක්වීම් අපට උපකාර වනවා නොවේද? (යාකො. 3:17) ‘අපි ලෝකය ඉදිරියෙහි රංග භූමියක ප්‍රදර්ශනයක් මෙන් වී සිටින’ නිසා සෑම අවස්ථාවකදීම අපේ හැසිරීම මගින් අපේ දෙවි යෙහෝවාගේ මහිමය හා තේජස පිළිබිඹු කරමු.—1 කොරි. 4:9, NW.
9 ‘මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙමින් පවතින’ නිසා දිස්ත්‍රික් සමුළු අපට අවශ්‍යයි. (1 කොරි. 7:31, NW) මන්ද ආත්මික කාරණා කෙරෙහි සිත යොමු කර තබාගැනීමට ඒවා අපට උපකාරවත් වන බැවිනි. සෑම දවසකම යෑම සඳහා කටයුතු සැලසුම් කිරීමට වෑයම අවශ්‍යයි. එනමුත් ඒ සඳහා දරන ඕනෑම වෑයමක් වටී. “දෙවිව මහිමවත් කරන්න” නමැති තේමාවෙන් යුත් මෙවර දිස්ත්‍රික් සමුළුව පිළියෙළ කර තිබෙන්නේ සාතන්ගේ ලෝකය යෙහෝවා විනිශ්චය කරන තෙක් අප බලා සිටින අතරේදී දිගටම ආත්මිකව ස්ථිරව සිටීමට අපට උපකාර කිරීමේ අරමුණ ඇතුවයි. මෙම සමුළුවේදී යෙහෝවා අපට උගන්වන දේවලට සවන් දීමෙන් අපව වැළැක්වීමට කිසිම දෙයකට ඉඩ නොදීමට අදිටන් කරගනිමු.—යෙසා. 51:4, 5.
[Box on page 3]
වැඩසටහනේ වේලාවන්
සිකුරාදා සහ සෙනසුරාදා
පෙ.ව. 9:30 - ප.ව. 5:00
ඉරිදා
පෙ.ව. 9:30 - ප.ව. 4:05
[Box on page 4]
“දෙවිව මහිමවත් කරන්න” දිස්ත්‍රික් සමුළුව පැවැත්වෙන දින හා ස්ථානය
අගෝස්තු 15-17, 2003
කොළඹ, ප්‍රේමදාස ක්‍රීඩාංගණය, ඛෙත්තාරාම පාර, කොළඹ 14
භාෂා: සිංහල, දෙමළ, ඉංග්‍රීසි (සහ සංඥා භාෂාව)
චාරිකා: ශ්‍රී ලංකාවේ සියලුම චාරිකා