අප්‍රියෙල්—යහපත් ක්‍රියා ගැන ජ්වලිත වීමට අවස්ථාවක්!
1 යම් ප්‍රදේශයකට දරුණු සුළි සුළඟක් හමන බවට ලක්ෂණ කල්තියා දැනගත් විට, ඒ ප්‍රදේශයේ සිටින මිනිසුන්ට සිදුවීමට යන අනතුර ගැන දැනුම් දීම ඉක්මනින් කළ යුතුයි. සුළි සුළඟ ආසන්න වෙද්දී අනතුරු ඇඟවීම අවධාරණයෙන් යුතුව වැඩි වැඩියෙන් කළ යුතුයි. මොකද මිනිසුන්ගේ ජීවිත අනතුරේ! සමහර අයට කලින් කළ අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් දෙන්න අවස්ථාවක් නොලැබුණා විය හැකියි. තවත් අයට අනතුරු ඇඟවීම ගැන අහන්න ලැබුණත්, ඔවුන් ඒ ගැන පියවරක් නොගෙන ඉන්න පුළුවන්. මේ දේවල් දිව්‍ය අනතුරු ඇඟවීම සම්බන්ධයෙන්ද සැබෑවක් වෙනවා. දෙවිගේ ධර්මිෂ්ඨ කෝපය නමැති “සුළිසුළඟ” මේ දුෂ්ට ලෝකය මතට හමන්න කලින්, ඒ ගැන අනතුරු ඇඟවීමේ වැඩය අපිට පවරා තිබෙනවා. (හිතෝ. 10:25) මිනිසුන් බිලියන ගණනකගේ සදාකාල ජීවිතය අනතුරේ! විනාශය ගැන අනතුරු ඇඟවිය යුතුමයි. අපි “යහපත් ක්‍රියා ගැන ජ්වලිත” සෙනඟක් විය යුතුයි.—තීතස් 2:11-14.
2 දශක ගණනාවක සිට යෙහෝවාගේ සෙනඟ සිහි කිරීමේ කාලයේදී දේවසේවයෙහි තමන්ගේ ජ්වලිතය කැපීපෙනෙන ආකාරයෙන් පෙන්වීමට පෙලඹී තිබෙනවා. වර්ෂ 1939දී ඉන්ෆෝමන්ට්හි පළ වූ ලිපියක (කලින් අපගේ රාජ්‍ය සේවාව හැඳින්වූයේ මේ නමිනි) මෙම දිරිගැන්වීම කර තිබුණා: “කාලගුණය හොඳ නිසා, [සභා] ප්‍රචාරකයන් දේවසේවයෙහි යොදවන පැය ගණන දෙගුණයකින් වැඩි කරයි කියාද, පුරෝගාමීන් වාර්තා කරන පැය ගණන කැපීපෙනෙන ලෙස වැඩි වෙයි කියාද අපි බලාපොරොත්තු වෙනවා. අප්‍රියෙල් මාසයේ සති අන්ත පහක් තිබෙනවා. අප්‍රියෙල් මාසයේ හැම ඉරිදාවක්ම හා සෙනසුරාදාවක්ම සාක්ෂි දැරීම සඳහා විශේෂයෙන්ම යොදවන්න.” මෙය අවුරුදු 60කට කලින් සහෝදර සහෝදරියන් ඉදිරියෙහි තැබූ අභියෝගාත්මක ඉලක්කයක්! වර්ෂ 1939දී වගේ මේ අවුරුද්දේ අප්‍රියෙල් මාසයේද සති අන්ත පහක් තිබෙනවා. මේ මාසය සඳහා ඔබේ සැලසුම් මොනවාද? අප්‍රියෙල් මාසය සඳහා ඔබ දින දර්ශනයේ මොන වගේ දේවල් සටහන් කර තිබෙනවාද? ආත්මික ක්‍රියාකාරකම්වල වැඩියෙන් හවුල් වන මේ විශේෂ මාසයේදී, යෙහෝවාගේ සෙනඟ සමඟ එක්ව අර්ථවත් ලෙස යහපත් ක්‍රියා සඳහා ජ්වලිතයක් විදහාපෙන්වීමට සැලසුම් කරන්න.
3 අපි ඉටු කරගැනීමට බලාපොරොත්තු වන දේවල්: වර්ෂ 2000 වැදගත්ම දිනය යෙදී තිබෙන්නේ මේ මාසයෙයි. එනම් යේසුස්ගේ මරණය සිහි කිරීම යෙදී තිබෙන අප්‍රියෙල් 19වනදායි. හැකි තරම් පිරිසකට සිහි කිරීමට ආරාධනා කරන්න විශේෂ වෑයමක් දරමු. පසුගිය මාසයේ අපි යෝජනා කළා වගේ සිහි කිරීමට පැමිණෙයි කියා ඔබ සිතන සෑම කෙනෙකුවම ඇතුළත් කරමින් නම් ලැයිස්තුවක් සකස් කරන්න. කිසිවෙකුව මඟහැරී නැති බවට සහතික වන්න. අක්‍රියාශීලී ප්‍රචාරකයන්, බයිබල් ශිෂ්‍යයන්, නැවත බැලීම්වල අය, කලින් පාඩම් කළ අය, රැකියා කරන ස්ථානයේ හා පාසැලේ සිටින මිතුරන්, අසල්වාසීන්, නෑදෑයන් හා දන්නා හඳුනන වෙනත් අයව ඒ ලැයිස්තුවට ඇතුළත් කරන්න පුළුවන්. සිහි කිරීමට පැමිණීමට කැමැත්තෙන් සිටින අයට ප්‍රවාහණ පහසුකම් සලසාගත හැකිද? එසේ නොහැකි නම්, ඔවුන්ට ප්‍රේමනීයව උපකාර කරන්න ඔබට පුළුවන්ද? සිහි කිරීමට පැමිණෙන අයව උණුසුම් ලෙස පිළිගැනීම අපි සෑම කෙනෙකුටම තිබෙන වරප්‍රසාදයක්. සිහි කිරීමට පැමිණි උනන්දුව දක්වන අයව පසු දවසක හමු වී, ඔවුන්ට තවත් ආත්මිකව උපකාර කිරීමට සැලසුම් කළ හැකියි.
4 යෙහෝවා අපි වෙනුවෙන් කර තිබෙන දේවල් සඳහා අපේ අගය පෙන්විය හැකි කදිම මාර්ගයක් වන්නේ සිහි කිරීමට කලින් හා පසු දවස්වල ‘යහපත් ක්‍රියාවල ජ්වලිතව’ හවුල් වීමයි. සාමාන්‍යයෙන් යහපත් කාලගුණයක් තිබෙද්දී ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයෙහි වැඩියෙන් හවුල් වන්න පුළුවන්. ඔබ උපකාරික පුරෝගාමී සේවයේ යෙදෙනවා නම්, දේවසේවයෙහි පැය 50ක් හෝ ඊට වැඩි කාලයක් යෙදවීම සඳහා ඔබේ උපරිමය කරන්න ඔබ කැමති විය හැකියි. (මතෙ. 5:37) මාසයේ මුල සිටම ඔබේ කාලසටහනට ඇලී සිටින්න. (දේශ. 3:1; 1 කොරි. 14:40) අපගෙන් සමහරෙකුට පුරෝගාමී සේවයේ හවුල් විය නොහැකි වුවත්, අපට පුළුවන් පුරෝගාමීන්ව දිරිගැන්වීමෙන් හා ඔවුන් සමඟ ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමෙන් ඔවුන්ට සහය වන්න. (2 රාජාවලිය 10:15, 16 සසඳන්න.) අපි අප්‍රියෙල් මාසයේදී ජ්වලිතව යහපත් ක්‍රියාවල හවුල් වෙනවා නම්, අපිට යෙහෝවාගේ ආශීර්වාද සමඟින් මහත් ප්‍රීතියක් භුක්ති විඳිය හැකියි. (මලා. 3:10) සමහරවිට මේ මාසය දිගටම උපකාරික හෝ ස්ථාවර පුරෝගාමී සේවයෙහි නිරත වීමට අඩිතාලමක් විය හැකියි. එසේ නම්, අප්‍රියෙල් මාසයේදී අප ලබන ආත්මික තල්ලුව, රාජ්‍ය ප්‍රචාරකයන් වශයෙන් ඉදිරි මාසවලද නිතිපතා අප කිරීමට යන සේවයට බලපෑමක් වේවා කියා පතමු.
5 දහස් ගණනක් යෙහෝවාගේ සෙනඟ මේ මාසයේදී නිවාස බයිබල් පාඩම් වැඩි ගණනක් ආරම්භ කරන්න යන බව ස්ථිරයි. ඔබත් ආසද එක පාඩමක්වත් පටන්ගන්න? බයිබල් පාඩමක් ගැන යාච්ඤාවේදී විශේෂයෙන් සඳහන් කර, ඔබේ යාච්ඤාවලට එකඟව ක්‍රියා කරන්න. අවංක හදවත් ඇති කෙනෙකුව සොයාගෙන ඔහුට ඉගැන්වීමට උපකාර කරන්න කියා ඔබ කරන යටහත් ඉල්ලීම්වලට යෙහෝවා සවන් දෙන බවට ඔබට නිසැක විය හැකියි.—1 යොහන් 3:22.
6 සංවාද ඇරඹීමේදී සාර්ථක වී තිබෙන ඉදිරිපත් කිරීමක් මතු දැක්වෙනවා. ඔබට මේ විදිහට සංවාදය ආරම්භ කරන්න පුළුවන්: “අද පාසැල්වල සිදු වෙන ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට හේතුව යක්ෂයාගේ බලපෑම්ද නැත්නම් දෙමාපියන් දරුවන්ව හරියාකාරව පුහුණු නොකිරීමද?” ප්‍රතිචාරයට ඉඩහරින්න. “යක්ෂයාගේ බලපෑම” කියා ගෙවැසියා උත්තර දෙයි නම්, එළිදරව් 12:9, 12 කියවා, ගැටලුවලින් පිරි ලෝකයක් ඇතිවීමට යක්ෂයා හේතුවක් වී තිබෙන ආකාරය කැපීපෙනෙන්න සලස්වන්න. අනතුරුව ඕනෑ කරන්නේ විවරණිකාවේ 4වන පාඩමට පෙරළා, යක්ෂයාගේ මූලාරම්භය ගැන කවදා හෝ ඔහු කල්පනා කර තිබෙනවාද කියා අසන්න. මුල් ඡේද දෙක කියවා සාකච්ඡා කරන්න. පාසැල්වල තිබෙන ප්‍රචණ්ඩත්වයට හේතුව “දෙමාපියන් දරුවන්ව හරියාකාරව පුහුණු නොකිරීම” කියා ගෙවැසියා උත්තර දෙයි නම්, 2 තිමෝති 3:1-3 දක්වා කියවා, මේ ගැටලුවට හේතු වන ගතිලක්ෂණ පෙන්වා දෙන්න. අනතුරුව ඕනෑ කරන්නේ විවරණිකාවේ 8වන පාඩමට පෙරළන්න. එහි 5වන ඡේදය කියවා සාකච්ඡා කරන්න. ඔබ උනන්දුව දක්වන පුද්ගලයාව නැවත හමුවීමට නිශ්චිත දවසක් හා වේලාවක් නියම කරගෙන එදිනට යනවා නම්, නිවාස බයිබල් පාඩමක් පටන්ගැනීමට ඇති හැකියාව වැඩියි. ඔහු ඉගෙනගනිමින් සිටින දේවල් ගැන දැනගන්න කැමති ඔහු දන්න තවත් අය ඉන්නවාද කියා පසු අවස්ථාවක අසන්න.
7 අප්‍රියෙල් මාසයේදී ‘යහපත් ක්‍රියා ගැන ජ්වලිතය’ විදහාපෙන්විය හැකි තවත් මාර්ගයක් නම් සාක්ෂි දැරීමේ විවිධ අංගවල හවුල් වීමයි. අවිධිමත් සාක්ෂි දැරීමෙහි හවුල් වීමට තිබෙන ඉඩ ප්‍රස්තා ගැන ඔබ කල්පනා කර තිබෙනවාද? බස් නැවතුම්පොළක හෝ දුම්රිය ස්ථානයක සාක්ෂි දැරීම ගැන ඔබ කල්පනා කර තිබෙනවාද? එසේ නැතහොත් දූරකථනය යොදාගනිමින් සාක්ෂි දැරීමට හා ව්‍යාපාරික ප්‍රදේශවල මෙන්ම වීදිවල සාක්ෂි දැරීම අත්හදා බලන්න ඔබ කැමතිද? මේ මාසයේදී සාක්ෂි දැරීමේ මේ අංගවල නිරත වීම හොඳ අදහසක් නොවේද? මේ සඳහා අවශ්‍ය කරන නිර්භීතකම වඩවාගැනීමට යෙහෝවා ඔබට උපකාර කරයි. (ක්‍රියා 4:31; 1 තෙස. 2:2ආ) සාක්ෂි දැරීමේ මේ අංගවල අද්දැකීම් ලත් පුරෝගාමියෙකු හෝ ප්‍රචාරකයෙකු සමඟ හවුල් වීමට දවසක් නියම කරගන්න ඔබට පුළුවන්.
8 යමෙක් සාක්ෂි දැරීමෙහි හවුල් වීම වැඩි කරගන්න කැමති නම්, අවිධිමත් සාක්ෂි දැරීමෙහි හවුල් වීම ඔහුගේ ආශාව වනවාට සැකයක් නැහැ. බොහෝ අවස්ථාවලදී අවශ්‍ය වන්නේ පුද්ගලයෙකු සමඟ මිත්‍රශීලී ලෙස යමක් සාකච්ඡා කිරීමයි. වැඩිදෙනෙක් උනන්දුවක් දක්වන කාරණයක් ගැන ප්‍රශ්නයක් නඟන්න. මේ සඳහා හයවන ඡේදයේ සඳහන් ඉදිරිපත් කිරීමද යොදාගත හැකියි. තත්පරයක්වත් අපතේ නොයවා, එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට වෑයම් කරන්න. අවිධිමත් සාක්ෂි දැරීම සඳහා විනාඩි පහක්, දහයක් හෝ පැය කාලක් ප්‍රයෝජනවත් අයුරින් යෙදවීමට උත්සාහ කර බැලීම හොඳ අදහසක් නොවේද?
9 මෙනෙහි කිරීමට කාලයක්: පසුගිය අවුරුද්දේ පැවැත්වූ “දෙවිගේ අනාවැකිමය වදන්” නමැති දිස්ත්‍රික් සමුළුවේ පෙන්වූ අපේ ආත්මික උරුමය අගය කිරීම නමැති තේමාවෙන් යුත් නාට්‍යයෙන් ඉදිරිපත් කළ මූලික දේවල් නැවත මතක් කරගන්න. යාකොබ්ගේ සහ ඒසව්ගේ එකිනෙකට වෙනස් ගතිලක්ෂණ ගැන පරෙස්සමින් සිතා බැලීමට එය අපව දිරිගැන්වූවා. යාකොබ් මෙන් තමාත් ආත්මික දේවල් ගැන උනන්දු වන බව ඒසව් කිව්වත් ඔහුගේ ක්‍රියාවලින් ඒ බව දකින්න ලැබුණේ නැහැ. (උත්. 25:29-34) අද අපිට එය මොනතරම් ප්‍රබල අනතුරු ඇඟවීමක්ද! යාකොබ් වගේ අපිත් යෙහෝවාගේ ආශීර්වාද අත් කරගැනීමට මහත් පොරබැදීමක් කරමු. (උත්. 32:24-29) අපි කවදාවත් අපේ වටිනා ආත්මික උරුමය සුළු කොට නොතකන බව පෙන්වමින්, අප්‍රියෙල් මාසයේදී මෙන්ම ඊට පසු මාසවලදීද අපේ ජ්වලිතය අඩුවීමට ඉඩ නොදී දිගටම තබාගනිමු.
10 “[යෙහෝවාගේ] මහත් දවස ළංව තිබේ, ඒක, . . . ළංව ඉතා ඉක්මනට එන්නේය.” (ශෙප. 1:14) රාජ්‍යයේ ශුභාරංචිය දස දෙස පැතිරවිය යුතුයි. ජීවිත අනතුරේ! මේ මාසය යෙහෝවාගේ සියලුම සේවකයන් මහත් ආශීර්වාද ලබන කාලයක් වේවා! අපි සියලුදෙනාම “යහපත් ක්‍රියා ගැන ජ්වලිත” සෙනඟක් බව පෙන්වමු.
[4වන පිටුවේ කොටුව]
සිහි කිරීම ගැන මතක් කිරීම්
මේ අවුරුද්දේ සිහි කිරීම යෙදී තිබෙන්නේ අප්‍රියෙල් 19වන බදාදාටයි. වැඩිමහල්ලන් මතු දැක්වෙන කාරණාවලට අවධානය යොමු කළ යුතුයි:
◼ සිහි කිරීමේ උත්සවය පවත්වන වේලාව නියම කරගැනීමේදී, හිරු බැසයෑම සිදු වන තෙක් සංකේත අතිනත නොයවන බවට සහතික වන්න.
◼ උත්සවය පවත්වන නියමිත වේලාව හා ස්ථානය, කථිකයා ඇතුළු සෑම කෙනෙකුටම දැනුම් දිය යුතුයි.
◼ සුදුසු වර්ගයේ රොටි සහ මුද්‍රිකපානය ලබාගෙන සූදානම් කර තබාගත යුතුයි.—1985 සැප්තැම්බර් 1, මුරටැඹ සඟරාවේ 18වන පිටුව බලන්න.
◼ පිඟන්, වීදුරු, සුදුසු මේසයක් මෙන්ම මේස රෙද්දක් ශාලාවට ගෙනැවිත්, කලින්ම නියමිත ස්ථානයේ තැබිය යුතුයි.
◼ රාජ්‍ය ශාලාව හෝ සිහි කිරීම පවත්වන වෙනත් ස්ථාන කලින්ම හොඳින් පිරිසිදු කළ යුතුයි.
◼ පරිවාරකයන්ව හා සංකේත අතිනත යවන්නන්ව තෝරාගෙන, නිවැරදි ක්‍රියාපිළිවෙළ සහ ඔවුන්ගේ වගකීම් ගැන කලින්ම පැහැදිලිව කියා දිය යුතුයි.
◼ අසනීපව සිටින හා පැමිණිය නොහැකි ආලේප ලත් අයට සංකේත ලබා දීමට කටයුතු පිළියෙළ කළ යුතුයි.
◼ එකම රාජ්‍ය ශාලාව සභා එකකට වැඩි ගණනක් භාවිත කරන්න සැලසුම් කර තිබෙනවා නම්, ප්‍රවේශ ශාලාවේ, ඇතුල් වෙන තැන්වල, පොදු මාවත්වල හා රථ වාහන නවතා තබන ස්ථානයේ අනවශ්‍ය ලෙස තදබදයක් ඇති නොවීම සඳහා සභාවන් අතර හොඳ සම්බන්ධීකරණයක් තිබිය යුතුයි.