ප්‍රචාරකයන් වීමට ශිෂ්‍යයන්ට උපකාර කරන්න
1 හැකි පමණ දෙනෙකුට ගෝලයන් වීමට උපකාර කරන්න කියා යේසුස් තම මුල් ගෝලයන්ට පැවරුමක් දුන්නා. (මතෙව් 28:19, 20) පසුව එම නවක ගෝලයන්ද මේ කාර්යයේ හවුල් විය යුතු වුණා. මෙම අන්තිම කාලයේ ලොව පුරා ශුභාරංචිය දේශනා කිරීමේ අවසන් අදියරට පදනම දමනු ලැබුවේ එලෙසයි.—මතෙ. 24:14.
2 අපේ බයිබල් ශිෂ්‍යයන් වන්නේ අපේම දරුවන් හෝ බයිබලයේ සඳහන් දේ ගැන උනන්දුවක් දක්වන අය විය හැකියි. අපේ අවංක ආශාව නම් යේසුස්ගේ ගෝලයන් වීමට වෙනත් අයට උපකාර කිරීම සඳහා අපේ ශිෂ්‍යයන්ව පුහුණු කිරීමයි.—ලූක් 6:40.
3 සාක්ෂි දැරීමට ඔවුන්ව පුහුණු කරන්න: ඉගෙනගන්න දේවල් අන් අයට පැවසීමට ඔබේ බයිබල් ශිෂ්‍යයන්ට උනන්දු කරන්න. ක්ෂේත්‍ර සේවයේදී ලැබූ දිරිගන්වනසුලු අද්දැකීම් ඔවුන්ට පවසන්න. තම හැකියාව අනුව අර්ථවත් ලෙස සේවයේ හවුල් වීමට ඔබේ දරුවන්ව කුඩා කාලයේ පටන් පුහුණු කරන්න. (ගීතා. 148:12, 13) සේවය සඳහා තිබෙන ඔබේ අගය කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන්ද පෙන්වන්න.—1 තිමෝ. 1:12.
4 යෙහෝවා දෙවි තම සේවය සඳහා යොදාගන්නේ ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වන අයවයි. අලුත් ප්‍රචාරකයන්ට අද්දැකීම් ලත් බව්තීස්ම වූ අයට වගේ දැනුමක් නැහැ. ඒ වුණත් මොවුන් බයිබලයේ මූලික ඉගැන්වීම් විශ්වාස කළ යුතු අතර ඒවා පහදා දීමේ හැකියාවද ඔවුන්ට තිබිය යුතුයි. (අපගේ රාජ්‍ය සේවාව, 2006 නොවැම්බර්, 7-8 දක්වා පිටු බලන්න.) “මහ බැබිලෝනිය” හෙවත් දෙවි ගැන අසත්‍යය උගන්වන සියලුම ආගම්වලින් ඉවත් වීම, දේශපාලනයට තවදුරටත් සම්බන්ධ නොවීම හා නිතිපතා සභා රැස්වීම්වලට පැමිණීම යන සුදුසුකම්ද ඔවුන්ට තිබිය යුතුයි.—එළි. 18:2, 4; යොහ. 17:16; හෙබ්‍රෙ. 10:24, 25.
5 ඔබේ බයිබල් ශිෂ්‍යයෙකුට බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වීමට සුදුසුකම් තිබෙන බව ඔබ දකිනවා නම් කල් නොදමා ඒ ගැන මුලසුනභාර අවේක්ෂක සමඟ කතා කරන්න. සභාව සමඟ එක්ව දේවසේවයේ හවුල් වීම සඳහා ඒ ශිෂ්‍යයා සුදුසුකම් සපුරා තිබෙනවාද කියා බැලීමට ඔබව හා ශිෂ්‍යයාව හමුවීමට ඔහු වැඩිමහල්ලන් දෙදෙනෙකුව යොමු කරවයි. ඔබේ ශිෂ්‍යයාට ප්‍රචාරකයෙක් වීමට අනුමැතිය ලැබුණු පසු ඔහු සමඟ සේවයේ හවුල් වෙමින් ඔහුව පුහුණු කිරීමේ වරප්‍රසාදය ඔබට පැවරෙනවා.