දේවසේවයට නවකයන්ව පුහුණු කරන ආකාරය
1. ඔබ මුලින්ම දේවසේවයේ ගිය දවසේ ඔබට දැනුණේ කොහොමද?
1 ඔබ මුලින්ම ගෙයින් ගෙට සේවයේ ගිය දවස ඔබට මතකද? ඔබේ හිතේ මොන තරම් ගැස්මක් තියෙන්න ඇද්ද! එදා ඔබ සේවයේ ගියේ ඔබට පාඩම කළ කෙනා සමඟ හෝ වෙනත් ප්‍රචාරකයෙක් සමඟ වුණත් ඔවුන් ඔබට උපකාර කළ එක ගැන ඔබ සතුටු වුණු බව නම් නිසැකයි. දැන් ඔබ අද්දැකීම් ලබා සිටින නිසා නවක ප්‍රචාරකයෙකුව දේවසේවයට පුහුණු කරන්න ඔබට හැකියාව තිබෙනවා.
2. නවක ප්‍රචාරකයන් ඉගෙනගන්න අවශ්‍ය මොනවාද?
2 දේවසේවයේ විවිධ පැති ගැන නවක ප්‍රචාරකයන් ඉගෙනගන්න අවශ්‍යයි. නිවැසියන් සමඟ සාකච්ඡාවක් පටන්ගන්නත් සාක්ෂි දරද්දී බයිබලය යොදාගන්නත් නැවත බැලීම් හා බයිබල් පාඩම් කරන ආකාරයත් ඔවුන් ඉගෙනගන්න අවශ්‍යයි. එමෙන්ම වීථි සේවයේදී හා ව්‍යාපාරික ස්ථානවලදී සාක්ෂි දරන ආකාරයත් දැනගත යුතුයි. ඔබේ ආදර්ශයෙන් හා දියුණු වීමට අවශ්‍ය යෝජනා දීමෙන් ඔවුන්ට උපකාර කරන්න ඔබට හැකියි.
3. අපේ ආදර්ශයෙන් උගන්වන්නේ කොහොමද?
3 ආදර්ශයෙන් උගන්වන්න: යේසුස් තම අනුගාමිකයන්ට ශුභාරංචිය දේශනා කරන්නේ කොහොමද කියා පෙන්නුවා. (ලූක් 8:1; 1 පේතෘ. 2:21) නවක ප්‍රචාරකයෙක් සමඟ සේවයේ යන්න කල්තියා සැලසුම් කරන විට ඔහුට පහසුවෙන් කියන්න පුළුවන් සරල කෙටි ඉදිරිපත් කිරීමක් ඔහු සමඟ සූදානම් වෙන්න. අපගේ ප්රකාශනවල එවැනි ඉදිරිපත් කිරීම් බොහොමයක් තිබෙනවා. ඉන්පසු මුල් නිවසේදී හෝ දෙකේදී නිවැසියාට කතා කරන්න ඔබට හැකියි. එවිට ඔබ කියන දේ හොඳින් අසාගැනීමට නවකයාට හැකි වෙනවා. ඊළඟට එක් නිවසක සිට අනිත් නිවසට යන අතරතුරේදී ඔබේ ඉදිරිපත් කිරීම ප්‍රතිඵලදායක වුණේ මොන පැතිවලින්ද කියා ඔහුගෙන් අසන්න. එසේ කිරීම දේවසේවයේදී විවිධ අය සමඟ සේවය කිරීමේ වටිනාකම තේරුම්ගන්නත් දේශනා කළ පසු ඔහුට දෙන යෝජනා පිළිගන්නත් ඔහුට උපකාරවත් වෙයි.
4. නවක ප්රචාරකයාගේ ඉදිරිපත් කිරීමට සවන් දුන් පසු අපට කුමක් කළ හැකිද?
4 යෝජනා දෙන්න: යේසුස් තම අනුගාමිකයන්ට දේශනා කරන ආකාරය සම්බන්ධයෙන් මඟ පෙන්වීම් ලබා දුන්නා. (මතෙ. 10:5-14) ඔබටත් එසේම කරන්න පුළුවන්. නවක ප්‍රචාරකයා නිවැසියෙකුට කතා කරන විට හොඳින් සවන් දෙන්න. දියුණු විය යුතු පැති ඔහුට තිබුණත් නිවසින් පිට වී යද්දී ඔහු හොඳින් කළ දේවල් ගැන අවංකව ප්‍රශංසා කරන්න. යම් අඩුවක් තිබුණා නම් ඒ ඔහු ටිකක් කලබල වූ නිසා විය හැකියි. ඒ නිසා යෝජනාවක් දීමට කලින් ඔහු ඊළඟ වතාවේදී එය නිවැරදි කරගනියිද කියා බලන්න. සෑම ප්‍රචාරකයෙකුටම එක හා සමාන හැකියාවන් නැති බවත් යමක් පැවසීමට හෝ කිරීමට එක ක්‍රමයකට වඩා තිබෙන බවත් මතක තබාගන්න.—1 කොරි. 12:4-7.
5. යෝජනා දීමට මුල් පියවර ගන්නා විට අපට කුමක් කිව හැකිද?
5 නවක ප්‍රචාරකයා සමහර අවස්ථාවලදී තමන් දියුණු විය යුතු පැති ගැන ඔබෙන් අසන්න ඉඩ තිබෙනවා. ඔහු එසේ නොකළොත් ඔහුට උපකාර කිරීමට ඔබ මුල් පියවර ගන්න. ඔහුගේ හිත නොරිදවා ඥානවන්තව එය කරන්නේ කොහොමද? සමහර අද්දැකීම් ලත් ප්‍රචාරකයන් මෙවැනි දෙයක් අසනවා. “මං ඔයාට පුංචි යෝජනාවක් දෙන්නද?” “ඔයාට මොකක්ද හිතෙන්නේ ඒ ඉදිරිපත් කිරීම ගැන?” මෙවැනි දෙයක්ද කළ හැකියි. “මම දේශනා කරන්න ගත්ත මුල් කාලෙ මටත් . . . අභියෝගයක් වුණා. ඒත් ඒක නැති කරගන්න පුළුවන් වුණේ . . . හින්දයි.” බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නමැති පොත් පිංචයෙනුත් ප්‍රයෝජනවත් යෝජනා සොයාගත හැකියි. යෝජනා බොහොමයක් ඉදිරිපත් නොකර දියුණු කරගත යුතු එක් පැත්තක් ගැන පමණක් කතා කරන්න.
6. දේවසේවකයන් හැටියට අප යකඩින් යකඩ මුවහත් කරගන්නේ කොහොමද?
6 යකඩින් යකඩ මුවහත් වෙයි: තිමෝති දක්ෂ ලෙස ශුභාරංචිය දේශනා කරන්නෙක් වුණත් උගන්වන ආකාරය ගැන නිරතුරුවම සැලකිලිමත් වෙන්න කියාත් දිගටම දියුණුවක් ලබන්න කියාත් පාවුල් දිරිගැන්නුවා. (1 තිමෝ. 4:13, 15) ඔබ කාලයක් තිස්සේ දේශනා සේවයේ යෙදෙන කෙනෙක් වුණත් ඔබේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගැනීම නතර කරන්න එපා. ඔබ සමඟ සේවයේ හවුල් වන ප්‍රචාරකයා ඔබට වඩා අද්දැකීම් අඩු කෙනෙක් වුණත් ඔහුගෙන් ඉගෙනගන්න. නවකයන් ඇතුළු සියලුදෙනාටම දක්ෂ දේවසේවකයන් වෙන්න අවශ්‍ය කාරුණික උපකාර ලබා දීමට සූදානමින් සිටින්න.—හිතෝ. 27:17.