දේවසේවකයන් සඳහා සැපයුමක්!
1. වර්ෂ 1938දී ආරම්භ කළ අලුත් සැලැස්ම මොකක්ද? එහි අරමුණ මොකක්ද?
1 වර්ෂ 1938දී යෙහෝවා දෙවිගේ සංවිධානය අලුත් සැලැස්මක් ආරම්භ කළා. එය නම් සභා කීපයක් එකතු කර චාරිකා එක්රැස්වීම් පැවැත්වීමයි. එහි අරමුණ මොකක්ද? වර්ෂ 1939 ජනවාරි රාජ්‍ය සේවාවේ ඊට මෙසේ පිළිතුරු සපයනවා. “යෙහෝවා දෙවිගේ සංවිධානයේ එක් අංගයක් වන මෙම එක්රැස්වීම් දේවසේවය සඳහා මහඟු අත්වැලක්. දේවසේවය නිසියාකාරව කරගෙන යෑමට එහිදී ලබා දෙන මඟ පෙන්වීම් අත්‍යවශ්‍ය වෙයි.” එදා ප්‍රචාරකයන් සිටියේ 58,000ක් පමණක් වුණත් අද එම සංඛ්‍යාව වැඩි වී ඇති ආකාරයෙන් පෙනී යන්නේ “දේවසේවය නිසියාකාරව කරගෙන යෑමට” චාරිකා එක්රැස්වීම් විශාල මෙහෙවරක් ඉටු කරන බවයි.
2. නව සේවා වසරේ චාරිකා එක්රැස්වීමේදී ඉදිරිපත් කරන කතා මොනවාද?
2 ලබන වසරේ තේමාව: සැප්තැම්බර් මාසයේ සිට පටන්ගන්නා නව චාරිකා එක්රැස්වීමේ වැඩසටහනෙන් දිරිගැන්වීමක් ලැබීමට අපි බලා සිටිනවා. එහි තේමාව ‘ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ’ යන්නයි. එය පදනම් වන්නේ යොහන් 15:19 මතයි. එහිදි ඉදිරිපත් කරන කතා අතරින් දේවසේවකයන්ට ප්‍රයෝජනවත් වන කතා මොනවාද? සෙනසුරාදා, “පුරෝගාමි සේවය අපට ආරක්ෂාවක්—ඒ කොහොමද?” යන කතාවට සවන් දිය හැකියි. ‘මෘගයාගෙන්,’ ‘මහා ගණිකාවගෙන්’ හා ‘සංචාරක වෙළෙන්දන්ගෙන්’ යන කොටස් තුනකින් යුත් කතා මාලාවෙන්ද ප්‍රයෝජන ලැබෙයි. ඉරිදා, “ලෝකයට නොව යෙහෝවා දෙවිට ප්‍රේම කරන්න” යන කතා මාලාවටද සවන් දිය හැකියි. එමෙන්ම “‘මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැති’ යේසුස්ගේ පාලනය!” “දිගටම ‘විදේශිකයන් හා තාවකාලික පදිංචිකරුවන්’ ලෙස සිටින්න” සහ “අධෛර්යය නොවන්න! ලෝකයෙන් ජය ගන්න ඔබට පුළුවන්!” යන කතාද ඊට ඇතුළත්.
3. චාරිකා එක්රැස්වීමට සහභාගි වීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන මොනවාද?
3 දේවසේවයේ අඩුවෙන් නියැලුණු සහෝදරියක් මෑතක පැවැත්වූ චාරිකා එක්රැස්වීමට සහභාගි වීමෙන් පසු ඇගේ තත්වයන් සලකා බලා ඇය ගත් අධිෂ්ඨානය ගැන මෙසේ ලිව්වා. “නිදහසට කරුණු කියන එක නවත්තලා දිගටම සේවයේ යන්න මම හිතාගත්තා.” මෙවර චාරිකා එක්රැස්වීම ලෝකයට ප්‍රේම නොකර දෙවිට ප්‍රේම කිරීමට අප සියලුදෙනාටම උපකාර වන බව නිසැකයි. (1 යොහන් 2:15-17) ක්‍රිස්තියානි දේවසේවකයන්ට ලබා දී තිබෙන මෙම ප්‍රේමණීය සැපයුමෙන් පූර්ණ ලෙස ප්‍රයෝජන ගැනීම සඳහා පැමිණ හොඳින් සවන් දීමට අමතක නොකරන්න!