ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 ජූනි 26-31 පි.
  • යෙහෝවාව ඔයාගේ පර්වතය කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවාව ඔයාගේ පර්වතය කරගන්න
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා පර්වතයක් කියන්නේ ඇයි?
  • යෙහෝවා වගේ වෙන්න
  • යෙහෝවා “ජීවමානයි” කියලා මතක තියාගන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න”
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 ජූනි 26-31 පි.

පාඩම් ලිපිය 26

ගීතිකාව 8 යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි

යෙහෝවාව ඔයාගේ පර්වතය කරගන්න

“අපේ දෙවිට සමාන වූ පර්වතයක් නැත.”—1 සාමු. 2:2.

ලිපියේ අරමුණ

යෙහෝවා දෙවියන්ට තියෙන මොන ගුණාංග නිසාද ඔහුව පර්වතයකට සමාන කරලා තියෙන්නේ? අපිට ඒ ගුණාංග ආදර්ශෙට ගන්න පුළුවන් කොහොමද?

1. ගීතාවලිය 18:46 දාවිත් යෙහෝවාව සමාන කළේ මොකකටද?

අපි ජීවත් වෙන මේ කාලේ හිතාගන්න බැරි විදිහේ අභියෝග අපිට එනවා. සමහර ඒවායෙන් අපේ ජීවිතේ උඩු යටිකුරු වෙනවා. මේ වගේ කාලෙක යෙහෝවා අපේ උදව්වට ඉන්න එක කොච්චර දෙයක්ද! අපි කලින් ලිපියේ බැලුවා යෙහෝවා තමයි ජීවමාන දෙවියන්, ඔහු අපිට උදව් කරන්න බලාගෙන ඉන්නවා කියලා. ඔහු ඒ විදිහට බලන් ඉඳලා අපිට උදව් කරද්දී ‘ඔහු ජීවමාන දෙවියන්’ කියන එක තවත් සහතික වෙනවා. (ගීතාවලිය 18:46 කියවන්න.) යෙහෝවා ජීවමානයි කියලා කියපු දාවිත් ඊටපස්සේ ‘දෙවියන් මගේ පර්වතය’ කියලා කියනවා. ඇයි දැන් දාවිත් ජීවමාන නැති දේකට දෙවියන්ව සමාන කරන්නේ?

2. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

2 මේ ලිපියෙන් අපි ප්‍රශ්න හතරකට උත්තර බලනවා. (1) යෙහෝවාව පර්වතයකට සමාන කරලා තියෙන්නේ ඇයි? (2) ඒකෙන් අපිට ඔහු ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? (3) යෙහෝවා අපේ පර්වතය කරගන්න අපිට පුළුවන් කොහොමද? (4) යෙහෝවාගේ ගතිගුණ අපිට ආදර්ශෙට ගන්න පුළුවන් කොහොමද?

යෙහෝවා පර්වතයක් කියන්නේ ඇයි?

3. බයිබලේ “පර්වතය” කියන වචනේ පාවිච්චි කරලා තියෙන විදිහෙන් අපිට තේරෙන්නේ මොකක්ද? (පින්තූරය බලන්න.)

3 බයිබලේ යෙහෝවාව “පර්වතයකට” සමාන කරලා තියෙන්නේ ඔහුගේ ගුණාංග ගැන අපේ හිතේ චිත්‍රයක් ඇඳගන්න උදව් කරන්න. ගොඩක් වෙලාවට ඒ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ ඔහුට ප්‍රශංසා කරන්න. විශේෂයෙන්ම ඔහුට සමාන කෙනෙක් තව නැහැ කියලා කියද්දී. ද්විතීය කතාව 32:4 තමයි ‘යෙහෝවා පර්වතයක්’ කියලා බයිබලේ මුලින්ම වාර්තා වෙන්නේ. හන්නා එයාගේ යාච්ඤාවේදී කිව්වා “අපේ දෙවිට සමාන වූ පර්වතයක් නැත” කියලා. (1 සාමු. 2:2) හබක්කුක් දෙවියන්ට කතා කළේ “මගේ පර්වතය” කියලා. (හබ. 1:12) 73වෙනි ගීතිකාව ලියපු ගීතිකාකරුත් ‘දෙවි මගේ සිත ශක්තිමත් කරන මගේ පර්වතය’ කියලා කිව්වා. (ගීතා. 73:26) යෙහෝවාත් තමන්ව පර්වතයකට සමාන කළා. (යෙසා. 44:8) යෙහෝවාව පර්වතයක් කියලා කියන්න හේතු වෙන ගුණාංග තුනක් අපි බලමු. ඔහුව ‘අපේ පර්වතය’ කරගන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.—ද්වි. 32:31.

යුවළක් එයාලාගේ දුවත් එක්ක එයාලා ඉස්සරහා තියෙන ලොකු පර්වතයක් දිහා බලාගෙන ඉන්නවා.

යෙහෝවාගේ සෙනඟ ඔහුව සලකන්නේ ආරක්ෂාව දෙන පර්වතයක් විදිහට (3 ඡේදය බලන්න)


4. යෙහෝවා අපිට රැකවරණයක් කියන්නේ ඇයි? (ගීතාවලිය 94:22)

4 යෙහෝවා රැකවරණය දෙනවා. කුණාටුවක් එද්දී කෙනෙක්ට පර්වතයකින් රැකවරණයක් ලැබෙනවා. අපේ ජීවිතේටත් කුණාටු වගේ ප්‍රශ්න එද්දී දෙවියන් අපිට රැකවරණයක් වෙනවා. (ගීතාවලිය 94:22 කියවන්න.) අපිට අනතුරක් වෙන දේවලින්, විශේෂයෙන්ම ඔහුත් එක්ක තියෙන බැඳීමට හානියක් වෙන දේවලින් ඔහු අපිව ආරක්ෂා කරනවා. ඔහු පොරොන්දු වෙනවා අපේ හිතට බරක් වෙන, ආරක්ෂාවට තර්ජනයක් වෙන හැම දේම ඉස්සරහට නැති කරනවා කියලා.—එස. 34:25, 26.

5. යෙහෝවාව අපේ රැකවරණය කරගන්න පුළුවන් කොහොමද?

5 දෙවියන්ව අපේ රැකවරණය කරගන්න පුළුවන් විදිහක් තමයි ඔහුට යාච්ඤා කරන එක. යාච්ඤා කරද්දී ‘ඔහු දෙන සමාදානය’ නිසා අපේ “හදවතටත් මනසටත් ආරක්ෂාවක්” ලැබෙනවා. (ෆිලි. 4:6, 7) විශ්වාසය නිසා හිරේ ගිය ආටෙම් ගැන බලන්න. නිලධාරියෙක් එයාගෙන් කෙළවරක් නැතිව ප්‍රශ්න කළා. එයාට අපහාස කළා. දරුණු විදිහට සැලකුවා. ආටෙම් මෙහෙම කියනවා. “එයා ප්‍රශ්න කරද්දී මට ලොකු පීඩනයක් දැනුණා. ඉතිං මං හැම වෙලේම යෙහෝවාට යාච්ඤා කළා. සන්සුන්ව ඉන්න මට උදව් කරන්න, ප්‍රඥාව දෙන්න කියලා මං ඔහුගෙන් ඉල්ලුවා. ඉතිං ඒ නිලධාරියා මොන පීඩනේ ගෙනාවත් සන්සුන්ව ඉන්න මට පුළුවන් වුණා. මට දැනුණේ යෙහෝවා පවුරක් වගේ මගේ ඉස්සරහින් ඉඳලා මාව ආරක්ෂා කරනවා කියලා.”

6. හැමදාටම යෙහෝවා ගැන විශ්වාසය තියන්න පුළුවන් ඇයි? (යෙසායා 26:3, 4)

6 යෙහෝවා විශ්වාසවන්තයි. පර්වතයක් හෙල්ලෙන්නේ නැහැ වගේ යෙහෝවාත් අපි ගාවින් හෙල්ලෙන්නේ නැහැ. ඔහු “සදාකාලයටම පර්වතයක්.” ඒ නිසා ඔහුව විශ්වාස කරන්න පුළුවන්. (යෙසායා 26:3, 4 කියවන්න.) පොරොන්දු ඉටු කරන්න, අපේ යාච්ඤා අහන්න, අපිට උදව් කරන්න ඔහු හැමදාම ඉන්නවා. ඔහුට සේවේ කරන අයව ඔහු කවදාවත් අත්හරින්නේ නැහැ. (2 සාමු. 22:26) අපි ඔහු වෙනුවෙන් කරන දේවල් ඔහු අමතක කරන්නේ නැහැ. ඔහු ඒවාට ආශීර්වාදත් කරනවා.—හෙබ්‍රෙ. 6:10; 11:6.

7. යෙහෝවා ගැන විශ්වාසය තියද්දී අපිට අද්දකින්න පුළුවන් මොනවාද? (පින්තූරයත් බලන්න.)

7 අපි යෙහෝවා ගැන සම්පූර්ණයෙන් විශ්වාසය තියද්දී ඔහුව අපේ පර්වතය කරගන්න අපිට පුළුවන්. කොච්චර අමාරු තත්වයකදී වුණත් ඔහුට කීකරු වෙන එක අපිටමයි හොඳ කියලා අපිට සැක නැහැ. (යෙසා. 48:17, 18) යෙහෝවාගේ උදව් අද්දකින හැම වෙලේම ඔහු ගැන තියෙන විශ්වාසේ වැඩි වෙනවා. දෙවියන්ට විතරක් උදව් කරන්න පුළුවන් ප්‍රශ්න එද්දී ඒවාට හොඳින් මූණ දෙන්න ඒක අපිට උදව්වක්. වෙන කාටවත් උදව් කරන්න බැරි ඒ වගේ වෙලාවලදී යෙහෝවා අපි ළඟින්ම ඉන්න විදිහ අපිට දැනෙයි. ව්ලාඩිමියර් කියන දේ බලන්න. “මං රැඳවුම් මධ්‍යස්ථානයේ හිටපු කාලේ තමයි යෙහෝවාට වැඩියෙන්ම ළං වුණේ. මං හිටියේ තට්ට තනියම නිසා ඔහුව කලින්ට වඩා විශ්වාස කරන්න මං ඉගෙනගත්තා. මොකද මගේ උදව්වට හිටියේ ඔහු විතරයි.”

හිරේ ඉන්න සහෝදරයෙක් බයිබලෙත් අතේ තියාගෙන ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවා.

අපි යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරද්දී අපි ඔහුව අපේ පර්වතය කරගන්නවා (7 ඡේදය බලන්න)


8. (අ) යෙහෝවා වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ඇයි? (ආ) යෙහෝවාව අපේ පර්වතය කරගද්දී අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? (ගීතාවලිය 62:6, 7)

8 යෙහෝවා වෙනස් වෙන්නේ නැහැ. පර්වතයක් වගේ යෙහෝවා ස්ථිරයි. ඔහුගේ පෞද්ගලිකත්වය, අරමුණ වෙනස් වෙන්නේ නැහැ. (මලා. 3:6) ඒදන් උයනේදී ප්‍රශ්නයක් ඇති වුණා කියලා ඔහු කරන්න හිතාගෙන හිටපු දේ වෙනස් කළේ නැහැ. පාවුල් කිව්වා “දෙවි තම ප්‍රමිතිවලට විරුද්ධව කිසි ලෙසකින්වත් ක්‍රියා කරන්නේ නැත” කියලා. (2 තිමෝ. 2:13) ඒ කියන්නේ කවුරු මොනා කළත් මොනවා වුණත් යෙහෝවාගේ ගතිගුණ, අරමුණ, ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අමාරු වෙලාවලදීත් ඔහු අපිට උදව් කරනවා, ඔහුගේ පොරොන්දු ඉටු කරනවා කියලා අපිට ස්ථිරයි.—ගීතාවලිය 62:6, 7 කියවන්න.

9. ටට්යානාගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

9 යෙහෝවාගේ ගුණාංග, අරමුණ ගැන කල්පනා කරන එක ඔහු ගැන විශ්වාසේ තියන්න උදව් වෙනවා. එතකොට අපිට පුළුවන් ප්‍රශ්න මැද කලබල නොවී දිගටම විශ්වාසවන්තව ඉන්න. (ගීතා. 16:8) ඒක ඇත්තක් කියලා සහෝදරි ටට්යානා අද්දැක්කා. විශ්වාසය නිසා එයාට නිවාස අඩස්සියේ ඉන්න වුණා. එයා මෙහෙම කියනවා. “මං හිටියේ තනියම. ඒක මට හරි අමාරු වුණා. මං මානසිකව වැටුණා.” ඊටපස්සේ එයා යෙහෝවා ගැනයි, ඔහුගේ අරමුණ ගැනයි හිතන්න පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “ඇයි මට මෙහෙම වුණේ කියලා කල්පනා කරද්දී මට තේරුණා මං මේවා දරාගන්නේ යෙහෝවාට ආදරේ නිසා කියලා. ඒක උදව් වුණා මං ගැනම හිතන එක නවත්තන්න.”

10. යෙහෝවා මේ කාලේ අපේ පර්වතය වෙන්නේ කොහොමද?

10 ළඟදීම අපිට මීට වඩා දරුණු දේවලට මූණ දෙන්න වෙයි. එදාට අපිට දෙවියන් ගැන විශ්වාසේ තියන්නම වෙනවා. ඒ නිසා මොන ප්‍රශ්නේ ආවත් හරි දේ කරන්න ඔහු උදව් කරනවා කියන විශ්වාසේ වැඩි කරගන්න දැන් තමයි කාලේ. ඒකට බයිබල් සිද්ධීන් සහ අද කාලේ සාක්ෂිකරුවන්ගේ අද්දැකීම් කියවන්න. යෙහෝවා එයාලට පර්වතයක් වුණ විදිහ තේරුම්ගන්න. කියවපු බයිබල් සිද්ධීන් ගැන හොඳට හිතන්න. එතකොට ඔයාට පුළුවන් යෙහෝවාව ඔයාගේ පර්වතය කරගන්න.

යෙහෝවා වගේ වෙන්න

11. යෙහෝවාගේ ගුණාංග අනුකරණය කරන්න අපි කැමති ඇයි? (“යෞවන සහෝදරයන්ට ඉලක්කයක්!” කියන කොටුවත් බලන්න.)

11 යෙහෝවාව පර්වතයකට සමාන කරන්නේ ඇයි කියලා අපි බැලුවා. දැන් බලමු ඔහුගේ ගුණාංග ආදර්ශෙට ගන්න අපිට පුළුවන් කොහොමද කියලා. මොකද අපි ඔහුව ආදර්ශෙට ගන්නවා නම් ඒක සභාවට ලොකු හයියක්. මතකද, යේසුස් සීමොන්ට සීෆස් (පරිවර්තනය කළාම “පේතෘස්”) කියන නම දුන්නා? ඒකේ තේරුම “ගල” කියන එකයි. (යොහ. 1:42) යේසුස් එහෙම කිව්වේ ඇයි? ඔහු දැනන් හිටියා පේතෘස් සභාවේ අයට පර්වතයක් වගේ වෙයි කියලා. එයාලට සහනයක් වෙලා එයාලාගේ විශ්වාසේ ශක්තිමත් කරයි කියලා. අද ඉන්න වැඩිමහල්ලන්ව විස්තර කරන්නෙත් “මහා පර්වතයකින් ලැබෙන සෙවණක්” විදිහට. එයාලා සභාවට ආරක්ෂාවක්. (යෙසා. 32:2) එයාලා විතරක් නෙවෙයි අපි හැමෝම යෙහෝවාගේ ගුණාංග අනුකරණය කරනවා නම් ඒකෙන් සභාවටම ප්‍රයෝජන ලැබෙනවා.—එෆී. 5:1.

නමස්කාර මධ්‍යස්ථානයේදී වැඩිමහල්ලෙක් යෞවන සහෝදරයෙක්ට වයර් නැති මයික් එකකට බැටරි දාන විදිහ කියලා දෙනවා.

යෞවන සහෝදරයන්ට ඉලක්කයක්!

ඔයා යෞවනයෙක්ද? එහෙමනම් පර්වතයක් හා සමාන දෙවියන්ගේ ගතිගුණ ආදර්ශෙට ගන්න දැන් ඉඳන්ම උත්සාහ කරන එක හොඳ දෙයක් නෙවෙයිද? ඔයා එහෙම කරනවා නම් 20 ගණන්වලදීම වැඩිමහල්ලෙක් වෙන්න ඕන කරන ගුණාංග ඇති කරගන්න ඔයාට පුළුවන්.

  • රැකවරණයක් වෙන්න. රැස්වීම්වලදී අනිත් අයත් එක්ක හිනා වෙලා කතා කරන්න. වයසක අය ගැන ඔයා සැලකිලිමත් කියලා පෙන්නන්න.

  • විශ්වාසවන්ත වෙන්න. නමස්කාර මධ්‍යස්ථානයේ වැඩවලට උදව් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න. සභාවේදී පැවරුමක් ලැබුණාම දීලා තියෙන මඟ පෙන්වීම් ඒ විදිහටම පිළිපදින්න.

  • වෙනස් වෙන්න එපා. බයිබලේ හැමදාම කියවලා කියපු දේ ගැන හොඳට හිතන්න. තීරණයක් ගන්න වෙද්දී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න.

12. අමාරු කාලවල් පහු කරන අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

12 රැකවරණයක් වෙන්න. ස්වාභාවික විපත්, කලබල, යුද්ධ නිසා අපේ සහෝදරයන්ට උන්හිටි තැන් අහිමි වෙනවා. එයාලට අපේ ගෙදර ඉඩක් දෙන්න පුළුවන්ද? ‘අන්තිම කාලේ’ තත්වයන් තව දරුණු වෙයි. ඒ නිසා අනිත් අයට රැකවරණය දෙන්න මීට වඩා අවස්ථා එයි. (2 තිමෝ. 3:1) සහෝදරයන්ට රැකවරණයක් වෙන්න පුළුවන් තව විදිහක් තමයි එයාලව සනසන එක සහ එයාලට ආදරේ පෙන්නන එක. ඒකට රැස්වීම්වලට ආවාම එයාලත් එක්ක හිනා වෙලා කතා කරන්න. එයාලව දිරිගන්වන්න. අපිට ඕනෙ සභාව ආදරෙන් පිරුණු තැනක් කරන්න. අපි ඉන්නේ කිසි තෙතමනයක් නැති ලෝකෙක. ඒ නිසා රැස්වීම්වලට ආවාම කෙනෙක්ට ආදරේ, සහනය, රැකවරණය දැනෙනවා නම් ඒක කොච්චර දෙයක්ද!

13. අමාරු කාලවලදී අනිත් අයට රැකවරණයක් වෙන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

13 කුණාටුවලින් විතරක් නෙවෙයි කුණාටු වගේ ප්‍රශ්න එද්දීත් සභාවේ අයට රැකවරණයක් වෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්. ආපදාවකදී, හදිසි ප්‍රතිකාර ඕන වෙද්දී අවශ්‍ය උදව් දෙන්න වැඩිමහල්ලන් තමයි දේවල් ඉක්මනින්ම සංවිධානය කරන්නේ. එයාලා බයිබලෙන් මඟ පෙන්වීම්, දිරිගැන්වීම් දෙනවා. වැඩිමහල්ලන් ඇහුම්කන් දෙන, කාරුණිකව කතා කරන, අනිත් අයව තේරුම්ගන්න අය කියලා දැනෙද්දී ප්‍රශ්නයක් වුණාම සභාවේ අය වැඩිමහල්ලන් ළඟට එන්න අදිමදි කරන්නේ නැහැ. වැඩිමහල්ලන්ගේ ආදරේ දැනෙද්දී එයාලා දෙන උපදෙස් පිළිගන්නත් ලේසියි.—1 තෙස. 2:7, 8, 11.

සභාවේ අය කුණාටු වගේ ප්‍රශ්න අද්දකිද්දී වැඩිමහල්ලන් එයාලට රැකවරණයක් (13 ඡේදය බලන්න)a


14. අපි විශ්වාසවන්ත අය කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

14 විශ්වාසවන්ත වෙන්න. අමාරු කාලවලදීත් අපි සහෝදරයෝ එක්ක ඉන්නවා කියලා දැනෙන්න සලස්වන්නයි අපිට ඕනේ. (හිතෝ. 17:17) විශ්වාසවන්ත කෙනෙක් කියලා හොඳ නමක් දිනාගන්න ඔයාට පුළුවන් කොහොමද? ඒකට හැමදාම යෙහෝවාව අනුකරණය කරන්න. වචනයක් දුන්නොත් ඒක කරන්න. වෙලාවට වැඩ කරන්න. (මතෙ. 5:37) කාට හරි උදව්වක් ඕනෙ කියලා දැක්කොත් අහක බලන්න එපා. ඔයාට සභාවේ පැවරුම් ලැබෙද්දී දීලා තියෙන මඟ පෙන්වීම්වලින් පිට යන්නේ නැතුව ඒක කරන්න.

15. වැඩිමහල්ලෝ විශ්වාසවන්තයි නම් ඒක සභාවට හොඳ ඇයි?

15 විශ්වාසවන්ත වැඩිමහල්ලන් සභාවට ආශීර්වාදයක්. සහෝදර සහෝදරියන්ට දැනෙනවා නම් කණ්ඩායම් භාර සහෝදරයාට ඕන වෙලාවක කතා කරන්න පුළුවන් කියලා ඒක එයාලට ලොකු සහනයක්. වැඩිමහල්ලෝ එයාලට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා දන්නවා නම් වැඩිමහල්ලන්ගේ ආදරේ එයාලට දැනෙනවා. මඟ පෙන්වීමක් දෙන්න වෙද්දී වැඩිමහල්ලන් තමන්ගේ අදහස් කියන්නේ නැතුව බයිබලෙන්, අපේ ප්‍රකාශනවලින් ඒක දෙනවා නම් එයාලව තව වැඩියෙන් සහෝදරයෝ විශ්වාස කරයි. ඒ වගේම වැඩිමහල්ලෙක්ට කෙනෙක් පෞද්ගලික දෙයක් කිව්වාම එයා ඒවා තැන තැන කියන්නේ නැහැ. එයා දෙයක් කරන්න පොරොන්දු වුණාම ඒක කරනවා. වැඩිමහල්ලන් එහෙම වැඩ කරද්දී සභාවේ අයට එයාලා ගැන විශ්වාසේ තියන්න පුළුවන්.

16. අපි උන්හිටි ගමන් වෙනස් වෙන අය නෙවෙයි නම් අපිටයි, සභාවේ අයටයි තියෙන ප්‍රයෝජන මොනවාද?

16 වෙනස් වෙන්න එපා. අපි නිතරම හරි දේ කරනවා නම්, තීරණ ගද්දී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් හොඳ ආදර්ශයක් වෙන්න අපිට පුළුවන්. අපි බයිබලේ අධ්‍යයනය කරලා විශ්වාසය වැඩි කරගද්දී යෙහෝවාටයි, ඔහුගේ ප්‍රමිතිවලටයි ඇලිලා ඉන්න පුළුවන්. අපි තීරණයක් ගන්න කලින් වැනෙන්නෙවත් තීරණයක් ගත්තාට පස්සේ දෙගිඩියාවෙන් ඉන්නෙවත් නැහැ. අපි බොරු ඉගැන්වීම්වලටයි, මේ ලෝකේ අදහස්වලටයි අහු වෙලා ගහගෙන යන්නෙත් නැහැ. (එෆී. 4:14; යාකො. 1:6-8) යෙහෝවා ගැනයි, ඔහුගේ පොරොන්දු ගැනයි අපිට විශ්වාස නිසා නරක ආරංචි එද්දී අපි කලබල වෙන්නේ නැහැ. (ගීතා. 112:7, 8) ඒ වගේම ප්‍රශ්න ගැටලුවලට මූණ දෙන අයට උදව් කරන්නත් අපිට පුළුවන්.—1 තෙස. 3:2, 3.

17. අමාරු අවස්ථාවලදී සභාවේ අයට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

17 වැඩිමහල්ලන් සීමාව දැනගෙන වැඩ කරන, හොඳ සිහිකල්පනාවෙන් දේවල් කරන, පිළිවෙළකට, සාධාරණව වැඩ කරන අය වෙන්න ඕනේ. දුෂ්කරතා එද්දී සන්සුන්ව, ශක්තිමත්ව ඉන්න එයාලා සභාවේ අයට උදව් කරනවා. එයාලා ඒක කරන්නේ “සත්‍ය පණිවිඩයට” ඇලිලා ඉඳලා. (තීත. 1:9; 1 තිමෝ. 3:1-3) රැස්වීම් ගිහින්, සේවේ ගිහින්, පෞද්ගලික අධ්‍යයනය කරලා එයාලා සභාවේ අයට හොඳ ආදර්ශයක් තියනවා. හිතපු නැති දේවලට මූණ දෙද්දී යෙහෝවාවයි, ඔහුගේ පොරොන්දුයි මනසේ තියාගන්න වැඩිමහල්ලෝ සහෝදරයන්ට උදව් කරනවා.

18. යෙහෝවාට ප්‍රශංසා කරන්නත් ඔහුට ළං වෙලා ඉන්නත් අපිට ඕනෙ ඇයි? (“යෙහෝවාට ළං වෙන්න විදිහක්” කියන කොටුවත් බලන්න.)

18 යෙහෝවාගේ පුදුමාකාර ගුණාංග ගැන හිතුවාට පස්සේ අපිත් මෙහෙම කියයි. “මාගේ පර්වතය වන යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!” (ගීතා. 144:1) අපිට ඕන වෙලාවක බය නැතුව යෙහෝවාව විශ්වාස කරන්න පුළුවන්. අපේ ජීවිත කාලේ පුරාම, අපි වයසට ගියත් ඔහුට ළං වෙලා ඉන්න ඔහු අපිට උදව් කරයි. ඒ නිසා අපිටත් පුළුවන් මුළු හදවතින්ම කියන්න “දෙවි මගේ පර්වතය” කියලා.—ගීතා. 92:14, 15.

යෙහෝවාට ළං වෙන්න විදිහක්

යෙහෝවාව විස්තර කරන්න පාවිච්චි කරලා තියෙන මේ වචන ගැන පෞද්ගලික අධ්‍යයනයේදී තව හොයන්න.

  • සියලු බලැති—උත්. 17:1

  • පුරාතන තැනැත්තා—දානි. 7:9

  • නිර්මාතෘ—යෙසා. 40:28

  • පියාණන්—යෙසා. 64:8

  • උපදේශකයා—යෝබ් 36:22; යෙසා. 30:20

  • එඬේරා—ගීතා. 23:1

ඒ වගේ යෙහෝවාව විස්තර කරන්න පාවිච්චි කරලා තියෙන ගොඩක් වචන බයිබලේ තියෙනවා. ඒවා ගැන හිතන එක යෙහෝවාත් එක්ක අපිට තියෙන බැඳීම තව වැඩි කරයි. තොරතුරු හොයන්න උදව් වෙන ප්‍රකාශන පාවිච්චි කරලා මේ දේවල් කරන්න.

  • අවට පද තේරුම්ගන්න. කවුද ඒක කිව්වේ? මොන වගේ තත්වයක්ද ඒ වෙලාවේ තිබ්බේ? ඒ විදිහට ඔහුව විස්තර කරලා තියෙන්නේ ඇයි?

  • බයිබල් පද හොයන්න. ඒ විදිහට දෙවියන්ව විස්තර කරලා තියෙන්නේ තව කොහෙද? ඒ පද අතර තියෙන සමානකම් මොනවාද?

  • ප්‍රශ්නවලට උත්තර හොයන්න. මේකෙන් යෙහෝවා ගැන මට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යෙහෝවා මේ ගුණාංගය පෙන්නලා තියෙනවා කියලා මං දන්නේ කොහොමද? මං යෙහෝවා ගැන හිතන විදිහට ඒක බලපාන්නේ කොහොමද? මං ඉගෙනගත්ත දේ අදාළ කරගන්න පුළුවන් කොහොමද?

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • බයිබලේ යෙහෝවාව “පර්වතයකට” සමාන කරන්නේ ඇයි?

  • යෙහෝවා අපේ පර්වතය කරගන්න පුළුවන් කොහොමද?

  • යෙහෝවාගේ ගුණාංග අනුකරණය කරන්න පුළුවන් පැති මොනවාද?

ගීතිකාව 150 ගැලවීම දෙවිගෙන් වේ

a පින්තූරේ අදහස: නමස්කාර මධ්‍යස්ථානයේදී සහෝදරියක් වැඩිමහල්ලන් එක්ක බය නැතුව කතා කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න